ළතෙත් ආදර හැඟුම් ගංගා – 75

*තාරානාත් දහම් වංශනායක*

ගෙදර ඇවිල්ලා ආයෙ හිමින් සැරේ ජීවිතේට පුරුදු වෙන එක ලේසි උනේ නෑ. පිහියෙන් ඇනපු පාරට මගේ එක පැත්තක්ම වගේ තිබ්බෙ ටෙම්පරලලි ඩැමේජ් වෙලා, හිරිවැටිලා හන්දා ඇඳ පැලඳගන්න ඒවට පවා මට උදව් කරන්න නාද්‍යාට සිද්ද උනා. අහස්ව බලාගන්න ගමන්ව මාව බලාගන්න එයා මහන්සිවෙන මහන්සිවීම දකිද්දි තමයි මට තේරුණේ ජීවිතේ පළවෙනි වතාවට මට අම්මා කෙනෙක් හම්බෙලා කියන එක. කවදාවත් “අම්මා කෙනෙක්ට දරුවෙක් නොවිච්ච” මාව නාද්‍යා දරුවෙක් විදියට බලාගන්නවා කියන එක.

ඒක මට දුක්වෙන්න නෙවෙයි මහා පරිමානෙන් සන්තෝස වෙන්න හේතුවෙච්ච කාරණාවක්.

“ඔයාට දරුවො දෙන්නෙක් බලාගන්න වෙලා දැන් එපා වෙලා ඇති නේද?” කියලා මම අහද්දි නාද්‍යා කරේ ඇඳේ වාඩිවෙලා එයා සපත්තු දෙකේ ලේස් ගැටගහන ගමන් බලන් උන්න මං දිහාවට එයාගෙ ලස්සන ඇස් බැල්ම පා කරලා.

“ඔයාව මට අහස් තරම්ම වටිනවා. මට මගේ කියන්න මේ ලෝකෙ ඉන්නෙ ඔයාලා දෙන්න විතරනෙ. අනික දැන් එහෙම දෙයක් මට උනානම් ඔයා මාව බලාගන්නවනෙ නේද?”

“නෑ”

“නෑ?”

“නෑ”

“ඇයි?”

“මම එහෙම දෙයක් ඔයාට වෙන්න කිසිම දවසක ඉඩක් තියන්නෙ නැති හන්දා. මං කිව්වෙ ඔයාව බේරගන්න මම මරණෙ ඉස්සරහටත් යන්න රෙඩි කියලා”

“අනේ ප්ලීස් ඔය මරන කතා ආයෙ කියන්න එපා. ඔයා දන්නෙ නෑ පහුගිය ටිකේ මං කොච්චර ගින්දරකද උන්නෙ කියලා”

“මං ඒ ගින්දර නිවන්නම්කො ඉක්මනට”

“ඒ කිව්වෙ?”

“ඉන්නකො මේ අසනීප, ඇඟේ අමාරුකම් හරි යනකම්” කියලා මම ඇහැක් ගහද්දි නාද්‍යා කරේ බොරු අමනාපෙකින් මූණ කැත කරගත්ත එක.

“ඒ වනචරකම් නම් නැතිවෙන්නෙ නෑ මැරිලා ඉපදුනත් නේද?”

“ආ වනචරකම් කරන්න හොඳයි කියද්දි තමා නරක නේද?”

“අනේ මේ අපි නෑනෙ ඔය වනචරකම් වලට සපෝට්”

“අම්මෝ මොකටද ඒවා කියන්නෙ? අනේ දහම් කියන් බෙල්ල බදාගන්නෙ සපෝට් නැති හන්දා වෙන්නැති නේද?”

“අනේ ඔයා මහ නරකයි අනේ”

“ඔව් ඉතින් මං කිසි දවසක මේ මම මාර හොඳ මිනිහෙක් කියලා නෑනෙ. නරකයි තමයි මම”

මේ කතන්දර විහිලු තහලු අස්සෙ නාද්‍යා ආයෙ බැක් ටු නෝමල් වෙනවා කියලා දැනගෙන උන්නට නාද්‍යා උන්නෙ පුදුමාකාර මහන්සියකින් කියන එක මට නොතේරුනා නෙවෙයි. 

 මම නොදකිනවා ඇති කියලා එයා හිතුවට ඒ හැමදේම, ඒ මහන්සිය, හිතෙන් ඇඟට හුවමාරු වෙලා තිබිච්ච වේදනාව, මහන්සිය මම දැක්කා. එයා මගේ ශර්ට් එකේ බොත්තම් දාන්න උදව් කරනකොට ළඟටම දැක්ක එයාගෙ මූණ අවුරුදු ගානකින් වයසට ගිහින් කියලා මට තේරුණා. ඒ මූණෙ ලස්සන වහගෙන වලාකුලක් වගේ වෙච්ච දේවල්වල අඳුරු වලාකුලු තැවරිලා තිබ්බා. මට නැගිටින්න උදව් කරද්දි මහන්සි අරින්න වගේ  එයා හෙමින් හුස්ම පිට කරනවා මට ඇහුණා.

“දහම්…” නාද්‍යා ඇහුවෙ මගේ ඒ කල්පනාව බිඳින ගමන්.

“හ්ම්?”

“රිදෙනවද?”

“කොහෙද? තුවාලෙද හිතද?”

මගේ ඒ ප්‍රශ්නෙට නාද්‍යා උත්තර දුන්නෙ  හරිම වෙහෙසකර පුංචි සිනහවක් එක්ක. “දෙකම වෙන්න ඇති, මම හිතන්නේ.”

“තුවාලෙ නම් රිදෙනවා තමයි,” හිත රිදිලා තිබ්බෙ ඒත් තවදුරටත් හිත රිදෙන්නෙ නෑ. ආයෙ අපිට ඒ වගේ කරදර වෙන එකක් නෑ නාද්‍යා. එහෙම දෙයක් උනත් වෙච්ච දේවල් එක්ක ආයෙ දාස් වතාවක් උනත් ඒ වගේ දේවල් ඕවර්කම් කරන්න අපිට ඕන තරම් හයිය තියෙනවා කියලා අපි දැන් දන්නවනෙ”

“මං කවදාවත් ඒ තරම් බය වෙලා තිබ්බෙ නෑ දහම්. අහස් උන්නෙ නැත්තම් සමහරවිට මම සුයිසයිඩ් කරගන්න තිබ්බ ඔයාට මොනාහරි උනානම්. මං උන්නෙ දරාගන්න බැරුව ඔයාට මේ හැමදේම උනේ මං හින්දා නේද කියලා”

“මං මැරුණට ඔයා මැරෙන්නෝන නෑ. එහෙම හිතන්නවත් එපා. ඒ වගේ බොළඳ කතා තියෙන්නෙ කතන්දර වල නාද්‍යා. ඔයා කරන්නෝන මං වෙනුවෙන් අපේ ආදරෙ වෙනුවෙන් ජීවත්වෙන එක”

“කියන්න ලේසි දහම්. මං ෆේස් කරපු ඒ මෝමන්ට් එකට ඔයා ෆේස් කරානම් සමහරවිට ඔයාට උනත් හිතෙන්න තිබුනා මං කිව්ව දේ ඇත්ත කියලා”

“ඔව් මං එහෙම කරගන්න තිබ්බා. මොකෝ මං ඔයා තරම් හිත හයිය මනුස්සයෙක් නෙවි නාද්‍යා. අම්මා කෙනෙක් තරම් හිත හයිය කෙනෙක් වෙන්න තාත්තා කෙනෙක්ට පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. පිරිමියෙක් වගේ මම මරාගෙන මැරෙනවා කියලා මයින්ඩ් සෙට් එකක උන්නට අම්මා කෙනෙක් විදියට ඔයා කරේ මේ කාලෙම ජීවත්වෙන්න විදි හොයන එක නේද? මැරෙන්න ලේසි, මැරෙන්න ගට් එක ගන්න ලේසි. ජීවත්වෙන්න ගට් එක ගන්න තමයි නාද්‍යා අමාරු”

“ඒත් දැන් ඔයා ආයෙ බයවෙන්න ඕන නෑ. මම දැන් ඉන්නවනෙ. ආයෙ අපිට එහෙම කරදර වෙන්නෙ නෑ. වෙන්න මම ඉඩ තියන්නෙත් නෑ. එකාතකින් උසාවි ගානෙ මේවට රස්තියාදු වෙනවට වඩා මෙහෙම වෙච්ච එක හොඳයි”

මං උන්නෙ එකාතකින් නාද්‍යාව මගෙ පපුවට තුරුලු කරගෙන විටින් විට හීන්සැරේ එයාගෙ කෙස් ඉඹින ගමන්. ඒ කෙස් ගස් අස්සෙන් මට ආවෙ වයිෆ් කෙනෙක්ගෙ ආදරේ අස්සෙ තැවරිච්ච අම්මා කෙනෙක් සුවඳ, උණුහුම.

“සනා කවදහරි මැරිකරද්දි අම්මා කෙනෙක් වගේ කෙල්ලෙක් හොයාගන්න බලන්න” කියලා තාත්තා ඉස්සරම දවසක කිව්ව කතාවක් මට මතක් උනේ ඒ සුවඳ එක්ක.

“අම්මා කෙනෙක් වගේ කෙල්ලෙක්ව නෙවිනෙ තාත්තා බඳින්නෝන වයිෆ් කෙනෙක් වගේ කෙනෙක්නෙ. අම්මා කෙනෙක් වගේ කෙනෙක් බඳින්න මොකෝ මං දරුවෙක්ද?”

“නෑ සනාට දැන් නොතේරුණාට තව කල් යද්දි තේරේවි. පිරිමි අපි හිතන් උන්නට අපි හරි ස්ට්‍රෝන්ග් කියලා එහෙම නෑ සනා. වී ආර් වෙරි සෙන්සිටිව්, ෆ්‍රජයිල් කම්පෙයාර්ඩ් ටු විමෙන්. පිරිමි කියන්නෙ හරි පොඩි දේවල් වලින් පවා හිත රිද්දගන්න, වට්ටගන්න මිනිස්සු. ඒක එලියට නොපෙනන බව ඇත්ත. කසාද බඳින ගොඩක් පිරිමි බලාපොරොත්තු වෙනවා තමන්ගෙ වයිෆ් තමන්ගෙ ජීවිතේ ඇතුලෙ එක එක විදියෙ රෝල්ස් රඟපායි කියලා. අම්මා කෙනෙක් කියන්නෙ ඒකෙන් එකක්. ප්‍රධානම එකක්. සනාටත් මැරි කරාම තේරේවි තමන්ව බලාගන්න, තමන් ගැන හොයලා බලන අම්මා කෙනෙක් වගේ වයිෆ් කෙනෙක් ජීවිතේ ඉන්න එක කොච්චර හොඳද කියලා”

මම අවුරුදු ගාණක් ලෝකෙට පෙන්නුවේ හරිම දරුණු, හයිය මිනිහෙක් කියලා වුණත්, ඇත්තටම මම උන්නෙ මගෙ අම්මා මාව රිජෙක්ට් කරපු වේදනාව එක්ක දරුණු විදියට හිත අස්සෙන් බිඳිලා කියලා මට තේරුණේ නාද්‍යා හීන් සැරේ ඒ හිඩැස් අස්සෙ ආදරේ මල් පැල කරද්දි. ඒ ආදරේ හන්දා මේ තරම් නිදහස් බවක් ජීවිත  මට කවදාවත් දැනිලා තිබ්බෙ නෑ. හැම වෙලාවකම මාව අල්ලගන්න, මාව ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම තමයි මගේ මුළු ජීවිතේටම අවශ්‍ය වෙලා තිබුණේ කියන එක මට තේරුණේ නාද්‍යා මාව හයියෙන් අල්ලගෙන ඉද්දි. මේ තුවාලය හින්දා මට දුර්වල වෙන්න සිද්ධ වුණත්, ඒ දුර්වලකම නාද්‍යා ළඟදි මට ලැජ්ජාවක් වුණේ නෑ. එයාට මාව බලාගන්න සිද්ධ වෙච්ච එක ඇත්තක් උනත් මං උන්නෙ සන්තෝසෙන්. මට ආදරේ කරන ගෑනියෙක් ලඟ සන්තෝසෙන්.

අපේ තාත්තට කිව්ව විදියට “මට නොලැබිච්ච මැරේජ් ලයිෆ් එක සනාට ලැබිච්ච දවසක අයි කැන් ලීව් දිස් වර්ල්ඩ් පීස්ෆුලි” කියන හැඟීම මගෙ හිත පුරවලා තිබ්බා.

“මං ඔයාට දෙන්න පොඩි තෑග්ගක් ලෑස්ති කරලා තිබ්බා” මම කිව්වෙ නාද්‍යා මගෙ පපුවෙන් ඔලුව උස්සලා මගෙ දිහා කුතුහලෙන් වගේ බලද්දි.

“තෑග්ගක්?”

“ඔව්”

“ඇයි ඒ එකපාරටම?”

“එකපාරටම නෙවි ඇත්තටම මේ සිද්දිය වෙන්න කලිනුත් මං ඒක ප්ලෑන් කරලා තිබ්බෙ”

“මොකද්ද තෑග්ග?”

“ඒක සප්‍රයිස් එකක්”

“සප්‍රයිස් එකක්?”

“ඔව්”

“අනේ මේ හාට් ඇටෑක් හැදෙන සප්‍රයිස් නම් දෙන්න එපා හොඳේ”

“ඒක මට පොරොන්දු වෙන්න බෑ. සමහරවිට ඔයා මා එක්ක තරහ වෙන්නත් පුලුවන්. එහෙම නැත්තම් හාට් ඇටෑක් හදාගන්නත් පුලුවන්”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles