ත්‍රීවීල් එකෙන් බහිද්දිත් ආකර්ෂා හිටියේ ලොකු හුස්මක් හිරකරගෙන.
තාත්තා අමාරුවෙන් ත්‍රීවීල් එකේ පොල්ල අල්ලගෙන බිමට පය තියද්දී, කෙල්ල ඉක්මනට ගිහින් තාත්තගේ වාරුවට උරහිස දුන්නා. හැමදාම තමන්ට හෙවනක් වෙච්ච, පවුලේ හැම බරක්ම තනියම උස්සපු ඒ මනුස්සයා අද තමන්ගේ ඇඟට බර වෙද්දී ආකර්ෂාගේ හිත හෝස් ගාලා පත්තු වුණේ තාත්තා මෙච්චර බර නම් තාත්තා මෙච්චර අවුරුදු ගාණක් තනියෙං උස්සපු බර කොච්චර බර ඇද්ද කියලා හිතලා.
ගෙට ඇතුළු වෙද්දීම සාලේ බිත්තිවල එල්ලා තිබ්බ අම්මගේ පින්තූරෙයි, ආකර්ෂා පොඩි කාලේ ඇඳපු පරණ චිත්‍ර ටිකයි කෙල්ලගේ ඇස් බොඳ කරලා දැම්මා.
“තව දවස් කීයකින් මේ හැමදේම නැති වෙන්න තිබ්බ නේද” කෙල්ල හිතින් හිතුවෙ ඇත්තටම කවීන්ගෙ ඩීල් එකට තමන් එකඟ උනේ නැත්තම් ඇත්තටම මහගෙදර තමන්ට නැත්තටම නැතිවෙන්න තිබ්බා නේද කියලා නොහිත ඉන්න පුළුවන්කමක් ආකර්ෂාට තිබ්බෙ නෑ.
“තාත්තේ හෙමින් ඇවිත් ඇඳෙන් වාඩි වෙන්නකෝ,” ආකර්ෂා තාත්තව කාමරේට එක්කන් ගිහින් ඇඳෙන් ඉන්දෙව්වේ එහෙම කියන ගමන්.
තාත්තා මහන්සි පාටට ඇඳ විට්ටමට ඔළුව තියාගන්නකොට, කෙල්ල සාලෙට දුවලා ගිහින් වතුර වීදුරුවකුයි, හොස්පිටල් එකෙන් දුන්න බෙහෙත් මල්ලයි අරන් ආවා. ප්ලාස්ටික් බෑග් එක ඇතුළෙන් එක එක පාට පෙති වර්ග එළියට ගන්නකොට කෙල්ලගේ අත් වෙවුලනවා. බෙහෙත් ටික තාත්තගේ අතට දීලා වතුර වීදුරුව දික් කරපු ආකර්ෂා, ඊළඟට කළේ තාත්තගේ කකුල් දෙක ළඟින්ම ඇඳේ වාඩි වෙච්ච එක.
කෙල්ල තාත්තගේ කැනියුලා ගහලා නිල් වෙලා තිබ්බ වෙවුලන දකුණු අත තමන්ගේ අත් දෙකටම මැදි කරලා තදින් අල්ලගත්තා. ඒ අතේ තිබ්බ හුරුපුරුදු උණුසුම දැනෙද්දී කෙල්ලට කෑගහලා අඬන්න හිතුණා. ඒත් ඇඬුම තද කරගත්ත කෙල්ල බොරු හිනාවක් මූණට ගත්තෙ පපුවෙ අමාරුව හැදිච්ච තාත්තට තමන් ඊලඟට කියන දේ අහලා ආයෙ වතාවක් පපුවෙ අමාරුව ඒවි කියලා බය වෙලා වගේ.
“තාත්තේ… මං දෙයක් කිව්වොත් බය වෙන්නේ නෑ නේද?” ආකර්ෂා හෙමින් සැරේ තාත්තගේ මූණ දිහා බලලා ඇහුවා.
“මොකක්ද ඊලඟට කියන්න යන්නෙ? උඹ මේ මාව බේරගන්න මොකක් හරි අමාරු වැඩක්වත් පටලවගත්තද? මට මේ ලෙඩ ඇඟෙන් උඹට බරක් වෙන්න බෑ මයෙ අම්මා. ඔය ගෙදර ප්‍රශ්න…” තාත්තා කතාව ඉවර කරන්න හැදුවා විතරයි ආකර්ෂා තාත්තගේ අත තවත් තද කළා.
“අනේ පිස්සුද තාත්තේ! මොන බරක්ද? ඔන්න අහන්නකෝ… මං අපේ ගෙදරයි, ඔයාවයි මේ හැම ප්‍රශ්නයකින්ම බේරගන්න සුපිරිම විදියක් හොයාගත්තා. අපේ ගෙදර සින්න වෙන්නේ නෑ. ඒ සේරම සල්ලි බේරන්න මට ක්‍රමයක් සෙට් වුණා,” කෙල්ල කිව්වේ ඇස් දෙක ලොකු කරලා බොරු හිනාවක් මූණ පුරා ඇඳගෙන..
“ඒ කොහොමද බං? උඹ කොහෙන්ද එච්චර සල්ලියක් හොයාගත්තෙ” තාත්තා පුදුමෙන් ඇහුවා.
“මට ලොකු ඉන්දියන් කම්පැනි එකක ලංකාවේ බ්‍රාන්ච් එකකින් හොඳ ආර්ට් ප්‍රොජෙක්ට් එකක් සෙට් වුණා තාත්තේ. ඒගොල්ලෝ මගේ චිත්‍ර දැකලා මට මාරම ලොකු ගාණක් ඇඩ්වාන්ස් දුන්නා. හැබැයි එකම එක ප්‍රශ්නයක් තියෙනවා,” කෙල්ල තමන්ගේ කටහඬ බිඳෙන්න නොදී වචන ගැටගැහුවා තමන් කියන්න යන මේ ලොකුම ලොකු බොරුව තාත්තට අහු නොවෙන විදියට කියාගන්න ඕන හන්දා. “ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ තියෙන්නේ කොළඹින් ටිකක් පිට. ඒක හින්දා මට මාස හයකට විතර ගෙදරින් යන්න වෙනවා. මට ඒගොල්ලන්ගේ සයිට් එකේම නතර වෙලා තමයි වැඩ කරන්න වෙන්නේ.”
තාත්තා එකපාරටම සයිලන්ට් වුණේ අන්න ඒ වචන ටික ඉස්සරහා. ඒ වයසක ඇස්වලින් ආකර්ෂාගේ මූණ දිහා බැලුවේ කෙල්ල කියන්නේ ඇත්තක්ද කියලා කියවන්න වගේ.
“මාස හයක්? උඹ තනියම කොහොමද බං එච්චර කාලයක් ඉන්නේ? මාව තනියම දාලා” තාත්තගේ වොයිස් එක බාල වුණේ ඇත්තටම මෙච්චර දවසක් ඇහේ තියන් හදපු කෙල්ලව එච්චර කාලෙකට කොහොමද ඇස් මානෙන් පිට යවන්නෙ කියලා හිත හදාගන්න බැරි විත්තිය පෙන්නන්න වගේ.
“අනේ මං හැම වීකෙන්ඩ් එකකම එනවා තාත්තේ. අනික මං මේ හැමදේම කරන්නේ අපේ සන්තෝසෙ වෙනුවෙන්නෙ. ඔයා පරිස්සමෙන් බෙහෙත් ටික බීලා ඉන්න විතරයි තියෙන්නේ. අනික අපිට සල්ලිත් ඕනනෙ තාත්තෙ. දැන් මේ බේත් එහෙම ගන්නත් සල්ලි ඕන එකේ අපි ඒව ගැනත් හිතන්න ඕන නෙ තාත්තෙ.” ආකර්ෂා තාත්තගේ පපුවට ඔළුව තියාගත්තෙ හිත අස්සෙ “අනේ මං මේ මගෙ තාත්තට නේද බොරු කියන්නෙ” කියලා හිත හෝස් ගාලා අඬද්දි.
තාත්තගේ අත තමන්ගේ හිසකෙස් අතරින් යද්දී ආකර්ෂා ඇස් පියාගත්තා. කෙල්ලගේ ඇස් කොනෙන් වැටුණු කඳුළු බින්දුවක් තාත්තගේ කපු කමිසෙට උරාගන්නකම්ම කෙල්ල හිටියේ හුස්ම හිරකරගෙන. තමන්ගේ ආත්මෙම අර කණ්ණාඩි පොළඟා ළඟ මාස හයකට සින්න කරන්න යන බව මේ අහිංසක මනුස්සයා දැනගත්තොත් තාත්තා පපුවෙ අමාරුව හැදිලා මැරෙන්නෙ එදාට කියලා ආකර්ෂා හොඳටම දැනගෙන උන්නා.
තාත්තගේ පපුවේ මූණ ඔබාගෙන, හිත ඇතුළෙන් කඳුළු පෙරාගෙන හිටපු ආකර්ෂා හෙමින් සැරේ ඔළුව උස්සලා ආයෙත් තාත්තගේ මූණ දිහා බැලුවා. කෙල්ල තමන්ගේ කම්මුල් දිගේ බේරුණු කඳුළු බින්දු තාත්තට නොපෙනෙන්න අතේ පිටි අල්ලෙන් ඉක්මනට පිහිදාගත්තේ හුරුපුරුදු හිනාව ආයෙත් මූණට ආරූඪ කරගන්න ගමන්.
“දැන් ඉතින් ඇති නේද කල්පනා කළා? ඔය සේරම අමතක කරලා දාලා පොඩ්ඩක් ඇලවෙන්නකෝ තාත්තේ. මං ගිහින් තාත්තට බොන්න කැඳ ටිකක් හදන් එන්නම්,” කෙල්ල තාත්තගේ ඔළුව හෙමින් සැරේ කොට්ටෙන් තියලා, කුස්සියට යන්න හිතාගෙන ඇඳෙන් නැගිට්ටා. කාමරෙන් එළියට ආපු ගමන් ආකර්ෂා සාලේ මැද තිබ්බ පරණ ලී පුටුව උඩට කඩාගෙන වැටුණෙ ඇත්තටම මෙච්චර වෙලාවක් තිස්සෙ හිත අස්සෙ හිරකරගෙන උන්න බර අවුරුදු විසි දෙකක කෙල්ලෙක්ගෙ හිතට දරාගන්න බැරි තරං බර වැඩි වෙච්ච හන්දා.. සාලේ පුරා රජ කරපු නිශ්ශබ්දතාවය කෙල්ලගේ හිත තවත් පෑරුවා කිව්වොතින් හරියටම හරි. ඇස් දෙක පියාගත්ත ගමන් කෙල්ලට මැවිලා පෙනුණේ කවීන්ගේ ඒ කුරිරු, සමච්චල් හිනාව විතරයි.
“මං මගේ තාත්තව බේරගත්තා තමයි. හැබැයි ඒකට මට මගේ මුළු ජීවිතේම පාවා දෙන්න වුණා නේද. හෙට ඉඳන් මට අර යකාගේ මහගෙදර කියන අපායෙ නාට්ටියක් රඟපාන්න වෙනවානෙ. දෙයියනේ මං කොහොමද ඒක කරන්නේ? දෙන දෙයියො ගෙන ගෙනැල්ලම දෙනවා කියලා දැන් ඔය ගෙනැල්ලා දීලා තියෙන්නෙ ලෝස් නැතිවෙන්නම. කන්ණාඩි පොළඟා බලාගෙන ඇත්තෙ මට කෙලවෙනකම්. පුත්‍ර රත්නෙ ඔහොම නම් නාකිච්චි කොහොම ඇද්ද? මේ ඔක්කොම පුතා මොණරු හන්දා තමා කියලා අන්තිමේ මට වෙන්නෙ බෙල්ලෙ ගලක් ගැට ගහං මූදට පනින්න තමයි” කෙල්ල අත් දෙකෙන්ම මූණ වහගෙන හිතින් කෑගැහුවෙ කරකියාගන්න දෙයක් නැතිම වෙච්ච තැන.
කෙල්ල ඇස් දෙක ඇරලා, බිත්තියේ තිබ්බ අම්මගේ පින්තූරේ දිහා කෙළින්ම බැලුවෙ අන්න එවෙලෙ.
“නෑ… මං වැටෙන්නේ නෑ! මං මේ ඩීල් එකට සෙට් වුණේ මගේ තාත්තවයි මේ මහගෙදරයි බේරගන්න. මං මගේ පැත්තෙන් වැඩේ සුපිරියටම කරනවා. හැබැයි කවීන් වික්‍රමසිංහ තමුසෙ හිතන් ඉන්නවා නම් මාව බය කරලා, තමුසෙගේ සල්ලි පවර් එකට මාව පාගලා දන්න ඒක තමුසෙගේ හීනයක් විතරයි කියන එක මතක තියාගන්නවා. තමුසෙගේ ඔය එංගලන්තෙන් ආපු ආච්චි ඉස්සරහා මං රඟපාලා පෙන්නංනංකො ආය ඇට්ටි හැලෙන්න. තමුසෙට ආයෙ ගෑනු එපාවෙන්න මං රඟපාන්නෙ”


