මලක් වී යළි පිපෙන්නම් – 3

0
0

නුලාරා යළි නැගී සිටියේ නිවස තුළින් උස් කටහඩවල් කිහිපයක් ඇසෙද්දීය. ඒ තාත්තාගේත්, චාරුකගේත්, අම්මාගේත් හඬ බව හඳුනා ගන්නට ඇයට බොහෝ වේලා ගත වූයේ නැත. දිගු කලක් සැමියාගෙන් වෙන්ව සිටියා බඳු හැඟීමක් නුලාරාට දැනෙන්නට වූයේ එවේලෙහිය. ඕ ඇඳෙන් පැන විසිත්ත කාමරයට දිව ගියේ අඩියට දෙකටය. තාත්තාත් ඊට යාබද පුටුවක වූ චලකත් යමක් පවසමින් උස් හඬින් සිනහසෙමින්  සිටියේය. ඊට මදක් එහාට වන්නට වූ පුටුවක අසුන්ගෙන අම්මා දෙදෙනාගේ කතා බහට සවන් දීගෙන සිටියාය. නුලාරාගේ ගමන නතර  වූයේ කෑම කාමරයට වෙන් කර තිබූ කොටසේය. මහා පිරිසක් මැද තනිවූවාක්වන් හැඟීමක් නුලාරාට දැනෙන්නට වූයේ එවේලෙහිය. චාරුක පැමිණියේනම් තමාව සොයාගෙන කෙලින්ම  කාමරයට නොපැමිණ අම්මා තාත්තා සමග කුමන කතාබහක නිරත වන්නේදැයි ඔහු සිතුවේ මදක් එහාට වන්නට වූ කෙටි බිත්තියට මුවා වී ගෙනය. ඒ් ඔහුට අම්මා තාත්තා තරම් තමා වැදගත් නොවූ නිසා විය යුතුය.  සැමියා සොයා දිව එන්නට සිය දෙකකුල් වලට වූ උවමනාව හදිසියේම තම සිතුවිලි වලින් ගිලිහී ගියාක් වන් හැඟීමක් ඇයට දැනෙන්නට විය. 

“බිස්නස් කියන්නෙ එහෙම තමයි පුතා. ලක් එක තියෙන මිනිහගෙ දියුණුව වලක්වන්න බෑ. මං ඒ දවස්වල මෙයාට නිතරම ඇවිත් කියනවා බැංකුවට නිතර ආව ගිය ඔය පුතාගේ වයසෙ දරුවෙක් ගැන. ඒ ළමයාත් අවසින් දවස දියුණු වෙන හැටි එයාගේ අම්ම, තාත්තා, වටේ  ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි. අපිත් හරි විමසිල්ලෙන් බලාගෙන හිටියා. මම අපේ මැනේජර් එක්ක නිතරම ඔය ළමයා ගැන කතා කරලා තියෙනවා. පුතා දන්නවද ඒ කවුද කියල” 

“නෑ අංකල්..මට හිතා ගන්න බෑ..”

“ඔය කොල්ලා මුලින්ම ෂොප් එකක් පටන් ගත්තේ බැංකු ණයක් අරගෙන. මං හිතන්නේ ඒ ණයේ ඇපකාරයෝ විදිහට සයින් කළෙත් ඒ ළමයාගේ තාත්තයි ඉස්කෝලේ ගුරුවරයෙකුයි. ඔය දැන් අමිල කම්පියුටර් කියලා හැම තැනම ශාඛා තියෙන්නේ අන්න ඒ කොල්ලගේ.”

“ආ..අංකල් මං එයාව දන්නවා. අපේ  ඔෆිස් එකෙත් කොම්පියුටර් පැත්තේ ඔක්කොම වැඩ බාර දීලා තියෙන්නේ මිනිහට තමයි. සේවකයෝ සිය ගණනක් තමන්ගේ ළඟ වැඩ කළත් පුද්ගලිකව කස්ටමර්ට කෝල් එකක් දීලා වැඩේ හරියට කෙරුනද නැද්ද කියලා හොයලා බලන මනුස්සයෙක් ඔය. තමන්ගේ ජොබ් එක ගැන හරි රෙස්පොන්සිබිලටි එකක් තියෙනවා. අපි දැන් අවුරුදු තුනක විතර වගේ ඉදලා වැඩ කරන්නේ අමිල එක්ක තමයි.”

“සමහර විට කොල්ලගේ දියුණු වෙන රහසත් ඒකම වෙන්න ඇති. කොහොම හරි මම රස්සාවෙන් පැන්ෂන් ගන්න දවසේ ඔය  දරුවා  ලොකු කේක් එකකුත් අරගෙන අපේ ඔෆිස් එකට ආවා. මොකද ඒ කාලේ ලෝන් ඩිවිෂන්  එකේ හිටියේ මම. ඒ වගේ තරුණ දරුවෙක් ඇවිල්ලා ටිකක් ලොකු ගානක ලෝන් එකක් ගනිද්දි අපි ඉතින් ටිකක් හොයලා බැලුව පුතා. මං ඒ ළමයට එදා ඩොකියුමන්ට් ෆයිල්  එක අතට දෙන ගමන් කිව්වා පුතා මේ හැම රුපියලකටම වටිනාකමක් දෙන්න පුළුවන් උනොත් අන්න එදාට ඔයා දිනුම් කියලා. ඔයාගේ අනාගතය සාර්ථක කරන්නත් ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම අසාර්ථක කරන්නත් මේ සල්ලි වලට පුළුවන් කියන එකත් මං ඒ ළමයට කිව්වා. මේ දරුවා මට එදා ඇවිල්ල කිව්වා ‘අංකල් කියපු පළවෙනි කතාවනම් මට ඒ වෙලාවෙම තේරුණා මේ සල්ලි වලට මාව සාර්ථක මිනිහෙක් කරන්නත් අසාර්ථක මිනිහෙක් කරන්නත් පුළුවන් කියන එක මම සෑහෙන්න දුර හිතල තමයි තේරුම් ගත්තේ.. එදා ඒ කියපු වචන ටික මට සෑහෙන්න වටිනව අන්කල් කියලා….”

“ඕක අපේ තාත්තත් ඉස්සර නිතර කියන කතාවක්. මනුස්සයෙක්ව ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන් එක ආයුධයක් තමයි සල්ලි කියලා.”

කතාව තව විනාඩි කිහිපයකට ඉදිරියට ඇදී ගියත් ඒ කිසිවෙකුට තමා ගැන වගක් නොවේ යැයි නුලාරාට සිතිණ. ඕ තවත් මිනිත්තු කිහිපයක් බිත්තියට පිට දීගෙන බලා සිටියේ කවුරුන් හෝ තමා ගැන සොයා බලාවියැයි සිතමින්ය. චලක තේ කෝප්පය බී කුඩා මේසය මත වූ බන්දේසියෙහි තබා යළිත් හරි බරි ගැසී ඉඳගත්තේ තවත් අලුත් කතාවකට මුලපුරමින්ය. ඒ මේ  දිනවල දේශපාලනය විසින් රූපවාහිනී නාලිකා වලට සිදුකරන බලපෑම ගැනය. නුලාරා ආපසු හැරුණේ පරාජිත හැඟීමක් දරාගෙනය. චලක පමණක් නොව අම්මා තාත්තා පවා තමාගේ වටිනාකම අල්ප යැයි සිතද්දී ඒ දෑස් වලින් බේරී ගියේ කඳුලකි. 

“පුතාට රෑ වෙනවනම් දුවව නැගිට්ටවන්නද?”

සිතාරා චාරුකගෙන්  ඇසුවේ තවත් විනාඩි දෙක තුනක් ගෙවී ගියාට පසුවය. ඔහු තවමත් කාර්යාලයේ සිට ඇඳගෙන ආ ඇඳුම පිටින්මය. 

“අනේ එපා අම්මා,  එයා මේ වෙලාවට නිදාගන්න කෙනෙක් නෙමෙයි. මහන්සියට නිදි ඇත්තේ. අපේ ඇහැරෙනකල්ම ඉමු. රෑ උනාට කමක් නෑ.” 

“එහෙනම් පුතාට කෑම ටික මේසෙට අරින්නද…”

“එපා අම්මා. බබා නැගිටිනකල් ඉමුකෝ.” 

“ඔය දරුවා හෙට එළිවෙනකල්ම ඔහොම නිදා ගනීද කියන්න දන්නෙ නෑ. ඉස්සර මම අම්මට කියනවා කුස්සියට ගිහිල්ලා දරුවා පාඩම් කරනවා තේ එකක් කාරිය හදලා දෙන්න කියලා. මෙයා තේ එක හදාගෙන කාමරේට යද්දි  මෙන්න ලයිට් එකක් දාගෙන හොඳට නිදි. සමහර දවසට වේලාසනින් නිදාගෙන ‘අම්මේ මට එකොළහට විතර නැගිට්ටවන්න කියලා කියනවා’ ආයෙ මොන එකොළහද. සිය පාරක් නැගිට්ටුවත් මට නිදිමතයි කියලා අනිත් පැත්ත හැරලාා නිදා ගන්නවා.”

මඳ හඬකින් සිදු වූ ඒ කතා බහ  හරි හැටි නුලාරාට ඇසුණේ නැත. ඇය උන්නේ තමා ගැන උනන්දුවක් නැති සැමියාත්, මවත්, පියාත් ගැන කෝපයෙන්ය. අවසන ඕ යළිත් දෑස් පියාගෙන ඇඳෙහි වැතිරුණාය. නින්දක අවශ්‍යතාවයක් නොවූ දෑස් වලට බලෙන් නින්ද ළඟා කර ගැනීමෙහි හැකියාවක් වූයේ නැත. එහෙත් ඕ  තදකර දෑස් වසා ගත්තාය. ඒ දෑස් අගින් ගලා ගිය කඳුලක් කොට්ටය මත වැටී බොඳවයන අයුරු ඇයට මතකය. වේලාව තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය ගතව යන්නට ඇත. තවමත් කාමරයට නොපැමිණි සැමියා ගැන ඈ උන්නේ කෝපයේ උපරිමය දරා ගනිමින්ය. කඳුළු ගලා ගොස් හෙම්බත් වූ දෑස් පියවුනේ කීයටදැයි මතකයක් නුලාරාට වූයේ නැත. 

උදෑසන නැගිටිනවිට ඈ සිටියේ හුරු පුරුදු උණුසුමේය.  චාරුක උන්නේ මදක් ඉදිරියට නෙරා ආ කුස මත තම දකුණත තබාගෙනය. වෙනදා සේම නුලාරාට එහා පසින් කොට්ටා දෙකක් තබා තිබිණ. ඒ චාරුකගේ  පුරුද්දකි. කුස යන්තමින් ඉදිරියට නෙරා එද්දී ඔහු ඒ ආකාරයෙන් කොට්ටා දෙකක් ඇගේ වම් ඇලයට තබන්නේ වඩා සුව පහසු වනු පිණිසය. බොහෝ රාත්‍රීන්වල ඔහු කිහිප වතාවක්ම නින්දෙන් අවදිව ඇය ගැන සොයා බැලුවේය.

නුලාරා හරි හැටි දෑස් ඇරියේ ඔහුගේ දෙතොල්වල උණුසුම තම නළලතට දැනෙද්දීය. සිනා මුසුව ඒ මුහුණට එබී සිටි චාරුක යළිත් වරක් ඒ දෙතොලත් දෙකොපුලත් සිප ගත්තේ නුලාරා කිසිවක් පවසන්නට ප්‍රථමවය. 

“ඊයේ කන්නෙත් නැතුව දිගටම නිදා ගත්ත නේද මැණික. අම්ම කිව්වා තේ බොන්න මගින් ආප්ප අරගෙන ආවා කියලා.ඒ හින්දා ඉවසුවා මිසක්කා නැත්නම් මං බලෙන් හරි නැගිට්ටවල කවනවා. ඇහැරවන්න ලෝබ හිතුණා. පස්සේ මං අම්මගෙන් සරමක් ඉල්ලගෙන ඇවිල්ලා එහෙම්මම ඔයාගේ ලඟ හාන්සි වුණා.”

පෙරදා රාත්‍රියෙහි සිතෙහි වූ අපැහැදීම දුරු වී තිබුනේ ඇයටත් හොරාය. ඕ මද කෙඳිරිල්ලක් නගිමින් අනිත් ඇලයට හැරී චාරුකගේ  පපුවට හිස තබා ගත්තාය. ඔහු ඇඳ විට්ටමට කොට්ටය හේත්තු කර ඊට බර වූයේ තම බිරිඳට පහසු වන ලෙසය. ඈ මේ කුසෙහි දරාගෙට සිටින්නේ තමාගේ ලෙයින් බිහිවන පුතු  පැටියා බව සිහිවන සෑම තත්පරයකම ඒ සිත පිරී යන්නේ මහත් වූ ආදරයකින්ය. තම සුන්දර බිරිඳ මදක් තරවී ඇතැයි චාරුකට  සිතුනේත් ඒ නිමේෂයේය. කුස සේම පිරුණු කොපුල්, පියයුරු ඒ වතට ගෙන ආවේ අමුතුම සුන්දරත්වයකි. 

වතාවක් දෙවතාවක් නොව හත් අට වතාවක්ම ඔහු ඇගේ නළලත සිප ගත්තේ ආදරයෙන්ය. 

“අම්මට කියලා කිරි එකක් හදවලා ගෙනත් දෙන්නද….”

“එපා අනේ ඔහොම ඉන්න..”

“මෙයාට බඩගිනි ඇති..”

චාරුක එවර පැවසූයේ තම බිරිඳගේ කුස අත ගාමින්ය.

“ඔයාලා ඔක්කොටම දැන් වටින්නේ එයා විතරයි. මාව අමතක වෙලා ගිහිල්ලා.”

නුලාරාගේ   මුවින් පිට වූ ඒ වදන්වල වූයේ නෝක්කාඩුවකි. චලක යළිත් වරක් සිනහ සී තම බිරිඳ සිප ගත්තා මිස පිළිතුරක් සැපයූවේ නැත

“අනේ සොරි සුදු මහත්තයා.”

“ඇයි සොරි කියන්නේ.”

“ඔයාට ඊයේ හරියකට නින්දකුත් නැතුව ඇති. අපරාදෙනේ  ඔයාට තිබුණේ මෙහේ නෑවිත් ගෙදර යන්න.”

“ගෙදර ගිහිල්ලා ඔයා නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද. ඔයාව තුරුල් කරගත්තහම වාහනේ ෂීට් එක උඩ හරි නින්ද යන මට මේ ඇඳ හොඳ වැඩියි බබා.”

“වෙලාවකට  මං කරන පිස්සු වැඩ හින්දා ඔයා දුක් විඳිනවා කියලා මට හිතෙනවා.” 

“ඇයි එහෙම හිතන්නේ.”

“ඊයේ මං ඔයාටවත් නොකියනේ අම්මලගෙ ගෙදරට ආවේ.”

“ඉතින් ඔයාට හදිසියේ  ආස හිතෙන්න ඇතිනේ. හැබැයි ඉතින් පොඩි වරදකුත් කළා තමයි. සිය වතාවක් විතර ෆෝන් එකට ගත්තා ආන්සර්  නොකර හිටියෙ මමත් එක්ක තරහට නේද..?”

නොලාරා හිස වැනුවේ ‘ඔව්..’ යැයි කියන්නටය. කොහොමටත් ඔහුගේ සිත සනසවන්නට හෝ බොරුවක් කියන්නට ඇයට හැකියාවක් වූයේ නැත. 

“ඒක තේජනව හරි යවලා ෂේප් වෙන්න පුළුවන් මීටින් එකක් නෙමෙයි බබා.”

“අදත් ඔයා ඔෆිස් යනවද….?”

“යන්න වෙනවනේ ඉතින්. අපිට හැමදේම තියෙන බව ඇත්ත. ඒ උනාට මේ බිස්නස් ෆීල්ඩ් එක ඇතුලේ ලොකු තරඟයක් තියෙනවා බබා. එදා වගේම අදත් මහන්සි නොවුණොත් අපිට ලැබිලා තියෙන දේවල් නැති වෙන්න ලොකු කාලයක් යන්නේ නෑ. පුළුවන් හැම වෙලාවකම මං ඔයා එක්ක ඔයාගේ ලඟ ඉන්නවා මැණික. ඉන්න මං අම්මට කියලා කිරි එකක් හදාගෙන එන්නම් ඇඳෙන් බහින්න එපා.”

සීරුවට ඇගේ හිස කොට්ටය  මතින් තැබූ තරුණයා නැගී සිටියේ ඒ නළලතත් සිපගෙනය. නුලාරාට තමා ගැනම දැනෙමින් තිබුණේ ලැජ්ජාවකට, කෝපයකට සමාන වූ හැඟීමකි. නූගත් ගැහැණියක විලසින් තමා මේ සා බොළඳව ජීවිතය දෙස බලන්නට හුරු වූයේ කෙසේදැයි ඈ සිතුවේ එවේලෙහිය.වේලාව පෙරවරු හතට ආසන්නව තිබිණ. හදිසියේම නැගී සිටි නුලාරා  නාන කාමරයට වැදුණේ ඉක්මනින්ම නිවසට යාමේ අරමුණින්ය. චාරුක කාර්‍යාලයට යාමට පෙර නිවසට යා යුතුය. ඔහුගේ ඇඳුම් පැළඳුම් වූයේ එහිය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here