නව වසර නැවුම්ව අරභන්න මේ ටිප්ස් අනුගමනය කරන්න

අලුත් අවුරුද්ද යනු නැවුම්ව ආරම්භ කිරීමට, ඉලක්ක තබා ගැනීමට සහ පුද්ගලික සහ වෘත්තීය වර්ධනය සඳහා සැලසුම් කිරීම සඳහා ඔබට ලැබෙන හොඳ අවස්ථාවක්.අලුත් ආරම්භයක් සඳහා විශාල වෙනස්කම් අවශ්‍ය නොවන අතර කුඩා, කල්පනාකාරී පියවර කිහිපයක් මගින් කාලයත් සමඟ ඔබට ඔබේ ජීවිතයේ විශාල වෙනසක් ඇතිකර ගන්නට පුළුවන්. නව වසර හොඳින් ආරම්භ කිරීමට ඔබට උපකාරී වන උපදෙස් කිහිපයක් ගැනයි මේ ලිපිය.

පසුගිය වසර ගැන සිතන්න

නව වසරේ ඉදිරියට යාමට පෙර, පසුගිය වසර දෙස ආපසු හැරී බලන්න. ඔබෙන්ම මෙසේ අසන්න,

ලබාගත් ජයග්‍රහණ මොනවද ?

වැදගත් පාඩම් ඉගැන්වූ අභියෝග මොනවාද?

මගේ ගමන් මග අඩාළ කළ පුරුදු මොනවද ?

මගේ ගමන් මග වේගවත් කළ හොඳ පුරුදු මොනවද?

මේ කරුණු පිළිබඳව සිතීම ඔබට ඔබේ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට සහ අනාගතයේදී වඩාත් හොඳ තේරීම් කිරීම සඳහා ඔබට උපකාරී වනවා. 

පැහැදිලි සහ යථාර්ථවාදී ඉලක්ක තබා ගන්න

නොපැහැදිලි ඉලක්ක අනුගමනය කිරීම සැබවින්ම දුෂ්කර කාර්යයක්. එම නිසා ඔබට සපුරා ගත හැකි , ඔබේ දාරිතාවට ගැලපෙන පැහැදිලි සහ සරල ඉලක්ක නව වසරේදී තබා ගන්න.

උදාහරණයක් ලෙස ,

  • දිනකට විනාඩි තිහක් ඇවිදීම
  • දිනකට වතුර ලීටර් තුනක් පානය කිරීම
  • උදෑසන හතරට අවදි වීම
  • දිනකට පැයක් පොතක් කියවීම

ආදී පැහැදිලි ඉලක්ක තබා ගැනීමෙන් ඒවා සාමාන්‍ය පුරුදු බවට පත් වී ඔබේ දවස ඵලදායී වනවා.එහි අර්ථය නම් ඔබේ සම්පූර්ණ වර්ෂයම ඔබ එම පුරුදු පවත්වා ගෙන තෘප්තිමත් හැඟීමකින් යුතුව වර්ෂය අවසාන කළ හැකි වන බවයි.

දෛනික චර්යාවක් සාදන්න

දෛනික චර්යාවක් ඔබට ස්ථාවරව හා සංවිධානාත්මකව සිටීමට උපකාරී වනවා.ඔබව ජව සම්පන්න සහ ප්‍රබෝධමත් කරන පුරුදු කිහිපයකින් ඔබේ දවස ආරම්භ කරන්න.

උදාහරණයක් ලෙස,

  • ජර්නල් කිරීම
  • ව්‍යායාම කිරීම
  • පොතක් කියවීම
  • කෝපි කෝප්පයක් පානය කිරීම
  • එළිමහනේ ඇවිදීම

ආදී පුරුදු කිහිපයකින් ඔබට ඔබේ දවස ආරම්භ කළ හැකියි. මෙවැනි පුරුදු උදෑසන කාලයේදී ඔබේ මනස සන්සුන් කරන අතර දවස පුරාම ඔබට අවදානයෙන් සිටීමට සහ ආතතියෙන් වැළකී සිටීමට උපකාරී වනවා.නමුත් දවස ඇතුළත කෙටි විවේක කාලයක් ලබා ගැනීමටද ඔබ මතක තබා ගත යුතුයි.එය ඔබව අධික ලෙස වෙහෙසට පත් වීමෙන් සහ ආතතියට පත් වීමෙන් වළක්වනවා.

ඔබේ අවකාශය පිරිසිදු කර සංවිධානය කරන්න

පිරිසිදු පරිසරයක් සහ අවකාශයක් අවධානය සහ සන්සුන් භාවය වැඩි දියුණු කරනවා.ඔබේ නිවස,කාර්යාලය සහ ඔබ ජීවත් වන, නිතර සැරිසරන අවකාශය හොඳින් සංවිධානය කර පෙර වසරට වෙනස් ආකාරයකට සැලසුම් කර තබන්න.ඔබේ අවධානය වෙනතකට යොමු කරන හෝ ආතතියට පත් කරන දේවල් ඉවත් කරන්න. ඔබේ අවකාශය වඩාත් අභිප්‍රේරණයෙන් හා ධනාත්මකව දැනීම සඳහා නිරන්තරයෙන්ම එය පිළිවෙලට තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.ඔබේ වටපිටාව ඉතා හොඳින් සංවිධානය කර ඇති විට, ඔබේ ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට පහසු වනවා.

ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

සියලු ප්‍රගතිය සඳහා පදනම වන්නේ ඔබේ සෞඛ්‍යයයි.ඒ සඳහා,

  • හොඳින් ආහාර ගැනීම
  • දිනපතා ව්‍යායාම කිරීම
  • ප්‍රමාණවත් ලෙස නින්දක් ලබා ගැනීම

අතිශයින්ම වැදගත්.

ආතතිය අඩු කර ගැනීම සඳහා සිහිකල්පනාව හෝ සරල හුස්ම ගැනීමේ අභ්‍යාස දිනකට කෙටි වේලාවක් පුහුණු  වන්න. අධික ලෙස වැඩ කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය විට “නැහැ” කීමට වග බලා ගන්න. ඔබේ ශරීරය සහ මනස නිරෝගීව සිටින විට, ඔබේ ඉලක්ක කරා ළඟා වීමට පහසු වන නිසා නිරන්තරයෙන්ම ඔබේ සෞඛ්‍ය මනා ලෙස පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

ප්‍රගතිය නිරීක්ෂණය කර සකස් කරන්න

ඔබේ ප්‍රගතිය පරීක්ෂා කිරීම ඔබව වඩ වඩාත් අභිප්‍රේරණය කරනවා.ධනාත්මකව සිටීම සඳහා ඔබේ කුඩා සාර්ථකත්වයන් පවා අගය කිරීම සහ සැමරීම වැදගත්. යමක් ක්‍රියාත්මක නොවන්නේ නම්, ඒ සඳහා ඔබ ලබා ගත් ප්‍රවේශය වෙනස් කර බලන්න. කුඩා පියවර පරිපූර්ණත්වයට වඩා වැදගත් වන බව මතක තබා ගන්න. සැලසුම් කළ පරිදි දේවල් සිදු නොවන විට පවා නම්‍යශීලී වීම ඔබට ඉදිරියට යාමට උපකාරී වනවා.

ඉගෙනීම සහ වර්ධනය වීම පවත්වා ගෙන  යන්න

නව කුසලතා ඉගෙන ගැනීමට සහ දැනුම ලබා ගැනීමට අලුත් අවුරුද්ද ඉතාම හොඳ අවස්ථාවක්.

ඒ සඳහා,

  • පොත් කියවීම 
  • පාඨමාලා සඳහා යොමුවීම 
  • වැඩ මුළු වලට සහභාගී වීම
  • ඔබේ විෂයෙහි ප්‍රමුඛයන් සමඟ සම්බන්ධ වීම

ඔබට කළ හැකියි. ඔබව දියුණු කර ගැනීමට සහ ඔබේ මනස පෝෂණය කර ගැනීමට හැකි ඕනෑම පියවරක් සඳහා යොමු වීමට ප්‍රමාද නොවන්න. ඉගෙනීම සහ දැනුම ලබා ගැනීම ඔබේ විශ්වාසය සහ නව අභියෝග හැසිරවීමේ හැකියාව නිරන්තරයෙන් වැඩි කරනවා.

අලුත් අවුරුද්දේ නැවුම් ආරම්භයක් යනු පැහැදිලිව සිතීම, හොඳින් සැලසුම් කිරීම, ස්ථාවර ක්‍රියාමාර්ග ගැනීම සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමයි. එහිදී ඔබට මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තරම් ඔබට ආත්ම විශ්වාසයක් තිබිය යුතු අතර එයද ඔබට මේ නව වසරේදී ක්‍රම ක්‍රමයෙන් ගොඩනඟා ගත හැකියි. අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව ,උත්සාහය සහ කැපවීමයි.

Related Articles

Don't Miss


Latest Articles