මලක් වී යළි පිපෙන්නම් – 20

0
33

කාලය ගෙවී ගියේ මහත් වූ අලසකමකින්යැයි  නුලාරා සිතුවාය. චාරුක වෙනදා සේ තමාට ආදරය කරනවා යැයි වරෙක හැඟී ගියත් තවත් වරෙක ඇයට සිතුනේ මේ සියල්ල හිතා මතාම ඔහු පෙන්වන මායාවක් පමණක් බවය. ඊයේ පෙරේදා ඕ නැරඹූ හින්දි චිත්‍රපටයේ වූයේ තම පුද්ගලික ලේකම්වරිය හා පෙමින් වෙළෙන සමාගම් අධ්‍යක්ෂකවරයෙකු ගැනය. අවසන ඔහු තම විවාහක බිරිඳ අතහැර දමමින් පුද්ගලික ලේකම්වරිය හා මහල් නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී නිවසක් ගෙන ජීවත් වූවේය. 

ගෙවී ගිය කාලය තුළ දෙදෙනා අතර ආදරනීය ආලිංගනයකට ඉඩක් නොවූ තරම්ය. සුවපහසුව නිදා ගත්තා මිස වෙනදා සේ  නුලාරා ඔහුගේ පහස නොපැතුවාය. 

“ඔය යන යන තැන හිත  නවතින සමහර පිරිමි ඉන්නවා තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරය කරනවා. එහෙම මිනිස්සුන්ගේ හිත්වල තමන්ගේ ගෑණි ඉන්නේ මේ මගේ ළමයින්ගේ අම්මා කියන තැන විතරයි. දරුවෝ වෙනුවෙන් තමන්ව රැක ගන්න,  දේපළ රැක ගන්න ආත්ම අභිමානය රැක ගන්න ගෑනියෙක් විදිහට තමයි ඒ මිනිහගේ හිතේ දරුවන්ගේ අම්මයි ඉන්නේ…ඒ මිනිස්සු හරි අපූරුවට තමන්ව සාධාරණීකරණය කරගන්නවා..හැබැයි ඒ මිනිහා තමන්ගේ හැඟීම් බෙදා ගන්නේ වෙනත් ගෑනියෙක් එක්ක…”

ඊයේ පෙරේදා  කියවූ  පුවත්පතක කාන්තාවන්ට ඇතිවන ගැටලු පිළිබඳව වූ සාකච්ජා තීරයක ලියැවී තිබුණේ ඒ අයුරින්ය. ඊට පිළිතුරු වශයෙන් බොහෝ කාන්තාවන් තමන්ගේ පවුල් ජීවිතවල ඇති වූ එවැනි ගැටුම් ගැන ලියා තිබිණ.

“මං මගේ මහත්තයව ගොඩක් විශ්වාස කළා. එයා ලොකු කම්පැනි  එකක ඉහළ තනතුරක් දරන කෙනෙක්. පැය විසි හතරම එයා හරි අවිවේකියි  කියලා තමයි මට ඇඟෙව්වේ. උදේට ගෙදරින් යද්දි එයා මගේ නළල ඉඹලා යන්නේ. මං කකුල් දෙක අල්ලලා එයාට වඳිනවා. ඒ තරම් පූජනීය ආදරයක් අපි අතර තියෙන්නේ කියලා මම හිතාගෙන හිටියා. ඉස්සර වෙලාම මට ලැබුණේ පුතෙක්. එයා හැසිරුනේ තමන්ට රාජ්‍යයක් ලැබුණා වගේ. ඊට පස්සේ අපිට හම්බ වුණේ දුවෙක්. මට හිතුනා අපේ පවුල දැන් සම්පූර්ණයි කියලා. මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑනි මම කියලා. ඒ තරම් ආදරය කරන හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඒ තරම් ලස්සන දරුවෝ දෙන්නෙක් ලබන්න මං මොන තරම් පින් කරලා ඇද්ද කියලා මට හිතුනා. හැබැයි මගේ මහත්තයා අවුරුදු ගාණක් තිස්සෙ.එයාගේ ඔෆිස් එකේම ලේඩි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියලා දැන ගත්තම මං ඒ මවාගෙන ඉඳපු මුළු ලෝකෙම මගේ දෙපා මුල කැඩිලා බිඳිලා විසිරිලා ගියා. මං එයත් එක්ක රණ්ඩු කළා, කෑ ගැහුවා, ඇඬුවා..කකුල් දෙක අල්ලලා වැන්දා. ඊට ටික කාලෙකට පස්සේ දැනගත්තේ එයාගේ ජීවිතේ ඉන්නේ ඒ ගෑනු කෙනා විතරක් නෙමෙයි කියලා. හැබැයි ඒ වෙනකල්ම එයා මට අංශු මාත්‍රිකව වෙනසක් වත් පෙන්නුවේ නෑ. ජාත්‍යන්තර සම්මාන දෙන්න ඕනේ එහෙම නළුවන්ට. මට මතක නොතිබුණත් අපි ඉස්සර වෙලාම මුණ ගැහුනු දවස පවා එයාට මතක තිබුණා. ඒ හැම දවසක්ම එයා සැමරුවා. අදටත් මම එයා එක්ක ජීවත් වෙනවා. ඉස්සර වගේ කෑ කෝ ගහලා මං කිසි දෙයක් ඉල්ලන්නේ නෑ. මටම වෙහෙසයි. හැබැයි එයා දරුවන්ට ආදරෙයි. ඒක මං දන්නවා. එයා දරුවෝ ගැන සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. මේ මගේ දරුවන්ගේ තාත්තා කියන තැන ඉඳලා මං මගේ යුතුකම් වගකීම් ඉෂ්ඨ කරනවා. ඇත්ත එයා මට කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ. හැබැයි මේ මට විතරක් හිත නොදීපු, මට විතරක් කය නොදීපු  පිරිමියෙක් නේද කියලා හිතනකොටට මාව හරියට ගිනි ගොඩකට වැටිලා පිළිස්සෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ…”

මේ තමාගේම කතාවයැයි නුලාට සිතුනේ පත්තර පිටුව දෙස බලා සිටිද්දීය. ඒ අයුරින් ඇගේ දෑස් කඳුළින් තෙත්ව ගිය වාර ගණන අනන්තය. ඒ කාලය වද්දී නුලාරා කන්නාඩියට එබී තමාගේ වත දෙස බැලීම පවා අතහැර දැමුවාය. සමහර පිරිමින් තමාගේ බිරිඳ ගර්භණී වූ සමයේදී වෙනත් ගැහැණුන් සොයා යන බව නුලාරා අසා තිබිණ. කුමක්දෝ අහේතුවකට අවසන් දවස් දවස් කිහිපයට ලං වද්දී නුලාරාට සිතුනේම චාරුක වෙනත් ගැහැණියක සමඟ සිට නිවසට පැමිණෙන බවය. 

‘ප්‍රෙග්නන්සි  එකේ අවසාන මාස තුන කියලා කියන්නේ ගොඩක් කාන්තාවෝ කායිකව වගේම මානසිකව වෙනස් වෙන කාලයක්. ඒක සාමාන්‍යයි ඒ කාලෙදි එයාලා ලිංගික සම්බන්ධතා පවත්වන්න කැමති වෙන්නේ නෑ. සමහරවිට දරුවට හානියක් වෙයි කියන බය වගේම තමන්ගේ ඇඟට දැනෙන අපහසුතාත් ඒකට හේතුවක් වෙනවා. ඒ වගේම  සමහර කාන්තාවන් අහේතුකව කේන්ති ගන්නවා. ඩිලිවරි එක ගැන එයාගේ හිතේ තියෙන බය වගේම ඇඟට දැනෙන අපහසුතා ඒකට හේතුවක් වෙන්න පුළුවන්…මිසිස් රඹුක්වැල්ල  මගේ ළඟට ආපු හැම වෙලාවකම මං උවමනාවෙන්ම එයා එක්ක  ටික වෙලාවක් කතා කරන්නේ ඒකයි චාරුක. හැබැයි ඉතින් එයාගේ එහෙම ලොකු වෙනසක් මට දැනුනේ නෑ. එයා මගෙන් ටිකක් වැඩිපුර ප්‍රශ්න කරා ඩිලිවරි එකෙන් පස්සේ එයාට කලින් ඉඳපු තත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. නුලාර කියන්නේ තමන්ගේ රූපය ගැන ටිකක් හිතන කෙනෙක් කියලා තමයි මට ඒ වෙලාවෙ හිතුනේ. එයාගේ රූපයේ ඇති වෙච්ච වෙනස්කම් ගැන එයා යම් ප්‍රමාණයකට වොරි වෙනවා කියලා මං ඒ වෙලාවේ තේරුම් ගත්තා.” 

කිහිප වරක්ම ඇගේ මේ වෙනස්කම් ගැන විමසද්දී වෛද්‍ය සොහාන් චාරුකට පැවසූයේ ඒ අයුරින්ය. ඒ හැරෙන්නට ඇගේ කිසිදු කායික වෙනස්කමක් නොවන බව ඔහු සපථ කරමින් පැවසුවේය. චාරුක යම් පමණකින් හෝ සැනසුම් සුසුමක් හෙළුවේ එනිසාය.

                              ***********

වර්ණ ඇඩ්වර්ටයිසින් හි ධනුකට රැකියාව ලැබුණේ වැඩසටහන් සංවිධායකවරයෙකු ලෙසය. ඔහුට වැඩ කරන්නට සිදු වූයේ  තේජන යටතේය. තේජනත්, චාරුකත් අතර වන යාළු මිත්‍රකම ගැන ධනුක වරෙක සිතුවේ පුදුමයෙන්ය. චාරුක රඹුක්වැල්ලගේ සිතෙහි තේජනත් ඔවුගේ  පුද්ගලික  ලේකම්වරියත් ගැන වූයේ පුදුමාකාර පැහැදීමකි. සියල්ල ඔවුනට භාර දී  නිහඬව බලා සිටින්නට තරම් චාරුක රඹුක්වැල්ල ඔවුන්ව විශ්වාස කරනවායැයි ධනුක සිතුවේය. 

“චාරුක මාර පර්සනල්ටි එකක් තියෙන මිනිහෙක් සංකල්පි. අනිත් එක ඒ මනුස්සයාට කොම්පැනි එකේ හැමෝම මාර විදියට ආදරේ කරනවා. ඒ කිසි කෙනෙක් පඩියට විතරක් වැඩ කරන අය නෙමෙයි. තමන්ගේ තැනක් කියලා හිතාගෙන වැඩ කරන මිනිස්සු..චාරුක ගැන උනත් මං හිතාගෙන ගියපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කියලා මට දැන් හිතෙනවා..”

ඔහු සංකල්පනා හා පැවසූයේ සේවය නිම වී නිවසට පැමිණි එක් සවසකය. මාසයේ වැටුප  ලැබෙන තුරු ජීවත් වන්නට අත මාරුවක් කර ගත්තේ සංගීත කණ්ඩායමේ යහළුවාගෙන්ය. තමාට ලැබෙන්නේ ඉලක්කම් හයක වැටුපක්යැයි දැනගත් මොහොතේ ධනුකගේ සිතුවිලි ප්‍රීතියෙන් ඉපිල යන්නට විය. චාරුක රඹුක්වැල්ලගේ  ඉල්ලීමකට අනුව තමාට ලබා දෙන්නේ ස්ථිර සේවකයෙකුගේ වැටුපක්යැයි ධනුකට පැවසූයේ තේජනය. 

“මම රන්දිකට කතා කළා……”

සංකල්පනා පැවසූයේ උඩුකය නිරුවත්ව ඇඳෙහි වැතිර උන් තම සැමියාගේ පපුව මත සිය ඇඟිලි තුටු වලින් රටා අඳිමින්ය. 

“ඇයි හදිස්සියේ…..”

ඔහු ඇසුවේ සිටින ඉරියව්වවත්, මුහුණේ හැඟීම්වත් වෙනස් නොකරමින්ය. ඉඳහිට හෝ රන්දික තමාට ලබා දෙන දුරකථන ඇමතුමකට සංකල්පනී පිළිතුරු දුන්නේ හොර රහසේය. ඒ ඇමතුම්වල සලකුණු පවා ඇය සිය දුරකථනයෙන් මකා දැමුවේ ධනුක කෝප ගනීයැයි  බියෙන්ය. ඉඳහිට හෝ සංකල්පනී රන්දිකගේ එවන් ඇමතුමකට පිළිතුරු දුන්නේ ඔහුගේ සැප දුක් අසන්නටවත් යළි සබඳකම් අලුත් කර ගැනීමටවත් නොවේ. අකමැත්තෙන්ය. ඕ ප්‍රවේශමෙන් වචන දෙක තුනක් හෝ කතා කලේ රන්දිකව තරහ කර ගැනීම යුතු නොවේයැයි සිතුණු  නිසාය. ඔහුගෙන් දික්කසාදය ලබාගත හැක්කේ එසේ තරහ වී පලි ගසමින් නොවේ.

“ඔයා තරහෙන්ද එහෙම ඇහුවේ….”

අවසන සංකල්පනා උත්සාහ දැරුවේ වචනයක හෝ වෙනසක් සොයන්නටය.

“අපෝ නෑ මොකටද මං තරහ වෙන්නේ?. ඒ ඔයාගේ හස්බන්ඩ්නේ..”

“හිටපු හස්බන්ඩ්..එහෙම කියන්න. මං කතා කළේ ධනුක ඩිවෝස් එක ගැන අහන්න.”

“ඇයි හදිස්සියේම ඔයාට එහෙම දෙයක් කතා කරන්න හිතුනේ.”

“හදිසියෙන් නෙමෙයි අනේ. දැන් ඔයාට හොඳ සැලරි එකකුත් හම්බවෙන එකේ අපි පිළිවෙලක් වෙන්න ඕනෙ නැද්ද ධනුක. ඔයා ගෙදර ගිහිල්ලා අම්මට මං ගැන කියන්න. එයාල කැමති වුණොත් එහෙමයි අකමැති වුනොත් ඒත් එහෙමයි කියලා ඔයා මට පොරොන්දු වුණානේ. සමහර වෙලාවට මං කලින් කසාද බැඳපු ගෑනියෙක් කියලා දැනගත්තහම එයාලා අකමැති වෙයි. අපි මීට වඩා පොඩ්ඩක් හරි ඉඩකඩ තියෙන ගෙදරකට යන්න ඕනේ. නුලාරා අපිට මේ කලේ ලොකු උදව්වක්. සැලරිස් දෙකක් තුනක් ගත්තට පස්සේ අපිට දෙයියනේ කියලා කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කසාද බඳිමු ධනුක..

“ඇයි හදිසියේ? ඔයාට මං ගැන අවිශ්වාසද?”

“අනේ එහෙම හිතන්න එපා. මට දැනෙනවා  හරියට මම අයිතියක් නැති තැනක රැඳිලා ඉන්නවා වගේ හැඟීමක්. මං එහෙම කියන්නේ තරහෙන්වත් දුකෙන්වත් නෙමෙයි. වයස කියන එක එක තැනක නතර වෙලා තියෙන්නේ නෑ ධනුක. තමන්ට ආදරය කරන හස්බන්ඩ් කෙනෙක් ළඟට ගියාට පස්සේ ඕනම ගෑනියෙක්ගෙ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ දරුවෙක්. මට දැන් හිතෙනවා අපේ ලෝකෙටත් එහෙම කෙනෙක් එන්න කාලෙ හරි කියලා. ඊට කලින් අපි අපේ අනිත් අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන ඉන්න ඕන නේද.?”

“දැන්ම රන්දිකගෙන් ඩිවෝස් එක ඉල්ලන්න යන්න එපා.”

“ඇයි ඔයා එහෙම කියන්නේ..”

“මිනිහා තවමත් ඉන්නේ ඔයා එයා ළඟට එයි  කියන බලාපොරොත්තුවෙන්. ඩිවෝස් එක ඉල්ලලා කරදර කළොත් රන්දිකට කේන්ති යන්න පුළුවන්. මොකටද හතුරෙක් ඇති කර ගන්නේ. ඩිවෝස් එක දෙන්න බෑම කියල කිව්වොත් ප්‍රශ්නයක් නේද..ඒක හින්දා තව ටික කාලයක් ඔහොම ඉමු. අපේ ජීවිතවල කාලය තමයි පුදුම විදිහ වෙනස්කම් කරන්න. සමහර විට ඒ කාලේ ඇතුළත රන්දිකට උනත් වෙන කෙනෙක් මුණගැහෙන්න පුළුවන්. එහෙම නැත්තම් එයාටම එපා වෙලා ඩිවෝස් එකට එකඟ වෙන තැනට වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ලොකු කාලයක් නෙමෙයි තව ටික කාලයක් ඉවසමු. මට හිතෙනවා චාරුකළා ඔය කරන ෂෝ එකෙන් පස්සේ මට මිනිහගේ හිතෙත් ලොකු තැනක් තියෙයි කියලා. සමහර අරමුණුවලට යන්න කල් ගන්න තරමටම තමයි ඒවා සක්සස් වෙන්නේ. මේකත් එහෙම දෙයක්. අපි තව ටික කාලයක් ඉවසමු මැණික….”

සංකල්පනී උන්නේ ධනුකගේ පපුව මත හිස තබාගෙනය. තැනින් තැන කඩතොළු වූ හිස් බිත්තිය මිසක ඇය ඔහුගේ දෑස් වල වූ බොරුව දුටුවේ නැත. යාන්තමින් සිතට දුකක් මෝදු වූ බව සැබෑවක් වුවත් ධනුකව විශ්වාස කරගෙන උන් සංකල්පනී හිස වැනුවාය. ඔහු ළඟ වූයේ වෙනස්ම විදිහේ සැලසුම් යැයි ඈ විශ්වාස කළාය. ඒවා සාර්ථක වන බවත් අද සංකල්පනී දන්නේ අත්දැකීමෙන්මය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්…….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here