තේජන කාර්යාලයට පැමිණියේ කාර්යාලයෙන් පිටත වූ ව්‍යාපාරික සාකච්ඡාවක් සඳහා සහභාගී වූවාට පසුවය. සිය සුවපහසු අසුනට බර වී දෑස් වසාගත් මිතුරා වූයේ බර කල්පනාවකය. තත්පර කිහිපයක් ඔහු දෙස බලා උන් තේජන තමා අත තිබූ ප්‍රසිද්ධ අවන්හලකින් ගෙන ආ දිවා ආහාරය සහිත බඳුන් දෙක මේසය කෙළවරක තැබුවේ මද හඬක් නැගෙන සේය. එහෙත් මිතුරා ඒ හඬටවත් අවනතව හිස ඔසවා බැලුවේ නැත.
අනතුරුව තේජන ඔහු ඉදිරිපස වූ සුවපහසු පුටුවෙන් අසුන් ගත්තේ “මොකද බං” යනුවෙන් අසාගෙනය.
“ආ…උඹ ආවද…?”
“ආව තමයි මොකද බං මේ. උඹ ඇහුවට කියන්නෙත් නෑ. මං දන්න තරමින් බිස්නස් එකේ අවුලකුත් නෑ.”
“නෑ නෑ බං එහෙම එකක් නෑ..
“උඹ නෑ.. නෑ.. බං එහෙම එකක් නෑ කියන තාලෙන්ම තේරෙනවා. මොනවා හරි තියෙනවා කියලා. මචං මට උඹේ පවුලෙ දේවල් හාර අවුස්සල අහන්න බෑ. හැබැයි ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක බෙදාගන්න උඹට මං ඇරෙන්න වෙන විශ්වාසවන්ත යාළුවෙක් නෑ කියලත් මං දන්නවා. මොකක්ද බං අවුල. දැන් දවස් කිහිපයක ඉඳලා මම බලාගෙන හිටියේ. මචං ඉස්සරහට අපි ලොකු වැඩකට අත ගහන්න යන්නේ.”
“උඹට බඩගිනිද…?”
“නෑ මට බඩගින්නක් නෑ”
“මචං මට හිතෙනවා බබා ඉන්නෙ සතුටින් නෙමෙයි කියලා.”
“දැන් ඔය මොන බබා ගැනද උඹ ඔය කියන්නේ උඹට බබාලා දෙන්නෙක් ඉන්නවනේ. ඇවිත් ඉන්න බබා ගැනද එන්න ඉන්න බබා ගැනද..?”
“ලොකු බබා ගැන..”
එවර චාරුකගේ මුහුණෙහි මතු වූයේ සිනහවකි.
“උඹ එදත් ඔහොම කතාවක් මමත් එක්ක කියන්න ඇවිල්ලා අතරමග නතර කර ගත්තා. මචං උඹ හොඳ මනුස්සයෙක්. උඹේ වයිෆ්ට සෑහෙන්න ආදරේ කරන, එයා ගැන සෑහෙන්න හිතන, එයා ගැන සෑහෙන්න වද වෙන හොඳ හස්බන්ඩ් කෙනෙක්. අනිත් එක මචං උඹ නුලාරට කොච්චර ආදරේද කියලා මං හොඳටම දන්නවා. ඒ හැම දේකටම වඩා එයාට මෙහෙමයි කියලා කියන්න දුකක් උඹ දෙන්නේ නෑ කියලත් මම දන්නවා. නුලාරා කියන්නේ හෙන ලකී වයිෆ් කෙනෙක් මගේ තැන ඉදලා බලද්දී…එහෙම එකේ ඇයි බං උඹ ඔහොම කතාවක් කියන්නේ.”
“ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මචං මං හිතනවා එයාව සතුටින් තියන්න පුළුවන් හැම දෙයක්ම මං කරනවා කියලා. සමහර වෙලාවට පැය විසි හතරම බිසී උනත් බං මං එයා වෙනුවෙන් මගේ කාලේ උපරිමයෙන් වෙන් කරනවා. උඹව තනියම වැඩවල හිර කරලා මං එයා නිසා ගෙදර ගියපු අවස්ථා ඕන තරම්. ඒ වගේ වෙලාවට මං මේ ඉහේ කෙස් ගානට උඹට සොරි කියල ඇති බං. ඒත් මට සමහර වෙලාවට හිතෙනවා බං බබා හිනා වෙන්නේ බොරුවට කියලා. සමහර වෙලාවට මං දකිනවා හරි අපහසුවෙන් එයා සතුටින් ඉන්න බව මට පෙන්නනවා කියලා.”
“ඇයි මං එහෙම වෙන්නේ…”
“සමහර වෙලාවට මට බය හිතෙනවා එයා ඉන්නේ අමාරුවෙන්ද කියලා. ඒ වෙලාවට මම ඩොක්ර්ටත් කතා කරනවා. ඩොක්ටර් කියන්නේ එයා ෆිසිකලි හැම අතින්ම නීරෝගියි කියලා. සමහර වෙලාවට සමහර අයටනං පොඩි පොඩි මානසික අසමතුලිතතා වගේ දේවල් එන්න පුළුවන් කියලත් කියනවා බං. ඒක ප්‍රෙග්නන්සි එකත් එක්ක වෙන්න පුළුවන් දෙයක්ලු. මට ඇත්තටම බබා ගැන බයයි බං. මං කිව්වේ නුලාරා ගැන.”
“මමත් අහලා තියෙනවා ඔය ප්‍රෙග්නට් කාලේ සමහර ගෑණු අය ටිකක් වෙනස් වෙනවා කියලා. කේන්ති යනවා, ඉස්සර ආස නැති දේවල් වලට දැන් ආස වෙනවා, හස්බන්ඩ්ව ගෙදර අය රුස්සන්නේ නෑ කියලා එහෙම. ඩොක්ටත් එහෙම කිව්වනං ඒක සාමාන්‍ය තත්ත්වයක්නේ බං. උඹ අවුල් වෙන්න එපා. මට පුළුවන් හැම වෙලාවකම උඹේ වැඩ ටික මම බලන්නම්. උඹ නුලාරා ගැන බලපං”
“අද එයාගේ යාළුවෙක් එනවා කිව්වා බං කාලෙකට පස්සේ. කොහොමත් අභීගේ වැඩේ ඉවර වෙච්ච ගමන් මං යන්න ඕන බං.”
“ආ මට උඹට කියන්න අමතක වුනා. අද මීටින් එකේ ඇරේන්ජ් කරලා තිබුණු ටී පාටි එකේදී අභීගේ වැඩේ ගැන ටිකක් කතා වුණා. මචං මේ කොන්සර්ට් එක අපේ කම්පැනි එකට ඕගනයිස් කරන්න ලැබිච්ච එකම මාර ජයග්‍රහණයක් කියලා තමයි කට්ටිය කියන්නේ.”
“ඔව් අනිවාර්‍යයෙන්ම. මගේ හිතේ තව ප්ලෑන් එකක් වැඩ කරනවා බං. මචං අපි දෙන්නා පොඩි මීටින් එකක් දාලා ඒ ගැන ටිකක් කතා කරන්න ඕනේ මේ වැඩෙන් පස්සේ.”
“වරෙන් කාලා ඉමු…”
චාරුක නුලාරාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඔහු ආහාර බඳුන් දෙකත් රැගෙන නැඟී සිටියදීය. තාත්තා විසින් චාරුකට බාර දුන්නේ මේසා දියුණු මට්ටමක වූ ව්‍යාපාරයක් නොවේ. එහෙත් අද ඔහු සිටින්නේ වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේ සහ ප්‍රසංග සංවිධායකත්වයේ ඉහළම නමක් තබාගෙනය.
“කියන්න..බබා.”
එහා පසින් නුලාරා පිළිතුරු දුන්නේ හති අරිමින්ය.
“ඇයි බේබි මහන්සියෙන් වගේ ඔයා මාව බය කරනවනේ.”
“මම කිචන් එකේ වැඩවලට සෝමට උදව් උනා. ඉතිං ෆෝන් එක රිං වෙනවා ඇහිලා දුවගෙන ආවේ.”
“හරි ලස්සනයි. ඔය දුවගෙනද ආවේ..”
“නෑ… නෑ…දුවගෙන කිව්වට දුවගෙනම නෙමෙයි. චුට්ටක් ඉක්මනට ආවා ඉතින්. මං හිතුවා ඔයා වෙන්න ඇති කියලා.”
“මං කිව්වනේ බබා අපි කොහෙට හරි කෝල් එකක් දීලා ඩිනර් එක ඇරේන්ජ් කරවමු කියලා. ඔයා ඇහුවෙ නෑනේ ඉතින්. ඔයා එහෙම මහන්සි වෙන්න ඕන කාලයක් නෙමෙයි මේ.”
“එතකොට එයාලා හිතයි මම කිසි දෙයක් නොකර ඉන්න කෙනෙක් කියලා. ඔයා දන්නවද සෝම මට කිව්වා ඔයා ඉපදෙන්න ඉඳිද්දි අම්මත් මේ වගේම වැඩ කළා කියලා. එයා හරි සතුටින්ලු ගෙදර වැඩ කළේ.”
“ඔයාගේ කැමැත්තක්. ඒ උනාට මං මේ හැමදේම කරන්නේ ඔයයි මගේ පැටියයි දෙන්නම සතුටින් තියන්න.”
“මං ඒක දන්නව චාරුක අයියේ…ඉක්මනට එන්න. නැත්තං මං සංකල්පනී එක්ක කියවද්දි එයාගේ හස්බන්ඩ්ට පාළු හිතෙයි.”
නුලාරා ඇමතුමට සමුදුන්නේ එසේ පවසමින්ය. යළිත් ඕ මුළු තැන් ගෙයට ගොස් සෝමාගේ වැඩ ගැන සොයා බැලුවාය.
“අද අපේ නෝනා හරි සතුටින්….”
සෝමා වරක් දෙවරක්ම එසේ පැවසූයේ ඇය අන් කවරදාටත් වඩා උනන්දුවකින් සිටිනු දුටු නිසාය. දෙතුන් වරක්ම තුන් මහල් නිවස පුරාම ඇවිද ගොස් නුලාරා එහි කොතැනක හෝ අඩුපාඩුවක් ඇත්දැයි සොයා බැලුවාය. විවාහයෙන් දෙවසරකට ආසන්න කාලයක් ගෙවී ගියත් තමාගේයැයි කියා අම්මා තාත්තාත් හැර අමුත්තෙකු නිවසට පැමිණෙන්නේ කාලයකට පසුවය. එකම එක වරක් තාත්තාගේ සහෝදරියත් ඇගේ සැමියාත් පැමිණ ගියා නුලාරාට මතකය. අම්මා සේම තාත්තාත් ගම හා එතරම් සම්බන්ධතා පැවැත්වූයේ නැත. අදටත් ඉඳහිට කොළඹට පැමිණෙන ඔවුන්ගේ ඥාතියෙකු තාත්තාගේ නිවසට පැමිණ ආපසු යනවා හැරෙන්නට නුලාරාගේ නිවසට පැමිණෙන්නේ නැත. ඇමරිකාවේ පදිංචියට යාමට පෙර පවනි නිතරම නුලාරාගේ නිවසට ආවා ගියාය. ඒ හැරෙන්නට ළඟින් ඇසුරු කළ යෙහෙළියක ඇයට වූයේද නැත.
“අපි ඇවිත් ඉන්නේ හැබැයි ඔයාගේ රාජ මාළිගේ ලොකු ගේට්ටුව නං වහලා..”
සංකල්පනී එසේ පවසා දුරකථන ඇමතුමක් ලබා දුන්නේ සවස හයට පමණය. වහ වහා ආරක්ෂක නිලධාරියාට ඇමතුමක් ලබාගත් නුලාරා ගේට්ටුව විවර කරන ලෙස ලෙස අණ කළේය. වාහනයක් බලාපොරොත්තු වූවත් ගෙමිදුලෙහිවිත් නතර වූයේ එෆ් ඉසෙඩ් වර්ගයේ යතුරු පැදියකි. සංකල්පනී යතුරුපැදිය උඩ සිටම සිය හිස් වැසුම ගලවා නුලාරා දෙස බැලුවේ සිනහමුසුවය.
“කොච්චර කාලෙකට පස්සෙද නේ. ඔයා නං මහත් වෙලා චුට්ටක්.”
ඒ නුලාරා අසන්නට අකමැතිම වචනය. චාරුකගේ කඩවසම් සිරුර සිහිවන සෑම මොහොතකම තමා මහත් වුවහොත් ඔහුට නොගැලපෙතැයි යන බියක් නුලාරාගේ සිතෙහි විය. ඊයේ පෙරේදා සිට ඒ රිදුම වැඩිපුර දැනේ.
“එන්න ඇතුලට…”
තමා අමුත්තන්ට ආරාධනා නොකළ බව නුලාරාට පසක් වූයේත් ඔවුන් දෙදෙනාම යතුරුපැදියෙන් බැස ඉදිරියට පැමිණෙද්දීය.
“මම මහත්වෙලා හිටියේ නෑ. දැන් ප්‍රෙග්නන්ට් නිසා තමයි චුට්ටක් මහත. ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ආපහු හිටිය ගානටම කෙට්ටු වෙයි.”
නුලාරා එසේ පැවසූයේ ඔවුන්ට වාඩිවන්නට සුවපහසු අසුන් පෙන්වමින්ය.
“අයියෝ කෙල්ලේ! ඒක ගැනද මෙච්චර වෙලා හිත හිත හිටියේ. එහෙම මහතක් නෑ අනේ. ලස්සන වෙලා”
එවර සංකල්පනී පැවසූයේ නුලාරාගේ තෙමහල් නිවස වටා තම දෑස් යවමින්ය. ඇය විඳින සැප සම්පත් ගැන කියාපාන්නට මේ නිවසේ වූ බඩු භාණ්ඩ හොඳටම ප්‍රමාණවත් යැයි ඕ සිතුවාය. තමාගේ සේම ධනුකගේ දෑස් ද නිවස වටා ඇවිද යන අයුරු සංකල්පනී නිරීක්ෂණය කළේත් ඒ අතරේය. මෙහෙකාරියක විසින් ගෙන ආ කේක් කැබලි කිහිපයත්, දොඩම් යුෂ වීදුරු දෙකත් මිතුරන් වෙත පිළිගැන්වූයේ නුලාරාමය.
“ධනුකට තමයි මට වඩා උවමනාව තිබුණේ ඔයාව බලන්න එන්න. හැබැයි ඉතින් මෙයාට ගෙදර ඉන්න වෙලාව නම් හරි අඩුයි. අදත් හදිසියේම ෂෝ එකක් වැටිලා. ඒ උනාට ෂෝ එක කැන්සල් කරගෙන හරි ඔයාව බලන්න එනවා කියලා මට පොරොන්දු වුණා. පොරොන්දු වෙච්ච විදිහටම මටත් කලින් එයා තමයි ලෑස්ති වුනේ.”
සංකල්පනී පැවසූයේ බොරුවක්ම නොවේ. අද ධනුක මේ ගමන පැමිණියේ ප්‍රසංගයකුත් අතහැරගෙනය.
“තෑන්ක්ස් ධනුක..මාත් හරි පාළුවෙන් හිටියේ”
නුලාරා සිනහමුසුව යෙහෙළියගේ සැමියා දෙස බලා පැවසූයේ එවේලෙහිය.
“යුවර් වෙල්කම්….මං කොහොම හරි ඒකට වෙලාවක් හදා ගත්තා. නැත්තං ඉතින් මට කනක් ඇහිලා ඉන්න නෑ. හැම වෙලාවකම ඔයා ගැනම කියවනවා. පහුගිය කාලේ සංකල්පනී උන්නෙත් යාළුවන්ගෙන් ටිකක් ඈත් වෙලානේ. ඉතින් මෙහෙම හරි ඔයාව මීට් වෙන්න ලැබෙන එක ගැන එයාට ලොකු සතුටක් තිබුණා.”
සංකල්පනී පැවසූ පරිද්දෙන්ම ඇගේ සැමියා මිත්‍රශීලී අයෙකුයැයි නුලාරාට සිතුනේ එවේලෙහිය.
“මිස්ටර් රඹුක්වැල්ල ගැන මම ගොඩක් දේවල් අහලා තියෙනවා. ඇඩ්වට්‍රයිසින් ෆීල්ඩ් එකේ මාර දක්ෂයෙක්ලු. සතුටයි ඉතින් එයාගේ වයිෆ් මගේ වයිෆ්ගේ යාලුවෙක් වීම ගැන.”
“හස්බන්ඩ් තව ටිකකින් එයි. එයාට බිස්නස් මීටින් එකක්. ගොඩක් දවස්වලට සෙනසුරාදා තමයි එයාලට මීටින් වැටෙන්නේ.”
“නෑ.. නෑ කරදර කරන්න එපා. මිස්ටර් රඹුක්වැල්ලට එයාගේ වැඩටික නිදහසේ කරගන්න දෙන්න. දැන් ඉතින් අපි නාඳුනන මිනිස්සු නෙවෙයිනේ. අපිට ඕනම වෙලාවක මුණ ගැහෙන්න කතා කරන්න පුළුවන්නේ..”
දිගටම කතා කළේ ධනුකය. ඒ අතරේදීත් සංකල්පනී සිටියේ මිතුරියගේ නිවසේ අලංකාරය නරඹමින්ය. මෙම සුව පහසු සෝපාවේ ඉඳගත් පසව නිවසේ හතරෙන් තුනක්ම හොඳින් පෙනේ. පඩිපෙළට ආසන්නයේ වූ හිස් සුදු බිත්තියේ එල්ලා තිබූ විසල් සේයාරුව චාරුක රඹුක්වැල්ලගේත් මිතුරියගේත් ප්‍රී ෂූට් එකේදී ගත් සේයා රුවක් විය යුතුය. ඇගේ මුහුණු පොතටත් මේ ආකාරයේම සේයා රූ කිහිපයක් එක් කර තිබුණා සංකල්පනීට මතකය. කාලයක් මේ රුව කෙල්ලන්ගේ සිහින කුමාරයා වූ බව ඇයට සිහි වූයේත් වේලෙහිය. යෙහෙළිය මේ ගත කරන්නේ සුඛෝපභෝගී ජීවිතයකි. තමාත් ධනුකත් මේ දිනවල පදිංචිව සිටින කුලී නිවස සිහි වූ සංකල්පනීගේ මුවින් පිටවූයේ සුසුමකි. ධනුක සමග පැමිණියාට පසුව මේ ඔවුන් ජීවත් වූ හතරවෙනි හෝ පස්වෙනි කුලී නිවසය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


