හාතවාරියත්, ගොටුකොලත් මිශ්‍ර කර සකස් කරගත් කැඳ වීඳුරුව සැමියා අතට ගෙන ගොස් දුන් සිතාරා ආපසු හැරුණේ උදෑසන නැගිට පිළියෙල කළ ආප්පවලට ලුණු මිරිසක් සකසන්නට සිතාගෙනය.
“ඇයි ඔයා අද දුවලයි ගෙදර යන්නේ නැද්ද…?”
පැරකුම් එසේ ඇසුවේ රූපවාහිනී තීරයෙන් දෑස් මුදා ගෙනය.
“නෑ අද උදේ අර දුවගේ යාළුවා එනවා කියලා දුව කෝල් කරලා කිව්වා. බබාට ඕන කරන බඩු ඔක්කොම ඔන්ලයින් කෝල් කරලා ගෙන්න ගත්තලුනේ. අද දෙන්නත් එක්ක එකතු වෙලා බෑග් එහෙම හදනවා කියලා කිව්වේ.”
“ඒ ළමයටත් ළමයි නැත්නම් කොහොමද ඔය වැඩ කරගන්න තේරෙන්නේ ඔයා ගියා නං හරි.”
“දැන් ළමයින්ට වැඩක් කරගන්න අත්දැකීම් තියෙන්නම ඕනේ නෑ පැරකුම්. ළමයි අපි වගේ නෙමෙයි සමාජයට හරි විවෘතයි. කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කරන්න ඕනේ මොනවද කියලා දැන් ඒ ළමයි දන්නවා. අපි ඒවාට ඇඟිලි ගහන්න ගියහම තමයි නැති හිත් රිදීම් ඇතිවෙන්න.”
“ඇයි දුව ඔයාගේ හිත රිදෙන්න මොනවා හරි කිව්වද…?”
“අනේ නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මට සමහර වෙලාවට හිතෙනවා. අපි දුවව හැදුවේ කූඩු කරගෙනවත්ද කියලා. නොදැනුවත්වම ඒක වෙලා කියලා”
“ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම…”
“නෑ ඉතින් අපේ වැඩ රාජකාරි හින්දා අපිට එයත් එක්ක ගැවසෙන්න තිබුණු වෙලාව අඩු වුණා. ඒක හින්දම ගොඩක් වෙලාවට එයා ගේ ඇතුලටම සීමා වුණා. එයාත් ඒ ජීවිතේට හුරු උනා. අහම්බෙන් චාරුක පුතා එයාව දැකලා ගෙදරටම ඇවිත් කසාද බඳින්න අවසර ඉල්ලුවා. චාරුක පුතාගේ, ඒ දෙමව්පියන්ගේ තත්ත්වෙයි පැලැන්තියෙයි, වත් පොහොසත්කම් වලයි වරදක් නැති හින්දා අපිට ඒකට එරෙහි වෙන්න උවමනාවක් තිබුනේ නෑ. ඒ උනාට මට දැන් හිතෙනවා අපේ දුව උනත් ටික කාලයක් රස්සාවක් කරලා, ප්‍රයිවෙට් කැම්පස් එකකට හරි ගිහින් මිනිස්සු දැන අඳුනගෙන විවාහ ජීවිතයකට ගියා නං හොඳයි කියලා.”
“ඔයා හේතුවක් නැතුව දෙයක් කියන්නේ නෑ සිතාරා. ඇයි දුවට මොකක් හරි ප්‍රශ්නයක්ද…?”
“අනේ නෑ…චාරුක පුතා ළඟ ඉන්නකල් අපේ දරුවාට ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා මම හිතන්නෙත් නෑ. හැබැයි ඉතින් පහුගිය දවස් ටිකේ එයාගෙන් මං දැකපු දෙයක් තමයි හරි ඉක්මන්ට එයා පුංචි දේටත් කලබල වෙනවා.”
“මෙහෙන් වාඩිවෙන්න සිතාරා ඔයා ඔය කියන දේ මට තේරුම් ඇතුව කියන්නකෝ..”
කැඳ වීදුරුව බී තැටිල්ල මතින් තැබූ පැරකුම් එසේ පැවසූයේ අණකිරීමක් පරිද්දෙන්ය. කොහොමටත් දියණියගේ පුංචි වෙනසකට පවා ඔහු එදා සිට ඕනෑවටත් වඩා කලබලය.
“නෑ මට හිතෙනවා ගේ ඇතුලේ උනත් සිද්ධ වෙන පුංචි පුංචි දේවල් වලට අපේ ළමයා ඕනවට වඩා කලබල වෙනවා කියලා. එයා මේ බාහිර ලෝකෙ ගැන දන්නේ හරි පොඩි දේවල් ටිකක් විතරයි. චාරුක පුතා උනත් ගෙදරින් එළියට බැහැල ගියහම කොච්චර ලොකු වගකීමක් දරණ මනුස්සයෙක්ද කියලා හිතන්න අපේ ළමයට තේරුමක් නැද්ද කියලා මට හිතෙනවා. චාරුක පුතා කියන වෙලාවට විනාඩි දෙකක් තුනක් පහුවෙලා ගෙදර ආවත් දුව කලබලයි”
“ඇයි දුව ඔයා එක්ක මොනවා හරි කිව්වද…?”
“නෑ එයා ඉන්නේ හරි කම්මැලිකමෙන්… දවසක් මමත් එක්ක කිව්වා මේ ලොකු ගෙදරට වෙලා මං තනියම මොනව කරන්නද කියලා. ඒ වෙලාවේ මං හිනා වෙලා කිව්වා දරුවෝ හම්බඋනාට පස්සේ කරන්න ඕන තරම් වැඩ තියෙයි කියලා. ඒ දවස්වල අපිට අපි ගැන හිතන්නවත් කාලයක් තිබුණේ නෑ කියලා”
“ඒක මහා පුදුම කතාවක්නේ. ගෑනියෙකුට ගෙදරක කරන්න වැඩපලද නැත්තේ?. හැමදේම සෝමට භාර දීලා බලාගෙන ඉන්නෙ නැතුව ඔය අතුපතු ගාන වැඩක් හරි එයාට කරන්න පුළුවන්නේ. අර ළමයත් ඒකට කැමති වෙයි.”
“චාරුක අපේ දරුවට ආදරය වැඩිකමට ගෙදර කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්නෙ නෑ. බලෙන් හරි කුස්සියට ආවත් සෝම හරි බයයි චාරුක පුතා ඇවිත් එයාට කෑ ගහයි කියලා. ඒ දරුවා අපේ දුවට පුදුම ආදරයක් තියෙන්නේ”
“ඔය පිස්සු මනස්ගාත හිතලා ඔලුව විකාර කරගන්නේ නැතුව ඉන්න කියන්නකෝ. මං එයාට කතා කරන්නම්..”
“එපා එපා පැරකුම්. මං මේ ඔයාට කිව්වේ මට දැනෙන හිතෙන දේ විතරයි. එහෙම නැතුව දුව මමත් එක්ක කියපු දෙයක් නෙමෙයි. දරුවා හම්බුනාට පස්සේ අපි බලමුකෝ කොහොමද එයාගේ ජීවිතේ ගතවෙන්නේ කියලා. මං දන්නවනේ ඊට පස්සේ එයාට වතුර ටිකක් නා ගන් වත් වෙලාවක් නැතිවෙයි.”
එවර සිතාරා පැවසූයේ මද හඬකින්ය.
“ඔයාගේ හැටිත් මං හොඳටම දන්නවා සිතාරා. ඔයත් එයා වගේම පොඩි පොඩි දේවල් ලොකු කරගෙන කියවන ගෑනිනේ. දෙන්නත් එක්ක එකතු වෙලා ඕන නැති මනස්ගාත කතා කරන්න ලෑස්ති වෙන්න එපා. අර දරුවාගෙත් ඔලුව කන්න…”
පැරකුම් යළිත් රූපවාහිනී තිරය දෙසට හැරුණේ එසේ පවසමින්ය. දිගු සුසුමක් මුදාහළ සිතාරා හිස් වීදුරුවත් රැගෙන නැගී සිටියේ සිත පුරා පැතිරුණු කෝපයක්, කලකිරීමත් සමඟය. එදත් අදත් ඔහු තමාට ඇහුම්කන් දෙන සැමියෙකු නොවූයේය. එනිසාවෙන්ම සිතෙහි තද කර දරා ගත් බොහෝ දේ ඔහුට අදටත් රහසකි. එක තැනක වාඩි වී නිදහසේ යමක් කතා කිරීමට නොහැකි තරම් හදිස්සියක් එදත් ඔහුට විය. විශ්‍රාම ලැබුවත් අද කියා එහි වෙනසක් වී තිබුනේද නැත.
************
“සැකයකට හේතුවක් වෙන්න තරම් චාරුකගෙන් ඔයාට වැරැද්දක් උනේ නෑනේ නුරාලා”
සංකල්පනී පැවසූයේ යෙහෙළියගේ වදන් අඩ හෝරාවක් පමණ අසා සිටියාට පසුවය. රෝහල වෙත ගෙන යා යුතු ඇඳුම් බෑගය නුලාරා සකස් කරගත්තේ සංකල්පනීගේ උදව් ඇතුවය. දරු ප්‍රසූතියට සූදානම් කර තිබුණේ අගනුවර පිහිටි ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකි. චාරුකගේ අම්මාත් තාත්තාත් දෙසතියකට ලංකාවට ඒමට නියමිතව තිබුණේත් ඒ ආසන්න දවස්වලදීය.
“ඒ උනාට මන්දස්මියි චාරුකගේ අතරේ මොනවාම හරි දෙයක් තියෙනවා කියලා මගේ හිත කෑ ගහලා කියනවා. මට මෙහෙම ඔෆිස් එකට යන්න හිතෙන්නෙ නෑ සංකල්පනී. මං මහත් වෙලා කැත වෙලා. මේ විදිහට එළියට බහින්න බෑ මට. මට එතන වෙන දේවල් දැනගන්න ක්‍රමයක් නෑනේ.”
ඕ ඊයේ පෙරේදාත් චාරුක බෙල්ලන්විල පන්සලට ගොස් එහෙමම රෑ කෑමකට යමුයැයි ආරාධනා කරද්දී ඒ ගමන ප්‍රතික්ෂේප කළේ ඇඟට අමාරුයි යනුවෙන් පවසමින්ය. චාරුකවන් කඩවසම් තරුණයෙකු සමග තමා මේ අයුරින් නිවසින් පිටතට යාම සුදුසු නැතැයි නුලාරා සිතුවාය. ළඟකදී සිට ඇය කණ්ණාඩියට එබුණේත් එසේ නොකරම බැරි තැනකදීය. දරු ප්‍රසූතියෙන් පසුව යළිත් පෙර සේම තම රූපය නඩත්තු කරන්නට සිතා සිටියත් විටෙක ඒ සිතෙහි ඇති වන්නේ බියකි.
එකවර යමක් සිහි වූවා සේ සංකල්පනී යෙහෙළිය දෙස බැලුවේ හදිසියෙනි. ඕ තම හිස පහතට හරවා ගෙන ළදරු ඇඳුම් කිහිපයක් නවමින් උන්නාය.
“එතන වෙන දේවල් දැනගන්න ක්‍රමයක් තියෙනවා…”
“ඔයා කියන්නේ ඔෆිස් එකේ කාගෙන් හරි අහන්න කියලද..ඒක හරියන්නෙ නෑ සංකල්පනා එතන ඉන්න උන් චාරුකට පණ ඇරලා. වැරැද්දක් කළත් කියයි කියල මම හිතන්නෙෙ නෑ.”
“ඉස්සර වෙලාම මට කියන්නකෝ ඔයා මේ හැම දෙයක්ම කරලා මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කියලා.”
“ඔයාට තේරෙනවද සංකල්පි චාරුක තවත් කෙනෙකුත් එක්ක බෙදා ගන්න තරම් හයියක් මට නෑ. මට එයාව ඕනේ. එයා මගේ විතරයි. එයාගේ එහෙම සම්බන්ධයක් තියෙනවනං කොහොම හරි චාරුකව එතැනින් ගලවගන්න මට ඕනේ. මට බයයි චාරුක කවද හරි මාව දාලා යයි කියලා. මොන පැත්තෙන් බැලුවත් එයා මට වඩා ගොඩක් ඉහලින් ඉන්න කෙනෙක්…අනේ ප්ලීස් සංකල්පි මට උදව් කරන්න. අඩුම ගානේ මෙහෙම දෙයක් කතා කරන්නවත් කෙනෙක් මට නෑ…”
විශ්වාසය ඇගේ දෑස් වල වූයේ බියය. වේදනාවය. යළිත් සංකල්පනාට තම යෙහෙළිය ගැන ඇති වූයේ දුකකි. ඇගේ මේ බියේත්, වේදනාවේත් සැකයත් අසාධාරණයක් නොවේයැයි ඕ විශ්වාස කළාය.
“ඔයා මං මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා. මේක මං ප්ලෑන් කරලා ඔයාට කියන්න හිතන් ඉඳපු දෙයක් නෙමෙයි.”
“මං දන්නවා.. ඔයා නැත්තං මේ වෙලාවේ මට කවුරුත් නෑ..”
“මං ඔයාට පහුගිය දවසක කිව්වනේ ධනුක එයාගේ ජොබ් එක ගැන හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා. එකක් තමයි එයා නිතරම හිතනවා එයාගේ දක්ෂතාවයට හරියන තැනක් ලැබුනේ නෑ කියලා. අනිත් එක තමයි එයා හිතනවා එයාගේ මහන්සියට හරියන මුදලක් එයාට ලැබෙන්නෙත් නෑ කියලා. මං දන්නෙ නැහැ ධනුක මේ දේට කැමති වෙයිද කියලා. ඒත් අපිට මේ වෙලාවේ එහෙම උදව්වක් ඉල්ලන්න පුළුවන් කෙනෙක් ඉන්නේ එයා විතරයි…”
“මට තේරෙන්නේ නෑ සංකල්පි…”
“ඔයාට පුළුවන් නම් චාරුකට කියලා ධනුක එයාලගේ ඔෆිස් එකේ වැඩට ගන්න. මං හිතන්නේ ධනුක වගේ කෙනෙකුට ආයෙ අමුතුවෙන් ඒ වගේ ජොබ් එකකට එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. එතකොට අපිට පුළුවන් ධනුකගේ මාර්ගයෙන් ඔෆිස් එකේ මොනවද වෙන්නේ කියලා හරියටම දැනගන්න.”
“ඔයා මගේ හිතේ තිබුණු බර සම්පූර්ණයෙන්ම සැහැල්ලු කළා. මං දන් නෑ මං ඔයාට කොහොම තෑන්ක්ස් කරන්නද කියලා. මං අදම ඒක චාරුක එක්ක කතා කරනවා. මං දන්නවා චාරුක ඒකට බෑ කියන්නෙ නෑ. ඒත් ධනුක අයිය කැමති වෙයිද?”
“අකමැති උනොත් අකමැති වෙන්නේ එයාගේ බෑන්ඩ් එක නිසා තමයි. අපි කතා කරල බලමු. මං හිතනවා එයාව කැමති කරගන්න මට පුළුවන් වෙයි කියල”
සංකල්පනීගේ සිතෙහි මල් දහසක් පිබිදී තිබුණත් ඕ ඒ බවක් නුලාරා හමුවේ නොපෙන්නුවාය. ධනුකත් මේසා ඉක්මනින් තමාගේ බලාපොරොත්තු ඉටුවේයැයි නොසිතන්නට ඇත. ඊයේ පෙරේදාත් ඔවුන් කතා කරමින් සිටියේ නුලාරාට වචනය දමන්නට ක්‍රමයක් ගැනය. එය මේසා ලෙහෙසි පහසු කර්තව්‍යක් වේ යැයි සංකල්පනී කිසිසේත්ම නොසිතුවාය. තැනේ හැටියට පැමිණි නුවණ ගැන ඈ උන්නේ මහත් ආඩම්බරයකින්ය. මේ පුවත ධනුකට පවසන තුරු සිතට නිවනක් නොවූයේත් එනිසාය. ඇයට දැනෙමින් තිබුනේ තමා මහා වීරකමක් කලාක් බඳු හැඟීමකි.
අනතුරුව ඕ ධනුකට දුරකථන ඇමතුමක් ලබාගත්තේ නුලාරා නාන කාමරයට යනතුරු සිටය.
“ඇයි සංකල්පි හදිසියක්ද? මං වැඩක ඉන්නේ.”
“මොන වැඩේ තිබුණත් ඒක නවත්තලා චුට්ටක් මට ඇහුම්කන් දෙන්න..”
“අද මං ගෙදර එනවනේ ආවහම කතා කරමු. ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ..”
“ආයෙ ඔයාට දුක් විඳින්න ඕනේ නෑ වැඩේ හරි මං කියන දේ අහන්නකෝ. මං අර වචනෙ දැම්මා…”
“මෙච්චර ඉක්මනට ඇයි ඔයා එහෙම දෙයක් කලේ මං කිව්වනේ නුලාරට බබා හම්බවෙනකන් ඉන්න කියලා.”
“නෑ… නෑ එහෙම කතා කරන්න පොටක් පෑදුනා. ගෙදර ඇවිල්ල වැඩි විස්තර කියන්නම්. දැනට වැඩේ හරි කියලා හිතාගන්නකෝ..”
“නෑ ..නෑ දැන් කතා කරන්න ගත්තු එකේ විස්තරේ කියලම ඉන්නකො…”
සංකල්පනී සියල්ල ඔහුට පැවසූයේ කෙටියෙන්ය.
“දැන් තේරුණාද ගෑනුන්ගේ හැඳිමිටේ තියෙනවයි කියලා කියපු නුවණේ වටිනාකම. නුලාරා කියන ඕනම දෙයක් චාරුක කරනවා”
“ඔයා නම් දෙයියෙක් මයෙ මැණිකේ ආ..මං කිව්වනේ මැණිකේ මගේ ළඟට ආවේ වාසනාවත් අරගෙන කියලා. අපි දුක් විඳපු කාලේ ඉවරයි කියලා හිතාගන්නකෝ. මට ඕනකම තිබුණේ රඹුක්වැල්ල ගෘප් එකට ඔලුව දා ගන්න විතරයි. එතනින් එහාට කරන්න ඕන දේ මං දන්නවා..අද මං ගානෙ ඔයා ඉල්ලන ඕනම දෙයක් ගෙනත් දෙනවා…”
“මට මුකුත් එපා ධනුක. මේ හැමදේම කරන්නේ අපි දෙන්න වෙනුවෙන්. ලොකු කාලයක් ගන්නෙ නැතුව රන්දිකගෙන් ඩිවෝස් එක අරගෙන අපි දෙන්නා මැරි කරමු. සතුටින් විනෝදයෙන් හිටිය වගේ නෙමෙයි කවද හරි දවසක අපි දෙන්නට තනි වෙන්න වුනොත්. නුලාරා අර බණ්ඩි ගෙඩියත් උස්සගෙන ඉන්නව දකින දකින වාරයක් වාරයක් ගානේ මට හිතෙනවා අපි දැන් දරුවෙක් ගැන හිතුවොත් හොඳයි කියලා.”
“හරි මැණිකේ අනිවාර්යෙන් අපි තව චුට්ටක් ඔළුව උස්සගෙන ඉමු. එහෙනම් මං තියන්නං ඈ…උම්මා…මා..මා…”
සංකල්පනා සිනහමුසුව ඇමතුමට සමුදුන්නේ එහා පසින් දුරකථනය මත තැබූ හාදුවේ හඬ ඇසෙද්දීය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


