සෑම වසරක්ම අපට වර්ධනය වීමට සහ යහපත් මාර්ගයකට අපව යොදවා ගැනීමට නව අවස්ථාවක් ලබා දෙනවා. නමුත් ශක්තිමත් සහ වාසනාවන්ත වසරක් පහසුවෙන් පැමිණෙන්නේ නැහැ.එය පැමිණෙන්නේ ඔබේ සූදානම් වීම සහ සැලසුම් කිරීම අනුවයි. නමුත් මේ සූදානම් වීම සහ සැලසුම් කිරීම යනු අධිෂ්ඨානශීලි වීම පමණක්ම නොවේ. එය බොහෝවිට රඳා පවතින්නේ ඔබේ වර්ධනයට සහාය වන මානසිකත්වයක් , දිශාවක් සහ යහපත් ජීවන රටාවක් මතයි.මේ ලිපිය ඔබ නව වසරට සූදානම් විය යුතු ආකාරය ගැනයි.
ඔබේ වර්තමාන ජීවන අවධිය තේරුම් ගන්න
අද ඔබ සිටින්නේ කොතැනදැයි ඔබ දන්නා විට සැලසුම් කිරීම පහසු වනවා.ඒ නිසා සියල්ලටම පෙර ඔබේ ජීවන තත්ත්වය තේරුම් ගැනීමට මොහොතක් ගන්න.
මම මේ මොහොතෙහි සිටින්නේ ජීවිතයේ කුමන අවධියකද?
මගේ ජීවිතයේ මට තවත් අවශ්‍ය කුමක්ද?
මගේ ජීවිතයේ මට අඩුවෙන් අවශ්‍ය කුමක්ද?
මගේ ජීවිතයේ මට අවශ්‍ය නැති දේ මොනවද?
ඔබේ වර්තමාන අවධිය ඔබේ අනාගත මාවතට මඟ පෙන්වනවා. ඔබ ඔබව තේරුම් ගත් විට, ඔබට වෙනත් කෙනෙකුගේ අපේක්ෂාවන්ට නොව ඔබේ සැබෑ අවශ්‍යතාවලට ගැලපෙන නව වසරක් සැලසුම් කළ හැකි වෙනවා.
නව වසර සඳහා තේමාවක් හෝ දැක්මක් සකසන්න
ඔබ ඉලක්ක සහ කාර්යයන් ලිවීමට පෙර, තේමාවක් හෝ දැක්මක් සකස් කරන්න . තේමාවක් යනු ඔබට අවශ්‍ය වසර නියෝජනය කරන වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයකි.
වර්ධනය
විනය
සුව කිරීම
විශ්වාසය
ස්ථාවරත්වය
නව ආරම්භයන්
හොඳ තේමාවක් ඔබට හොඳ මගපෙන්වීමක් ලබා දෙනවා. 2026 දී ඔබට ව්‍යාකූල බවක් හෝ අහිමි වීමක් දැනෙන විට, තේමාව ඔබ ගොඩනඟන දේ ඔබට මතක් කර දෙනවා. එය ඔබේ ජීවිතයේ ඔබ ගන්නා සෑම විශාල හෝ කුඩා තීරණයක් සඳහාම මඟ පෙන්වන ආලෝකය බවට පත් වෙනවා.
ඔබේ ශක්තීන් සහ දුර්වල ප්‍රදේශ හඳුනා ගන්න
බොහෝ අය ඔවුන්ගේ දුර්වලතා කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා. නමුත් ඔබේ ශක්තීන් ද ඔබේ සීමාවන් තරම්ම වැදගත් වනවා.ජීවිතයේ අලුතින් ඉදිරියට යාමට ඔබේ ශක්තීන් භාවිතා කර, පියවරෙන් පියවර ඔබේ දුර්වල ප්‍රදේශ මගහැරවා ගන්න ඔබට පුළුවන්.
2025 දී මට උපකාර කළ කුසලතා හෝ ගුණාංග මොනවාද?
මට දියුණු වීමට බාධා කළ පුරුදු මොනවාද?
මට වඩා යහපත් වීම සඳහා අවශ්‍ය කුමක්ද?
ඔබ ඔබ ගැන පැහැදිලිව දන්නා විට, ඔබට වඩා හොඳ තේරීම් කළ හැකි වනවා. සරලවම ඔබ පිළිබඳව ඇති දැනුවත්භාවය යනු ඔබේ දියුණුවේ ආරම්භයයි.
සරල, නම්‍යශීලී ක්‍රියාකාරී සැලැස්මක් සාදන්න
සැලසුම් කිරීම සංකීර්ණ විය යුතු නැති අතර ඒ සඳහා ඔබට දිගු ඉලක්ක ලැයිස්තුවක් අවශ්‍ය වන්නේද නැහැ.සරලව ආරම්භ කර ඔබේ වසර කොටස් වලට වෙන්කර සැලසුම් කිරීම ඔබට කළ හැකියි.
දිගුකාලීන සැලැස්ම – 2026 දෙසැම්බර් වන විට ඔබට අවශ්‍ය දේ
කෙටිකාලීන සැලැස්ම – මාසික සහ කාර්තුමය ඉලක්ක
දෛනික හෝ සතිපතා පුරුදු – කුඩාම ක්‍රියා
මෙම ව්‍යුහය ඔබව සමබරව තබා ගන්නවා මෙන්ම ජීවිතය වෙනස් වුවද, ඔබට ඔබේ සැලැස්ම සකස් කර ඉදිරියට යා හැකිය. නම්‍යශීලී බව පරිපූර්ණත්වයට වඩා බලවත් බව එහිදී ඔබට වැටහෙනු ඇත.
පියවරෙන් පියවර ඔබේ ජීවන රටාව වැඩි දියුණු කරන්න
ඵලදායී සහ සාමකාමී වසරක් සැමවිටම පැමිණෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකිනි. ඔබේ ශරීරය, මනස සහ අනාගතයට සහාය වන ජීවන රටා පුරුදු කෙරෙහි වැඩි වශයෙන් ඔබේ අවධානය යොමු කරන්න
සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම
වඩා හොඳ නින්දක් ලබා ගැනීමේ පුරුද්ද
ව්‍යායාම කිරීම
ජර්නල් කිරීම සහ සැලසුම් කිරීම
ඩිජිටල් ඩෙටොක්ස්
ඔබේ මානසික නිදහසට බාධා නොකරන පුද්ගලයන් සමග කාලය ගත කිරීම
ඔබේ ජීවන රටාව යහපත් වූ විට, ජීවිතයේ අනෙක් සෑම අංශයක්ම ස්වභාවිකවම දියුණු වීම ආරම්භ වෙනවා.
ඔබේ මුදල් සහ වගකීම් සූදානම් කරන්න
මුදල්, වගකීම් සහ කැපවීම් ඔබේ සතුටට සහ සාමයට බලපෑම් කරනවා.එබැවින් 2026 දී ඔබ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ගැන සිතීමට පටන් ගත යුතුයි.
සැලසුම් කරන්න
ඉතුරුම් සහ ආයෝජන
හදිසි අවස්ථා
වෘත්තීය වර්ධනය හෝ ආදායම් වැඩිවීම
අනවශ්‍ය වියදම් අඩු කිරීම
සාමකාමී මූල්‍ය ජීවිතයක් ඔබට නිදහස ලබා දෙන අතර එය ඔබේ ආතතිය අඩු කරමින් ඔබේ සිහින කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනවා.
පුද්ගලික සහ චිත්තවේගීය වර්ධනය සඳහා අවකාශයක් නිර්මාණය කරන්න
ඔබ ඔබේ වසර සැලසුම් කරන අතරතුර ඔබ වෙනුවෙන්ද අනිවාර්යයෙන්ම ඉඩක් ලබා දිය යුතුයි.මෙහිදී ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය පිළිබඳව මෙන්ම නිදහසේ ගත කිරීමට කාලයක් ද සැලසුම් කිරීම ද කළ යුතු වනවා.ස්වයං රැකවරණය සඳහා , විවේකය සඳහා ,සංචාර සහ නව අත්දැකීම් සඳහා,නව විනෝදාංශ ගොඩනගා ගැනීම සඳහා සහ නිර්මාණශීලී දේවල් වලට යොමු වීමටද ඔබ අනිවාර්යෙන්ම කාලයක් වෙන්කළ යුතුයි.
නව වසරක් යනු ඔබට ඔබේ ජීවිතය නැවුම් බවකින් යුතුව ආරම්භ කිරීමට ලැබෙන හොඳම අවස්ථාවයි.එය ගත කරන්නේ කෙසේද යන්න තීරණය කළ යුතු වන්නේ ඔබම වන අතර හොඳ සැලසුම් කිරීමක් සහ ඉලක්ක තබා ගැනීම මගින් ඵලදායී වසරක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.











