මලක් වී යළි පිපෙන්නම් – 19

0
35

චාරුකගේ මව සමඟ විනාඩි කිහිපයක් දුරකථන සංවාදයේ යෙදී උන් නුලාරා යෙහෙළියට කෙටි පණිවිඩයක් යැව්වේත් ඒ අතරතුරමය. 

“වෙලාවටම ධනුකව යවන්න…”

ඊට පිළිතුරු ලැබුණේත් ඒ සැණින්මය. 

“එයාව යැව්වා මං දැන් ඔයාලගේ ගෙදර එන්න ලෑස්ති වෙන ගමන්….”

ඊට හදවතක හැඩයේ ඉමෝජියක් සටහන් කල නුලාරා වඩාත් හොඳින් එහා පසින් ඇසෙන හඬට සවන් යොමු කළාය. චාරුකගේ මව කියවමින් උන්නේ චාරුකව ලැබෙන්නට රෝහල් ගතවද්දී ඇය මුහුණ දුන් අත්දැකීම් ගැනය. 

“එතකොට අම්මා තාත්තා එක්ක කවදාවත් බිස්නස් වැඩවලට එකතු වුණේ නැද්ද…”

දවස් කිහිපයක සිටම ඇඟෙන් අසන්නට සිතා උන් පැනය නුලාරා ඇසුවේ තවත් තත්පර කිහිපයකට පසුවය. 

“ඇයි නැත්තේ…ඔය බිස්නස් ගොඩනගාගන්න මුල් දවස්වල තාත්තට ඒ තරම් සේවකයො හිටියේ නෑ පුතේ. ඔය දැන් අපේ වර්ණ බිල්ඩින් එක තියෙන තැනම ඒ දවස්වල පුංචි කඩ කාමර දෙකක් හදාගෙන තමයි අපි බිස්නස් එක පටන් ගත්තේ. තාත්තා ප්‍රපෝසල් හදනවා ඇඩ්වර්ටීස්ට්මන්ට් ලියනවා ඒව අරගෙන චැනල් වලට යනවා. ඒ කාලේ රෙන්ට් එකට කැමරා බඩු අරගෙන තමයි දුව අපි ඔය වැඩ කරගෙන ගියේ. මට ඒ ගැන ලොකු දැනුමක් තිබුනෙ නෑ. ඉතින් තාත්තා කියන කියන හැමදේම මං කළා. වෙලාවකට මේක ලියල දෙන්න කියලා කියනවා වෙලාවකට තේ හදන්න කියනවා. කවුරුවත් ඇවිත් අතුගානකල් මං බලන් හිටියෙ නෑ දුව. සමහර වෙලාවට ප්‍රඩක්ෂන් වලට ලයිට් ඇල්ලුවෙත් මම. බාත්රූම් හේදුවෙත් මම. ඒ කාලේ මේ මගේ තැන ඒක දියුණු කරගන්න ඕන කියන හැඟීම විතරයි මට තිබුණේ.  තාත්තා සේවකයෝ අරගෙන අලුත් බිල්ඩින් එක හදලා දියුණු වෙද්දිත් මං තාත්තත් එක්ක හිටියා. හැබැයි ඉතින් කාලයත් එක්ක මට තේරුණා දැන් එයාට ඕනේ මානසික නිදහස කියලා. ඒ වෙද්දි තාත්තා ⁣මේ බිස්නස් දියුණු කරගන්න රැයක් දවාලක් නැතුව මහන්සි වෙන කාලේ. තාත්ත කොයිවෙලාවකවත් මට කිව්වේ නෑ  දැන් ඔයා ඔෆිස් එන්න එපා ශීලා  කියලා. එන්න එන්න දවසින් දවස තාත්තා බිසී වෙද්දි මම හිතුවා දුව, ගෙදර එයාට නිදහස් පරිසරයක් හදලා දෙන්න ඕනෙ කියලා. මොකද අපි දෙන්නම උදේට ලෑස්ති වෙලා ඔෆිස් එකට යනවා හවසට ගෙදරට එනවා. ඔහේ තියෙන දෙයක් මොනවා හරි රත් කරගෙන කනවා. එතකොට සුදු පුතාවත් අක්කවත් හිටියේ නෑ. මං හිතන්නේ මං ඔයාගේ වයසේ වගේ ඇති. ඊට පස්සේ මං ගෙදර නතර වුණා. උදේට වෙනදට වඩා වැඩිපුර එළවළුවක් හදලා තාත්තට කෑම එකක් බැඳලා දෙන්න මට පුළුවන් වුණා. එයා ගෙදර එද්දි උණු වතුර ටිකක් රත් කරලා තියලා රෑට මොනවා හරි සැහැල්ලු කෑමක් හදලා දීලා නිදහසේ ටිකක් කතා කර කර ඉන්න මට පුළුවන් උනා. ඊට පස්සේ මට ආපහු කවදාවත් ඔෆිස් එකට යන්න උවමනාවක් ඇති වුණේ නෑ. ඔය ඉඳලා හිටලා තිබුණු ෆන්ෂන් එකකට වගේ දේකට ගිහිල්ලා උදව් කළා මිසක්කා. හැබැයි ඉතින් දවස තිස්සේම වෙහෙස වන ඒ මනුස්සයාට ගෙදරට ඇවිල්ලා අතපය දිගහැරලා නිදහසේ ඉන්න පුළුවන් ගෙදරක් හදලා දෙන්න මට පුළුවන් වුණා. ඒවගේම සමාජයට යහපත් දරුවෝ දෙන්නෙක් හදලා දෙන්නත් මට පුළුවන් වුණා.” 

නුලාරා එවදන්  අසා සිටියේ අලසවය. ඇය බලාපොරොත්තු වූ ‘ඔව් දුව ඒවා ගැන අපි හොයලා බලන්න ඕනේ තමයි අපි නැත්නම් කවුද ඒවා ගැන හොයලා බලන්නේ…’යන පිළිතුර වෙනුවට ඇඟෙන් ලැබුණු ඒ දීර්ඝ පිළිතුර නුලාරා ගේ සිත සෑහීමකට පත් කළේ නැත. අවසන දුරකථන ඇමතුමට සමුදුන් ඈ ආලින්දයට ගියේ යෙහෙළියගේ පැමිණීම බලාපොරොත්තු වෙන්ය. 

“කම්මැලියිද බබා….මෙයා ආවට පස්සේ ඔයාගේ කම්මැලිකම නැති වෙලා යයි. සමහරවිට මටත් ඔෆිස් නොගිහිල්ලා ගෙදර ඉන්න හිතෙයිද දන්නේ නෑ…”

උදෑසන චාරුක පැවසූයේ කාර්යාලයට යාමට සූදානම්ව දෙදෙණ බිම තබා කුස සිප ගන්නා ගමන්ය. පුදුමය නම් ඔහු එසේ සිප ගන්නා සෑම වතාවකම දරුවා ඊට ප්‍රතිචාර දක්වන්නා සේ දැඟලීමයි. 

“මට ජොබ් එකක් කරන්න ආසාව තිබුණා චාරුක ඒ උනාට අම්මයි තාත්තයි හැමදාම කිව්වෙ ජොබ් එකක් කරන්න හදිස්සිවෙන්න ඕන නෑ තව ටිකක් ඉගෙන ගන්න කියලා…”

නුලාරා එසේ පැවසූයේ තම සැමියාගේ ටයි පටිය සකස් කරමින්ය. 

තත්තර කිහිපයක් ඈ දෙස බලා උන් චාරුක ඒ දෙවුර හිස් වලට අත තබාගෙන දෑස් වලට එබුනේ සිනහමුසුවය. 

“ඔයාව ජොබ් එකකට යවලා හම්බ කරගන්න තරම් අඩුපාඩුවක් අම්මටයි තාත්තටයි තිබුනෙ නෑනේ බබා. ඔයාට ඕනනම්  බබා හම්බවෙලා මාස කිහිපයක් ගියාට පස්සේ මොනවා හරි ඉගෙන ගන්න. දැන් ඔය ඔන්ලයින් කෝස් ගොඩක් තියනවනේ.”

නුලාරා  කිසිවක් නොකියා සිටියේ සිතෙහි ඇති වූ අපැහැදීමත් සමඟය. මේ මිනිහා හදන්නේ මාව ගෙදරටම කොටු කරලා තියන්න. යටි සිත කෑ ගසන්නට වූයේ එසේ පවසමින්ය. 

“එයාට එහෙමනම් තිබුණනේ බබා හම්බුනාට පස්සේ සර්වන්ට් කෙනෙකුට දාලා ඔයා ඔෆිස් එකට එන්න කියන්න. මං නූගත් ගෑණියෙක් නෙමෙයිනේ..අම්මයි පුතයි දෙන්නම එකයි. ළමයි ඕන තරම් සර්වන්ට්ලා ළඟ දාලා ඩේ කෙයාර් වල දාලා ගෑනු වැඩට යන්නේ.”

අවසන තමාටම පවසාගත් නුලාරා ආලින්දයේ වූ සුවපහසු අසුනකට බර වූවාය. 

“නෝනට මොනවා හරි බොන්න හදලා දෙන්නද…”යනුවෙන් අසාගෙන සෝමා පැමිණියේත් එවේලෙහිය. 

“මොකක්ද සෝමා මේකේ තේරුම. ඔයා කොයි වෙලාවෙත් මාව දැක්ක ගමන් නෝනට මොනවා හරි බොන්න දෙන්නද නෝනට මොනවා හරි කන්න දෙන්නද..සෝම හිතනවද මම කෑම බීම මැෂිමක් කියලා. අනේ  පින් සිද්ධ වෙයි මට මගේ පාඩුවේ ටිකක් ඉන්න දෙන්න..”

අවසන නුලාරා ඇයට සැරවූයේ සිතෙහි වූ අපැහැදීමත් කෝපයත් ඈ මතින් යවමින්ය. සෝමා දෑස් විසල් කරගෙන යළි හැරී යනු දුටුවත් ඇගේ සිතෙහි දුකක් හෝ පසුතැවීමක් ඇතිවූයේ නැත. අවසන සිය දෑස් වලට විරාමය ලබා දෙමින් ස්වයංක්‍රීය ගේට්ටුව විවර වූයේ සංකල්පනීගේ රුව මතු කරමින්ය. ඈ අත වූයේ ප්‍රසිද්ධ ආපනශාලාවකින් ගෙන ආ උළුඳු වඩේ දෙකකි. ආලින්දයේ සිටම  මහත් ගිජුකමකින් එය ගිල දැමූ නුලාරා දෙස බලා උන් සංකල්පනී මුළුතැන් ගෙයට ගොස් වතුර වීදුරුවක් රැගෙන ආවේ සෝමා සමගත් වදනක් දෙකක් කතා කරමින් සිටියාට පසුවය. 

“මොකද සෝමත් මූණ එල්ලගෙන ඔයත් මූණ එල්ලගෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණාද..”

“එපා වෙනවානේ මේ ගෙදර මිනිස්සු මට කවල පොවලා  ගිල්ලවලා කැබිනට් එකේ දාපු බෝනික්කියක්  වගේ තියාගෙන ඉන්න ලෑස්ති වෙන්නේ. ඔයාම චුට්ටක් හිතන්න ඒ මනුස්සයාට මගේ ඔලුව පේන්න බෑ මොනවද කන්නේ මොනවද බොන්නේ අහ අහා පස්සෙන් එනවා. මට චාරුක එක්කත් හරි කේන්තියි අනේ..”

“ඇයි මොකද උනේ…”

“උදේ මගෙන් අහනවා ගෙදර ඉන්න කම්මැලිද කියලා. එහෙම හිතෙනවානම් එයා ඔෆිස් එකේ වැඩ වලට හරි මාව හවුල් කරගන්න එපැයි. මට ඕනෙ සල්ලි නෙමෙයි සංකල්පි…ගෙදර ඉන්න කාලෙත් එහෙමයි ටික කාලෙකට හරි ජොබ් එකක් කරන්න ආසයි කිවුවහම අම්මයි තාත්තයි දෙන්නම කිව්වේ තව ටිකක් ඉගෙන ගන්න කියලා. මං හිතුවා අඩු ගානේ මට චාරුක ළඟට ආවහමවත් මට ඕන විදිහට ජීවත් වෙන්න නිදහස ලැබෙයි කියලා. මේක හිරගෙයක්. මට අප්පිරියයි සංකල්පි…”

“අනේ ඔයා මේ මොනවද කියන්නේ….”

“චාරුක දවසක් කියනවා එයා ආසයිලු දරුවෝ හතර දෙනෙක්වත් හදන්න. මට වෙන්නෙ දරුවෝ හද හද ගෙදරට වෙලා ඉන්න තමයි. අඩුගානේ එයාට කියන්න තිබුණා බබා හම්බවුණාට පස්සේ එයාව සර්වන්ට් කෙනෙක් ළඟ දාලා ඔයා එන්න මමත් එක්ක ඔෆිස් යන්න කියලා හරි. එයාගේ අම්මා කියනවා තාත්තට ගෙදර හොඳ පරිසරයක් හදලා දෙන්න ඕන හින්දා එයා බිස්නස් වලට සම්බන්ධ වුණේ නැහැලු. පිස්සු…මොකද්ද මගේ මේ ජීවිතේ මට හරි දුකයි සංකල්පි.”

“බබා ලැබුණට පස්සේ අපි හෙමිහිට මේ ගැන චාරුකත් එක්ක කතා කරමු. සමහර දේවල් දිහා අපි වැරදි විදිහට බැලුවහම පේන්නේ වැරදිම විතරයි. දැන් ධනුකත් චාරුක ළඟ ඉන්න නිසා අපිට වැරැද්දක් වෙනවද කියලා හොයලා බලන්න පුළුවන්නේ..”

“වැරැද්දක් වෙනවද කියලා නෙමෙයි. වැරදි වෙනවා තමයි. එහෙම මිනිස්සු තමයි ගෑනුන්ව ගෙවල් වලට කොටු කරලා තියන්න හදන්නේ. එයා හිතනව ඇති  එයා මේ දෙන සැප සම්පත් මට අමුතු දේවල් කියලා. මේ තරම් ලොකු ගෙයක් නොතිබුණාට මම හැමදාම හැදුනේ මේ සැප සම්පත් එක්ක තමයි සංකල්පි. මට මේවා මහ දේවල් නෙමෙයි..චාරුකත් මට කියනවා ඉගෙන ගන්නලු. දැන් ඔන්ලයින් කෝස් ඕන  තරම් තියෙනවලු. ඒක මට එයා කියලා දෙන්න ඕනද සංකල්පි.”

එසේ පැවසූ නුලාරා කුඩා මේසය  මත වූ වතුර වීදුරුව පානය කළේ එක හුස්මටය. සංකල්පනී යෙහෙළිය අසුන්ගෙන උන් සුවපහසු අසුනේම කෙළවරක වාඩිවී ඇගේ හිස අතගාන්නට පටන් ගත්තේ ‘තමා මේවාට කුමක් පවසන්නේදැයි’ සිතමින්ය. ඇයට ලැබී තිබෙන්නේ තමා හැමදාමත් ප්‍රාර්ථනාකල සන්සුන් ජීවිතයමය. සැප පහසු ජීවිතයය.

“මං ඔයාගෙන් දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියනවද..?”

“මං මොකටද ඔයාට බොරු කියන්නේ…”

“රන්දික දාල එද්දි ඔයාගේ හිතේ දුකක් තිබුණේ නැද්ද..? මං අහන්නේ අනුකම්පාවක්වත්”

“ඇත්තටම නෑ…මට හිතුනා රන්දික මමත් එක්ක නෙමෙයි ජීවත් වුණේ එයාගේ අම්මයි අක්කයි එක්ක කියලා. එයා ඔෆිස් ඇරිල ගෙදරට ආවට පස්සෙත් අම්මගේ කාමරේට ගිහිල්ලා අම්මා බලලා අම්මත් එක්ක විනාඩි දෙක තුනක් කතා කර කර ඉඳලා තමයි මාව බලන්න එන්නේ. සමහර දේවල් ගැන ඇත්තටම පසුතැවීමක් මගේ හිතේ නැතිව නෙමෙයි. ඒ උනාට මට හැමදාම ඕන වුණේ මාව විතරක් ජීවිතේ කරගෙන ඉන්න පිරිමියෙක්. මාව විතරක් අගය කරන පිරිමියෙක්. හරියට ධනුක වගේ.”

“ඉතිං ඔයා තේරුම් ගන්න මට ඕනෙත් චාරුක එක්ක ඉන්න. එයාගේ ළඟට වෙලා ඉන්න. තනියම එයාට අයිතිවාසිකම් කියන්න. ඔෆිස් එකෙත් එයාගෙ ළඟට වෙලා ඉන්න. එයාට ඒක කරන්න බැරිකමක් නෑනේ. මේ හැමදේම එයාගේ.  තීරණ ගන්න බලය තියෙන්නේ එයාට.”

“අපි තව ටිකක් ඉවසමු නුලාරා. ඔයා මේ වෙලාවෙ කේන්ති ගන්න එක ඒ තරම් හොඳ නෑ. ඒක බබාටයි ඔයාටයි දෙන්නටම හොඳ නෑ..”

සංකල්පනී එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හරිනා අතරේය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here