“ඔයා ඇත්තටම මට බොරුවක් නෙවෙයි නේද මේ කරන්නේ, පුතේ? ඔයා මේ මට හොරෙන් කොල්ලෙක් එක්ක පැනලා යන්නවත් හදනවද?”
පරණ සාලේ මැද තියලා තිබ්බ ආකර්ෂාගෙ පේන්ට් බඩු පිරෙව්ව පෙට්ටි ටිකයි, ඇඳුම් බෑග් එකයි දිහා බලාගෙන සෙනෙවිරත්න මහත්තයා ඇහුවේ මාරම සැකයෙන් වගේම හිතේ පිරුණු ලොකු දුකකින්. තමන්ගේ එකම කෙල්ල එකපාරටම මෙහෙම දුර රස්සාවකට යනවා කියලා බඩු ලෑස්ති කරද්දී, හාට් ඇටෑක් එක හැදිලා සනීප වෙච්ච ගමන් හිටපු ඒ අහිංසක මනුස්සයාගේ හිතට ආවේ මහ බයක්. තාත්තගෙ තනියට දුරින් නෑවෙන මාමා කෙනෙක් ලඟ නතර වෙන්න ආවට මොකෝ ආකර්ෂා උන්නෙත් හිතේ සම්පූර්ණ නිදහසකින් නෙවෙයි.තමන් මේ ගන්න යන්නෙ ගෑනු ළමේක් විදියට ගන්න යන්න පුළුවන් ලොකුම ලොකු රිස්ක් එකක් කියන එක නොදන්නවා නෙවිනෙ තමන්.
නන්නාඳුනන පිරිමියෙක් එක්ක, එකම වහලක් යට, කවුරුත් නොදන්න රහස් ගිවිසුමකට අනුව මාස හයක් ගත කරනවා කියන එක හිතන තරම් ලේසි සෙල්ලමක් නෙවෙයි කියලා කෙල්ල හොඳාකාරවම දැනගෙන උන්නා. කවීන් කියන්නේ සල්ලි බලයෙන් ඕනෑම දෙයක් යටපත් කරන්න පුළුවන් ජාතියේ පුලුවන්කාරකමක් තියෙන මිනිහෙක් වෙද්දී, තමන් කියන්නේ බිස්නස් ඔක්කොම නට්ටං වෙච්ච අහිංසක තාත්තෙක්ට ඉතිරි වෙලා ඉන්න එකම කෙල්ල විතරයි. මේ ඩීල් එක අස්සේ මොන වගේ කරදරයක්, අනතුරක් තමන්ට වෙයිද කියලා හිතෙද්දී ඇඟ ඇතුළෙන් සීතල වෙලා යන ගතියක් කෙල්ලට දැනුණා.
ඒත්, බැංකුවට සින්න වෙන්න යන, තමන්ගේ මුළු ළමා කාලයම ගෙවිච්ච, අම්මාගේ මතකයන් පිරිච්ච ඒ මහගෙදර බේරගන්න තමන්ට තියෙන එකම සහ අන්තිම අවස්ථාව මේක විතරමයි. තාත්තාගේ පපුවේ අමාරුව තවත් වැඩි වෙලා, මේ ගෙදරත් නැති වුණොත් ඒ මනුස්සයා ජීවත් වෙන්නේ නැති බව ආකර්ෂා හොඳටම දැනගෙන උන්නා. තමන්ගේ ආත්මගරුත්වයයි, බයයි එක පැත්තක තියෙද්දී, තාත්තගේ ජීවිතයයි මහගෙදරයි බේරගන්න ඕන කියන අරමුණ කෙල්ලගේ හිත ඇතුළේ තදින්ම පැල වුණේ අන්න ඒ හන්දා. “ඕන මඟුලක් වෙච්චාවේ, මං මේකට මූණ දෙනවා” කියලා හිතින් දහස් වාරයක් ධෛර්යය උපද්දවා ගන්න ගමන් ආකර්ෂා තාත්තා ඉස්සරහා කිසිම වෙනසක් නොපෙන්වා හිනා වෙන්න උත්සාහ කළේ අන්න ඒ හන්දා.
තාත්තාගේ මූණේ තිබ්බ අසරණකම දැකලා ආකර්ෂාගේ හිත හෝස් ගාලා පිච්චිලා ගියත්, කෙල්ල ඒක පිටට පෙනෙන්න දුන්නේ නෑ. සුපුරුදු කිණ්ඩිය දාලා මූණ ඇද කරලා හිනා වුණෙ තාත්තගෙ හිතේ තියෙන බර අඩු කරන්න.
“අනේ මිස්ට සෙනෙවිරත්න පැනලා යනවා නම් මෙහෙම හැමදේම කියලා, බඩුත් පැක් කරගෙන, ඔයා ඉස්සරහින්ම යනවද? මං මේ යන්නේ මගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් හොඳ රස්සාවකට. ඔය හිතේ තියෙන බය පොඩ්ඩක් අයින් කරගෙන පිරිමියෙක් වගේ සමාජෙට මූණ දෙන්නකො” ආකර්ෂා සෙනෙවිරත්න මහත්තයාගේ අත් දෙක තද කරලා අල්ලගෙන කිව්වේ, හිත ඇතුළෙන් තමන් කරන මේ රඟපෑම ගැන ලොකු බයක්, දුකක්, තාත්තව රවට්ටන්න වෙච්ච එක ගැන ලැජ්ජාවක් දැනෙද්දී.
“දුවේ, ඔයා කවදාවත් මාව දාලා දවසක්වත් පිට තැනක ඉඳලා නෑ. අනික ඔය කියන කම්පැනි විශ්වාස කරන්න පුළුවන්ද? සල්ලි හින්දා මගේ එකම කෙල්ලව නොදන්න පළාතක තනියම යවන්න මගේ හිතට එකඟව මට පුළුවන්කමක් නෑ.”
“අයියෝ තාත්තේ, ඔයා නිකන් පරණ කාලේ විදිහට හිතන්න එපා,” ආකර්ෂා තාත්තාගේ උරහිස වටේට අතක් දාලා ඔළුව උරහිසට හේත්තු කළා.
“ඒගොල්ලෝ මාරම ස්ටෑන්ඩර්ඩ් කම්පැනි එකක්. මට ඉන්න වෙනම සේෆ් කාමරයක්, කන්න බොන්න හැමදේම ඒගොල්ලෝ දෙනවා. අනික තාත්තේ බැංකුවෙන් අපේ මහගෙදර සින්න කරගන්න හදන වෙලාවේ මට මේ වගේ චාන්ස් එකක් මඟහරින්න බෑ. මං මේ හැමදේම කරන්නේ අපේ ගේ බේරගන්න. අනික ඔයා ආයෙ අසනීප උනොත් මං ඒව ගැනත් හිතන්න ඕන නේද? මට ඉන්නෙ ඔයා විතරයි. ඔයාට ඉන්නෙ මං විතරයි”
සෙනෙවිරත්න මහත්තයා දිග හුස්මක් හෙළුවා අන්න ඒ වචන වලට. කෙල්ලගේ ඇස්වල තිබ්බ ස්ථාවර බව දැක්කම ඒ අසරණ තාත්තාට තවත් බෑ කියන්න හිතුණේ නෑ.
“හ්ම්… පරිස්සමෙන් ඉන්න ඕනේ දුවේ. ෆෝන් එක හැමවෙලේම ළඟ තියාගන්න. මට දවසට තුන් පාරක්වත් කෝල් කරන්න ඕනේ” එහෙම කියලා සෙනෙවිරත්න මහත්තයා ආදරෙන් කෙල්ලගෙ ඔළුව අතගෑවා.
“හරි හරි මගේ සුදු තාත්තේ, මං හැම විස්තරයක්ම කියන්නම්කෝ,” ආකර්ෂා හිනාවෙලා බෑග් ටික අතට ගත්තා. කොහොමහරි සේරම බඩුත් අරගෙන, තාත්තාට වැඳලා සමු දීපු ආකර්ෂා, කවීන්ගේ ගෙදරට යද්දි රෑ බෝ වෙලා තිබුණා.
“ඔයාගේ රූම් එක තියෙන්නේ උඩ තට්ටුවේ. එන්න මං පෙන්නන්න,” කවීන් බෑග් ටිකත් අරන් ඉස්සර වුණා.
උඩ තට්ටුවට ගියාම මුළු ෆ්ලෝ එකම හරිම සයිලන්ට්. කවීන් කෙළින්ම ගිහින් කොරිඩෝ එකේ කෙළවරේම තිබ්බ කාමරයක දොර ඇරියා.
“මෙන්න මේක තමයි ඔයාගේ රූම් එක. කිසිම කෙනෙක්ගෙන් බාධාවක් නෑ” කවීන් හිනාවෙලා කිව්වා.
කාමරය ඇතුළට අඩිය තියද්දීම ආකර්ෂාගේ කට නිකන්ම ඇරුණා. ඒක කාමරයක් නෙවෙයි, ඒ කාමරේ අස්සට තමන්ගෙ ගෙදරින් බාගයක්ම වගේ ඔබන්න පුළුවන්.
මැද තිබ්බ කිං සයිස් ඇඳ, සුදු පාට වටින කර්ටන්ස්, ඇටෑච් බාතෘ එක
හැමදේම මාරම ලක්ෂුරියස්. හැමදේටම වඩා කෙල්ලට මීටර් වුණේ ඒ කාමරයට හරියටම එහා පැත්තේ තියෙන්නේ කවීන්ගේ පෞද්ගලික ඔෆිස් කාමරය විත්තිය.
“එතකොට තමුසෙ ඉන්නේ කොහේද?” ආකර්ෂා ඇස් දෙක පුංචි කරලා ඇහුවා.
“මං ඉන්නේ මේ කොරිඩෝ එකේ අනිත් කෙළවරේ කාමරේ. හැබැයි මගේ ඔෆිස් රූම් එක තියෙන්නේ ඔයාගේ කාමරේට එහා පැත්තේ හින්දා මං ගොඩක් වෙලාවට මෙතන ඉන්නවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ” කවීන් ඇස් දෙක නිකන් මොකද්ද කරලා කිව්වේ කෙල්ලව තව ඩිංගක් අවුස්සන්න වගේ.
ආකර්ෂා කාඩ්බෝඩ් පෙට්ටිය ඇඳ උඩින් තියන ගමන් ඒත් හිතින් හිතුවා, “බය වෙන්න? කාටද? මූටද? ශික්… මේ ඩීල් එක ඉවර වෙනකම් මට මූත් එක්ක එකම වහලක් යට ඉන්න වෙනවනේ” කියලා.
ආකර්ෂා කාඩ්බෝඩ් පෙට්ටිය ඇඳ උඩින් තියන ගමන් ඒත් හිතින් හිතුවා, “බය වෙන්න? කාටද? මූටද? ශික්… මේ ඩීල් එක ඉවර වෙනකම් මට මූත් එක්ක එකම වහලක් යට ඉන්න වෙනවනේ,” කියලා.
කවීන් බෑග් ටික කාමරේ පැත්තකින් තියලා, දොර ළඟට ගිහින් හැරුණා.
“එහෙනම් ආකර්ෂා… ෆ්‍රෙෂ් වෙලා රෙස්ට් එකක් ගන්න. මොකක් හරි ඕන වුණොත් මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මං ඔෆිස් රූම් එකේ ඉන්නවා” කියලා මිනිහා යන්න ගියේ හීන් හිනාවක් ආකර්ෂා දිහාවට පා කරලා එවලා. ඒ උනාට ආකර්ෂා නෙවෙයි කවීන්ට ඒකට රිප්ලයි හිනාවක් දුන්නේ. මේ ඔක්කොම රඟපෑම් විත්තිය කෙල්ලට තාම මතක තිබ්බා.
කවීන් කාමරෙන් පිටවුණා විතරයි, ආකර්ෂා හම්මේ ගාලා ලොකු හුස්මක් හෙළලා ඇඳ උඩින් වාඩි වුණා. මුළු කාමරේම රජ කරපු ඒ නිශ්ශබ්දතාවය කෙල්ලගේ හිත තවත් කලබල කළා. සල්ලිකාරකම කියන දේ මේ හැම බිත්තියකින්ම, හැම බඩුවකින්ම කැපිලා පෙනුණා. ඒත් ඒ දිලිසෙන ලස්සන අස්සේ ආකර්ෂාට දැනුණේ මහා ලොකු හුදකලාවක්.
කෙල්ල හෙමින් සැරේ නැගිටලා ගිහින් ලොකු වීදුරු ජනේලෙන් එළිය බැලුවා. ඈතින් පේන කොළඹ නගරයේ ලයිට් එළි දිහා බලන් ඉද්දි ආයෙමත් තාත්තාගේ අසරණ මූණ මතක් වෙලා ඇස් දෙකට කඳුළු උනන්න හැදුවත් කෙල්ල ඒක පාලනය කරගත්තා.
“නෑ… මං අඬන්නේ නෑ.. මං මෙතනට ආවේ අඬන්න නෙවෙයි, මගේ ගේ බේරගන්න” කෙල්ල හිතින් තමන්ටම කියාගත්තා.
මහන්සිය නිසාම එහෙමම නින්ද ගියපු ආකර්ෂාට ආයෙ ඇහැරෙද්දි වෙලාවට රෑ එකට විතර ඇති.
එකපාරටම මුළු ගෙදරම තිබ්බ ලයිට් ඔක්කොම නිවිලා, ෆෑන් එක එහෙමත් එකපාරටම නතර වුණේ මහා මූසල නිශ්ශබ්දතාවයක් කාමරේ ඇතුලෙ ඇති කරන ගමන්. පවර් කට් එකක් වෙන්න ඇති කියලා හිතලා ආකර්ෂා ඇඳෙන් නැගිටින්න හදද්දීමයි කෙල්ලට ඒක මීටර් වුණේ.
මුළු කාමරේම මාරම රස්නෙයි.
අන්න එවෙලෙ තමයි ආකර්ෂාට දැනුණෙ තමන්ගෙ ඇඳ ළඟින් කවුරු හරි හුස්ම ගන්න සද්දයක්. කෙල්ලගේ මුළු ඇඟම ගල් ගැහුණා, පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තේ මරණ බයට. කෙල්ල හෙමින් සැරේ ඇඳ විට්ටමට හේත්තු වෙලා, ඇස් දෙක ලොකු කරලා කළුවර මැද්දෙන් තමන්ගේ ඇඳ ළඟ බැලුවා.
එතන කවුරුත් උන්නෙ නෑ!
හැබැයි… ඒ එක්කම…


