ඒ මනුස්සයා උන්නෙ මාව මිරිකන ගමන්.
මං උන්නෙ එයාගෙ පපුවට ඔලුව තියාගෙන. ඒ කෙනා කවුද කියන එක මම දැනගෙන උන්නෙ නැති උනත්, ඒ පපුව ගැහෙන තාලෙ, ඒ ඇඟේ තිබ්බ උණුහුම, මට දැනුනෙ හරිම හුරුපුරුදුයි වගේ. ඒ අත් අස්සෙ මිරිකෙන එක කොච්චර වේදනාවක් උනත්, මගේ හිත අස්සෙන් මං ඒ වේදනාව ලැබෙනකම් බලාගෙන උන්නාය කියන එක මට තේරුණා.
ඒක අමුතුම හැඟීමක්.
මට පැනලා යන්න පුළුවන් වෙලාවක් තිබ්බා. මට එයාගෙන් අයින් වෙන්නත් පුළුවන් වෙලාවක් තිබ්බා. හැබැයි මං ඒ දෙකෙන් එකක්වත් කරේ නෑ.
මං කරේ තව තදට ඒ පපුවට ඔලුව තද කරගන්න එක.
හරියට මට ඒ වේදනාව අයිති වෙලා තියෙනවා වගේ. හරියට මට ඒ මිරිකීම නැතිවුණොත් වැඩක් නෑ වගේ. මට හුස්ම ගන්න ටිකක් අමාරුයි. එයාගෙ අත් තද වෙලා, මගේ පිට, මගේ උරහිස, මගේ අත පුදුමාකාර විදියට රිදෙන ගමන් තිබ්බෙ. හැබැයි ඒ වේදනාවෙන් මට පැනලා යන්න හිතුන නෑ.
මට හිතුණේ “තව ටිකක්” කියලා.
ඒ මොහොත දිගු කරගන්න. ඒ අත් තද වෙන හැඟීම තව ටිකක් දැනෙන්න මට ලොකුවටම ඕන වෙලා තිබුණා.
මොකද ඒ අත් අස්සෙ තිබ්බේ නිකන් මිරිකීමක් විතරක් නෙවෙයි. ඒ අස්සෙ තිබ්බේ අයිතියක් වගේ දෙයක්. හරියට ඔයා මගෙයි කියලා කියන හැඟීමක්. ඒක මට බය හිතෙන එකක් වෙන්න ඕන. හැබැයි මට බය හිතුණේ නෑ. මට හිතුණේ මට ඒක මීට කලින් කවදාහරි දැනිලා තියෙනවා කියලා.
මගේ අත හෙමින් එයාගෙ ඇඳුම අල්ලගත්තා. මට ඒක නවත්තන්න ඕන උනත් මට ඒක කරන්න පුළුවන් වුනේ නෑ. මට තේරුණා මං මේ අල්ලගෙන ඉන්නෙ ඒ මනුස්සයාව නෙවෙයි.මං අල්ලගෙන ඉන්නෙ මට අතහැරලා දාන්න බැරි වෙච්ච මොකක් හරි දෙයක් කියන එක.
හුස්ම ටික ටික තද වුණා. හදවත ගැහෙනවා මගේද, එයාගෙද කියලා හඳුනාගන්න බැරි තරම්.
අන්න ඒ වෙලාවෙ තමයි මට ඇත්තටම රියලයිස් වුණේ
මට මේ වේදනාව හුරුයි.
මට මේ උණුහුම හුරුයි.
ඒත්…
මේ දෙකම එකම කෙනාගෙන් ලැබුණාද කියන එක.
“ඔයා තාමත් මාව අත් ඇරලා ගිහින් නෑ…”
ඒ හඬ හරිම හෙමින්, හුළඟ අස්සෙන් කපාගෙන එනවා වගේ මට ඇහුණා. හරියට මගේම හිත අස්සෙ හිරවෙලා හිටපු කවුරුහරි කතා කරනවා වගේ.
“මම කවදාවත් ගියේ නෑ මේඝා.”
“එහෙනම් ඇයි මට ඔයාව අල්ලගන්න බැරි?” මම වෙවුලන කටහඬකින් ඇහුවා.
“ඔයා මේ අල්ලගන්න හදන්නේ මාවද… නැත්තං ඔයාට නැතිවෙච්ච මතකයක්ද?”
මම කතා කරන්න උත්සාහ කළා. ඒත් වචන එළියට එන්නේ නෑ. හුස්ම ගන්නත් අමාරුයි. හරියට මගේ පපුව මැදින් කවුරුහරි අතක් දාලා ඒක තද කරලා මිරිකගෙන ඉන්නවා වගේ දැනුණා.
“මට… මට තේරෙන්නේ නෑ…” මම ගොත ගහන ගමන් කිව්වා.
“ඔයාට තේරෙනවා. ඔයා බය ඒක පිළිගන්න විතරයි.”
“මම බය නෑ…!”
“එහෙනම් ඇයි ඔයා තාමත් දුවන්නේ?”
ඒ ප්‍රශ්නය හුළඟ අස්සෙන් තවත් තදට ඇවිත් මගේ කන් අඩිවල හැප්පුණා. ඒකෙන් පැනලා යන්නත් බෑ, උත්තර දෙන්නත් බෑ. අන්න ඒ වෙලාවේ තමයි මට දැනුණේ… මම ඇත්තටම දුවනවා කියලා.
මට ඇස් ඇරලා නෑ. ඒත් මට හැමදේම පේනවා. මම හිටියේ මහා කන්දක් උඩ. අහස සම්පූර්ණයෙන්ම අඳුරුයි. වලාකුළු එකට එක හැප්පෙනෙවා, හරියට ලෝක විනාස වගේ.
කුණාටුවක්.
ඒත් ඒක එළියෙන් තිබ්බ කුණාටුවක් විතරක් නෙවෙයි.
ඒක මගේ හිත ඇතුළේ තිබ්බ කුණාටුවක්.
හුළඟ හෝ හෝ කියලා කෑගහනවා. ඒ සද්දෙ ඇතුළේ තවමත් ඒ කටහඬ අතන මෙතන පාවි පාවි තිබුණා. මට ඕන උනා ඒ කටහඬ කාගෙද කියලා දැනගන්න. ඒ කටහඬ අයිති කෙනාව දන්නවා කියන එක හොඳාකාරවම තේරුණත් ඒ කෙනා හරියටම කවුද කියන එක මට ඒ කුණාටු සද්දෙ අස්සෙ අඳුරගන්න පුළුවන් වුණේ නෑ.
මම හිටියෙ දුවන ගමන්. පිස්සුවෙන් වගෙ විකාරෙන් වගේ දුවන ගමන්. එක වෙලාවකට කාගෙන් හරි බේරෙන්න වගේ දුවන ගමන්, තව වෙලාවකට කාව හරි අල්ලන්න වගේ දුවන ගමන්. ඒත් ඒ කාගෙන්ද, කාවද කියන එක මට ඇත්තටම හිතාගන්න පුළුවන් වුණේ නෑ.
මං හිටියෙ දිගම දිග සුදු ඇඳුමක් ඇඳගෙන. ඒ ඇඳුම හුළඟට අල්ලලා මාව පිටිපස්සට ඇදෙනවා. හරියට ඒක මට අයිති නැති දෙයක් වගේ. මට ඒක ගලවලා දාන්න ඕන වුණත්, මට ඒක කරන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒක මනමාලියෙක් අඳිනවා වගේ ඇඳුමක්. Wuthering Heights ෆිල්ම් එකේ කැතරින් ඇඳගෙන ඉන්නවා වගේ සුදු දිග ගවුමක්.
මගේ අතේ තිබුණා මල් බොකේ එකක්. ඒක ලස්සනයි. හරිම ලස්සනයි. හරියට මං කවදහරි මනමාලියක් වෙන දවසක අරගන්නවා කියලා හිතාගෙන පින්ටරස්ට් එකේ පින් කරලා තිබ්බ මල් බොකේ එකක් වගේ එකක්මයි. මීට අවුරුදු ගාණකට කලින් මතින්ද්‍ර මගෙ ජීවිතෙන් ගියාට පස්සෙ මං අමතක කරපු මනමාලි මතක අස්සෙ දූවිලි කකා තිබ්බ මල් බොකේ එකක් වගේ එකක්.
“ඔයා තාමත් ඒක අල්ලගෙන ඉන්නෙ…” අර කටහඬ ආයෙ කිව්වා.
“මේක මගේ…” මම කෑගැහුවා.
“නෑ… ඒක ඔයාට අයිති වෙච්ච දෙයක් නෙවෙයි. ඔයා ඒක අල්ලගෙන ඉන්නේ ඒක නැතිවෙලා යනවා කියලා ඔයාටම ඔප්පු කරගන්න.”
හුළඟ තද වුණේ අන්න ඒ වචන එක්ක.
ඒ හුළඟ එක්ක මගෙ අතේ තිබිච්ච බොකේ එකෙ මල් වල පෙති එකින් එක ගැලවි ගැලවි ගිහින් අර අන්ධකාර කුණාටුව අස්සෙ හැංගිලා ගියා.
අන්න ඒ කුණාටුව අස්සෙ මට ආයෙ පාරක් ඇහුණා කවුරු හරි මගේ නම කියලා කෑගහනවා. මම දුවගෙන දුවගෙන ගියේ ඒ කටහඬ ඇහුනා කියලා මට හිතිච්ච පැත්තට. ඒ පැත්ත හරි පැත්තද කියලා නොදන්නවා උනත් ඒ පැත්ත හරි පැත්ත කියලා මට හිතිච්ච හන්දා මම ඒ පැත්තට අර කුණාටුව මැද්දෙන් දුවගෙන දුවගෙන ගියා.
මම ගිහින් හැප්පුණේ කාගේ හරි පපුවක.
ඒ මොහොතේ මුළු ලෝකයම එකපාරටම සයිලන්ට් වුනා වගේ මට දැනුණා. තත්පරේකට කලින් මාව ගිලගන්න වගේ කෑගහපු අර කුණාටුව, සැර හුළඟ, අඳුරු අහස ඒ හැමදේම එකපාරටම මාව දාලා ගිහින් වගේ. ඉතිරි වුණේ ඒ පපුවෙන් ආපු උණුසුම්, තද, ඒත් හරිම හුරුපුරුදු හැඟීමක් විතරයි.
මගේ නළල ඒ පපුවට තද වෙලා තිබුණා. ඒක හරිම සන්සුන්ව ගැහෙන පපුවක්. ඒ පපුව ගැහෙන තාලෙ මට හුරුයි වගේ දැනුනට ඒ පපුව අයිති කාටද කියන එක ඇත්තටම මට අඳුරගන්න පුළුවන් වුණේ නෑ. ඒක මාව බය කරපු තැනක්ද, නැත්නම් මගේ හිත සුවපත් කරපු තැනක්ද කියලා මට හරියටම කියාගන්න පුළුවන් වුණේ නෑ. ඒත් ඒක මම හොඳටම දන්න තැනක් කියන එක මට තේරුණා.
මගේ අත් දෙක තිබුණෙ තාමත් ගැහෙන ගමන්. අතේ තිබුණ මල් බොකේ එකේ කෑලිවත් ඒ වෙද්දි ඉතුරුවෙල තිබුණෙ නෑ.
මගේ ඇස් දෙක හරිම බරයි.
ඒත් ඒ ඇස් උස්සලා බලන්න මට ලොකු බයක් තිබුණා. මොකද මම හොඳටම දැනගෙන හිටියා මම ඔළුව උස්සලා බලපු ගමන් මට ඇත්තට මූණ දෙන්න වෙනවා කියලා. ඒ ඇත්ත පිළිගන්න මම සූදානම්ද කියලා මම දැනගෙන හිටියේ නෑ.
හැබැයි හිතේ හුඟාක් ගැඹුරු තැනක මම දැනගෙන හිටියා. මම මේ ගිහින් හැප්පුණේ කාගේ පපුවටද කියලා මම හොඳටම දැනගෙන හිටියා කියන එක.
ඒත් ඒ කවුද කියන එක මටත් ඒ වෙලාවෙ ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.
මට වෙලාවකට ඕන උනා ඒ කෙනා මතින්ද්‍ර වෙන්න.
තව වෙලාවකට ඕන වුණා ඒ කෙනා හේසර වෙන්න.
මං කාවද ඇත්තටම තෝරගන්න ඕන?


