“මුළු ලෝකෙම සල්ලිවලින් මනින, අනිත් මිනිස්සුන්ට රිදෙනවද නැද්ද කියලා සතපහකට මායිම් නොකරන ඒ මිනිහට ඊයේ රෑ එකපාරටම මොකද වුණේ? ඇයි මිනිහා මං කෑගහද්දිත් කිසිම සද්දයක් නැතුව මගේ බඩු ටික අස් කරන්න උදව් වුණේ?
මිනිහට ඊයේ රෑ කුස්සියේදී මං හදපු පැස්ටා එක සැර වැඩි වෙලා මොළේ නහරයක්වත් මාරු වුණාද දන්නෑ. අප්පේ… මං හිතුවේ ඊයේ රෑ මගේ කෑගැහිල්ලට වලව්වේ වහලෙත් එක්ක බිමට පාත් වෙයි කියලා. වෙනදට නිකන් හුස්ම ගත්තත් වරදක් දකින මනුස්සයා ඊයේ රෑ නිකන් අහිංසක බළල් තඩියා වගේ බිම දිගේ බඩගගා පින්සල් අහුලපු විදිහ මතක් වෙද්දිත් පිස්සු වගේ.
ෂුවර් එකටම මිනිහට ඊයේ රෑ මොකෙක් හරි දෙයියෙක්වත් ආරූඩ වුණා ද දන්නෙ නෑ. නැත්නම් ඉතින් ඔය වගේ කපටි කයිරාටික බිස්නස් මොළේකට ඔහොම අනුකම්පාවක් උපදින්න විදිහක් නෑනේ. මං කෑගහපු කෑගැහිල්ලට මං හිතුවෙ මූ මට බණීවි කියලා වුණාට මිනිහා උන්නෙ නිකන් තව කෑ ගහපන් මට… තව කෑ ගහපන් කියන ලුක් එකකින්නේ. මාර වැඩේ කියන්නේ, බිම වැටිලා තිබ්බ මගේ පාට ටියුබ් එකක්වත් පෑගෙයි කියලා මිනිහා අඩියක් තිබ්බෙත් මාරම පරිස්සමෙන්. නිකන් හරියට වීදුරු කටු උඩ ඇවිදිනවා වගේ. පව් වැඩේ. මිනිහ සමහර විට ගෑණුන්ට බය ඇති. ආච්චිටත් බයයිනෙ. මටත් බය ඇති.
මතක් වෙද්දි හිනත් යනවා. මං ඊයේ රෑ යක්ෂාවේශ වෙලා ඉද්දි මිනිහා නෝණ්ඩියට හෝදගන්නවා නැත්නම් ගඳ ගහයි කියලා කියපු එක විතරයි නපුරුකමකට කියලා කරේ. හැබැයි ඊටපස්සේ මුළු කාමරේම අස් කරලා දෙනකම්ම කට හොල්ලුවේ නෑනේ. මට හිතාගන්න බැරි, මිනිහා මගේ ඉරීච්ච කැන්වස් ටික අහුලලා මේසේ උඩින් තියද්දී මූණේ තිබ්බ අර අමුතුම සීරියස්, සංවේදී ලුක් එක. සමහර විට මිනිහට මං ගැන දුක හිතිලා වෙන්නැති. එහෙම නැත්තම් මාව බය කරන්න හිතාගෙන මූද දන්නෙ නෑ මගෙ කාමරේ අවුල් කරේ. වෙන්න බෑ හැබැයි දිගටම මිනිහා පල්ලෙහමනෙ හිටියෙ. එහෙමෙකේ මිනිහට ගිහිල්ලා කාමරේ අවුල් කරන්න විදියක් නෑනෙ.
හැබැයි ඉතින් මේක ඩීල් එකක් විතරයි කියලා හිත හැමතිස්සෙම මතක් කරලා දෙන එක තමයි එපා වෙන්නේ.
මිනිහා මොන සෙල්ලම දාලා මගේ හිත දිනාගන්න හැදුවත්, මේක තාවකාලික කසාදයක් විතරයිනේ. හැමදාම ඔහොම කාමරේ අස් කරලා දෙනවා නම්, මට තිබ්බා හැමදාම රෑට කාමරේ අවුස්සලා දාලා මිනිහට කියලා අස් කරගන්න. ෂේප් එකේ සර්වන්ට් කෙනෙක් ගන්න යන සල්ලිත් ඉතුරුයිනේ” කියලා හිතන ගමන් ආකර්ෂා කරේ ඉතුරු වෙච්ච කැන්වස් එකක් අරගෙන ඒකෙ මොකක් හරි චිත්‍රයක් අඳින්න හිතුව එක. උදේ වරුවෙ කොහොමත් කවීන් ඔෆිස් ගිහින් ආච්චි අම්මා රස්තියාදුවෙ ගියාට පස්සෙ ගෙදර මල පාලුවෙන් තමයි ආකර්ෂට ඉන්න වෙන්නෙ. චිත්‍ර අඳිනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න මෙලෝ දෙයක් නෑනෙ. මොකෝ කොහෙවත් ඇවිදින්නවත් යන්න කියලද? තාත්තට අහු උනොත් හෙන කේස් එකක්නෙ වෙන්නෙ. ඒ හන්ද ගෙදෙට්ටම වෙලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ආකර්ෂාට නැති තරං.
මෙන්න මේ වෙලාවෙ තමයි වලව්වේ මේන් ගේට් එක ළඟ වාහනයක් හෝන් කරන සද්දේ එක දිගටම ඇහෙන්න ගත්තේ. ආකර්ෂා ඉතුරු වෙලා තිබ්බ චිත්‍ර අඳින පින්සලත් අතේ තියාගෙනම කාමරේ ජනේලයෙන් එබිලා බලද්දී දැක්කේ, නිල් පාට කුරියර් ඇඳුමක් ඇඳගත්ත ඩිලිවරි කරන මනුස්සයෙක් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියකුත් අතේ තියාගෙන ගේට්ටුව ළඟ වටපිට බලමින් ඉන්නවා කියන විත්තිය.
කවුද මේ උදේ පාන්දරම වලව්වට පාර්සල් එවන්නේ කියලා කෙල්ල ජනේලයට වාරු වෙලා බලාගෙන ඉද්දීම, වලව්වේ වැඩට ඉන්න ලිසී කුස්සි පැත්තෙන් මතු වුණා. ලිසී තමන්ගේ රෙද්ද කොනෙන් අත් දෙක පිහදාන ගමන් වේගයෙන් ගේට්ටුව ළඟට ගිහින් අර ඩිලිවරි මනුස්සයා එක්ක මොනවා හරි කතා කරලා, අර ලොකු පෙට්ටිය තමන්ගේ අතට බාරගන්නවා ආකර්ෂා උඩ ඉඳන්ම දැක්කා.
“කාට වෙන්න ඇතිද ඒ පාර්සල් එක? ආච්චි අම්මා මොනවා හරි ඕඩර් කරලද දන්නෑ,” කියලා හිතපු ආකර්ෂා, අතේ තිබ්බ පින්සලත් මේසේ උඩින් තියලා ආපහු කාමරේ ඇඳ උඩින් වාඩි වුණා විතරයි.
ටොක්… ටොක්… ටොක්…
එකපාරටම තමන්ගේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරන සද්දයක් ඇහුණා.
“කවුද?” කියලා අහන ගමන් ආකර්ෂා ගිහින් දොර ඇරලා බලද්දී, මෙන්න දොර ඉස්සරහා ලිසී හිටගෙන ඉන්නවා. උන්දැගේ අත් දෙකේ තිබුණේ අර දැන් ටිකකට කලින් ගේට්ටුව ළඟදී බාරගත්ත ලොකු කාඩ්බෝඩ් පෙට්ටියමයි. පෙට්ටියේ බර හන්දාමද මන්දා ලිසී හිටියේ යාන්තමට හති දාන ගමන්.
“ඇයි ලිසී? මොකක් හරි ප්‍රශ්නයක්ද?” ආකර්ෂා ඇහුවා.
“නෑ නෝනා මේ මෙන්න මේන් ගේට්ටුව ළඟට ඩිලිවරි වාහනයකින් ආවා. මේක ආකර්ෂා නෝනටමයි ඇවිත් තියෙන්නෙ කියලා අර මනුස්සයා කිව්වේ. ඒකයි මං මේ කෙළින්ම උඩට අරන් ආවේ” ලිසී පෙට්ටිය ආකර්ෂා දිහාට දික් කරන ගමන් හිනාවෙලා කිව්වා.
“කවුද එව්වෙ කියලා කිව්වද?” ආකර්ෂා පුදුමයෙන් වගේ අහන ගමන් ලිසීගේ අතින් ඒ ලොකු පෙට්ටිය තමන්ගේ අතට ගත්තා.
“ඒක නම් මං දන්නෙ නෑ නෝනා. මං අත්සන ගහලා ඉක්මනටම අරන් ආවේ” ලිසී හිනාවෙලා එහෙම කියල කාමරෙන් යන්න ගියාම ආකර්ෂා කලබලෙන් දොර වහලා ඇඳ ළඟට දිව්වා.
ලොකු බර කාඩ්බෝඩ් පෙට්ටිය ඇඳ උඩින් තියලා, ආකර්ෂා ඒක වටේට අලවලා තිබ්බ සෙලෝටේප් පටි ටික මාරම නොඉවසිලිමත්කමකින් ගලවන්න ගත්තේ පපුව ඇතුළෙන් ගැහෙන සද්දෙත් එක්කමයි. කවුරු මොනවා එවලා ඇද්ද කියන කුතුහලය කෙල්ලව උපරිමයටම පත් කරලා තිබුණේ. පෙට්ටියේ උඩ පියන් දෙක ඈත් කරලා ආකර්ෂා කලබලෙන් ඒක ඇතුළ එබිලා බලද්දී කෙල්ලගෙ ඇස් අදහාගන්න බැරි වුණා. කෙල්ලට තමන්ගේ ඇස් දෙක මිරිකලා ආයෙත් වතාවක් බලන්න හිතුණේ මේ පේන්නෙ ඇත්තක්මද කියලා හිතාගන්න බැරිවෙච්ච හන්දා.
පෙට්ටිය ඇතුළේ ඉතාම පිළිවෙලට, ලස්සනට අසුරලා තිබුණේ වෙන කිසිම දෙයක් නෙවෙයි ඊයේ රෑ මේ වලව්වේදී මහ ජරා විදිහට විනාස කරලා පොළොවෙ ගහලා කඩලා බිඳලා තිබිච්ච ආර්ට් බඩු.
අලුත්ම කැන්වස් පේපර්ස් විතරක් නෙවෙයි, කෙල්ලට ජීවිතේටවත් තනියම සල්ලි දීලා ගන්න හිතන්නවත් බැරි තරම් වටින ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක පාට ටියුබ්ස් කට්ටලයක්ම පෙට්ටිය ඇතුළේ දිලිසි දිලිසි තිබුණා. ඊයේ රෑ දෙකට තුනට කැඩිලා බිම වැතිරිලා තිබ්බ පින්සල් වෙනුවට, එක එක් ප්‍රමාණයේ මාරම කොලිටි එකේ අලුත්ම පින්සල් සෙට් එකක් ලස්සන කවරයක දාලා පිළිවෙලට තියලා තිබ්බා.
“දෙයියනේ මේවා ඔක්කොම අලුත්ම ඒවානේ!” ආකර්ෂා තමන්ගේ අතින්ම කට වහගත්තේ හිතට ආපු සන්තෝසෙට කෙල්ලගේ ඇස්වලට කඳුළු කැට කිහිපයක් උනද්දී.
ඊයේ රෑ තමන් කේන්තියෙන් බනිද්දී, කෑගහද්දී නිශ්ශබ්දවම බලාගෙන උන්නු යස්සයා උදේම ඔෆිස් යන ගමන් මේ හැමදේම එකින් එක හොයලා බලලා, තමන් වෙනුවෙන් මේ හැම ආර්ට් බඩුවක්ම මෙහෙම රිප්ලේස් කරලා එවන්න තරම් උනන්දු වුණේ කොහොමද කියලා කෙල්ලට හිතාගන්න බැරි වුණා.
ආකර්ෂා මාරම සතුටකින් ඒ අලුත් පාට ටියුබ්ස් ටික එකින් එක අතට අරන් බලද්දී තමයි, ඒ ආර්ට් බඩු අස්සේ හැංගිලා තිබ්බ පුංචි ලියුම් කඩදාසියක් කෙල්ල දැක්කෙ.
“ඊයේ රෑ කාමරේ ඇතුළේ සිද්ධ වුණු දේට සහ ඔයාගේ ආර්ට් බඩු විනාස වෙච්ච එකට මම වගකීම බාරගන්නවා. මගේ පැත්තෙන් ඒ වෙච්ච අඩුපාඩුවට හදවතින්ම සොරි”
වෙනදට මාරම ඊගෝ එකක් තියෙන, හැමදේම සල්ලිවලින් මනින, කාටවත් කවදාවත් නැමෙන්නේ නැති, තමන් තමයි ලොක්කා කියලා හිතාගෙන ඉන්න කවීන්ගේ මේ නිහතමානී, සංවේදී වෙනස දැකලා ආකර්ෂා පුදුමයෙන් පුදුමයට පත් වෙච්ච එක අහන්නත් දෙයක්ද. යස්සයා වගේ මිනිහෙක්ගෙ හිතක් ඇතුළේ මෙච්චර ලස්සන, ලෙන්ගතු තැනක් හැංගිලා තියෙන්න පුළුවන්ද කියලා කෙල්ල කල්පනා කරේ ඇත්තටම මේක මාර අනෙක්ස්පෙක්ටඩ් හන්දා.
කවීන් තමන් වෙනුවෙන් කරපු ඒ පුංචි, ඒත් මාරම වටිනා දේ නිසා ආකර්ෂාගේ හිතේ පහුගිය දවස් ටිකේම තිබ්බ හැම පාලුවක්ම, කේන්තියක්ම කොහෙන්දෝ දියවෙලා ගියා. කෙල්ල ඒ ලියුම් කෑල්ල පපුවට තියාගෙන ඇඳ උඩට වැටුණේ මීට කලින් කවදාවත් මේ වලව්ව ඇතුළේ ඇගේ මූණට ආවේ නැති තරම් ලස්සන, ආදරණීය හිනාවක් තමන්ගේ තොල් පෙති අතරට එකතු කරගන්න ගමන්.
කවීන්ට තැන්ක්‍යු කියන්න හරිනම් තමන් එයාට කෝල් එකක්වත් දෙන්න ඕන විත්තිය මතක තිබ්බට කවීන්ට කෝල් කරන්න හයියක් තිබ්බෙ නැති හන්දා තමයි කෙල්ල වට්සැප් එක ඕපන් කරලා කවීන්ට තැන්ක්‍යු කියලා මැසෙජ් එකක් දැම්මෙ.
කවීන් ඒකට මොකක් හරි රෙස්පොන්ස් මැසේජ් එකක් එවාවි කියලා කෙල්ල බලාපොරොත්තු වුණේ සැහෙන තප්පර ගාණක් යනකම් ටයිපිං කියලා වැටිච්ච හන්දා. ඒ වුණාට අන්තිමේදි කිසිම රිප්ලයි මැසේජ් එකක් නැතුව කවීන් තමන් යැව්ව මැසේජ් එකට නිකන්ම තම්බ්ස් අප් රියැක්ශන් එකක් දාලා තියෙනවා දැක්කම නම් කෙල්ලට ඒත් හිතුණා “ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා” විත්තිය!



