“තමුසෙ මාර ගෑනියෙක්නෙ ඕයි. තමුසෙ කොහොමද එහෙම එක පාර හිතිච්ච හිතිච්ච හැටියට වෙස් මාරු කරන්නෙ?” කියලා කවීන් ඇහුවෙ බ්‍රෙක් ෆස්ට් එක ඉවර වෙලා ආපහු වතාවක් ආකර්ෂාව එයාගෙ කාමරේට ඇරලවන්න උඩට එන අතරවාරෙ.
“මං කටුස්සෙක්නෙ දන්නෙ නැද්ද?”
“අනේ ඇත්තද? මං දැනං හිටියෙ නෑ. විහිලු නෙවෙයි. තමුසෙට චිත්‍ර අඳින්න නෙවෙයි රඟපාන්න යන්න තිබ්බෙ. පුදුම රංගන කුසලතාවයක්නෙ තියෙන්නෙ. මං හිතුවෙ නෑ තමුසෙට එච්චර හොඳට රඟපාන්න පුළුවන්කමක් තියෙනවා කියලා. නිලියක්වනෙ ගෙදෙට්ට ගෙන්නගෙන තියෙන්නෙ මං දන්නෙම නැතුව” කියලා කවීන් කියද්දි ආකර්ෂට පොඩ්ඩක් ලැජ්ජත් හිතුණා.
“මොකද නිකන් ආස හිතුණද මගේ රංගනේට?”
“අම්මෝ අම්මෝ ආස හිතිලා වහ වැටෙන්න මං මේ ගෑනු දැකලා නෑ කියලා හිතුවද?” කියලා නිකන් ලොකු සීන් එකට වගේ කලිසම් සාක්කු දෙක අස්සෙ අත් දෙක දාගෙන ඇඟිලි තද කරගත්තට මොකෝ කම්මුල් දෙක බ්ලශ් වෙච්ච එක නතර කරගන්න නම් කවීන්ට පුළුවන් වුනෙ නෑ.
“අමෝ අමෝ අන්තප්පුරයක් තියෙන මිනිහෙක් වගේනෙ කතාකරන්නෙ”
“ඕන්නම් මට අන්තප්පුරයක් දාගන්න බැරිකමක් නෑ තමයි” කියලා කවීන් නිකන් පඬියා වගේ කියද්දි ආකර්ෂට ඒකටනං පොඩ්ඩක් විතර හිනත් ගියා. හිනා ගියා විතරක් නෙවි හිනා ගියපු පාරට චූ පොඩ්ඩකුත් ගියාද මන්දා.
“අන්තප්පුරයක් දාගන්න පුලුවන්කමක් තියෙද්දිද තමුසෙ මේ මං ලඟ වැඳ වැටුණෙ අනී මාව අපෙ ආච්චි අම්මිගෙන් බේරගන්න මගෙ ෆියන්සේ වගේ රඟපාන්න කියලා” ආකර්ෂා කෝචෝක් එක දාද්දි නම් මෙච්චර වෙලා මූණත්තහඩුවෙ අලවගෙන උන්න වෙස්සන්තර ලුක්ස් ඔක්කොම ටික බල්ලට දාලා ආයෙ වතාවක් යස්සයා ආරූඪ කරගන්න කවීන්ට එච්චර වෙලාවක් ගියේ නෑ.
“මොකද්ද තමුසෙ කිව්වෙ? මං කවද්ද ඕයි තමුසෙ ළඟ වැඳ වැටුණෙ මගෙ ෆියන්සේ වෙන්න කියලා. එහෙම මට මගේ ෆියන්සේ විදියට රඟපාන්න ඕන් නම් අයිශ්වර්‍යා රායිව උනත් ගෙන්න ගන්න පුළුවන් හරිද? මේ තමුසෙවම ඕන කියලා එකක් නෑ”
“වයස වැඩි නැද්ද? තමුසෙ ඒ සීන් එකේද ඉන්නෙ එතකොට?”
“ඒ කිව්වෙ?”
“අයිශ්වර්‍යා රායි වයස වැඩි නැද්ද කියලා ඇහුවෙ තමුසෙගෙ ෆියන්සේ විදියට රඟපාන්න” ආකර්ෂා කට කොණකින් හිනාවෙලා ඇස් දෙකත් උඩ දාලා කියද්දී කවීන් උන්නෙ යස්සයා තොවිලෙට ලෑස්ති කරන ගමන්.
“මේ තමුන් මගේ ටේස්ට් එක ගැන හොයන්න එන්න එපා හරිද? මං කිව්වේ උදාහරණයක්” කවීන් කෑගැහුවෙ වචන පටලව පටලව. “අනික මං මෙතන තමුසෙ ළඟ වැඳ වැටුණේ නෑ හරිද? නිකන් බොරු ගොතන්න හදන්න එපා. මේක බිස්නස් එකක්. මං තමුසෙගේ මහගෙදර බේරලා දෙනවා, තමුසෙ මගේ ආච්චි ඉස්සරහා රඟපානවා. එච්චරයි! නිකන් අතිතෙ අමතකයි වගේ රඟපාන්නෙ මොකද ශෝර්ට් ටර්ම් මෙමරි ලොස් එකක්වත් තියෙනවද?”
“හරි හරි ඉතින් ඔච්චර මල පනින්න ඕනෙ නෑනේ මිස්ටර් කවීන්. මං නිකන් කිව්වේ. හැබැයි ඉතින් අර ආච්චි අම්මා සද්ද දාද්දි මගේ කරට අත දාගෙන පූස් පැටියා වගේ අනී ආච්චි අම්මි ආකර්ෂා තාම දන්නෙ නෑනෙ මෙහෙ ගෙදර වැඩ වෙන විදිය කියද්දී නම් මට හිතුණේ තමුසෙ හෙන අනංගයා කියලා.
ආකර්ෂා තව එක අඩියක් ඉස්සරහට තියලා කවීන්ගේ ටයි එක කෙළින් කරනවා වගේ බොරුවට අත දාලා, මූණ ළඟටම එබුණා. අන්න එවෙලෙ නම් බොරු කියන්න ඕන නෑනෙ ආකර්ෂාගෙ බෝල ඇස් දෙක ඉස්සරහා කවීන්ගෙ හාට් එක ඇත්තටම පොඩ්ඩක් ඩාම් වුණා ඩූම් වුනා. හැබැයි මිනිහට ඒ එක්කම වගේ මතක් වුණා හාට් එක ඩැමේජ් කරගන්න හොඳ නෑ පංචිකාවත්තෙ පාට්ස් නෑ කියලා.
“ඇත්තම කියනවගේ ඒ වෙලාවේ හාට් එක පොඩ්ඩක් ඩාම් වුණා ඩූම් වුණා නේද?”
“ඩාම් ඩූම් වෙයි ඔය ටින් බෙලෙක්ක සද්දෙ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට ඇහිච්ච වෙලාවට. මේ කරුණාකරලා ඕන නැති රෙද්දවල් කතා කරන්නෙ නැතුව මෙන්න මේක හොඳට ඔලුවට සාලේ පල්ලෙහාදී තමුසේ මගේ බබී වුණාට, මේ ගේ ඇතුළේ මට මගේම සීමාවන් තියෙනවා. ඩීල් එකේ සල්ලි ටික ලැබෙනකම් විතරයි මේ හැමදේම. මගේ පෞද්ගලික දේවල් හොයන්න එන්න එපා,” කවීන් මාරම තදින් කියද්දී ආකර්ෂා ඇඳ උඩින් වාඩි වුණේ කටත් ඇද කරලා.
“මටත් තමුසෙව හැමදාම ළඟ තියාගන්න ආසාවක් නැහැ හලෝ. රඟපෑම සාලෙට විතරයි. හැබැයි මට එක දෙයක් දැනගන්න ඕනේ.
ඊයේ රෑ තමුසෙගේ ඔෆිස් කාමරේ ඇතුළේ කවුද ඕයි මරලතෝනි දුන්නේ? ඒ කටහඬ තමුසෙගේ වගේමයි” කියලා ආකර්ෂා කෙළින්ම අහද්දී, කවීන් තිගැස්සිච්ච විත්තිය ආකර්ෂා හොඳටම දැක්කා. ඒ වගේම මිනිහා ඒක තප්පරෙන් කන්ට්‍රෝල් කරගත්ත විත්තියත් ආකර්ෂා දැක්කා.
තප්පරේකට ඒ කාමරේ ඇතුළේ තිබ්බ හුලඟ පවා ගල් ගැහුණා වගේ තමයි ආකර්ෂාට දැනුණෙ. කවීන්ගේ මූණේ මෙච්චර වෙලා තිබ්බ නක්කල් හිනාව එකපාරටම අතුරුදන් වෙද්දී, මිනිහගේ ඇස් දෙක දරුණු ආවේගයකට රතු වෙලා ආවේ හරියට යක්ෂයෙක් ආවේශ වුණා වගේ. මිනිහා එකපාරටම හැරිලා, කිසිම අනුකම්පාවක් නැතුව ආකර්ෂාගේ උරහිස් දෙකෙන් තද කරලා අල්ලගෙන මූණ ළඟටම එබුණේ කෙල්ලට හුස්ම ගන්නවත් ඉඩක් තියන්නෙ නැතුව.
“තමුසෙට රෑට පිස්සු විකාර ඇහෙනවා නම්, පේනවා නම් ඒකට බෙහෙත් ගන්නවා! හැබැයි මගේ ගේ ඇතුළේ ඉඳන්, මගේ සල්ලිවලින් බේරෙන්න හදන ගමන් මගෙ ලයිෆ් එකයි ඒකෙ වෙන දේවල් ගැනයි එක එක ඕන්නැති මගුල් ප්‍රශ්න කරන්න එන්න එපා!” කියලා කවීන් කිව්වෙ ආකර්ෂා කවදාවත් කවීන්ගෙන් දකින්න බලාපොරොත්තු උනේ නැති විදියෙ මාරම නපුරු විදියකින්. තමන් නිකන්ම නිකන් ෆැමිලි බිස්නස් රන් කරන කොල්ලෙක් කියලා හිතන් හිටපු කවීන් ආදිත්‍ය වික්‍රමසිංහට ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු “Owner dada driver යකා” කියන්නෙ ඇයි කියලා ආකර්ෂාට හරියටම තේරුණේ අන්න එවෙලෙ.
මූණට පිටවෙච්ච ඒ වචන කොච්චර රස්නෙ උනත්, ආකර්ෂාගේ උරහිස් මිරිකගෙන හිටපු මිනිහගේ අත් දෙක අයිස් කැටයක් වගේ සීතල වෙලා වෙව්ලනවා කෙල්ලට හොඳටම දැනුණා. ඒ සීතල ඇඟිලි තුඩුවලින් පිටවුණේ කේන්තියක් විතරක් නෙවෙයි, මහා ලොකු අද්භූත බයක් කියන එකත් ඒ එක්කම කෙල්ලගෙ හයියෙන් හයියෙන් ගැහි ගැහි තිබිච්ච පපුවට නොතේරුණා නෙවෙයි. කවීන්ගේ මේ දරුණු වෙනස් වීම ඉස්සරහා ආකර්ෂාගේ පපුව ගැස්සිලා, මුළු ඇඟම හිරිවැටිලා ගියත්, කෙල්ල තමන්ගේ ඇස්වලින් ඒ බය එළියට පෙන්නුවේ නෑ. කෙල්ල කවීන්ගේ ඇස් දිහා කෙළින්ම බලාගෙන හිටියේ වෙන්න යන ඕනෑම දේකට මුහුණ දෙනවා කියන තීරණේ අරගෙන.
කාමරේ ඇතුළේ තප්පර ගණනාවකට රජ කළේ මාරාන්තික සයිලන්ස් එකක්. කවීන්ගේ හුස්ම වැදෙන මානයේ හිටපු ආකර්ෂාට, තමන්ගේම පපුවේ ගැස්ම වගේම මිනිහගේ ඇඟ ඇතුළෙන් ආපු ඒ නොසන්සුන් වෙව්ලීමත් හොඳටම දැනෙන්න ගත්තා. මේ හැමදේම තනිකරම බිස්නස් ඩීල් එකක් විතරයි කියලා හිතාගෙන හිටපු කෙල්ලට, කවීන්ගේ ඇස් අස්සේ හැංගිලා තිබ්බ ඒ බයංකාර ගතිය දැක්කම දැනුණේ මුළු ඇඟම හිරිවට්ටනවා වගේ හැඟීමක්. තමන් නිකන්ම නිකන් සෙල්ලමකට නෙවෙයි, කවදාවත් ගැලවෙන්න බැරි මහා භයානක වංකගිරියකටයි පය තියලා තියෙන්නේ කියන එක ඒ මොහොතේ කෙල්ලගේ හිතට තදින්ම කාවැදුණා.
හැබයි එහෙමයි කියලා ඕන් නැති මගුල්වලට කට දාන්නෙ නැතුව ඉන්න බෑනෙ. අන්න ඒ නිසා තමයි කෙල්ල ඊලඟ මරිමොගංල් ප්‍රශ්නෙ කවීන්ගෙන් ඇහුවෙ තරහා දෙපිටින් යන්නත් එක්ක.
“ඔච්චරටම බය වුණේ මං ඇත්ත දැනගනී කියලා බයවෙලාද? එහෙම බයවුණේ මට දැනගන්න මොකක් හරි ඇත්තක් මේ මහා මාළිගාව අස්සෙ තමුන් හංගගෙන ඉන්න හන්දද?”


