මලක් වී යළි පිපෙන්නම් – 10

0
88

නොලාරා කාමරයේ සිට ආලින්දයට පැමිණියේ චාරුකව සොයාගෙනය. ඔහු බොහෝ දුරට නිවසේ රැඳී සිටින්නේ ඉරිදා දිනයක පමණි. ආලිදයේ එක් පසෙක වන කණුවකට සිය දකුණත තබාගෙන ඔහු දුරකථන ඇමතුමකය. ඔහු එක් කනක වූ ශ්‍රව්‍ය  උපකරණය වම් අතින් කිහිප වරක්ම තද කරන අයුරු නුලාරා බලා සිටියේ ඈතට වීගෙනය. සුදු පැහැති බොටම් වර්ගයේ දිගු කලිසමකුත් ඒ පැහැයේම ස්කිනි වර්ගයේ ටී ෂර්ට්  එකකුත් ඇඳ සිටි තරුණයාගේ කඩවසම් රුව ගැන එවේලෙහි ඇගේ සිතෙහි උපන්නේ ලෝබකමකි. ඔහු පහත මාලයට පැමිණෙන්නට ඇත්තේ දෙවැනි මහලෙහි වූ ව්‍යායාම්  කාමරයේ සිට විය යුතුය. නුලාරා  පසු පසින් ගොස් ඒ බඳ වටා දෑත් යවා ඔහුව වැළඳ ගත්තේ සිත්හි උපන් ආදරය දරාගත නොහැකි වූ තැනය. මේ මගේ සැමියායැයි යන හැඟීම ඒ සිතෙහි එවේලෙහි  පෙරළි කරන්නට වූයේ මහත් වූ ආඩම්බරයක්ද සමඟය.

“උඹ ඉතින් කොහොමත් පිරිමි ළමයි ගැන එච්චර ටච් එකේ ඉඳපු කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ඉතින් ඉස්සර චාරුක රඹුක්වැල්ල කියලා කියන්නේ හැම කෙල්ලෙක්ගෙම හීන කුමාරයා තමයි…”

එවේලෙහි ඇයට සිහි වූයේ යෙහෙළියගේ වදන්ය. ඊයේ මධ්‍යම රාත්‍රියේත් ඕ දුරකථනයේ ගැලරිය අවුස්සා පරණ සේයා රූ කිහිපයක්ම මුහුණු පොතට එක් කළේ ඒ ආඩම්බරයත් සමඟය. ආපසු හැරී සිය බිරිඳ දෙස බලා සිනහසී හිස අත ගෑවාට නුලාරා අපේක්ෂා කළ හැසිරීම ඔහුගෙන් විද්‍යාමාන වූයේ නැත. ඕ සිතා සිටියේ චාරුක ආපසු හැරී තමාව වැළඳගනීයැයි කියාය. අහේතුකවම දුක්ගත් නුලාරාගේ  දෑත් ගිලිහී  වැටුණේ ඇයත් නොදැනුවත්වමය. අවසන ඕ සුව පහසු අසුනේ කෙළවරක අසුන්ගත්තේ හදවතට සිහින් දැවිල්ලක් ගෙන දුන් රිදීමක්ද සමඟය. 

“ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ අමායා..ඒ කන්සෙෆ්ට් එක මට හරි වටිනවා. අමායා තේජනත් එක්ක කතා කරලා ඉස්සරහට වැඩේ කරගෙන යන්න. අනිත් එක මං හිතනව ලොකේෂන් එක අමායම බලලා තීරණය කළොත් හොඳයි කියලා.”

නුලාරාගේ  සිතෙහි කෝපයක් හට ගත්තේ ඔහුගේ ඒ හඬ ඇසෙද්දීය. ක්ෂණයකින් ඇගේ දෑස් ඉදිරිපිට මැවී  නොපෙනී ගියේ අමායාගේ රුවය. ඇය චාරුක රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්වරියයි. අමායා යනු  ඔහු බලාපොරොත්තු වූ තරමටම දක්ෂ සේවිකාවකි. තමාට වඩා වසර කිහිපයක් වැඩිමහල් වූවාට ඇය රුවෙන් සේම අධ්‍යාපන මට්ටමෙන්ද තමාට වඩා ඉදිරියෙන්  සිටින බව නුලාරා දැන සිටියාය. අමායා මින් පෙර සේවය කළේ චාරුකගේ තාත්තා යටතේය. 

“නෑ අමයා  ඒකට ඔයාට හොඳයි කියලා හිතෙන ඩිශිෂන් එකක් ගන්න. තේජනයි ඔයයි ගන්න සමහර තීරණ ගැන මං ප්‍රශ්න කරන්න අවශ්‍යතාවයක් නෑ.”

යළිත් චාරුකගේ ඒ හඬ ඇසෙද්දී නුලාරා වෙවුලා ගියාය. කොහොමටත් මේ ව්‍යාපාර තුළ තේජනටත්,අමායාටත් වූයේ අන් කිසිවෙකුට නොදෙවෙනි වූ තැනකි. විශ්වාසයකි. චාරුක තමා හා ඔහුගේ ව්‍යාපාරික කටයුතු පිළිබඳව නොපවසන තරම්ය. එහෙත් නිවසේ සිටින වේලාවටත් අමායා හෝ තේජන සමග විනාඩි ගණන් දුරකථනයෙහි රැඳී සිටීම අමුත්තක් නොවේ. 

අමායා විවාහ වූයේ මෑතකදීය. ඒ විශ්ව විද්‍යාලයේ සිටම පවත්වාගෙන ආ සම්බන්ධතාවයක් මතය. ඇගේ සැමියා වෘත්තියෙන් ඝණකාධිකාරී වරයෙකු ⁣විය. කෝට්ටේ ප්‍රදේශයේ නම ගිය හෝටලයක පැවති ඒ විවාහ උත්සවයට නුලාරාත් සහභාගී වූවාය. විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරුක සැලකිය යුතු මුදල් ත්‍යාගයක් ලබා දුන්නේ තාත්තාගේ ද උපදෙස් මතය. 

තමා ඈ දුටු සෑම විටකම අමායා ඇද සිටියේ ටයිට් වර්ගයේ කෙටි සායක් සහ අත් දිගු තනි පැහැති කාර්‍යාලීය  බ්ලවුස් එකකි. ඊට කෝට් ෂූ වර්ගයේ අඩිය උස  සපත්තු යුගලක් පැළඳ සිටියාය. ඇගේ කර හැඩ කළේ නවීන විලාසිතාවක සිහින් රන්දම් වැලකි. උසට සරිලන මහතකින් යුත් අමායා සැබවින්ම සුන්දර තරුණියකි වූවාය. නවීන විලාසිතාවකට අනුව සකස් කළ කෙටි කොණ්ඩය ඇයට ගෙන ආවේ වයසටත් වඩා අඩු පෙනුමකි. 

තමාටත් වඩා වැඩි වේලාවක් චාරුක ඇය සමග ගැවසෙනවායැයි සිතද්දී අමායාගේ සිත යළිත් රිදෙන්නට විය. දුරකතන ඇමතුම නිමා කළ සැමියා ⁣’වොෂ් එකක්  දාගෙන එන්නම් බබා’ යැයි පැවසූයේ නුලාරාගේ හිස යළිත් වරක් අතගාමින්ය. ඕ ආයාසයකින් නගාගත් මද සිනහවක් ඔහු වෙත පෑවාය. 

චාරුක  කුඩා මේසය මත තබා ගිය කාර්යාලීය ජංගම  දුරකථනයට එබුණේ ඒ අවසරයෙන්ය. තමා මේ කරන්නේ නොකළ යුතු ක්‍රියාවක්යැයි ඇයට එවේලෙහි සිතුනේ නැත. රහස් අංකය ඔබා විවර කරගත් දුරකථනයේ අස්සක් මුල්ලක් නෑරම ඇය සෙවූයේ සැකයට තුඩු දෙන කාරණාය. එසේ කිසිවක් නොවූ තැන  චාරුකත් අමායාත් දුරකථන ඇමතුමේ රැඳී සිටි වේලාව පිළිබඳව සොයා බැලුවාය. අවසන සුසුමක් හෙලා දුරකතනය පසෙක තැබුවේ තමාටම බැණ ගනිමින්ය.

සෝමා විසින් තැටිල්ලක තබාගත් කොළ කැඳ වීදුරු දෙකක් රැගෙන ආවේ චාරුක යළිත් විසිත්ත  කාමරය දෙසට පැමිණෙද්දීය. 

“මහත්තයා මං උදේට තෝසෙයි පිට්ටුයි හැදුවා. නෝනා කිය කිය හිටියේ පිට්ටු කන්න ආසයි කියලා. දැන්මම කෑම මේසෙට අරින්නද..”

“ඔයාට බඩගිනිද බබා….”

චාරුක එසේ ඇසුවේ කොළ කැඳ වීදුරුව ඇය  අතට දී ඒ අසලින්ම අසුන් ගන්නා ගමන්ය.

“බඩගිනි නෑ පස්සේ කමු…”

නුලාරා පිළිතුරු දුන්නේ ඕනෑවට එපාවටය. වරින් වර සිත රිදවන  මේ සිතුවිලි දැන් ඇයටම වදයක්ව තිබිණ. ‘අපරාදේ අපි දැන්මම බබෙක් හදාගත්තේ…’එසේ සිතුනත් ඒ සිතුවිලි ඔහු හමුවේ වදන් වලට නොපෙරලන්නට ඈ ප්‍රවේශම් වූවාය. 

“බබා මට අම්ම ඊයේ කතා කරලා කිව්වා කිරි අම්මාවරුන්ගේ දානෙකට අපි බාර වෙන්න ඕනේ කියලා. තව පුළුවන් හැම වෙලාවකම ඔයාව පන්සලට එක්කරගෙන යන්න කියලත් කිව්වා. මං ඔයාලගේ අම්මට කතා කළා. අම්ම කිව්වා ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තු මුල් කාලෙම අම්මා කිරි අම්මාවරුන්ගේ දානෙකට බාර උනාලු. අද හවසට අපි දෙන්නා බෙල්ලන්විල පන්සලට යමු. මට පුළුවන් වෙලාවට මං ඔයාව එහෙම එක්කරගෙන යන්නම්. අම්මනං  කිව්වා සෝම එක්ක හරි යවන්න කියලා. ඒ උනාට මගේ හිත ඒකට බයයි බබා…”

චාරුක එවේලෙහි පැවසූයේ ඇගේ කර වටා සිය දකුණත දමාගෙනය. 

‘ඔයාට හැමදේම මතක් වෙන්නේ කවුරුහරි කිව්වට පස්සේ තමයි..’යනුවෙන් කියන්නට සිතුනත් එසේ නොකියා නුලාරා හිස වැනුවාය. ඒ සිතට දැනෙමින් තිබුණේ අලස හැඟීමකි.

සිතෙහි වූ වේදනාව ගතට එක්කර තිබුණේත් රිදුමකි. නුලාරා ගෙවී ගිය දවස් කිහිප පුරාම පෙරුම් පුරමින් බලා සිටින්නේ ඉරිදා දවස උදාවන තුරුය. එහෙත් මෑතක සිට ඒ දවස ගෙවී යන්නේ උදාසීනවය.  සැලසුම් බොහෝ වුවත් ඒ එකක්වත් කරන්නට සිත ඉඩ දෙන්නේ නැත. නුලාරා දවස තිස්සේම කළේ නිදා ගැනීමය. චාරුක සිය ලැප්ටොප් පරිගණකයත් ඇඳ මත තබාගෙන ඈ අසලටම වී උන්නේය. නුලාරා අපහසුවෙන් අනිත් පස හැරෙද්දී ඔහු සිය රාජකාරීන් නවතා ඇගේ හිස අත ගෑවාය. දහවල ඔහු ඇයට කැවුවේත් වදෙන් පොරෙන් සේය. 

“කලබල වෙන්න එපා පුතා. දැන් අට මාසේ ලබලනේ  තියෙන්නේ. ඩොක්ටර් කියන විදිහට එයාට කිසිම ගැටලුවකුත් නැහැනේ. ඔය මේ කාලෙට ඇතිවෙන සාමාන්‍ය දේවල්. පොඩි කම්මැලිකමක්, ටිකක් වැඩිපුර නිදාගන්න හිතන ගතියක්, ඇඟට අපහසුකමක් එහෙමත් දැනෙනවා ඇති.” 

නුලාරාගේ අම්මාට කතා කළ විට ඈ පැවසූයේ එසේය. එනිසාම චාරුක සන්සුන් වූවේය.

                                   ****************

“ඔයා නුලාරට කතා කළාද?”

ධනුක සංකල්පනීගෙන් එසේ ඇසුවේ සුපුරුදු ලෙස සති අන්තයේ තරු පන්තියේ හෝටලයේ පාර්ට් ටයිම් රැකියාවට ගොස් පැමිණියාට පසුවය. වසරකට ආසන්න කාලයක් තිස්සේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල  ධනුකගේ සංගීත කණ්ඩායමට ඒ අවස්ථාව ලැබුණේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ මාර්ගයෙනි. අතට දැනෙන්නට ගණනක් ලැබෙන්නේද එතැනින්ය. හෝටලය අමුත්තන්ගෙන් පිරී යන්නේ සති අන්ත වලදීය. ඉංග්‍රීසි ගීත ගායනයත් වාදනයත් ධනුක ප්‍රමුඛ අනිත් සිව් දෙනාගේ කාර්යය වී තිබිණ. ඒ දින තුනේදීම ඔවුන්ගේ රාත්‍රී ආහාර වේල සේම මත්පැන්ද හෝටලයෙන් ලැබේ.

“අද මං ගත්තා. ඒ උනාට ෆෝන් එක ආන්සර් කළේ නෑ. අද සමහරවිට චාරුක ගෙදර ඇති.”

“ඔයාගේ කිසි උනන්දුවක්  නෑනේ මැණික ඔයා එකපාරයිද ට්‍රයි කළේ?…”

“ඔව් ඉතින් එයාගේ ෆෝන් එකේ මගේ මිස් කෝල් එක එයා දකින්න ඇතිනේ. ඊට පස්සේ එයානෙ ගන්න දැනගන්න ඕනේ.”

“එහෙම හිතලා නම් බෑ සංකල්පි. මං කිව්වනේ ඔය ලොකු කම පැත්තකින් තියලා පුළුවන් තරම් එයාට ළං වෙන්න බලන්න.” 

“හැබැයි ඔයා කියපු එක දෙයක්නම් ඇත්ත..”

“ඒ මොකක්ද ඒ…”

ධනුක එසේ ඇසුවේ ඇදමත වාඩිවී උන් සංකල්පනීට  පිටුපා තමා ඇද උන් කමිසය උනා දමන අතරේය. ධනුක කොණ්ඩ බූලක්  දමා ගැට ගසාගෙන උන් කැරලි කොණ්ඩය දැන් ඕනෑවටත් වඩා වැවී ඇතැයි සංකල්පනීට සිතුනේත් එවේලෙහිය. ඔහුගේ  අත්වල උරහිසේ සිට වැලමිට  දක්වාම වූයේ මකරෙකුගේ රූපය රැගත් පච්චයකි. වැලමිටේ සිට මැණික් කටුව දක්වා තිබෙන කොටසේ එක් අතක සංගීත කණ්ඩායමේ නමත් අනෙක් අතේ ඔහුගේ නමත් කොටා තිබිණ. දෙපාවල දණහිසේ සිට විලුඹ  දක්වා වූයේත් මේයැයි කියා හඳුනාගත නොහැකි වූ රූප කිහිපයකි. දකුණු පසු පපුවේ ඉහළ කෙළවරක හූනෙක්ද, කටුස්සෙක්ද යන්න හරි හැටි හඳුනාගත නොහී වූ සත්වයෙකුගේ රුවක් කොටා තිබිණ. ඒවායේ තේරුම අසන්නට තමාට අමතක වූවායැයි සංකල්පනීට  සිතුනේත් එවේලෙහිය. 

“මොකක්ද ඔයාට තේරුණා කියලා කිව්වේ….”

“මොන සැප සම්පත් හම්බුනත් නුලාරා  ඉන්නෙනම් සතුටින් නෙමෙයි. මට හිතාගන්න බැරි එච්චර සැප සම්පත් තිබිලා ඇයි එයා සතුටින් ඉන්නේ නැත්තෙ කියලා. මට ඒ දේවල් තිබුණනම් මං දන්නවා ජීවත් වෙන්න ඕන විදිය.”

“ඇයි ඔයා එහෙම කියන්නේ….”

“කෝල් එකක් ගන්න හැම වෙලාවකම නුලාරා  කතා කරන්නේ මහා මලානික විදිහට..ඉතින් කොහොම මං හරි පාළුවෙන් හිටියේ ඔයා ගතපු එක හොඳයි. හරි කම්මැලියි අනේ….”

එවර සංකල්පනී ඇද කර පෙන්වූයේ සිය යෙහෙළිය කිසිඳු සතුටක් නොමැතිව කතා කරන අයුරුය. උස් හඬින් හිනැහී සංකල්පනීගේ  නළලත මත හාදුවක් තැබූ ධනුක නාන කාමරයට වැදුණේ ඇඳ විට්ටම මත වූ තුවායත් රැගෙනය. ඔහු නාන කාමරයට වී ගීතයක් සිවුරුහම් කරන අයුරු අසා සිටි සංකල්පනී  සිය දෙපා ඇඳ මතට ගත්තේ විලවුන්  බිඳු කිහිපයක් කන් පෙති පිටුපසත්, ගෙල දෙපසත් තවරා ගන්නා ගමන්ය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here