රසට කන ගමන් හැඩට ඉන්නෙ කොහොමද?

“ආහාර කියන්නෙ කලාවක්. ඔබ ඒ කලාව රසවිඳිය යුතුමයි” කියල කියමනක් තියෙනව ඔබ සමහරවිට අහල ඇති. 

මේ කියමන ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා අනුගමනය කරන ගුණදායක කෑම බීම වලටත් එක විදිහටම වලංගුයි.

විවිධ ලෙඩ රෝග අවම කරගන්න සහ සිරුරේ බර අවම කරගෙන හැඩැති සිරුරක් පවත්වා ගන්න ආහාර පාලනය කරන්න බොහෝ දෙනෙක්ට අවශ්‍ය වුනත් එයට වැඩිදෙනෙක් අකමැති ගුණදායක ආහාර වල කිසිම රසයක් නෑ කියන විශ්වාසය නිසයි.

ඉතිං ඒම නොවී රසට කන ගමන් හැඩට ඉන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

හොඳ දේවල් වැඩියෙන් කන්න

ඔබ බර අඩු කරගන්න හිතාගෙන කෑම පාලනය කරන කෙනෙක් නම් වැඩියෙන් ආහාර ගන්න කියන කියමන ගැන ඔබ දෙපාරක් හිතනව ඇති. 

ඒ වගේම ආහාර පාලනය කරද්දි අපිට මුහුණදෙන්න වෙන අභියෝගයක් තමයි නිතරම එන බඩගින්න. 

ඔන්න අපි ඔබට මතක් කරන්න කැමතියි දවසට වේල් තුනක් වගේම කෙටි ආහාර වේල් දෙකක් පමණ ආහාරයට ගත්තට කිසිම වරදක් නැහැ. හැබැයි ඔබ අනිවාර්‍යෙන් මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනව. ඒ තමයි මේ ආහාර වේල් වල අඩංගු විය යුත්තේ ගුණදායක ආහාර වීම නම් අනිවාර්‍ය බව.

එහෙම නැතුව ගැඹුරු තෙල් වල බඳින ලද, අධික පිෂ්ඨය සහ සීනි අඩංගු ක්ෂණික ආහාර සහ පැණිරස ආහාර ප්‍රධාන ආහාර වේල් ලෙස හෝ කෙටි ආහාර වේල් ලෙස එක්කර ගැනීම ඔබේ හැඩැති සිරුරේ සිහිනය ඔබෙන් ඈත් කරනවා. 

මාළු, එළවළු, පළා වර්ග වගේම පළතුරු වල ගුණදායක බව ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑනෙ. නමුත් පළතුරු වල සීනි අඩංගු බව අපි මතක තියාගන්න ඕන. ඒ නිසා පළතුරු ආහාරයට ගද්දි අඩුවෙන් ආහාරයට ගන්නත් බීම සදා පානය කිරීම හැකිතරම් සීමා කරන්නත් අවශ්‍යමයි. 

රසට කන්න

ඔබ දන්නවද කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අඩංගු ආහාර නැවත නැවත ආහාර ගන්න අපේ මොළය උත්තේජනය කිරීම සිදුකරනවා. අපි කොච්චර කෑවත් අපේ බඩ පිරිල නෑ කියල අපිට දැනෙන්නෙ එතකොටයි. ඒ වගේම ඉක්මණින් බඩගිනිත් එනව.

හැබැයි ප්‍රෝටීන වැඩිපුර අඩංගු ආහාර පොඩ්ඩක් ආහාරයට ගත්තත් අපේ බඩ පිරිල කියල අපිට දැනෙනව. තවත් කන්න බෑ කියල අපේ මොළයෙන් සංඥා නිකුත් කරනව.

අන්න ඒ නිසයි අපි නොදැනුවත්වම පිෂ්ඨය සහිත ආහාර වලට අපිව ඇඳී යන්නෙ සහ ඇබ්බැහි වීම සිදුවෙන්නෙ. 

එළවළු සහ පළා වර්ග වල කාබෝහයිඩ්‍රේට් වලට වඩා අඩුයි කියලනෙ අපි හිතන්නෙ. ඒ නිසා සමහරවිට ඔබේ පෝඩ්ඩෝ ඒ ආහාර කන්න අදිමදි කරනව ඇති.

ඉතිං හැමදාම එකම විදිහට නැතුව විවිධ ක්‍රම වලට එළවළු පලතුරු කෑමට ගන්න විදිහ හොයල බලන්නකෝ. අන්තර්ජාලය වගේම අපේ විවිධ ලිපි කියෙව්වොත් ඔබට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. 

ඇස පිනවන ගමන් සුවඳට උයන්න

ආහාර ගනිද්දි මුලින්ම ආහාර වල රස දැනෙන්න කලින් අපි ආහාර වල පෙනුම වගේම ආහාර වල සුවඳත් විඳිනව. 

අපි තෙල් සහිත ක්ෂණික ආහාර වලට වැඩිපුර ආස වෙන්නෙත් ඒ නිසයි. 

හැබැයි අපිට නිවසේදීම පිළියෙල කරගන්න ආහාර වර්ණ ගලපල අපිට ආවේණික කුළුබඩු යොදාගෙන ලස්සනට පිළිවෙලට සහ පිරිසිදුවට පිළිගන්වන්න පුළුවන් නම් ඔබේ හිත ඒ කෑම වලටත් අනිවාර්‍යෙන් කැමති වෙනව වගේම නැවත නැවත ආහාර පිළියෙල කරන්නත් ඔබට ආසාවක් ඇතිවෙනව. 

හොඳට වතුර බොන්න

අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසි ආකාරව සිද්ධ වෙන්න වගේම, සමට ප්‍රාණවත් සහ දීප්තිමත් පෙනුමක් ලබාදෙන්නත් ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය නිසි ආකාරව ලබා ගැනීම අනිවාර්‍යයි. 

ටික ටික නිතරම වතුර බීම ඉතාම සාර්ථකයි. ඔබට නිතරම වතුර බොන්න අපහසු නම්, අප්‍රියතාවයක් හෝ අකමැත්තක් තියෙනව නම් smart lady අපේ detox water ගැන පළවුනු ලිපිය කියවල බලන්නකෝ. ඒ ලිපිය ඔබට මේ ගැටළු වලට හොඳ උපකාරයක් කරයි කියල අපිට විශ්වාසයි. 

ව්‍යායාම කරන්න අමතක කරන්න එපා

ව්‍යායාම කරන්න කොහෙද වෙලාවක් කියල ඔබට හිතෙනවද?

දවසකට පොඩි වෙලාවක් ඇවිදීම, දිවීම, පිහිනීම වගේම බයිසිකල් පැදීම කියන්නෙත් ව්‍යායාමම තමයි. ඉතිං ඒ සඳහා සුළු වේලාවක් හෝ වෙන් කිරීම ඔබේ කැලරි දහනය සඳහා වගේම මාංශපේෂී වලට හැඩය පවත්ව ගන්නත් හොඳ උදව්වක්.

ඒ නිසා ඔබට ශරීර සුවතා මධ්‍යස්ථානයකට යන්න එහෙමත් නැත්නම් නිවසේදී ව්‍යායාම කරන්න වෙලාවක් නැත්නම් අපි ඉහත සඳහන් කරපු සුළු ව්‍යායාම වගේම කාර්‍යාලයේදී විටින් විට නැගිටල ඇවිදල අඩුතරමින් වටයක් දෙකක් යෑම නම් අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරනවා. 

 ඉතිං ඔන්න මේ පියවර අනුගමනය කලොත් බඩ පිරෙන්න කන ගමන් හැඩට ඉන්න ඔබටත් පුළුවන්.

ඒ නිසා මේ පියවර උත්සහ කරල බලන්නකෝ. අපිත් එක්ක ඔබේ ප්‍රතිඵල බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යාරසට කන ගමන් හැඩට ඉන්නෙ කොහොමද?

Related Articles

Don't Miss


Latest Articles