“බබා මාව සැක කරනවද කියලා හිතෙනවා බං…”
ප්‍රසිද්ධ නමක් සටහන් වූ අවන්හලකින් ගෙන ආ කෝපි බඳුනෙන් උගුරක් දෙකක් පානය කළ චාරුක පැවසූයේ මිතුරා දෙසට හැරීගෙනය. ප්‍රසංගය සඳහා ජනප්‍රිය විදෙස් කලාකරුවන්ට ආරාධනා කර තිබූ අතර කිසිවෙකු ඒ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණේද නැත. ලංකාව වැනි සුන්දර රටකට පැමිණීමට තමනුත් ආසාවෙන් උන් බව ඒ බොහෝ දෙනා පුද්ගලිකවම සඳහන් කර තිබිණ. සමහරුන් ඔවුන්ගේ පුද්ගලික වියදමෙන් තවත් දින කිහිපයක් නතරවීමට සූදානම් බවද පැවසූයේ තේජනමය. මේ වන විටත් රූපවාහිනී මාධ්‍ය ජාලා කිහිපයකින්ම චාරුකගෙන් ඉල්ලීම් කර තිබුණේ ඔවුන් හා සම්මුඛ සාකච්ඡා වලට වේලාවක් ලබා දෙන ලෙසය. මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලාංකික ජනතාව තුළ මේ ප්‍රසංගය පිළිබඳව ඇති උනන්දුව හරි හැටිම වටහා ගන්නට හැකිවිය. දැනටමත් වී අයි පී ප්‍රවේශ පත්‍ර ඉල්ලා බොහෝ දෙනකු පෝලිමේය. දිනෙන් දින වර්ණ ඇඩ්වර්ටයිසින්හි සේවකයන් සේම ප්‍රධානීන්ද කාර්‍යබහුල වෙමින් සිටියහ.
“ඇයි උඹ එහෙම හිතන්නේ….”
තේජන ඇසුවේ සිය ලැප්ටොප් පරිඝනකයෙන් දෑස් ඉවතට ගෙනය. ඔහු පැමිණියේ පිටරටවලින් පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා හෝටල් වෙන් කිරීම ගැන කතා කර ගන්නටය.
“ඊයේ බබා කවදාවත් නැතුව මන්දස්මි ගැන සෑහෙන්න ප්‍රශ්න කළා. මීට කලින් කවදාවත් එයා ඔෆිස් එක ගැනවත් බිස්නස් එක ගැනවත් ඒ තීන්දු තීරණ ගැනවත් ප්‍රශ්න කරලා නෑ. මං ඒ දේවල් එයාට බරක් වෙන විදිහට ගෙදරට ගෙනිහිල්ලත් නෑ. ඒ උනාට මගේ හිතට මාර අවුල් බං.”
“ප්‍රශ්න කරා කියන්නේ…”
“එය අන්තිමට ඇහුවා ඔයාට මන්දස්මි ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ නැද්ද මේකට තෝරගන්න කියලා.”
“එයා එහෙම හිතනවනං ඒකනම් හොඳ ලෙඩක් නෙමෙයි.”
“මං උඹට කිව්වනේ කාලෙක ඉඳලා එයා ඉන්න සතුටින් නෙමෙයි කියලා. ඒක වචන වලින් නොකිව්වට මට දැනෙනවා. මං මේ ලඟදී දවසක් ඇහුවා ඔයා කැමතිනම් ගෙදර ගිහින් ඉමු ටික දවසක් කියලා..”
“මං මේ උඹට කියන්න හිටියේ. මේ වෙලාවේ නුලාරා එහෙම කැමැත්තක ඉන්නවද දන් නෑනේ…අම්මා ලඟට යන්න”
“නෑ බං…එයා ඒකත් බෑ කිව්වා. මට වෙලාවකට හිතෙනවා බලෙන් මං එයාව එක්කරගෙන ඇවිල්ලා මගේ ළඟ නතර කරගෙන ඉන්නවා වගේ හැඟීමක් එයාට තියෙන්නේ කියලා. එයාට මගේ ආදරේ තේරෙන්නෙ නෑ. මාව තේරෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් දැන් මට හිතෙනවා මාව විශ්වාස කරන්නෙත් නෑ කියලා.. මචං මේ ඉන්නේ මං මුලදී දැකපු නුලාරා නෙමෙයි. මගේ ළඟට එන්න මාර හදිස්සියක් තිබුණු කෙල්ලත් නෙමෙයි. ඒ කෙල්ල හා පැටියෙක් වගේ අහිංසකයි බං..”
චාරුක සිය නළලත මිරිකා ගත්තේ එසේ පවසමින්ය. මිතුරා එසේ කරන්නේ උපරිමයෙන්ම නොසන්සුන්ව සිටින අවස්ථාවලය.
“උඹ එච්චර අවුල් වෙන්න එපා බං මටත් හිතා ගන්න බෑ මොනවද මේ වෙන්නේ කියලා.”
“මොන තරම් වැඩ තිබුණත් මං එයා වෙනුවෙන් ගෙදර රැඳෙද්දි එයා ඉන්නේ හරියට මම ගෙදර නෑ වගේ. මට තේරෙනවා හරියට මාව ඉග්නෝ කරන්න උත්සාහ කරනවා. වෙලාවකට එයා අමාය ගැන උනත් මගෙන් අනවශ්‍ය විදිහට ප්‍රශ්න අහනවා කියලා මට තේරෙනවා.”
“මේ අපේ අමාය ගැන…”
“ඔව්…”
“මචං නරකද අපි නුලාරාව සයික්‍රැට්‍රිස් කෙනෙකුට පෙන්නුවොත්….”
“ඒක කොහොමද බං මේ වෙලාවේ කරන්නේ..මචං සොහාන් කියන්නේ ප්‍රෙග්නන්සි එකේ අන්තිම කාලේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. බබාගේ අම්මටත් ඒ ගැන ටිකක් තේරිලා. අම්මා කියන්නේ බබා ගෙදරටම වෙලා හැදිච්ච කෙනෙක් හින්දා එයාට සමාජ ගැන තියෙන අවබෝධය අඩුයි කියලා. අම්මා නොකියා කියන්නේ බබාගේ අතින් වරදක්, හිත් රිදීමක් උනත් ඒක මට ඉවසන්න කියලා.”
“මං හිතුවේ නෑ බං ඒ ප්‍රශ්නෙ මේ තරම් බරපතලයි කියලා.”
“මං පුළුවන් තරම් බබාට ඒ දේවල් නොදැනෙන්න එයාට ළං වෙලා ඉන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් එයා මාව ඒ විදිහට ප්‍රතික්ෂේප කරනකොට මට හරි අවුල් බං.”
“තව මාසයක්වත් නෑනේ බං අපි චුට්ටක් ඉවසමු.”
“මං හිතන්නේ මං ඉවසනවා බං කවදාවත් නැති තරම් ඉවසනවා. උඹ දන්නවද මේ ළඟදි දවසක මම බාත්රූම් එකේ ඉන්න වෙලාවෙ එයා මගේ ෆෝන් එක චෙක් කරලා තියෙනවා.”
“සීරියස්ලි..
“මේ කවදාවත් එයාගෙ තිබුණු පුරුදු නෙමෙයි බං.”
චාරුක දිගු සුසුමක් මුදා හැරියේ එසේ පවසමින්ය.
“මොකද බං මේ කෙල්ලට උනේ..”
“මටත් හිතා ගන්න බෑ….”
චාරුක යළිත් ලැප්ටොප් පරිඝණකයට එබුණේ එසේ පවසමින්ය. තත්පර කිහිපයක් මිතුරා දෙස බලා උන් තේජන කාර්යාල කාමරයෙන් නික්ම ගියේ කුමක් කරන්නේදැයි සිතමින්ය. කෙතරම් සමීප වුවත් චාරුක ඒ සා පුද්ගලික තොරතුරු තමා හා බෙදා ගන්නේ සිතට බරක් වූ තැනකදීම පමණක් බව තේජන දනී. එනිසාම මේ ප්‍රශ්නය ඔහු පැවසූවාටත් වඩා තමා සිතනවාටත් වඩා බරපතළයැයි තේජන විශ්වාස කළේය. විනාඩි කිහිපයක සාකච්ඡාවක් අමායා පැවැත්වූ ඔහු අවසන පවසා සිටියේ ඉක්මනින්ම මිතුරාව කෙටි කලකට කාර්යාලීය වැඩ කටයුතුවලින් නිදහස් කළ යුතු බවය. ඒ සඳහා වෙනදාට වටා වැඩි වේලාවක් කාර්යාලයේ රැඳී සිටීමටත් අත්‍යවශ්‍යම වූ වැඩ රාජකාරී වේලාවක් අවේලාවක් නොබලා නිවසේ සිට කිරීමටත් අමායා පොරොන්දු විය. වේලාවේ හැටියට මේ සුදුසුම විසඳුමයැයි තේජන විශ්වාස කළේය.
*****************
“ධනුකට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැලුද….”
නුලාරා ඇසුවේ තමා ඉදිරිපස ඉදගෙන සිටින මිතුරියගෙන්ය. සංකල්පනී හිස වැනුවේ නැතැයි පවසමින්ය. කෙටි කෑම වර්ගයකුත් බීම වීදුරු දෙකකුත් තැටිල්ලක තබාගෙන පැමිණි සෝමා එය මිතුරියන් දෙදෙනා මධ්‍යයේ වූ කුඩා මේසයෙන් තැබුවේ සිනහසීගෙනය. සංකල්පනී පැමිණ නුලාරාව ගෙඋයනේ දෙතුන් වරක්ම එහෙටත් මෙහෙටත් ඇවිද්ද වූයේ සෝමාගේ ඉල්ලීමටය. වෛද්‍යවරයා වරක් දෙවරක්ම නුලාරාට ඇවිදින්නයැයි පැවසූ බව සෝමාට කීවේ චාරුකය. ඔහු කීප වතාවක්ම ඇයට බෙල්ලන්විල පාක් එකට යමුයැයි ඇවිටිලි කළත් නුලාරා එය ප්‍රතික්ෂේප කළාය.
“ඉස්සර අපේ චූටි නෝනා ඇවිදින්න යන්න හරි ආසයි නේද මහත්තයා…”
“දැන් එයාට ඒක අපහසුවක් වගේ දැනෙනව ඇති සෝමා…”
චාරුක එසේ පැවසුවත් ඇය මේ ප්‍රතික්ෂේප කරන්නේ ඇවිදීම නොව තමායැයි ඔහු විශ්වාස කළේය.
“තේජන ධනුක එක්ක කිව්වලු ඉස්සරහදි වැඩ ටිකක් වැඩි වෙයි. ඔයා හින්දා චාරුකව මේ වැඩ වලින් නිදහස් කරන්න ඕනේ කියලත් කිව්වලු.”
“ඒ උවමනාව අනිත් අයට තිබිලා වැඩක් නෑනේ.”
“අපි දන්නේ නෑනෙ ඒක චාරුකගේ ඉල්ලීමක්ද කියලා. චාරුක මේ දවස් ටිකේම හවස ඔයාට ටිකක් ඇවිදින්න යමු කියලා කතා කළාලු. ඇයි ඔයා බෑ කිව්වේ.”
“ඔයාට කවුද කිව්වේ.”
“සෝමා”
“සෝමා දැන් කේලම් කියන්නත් පටන් අරගෙනද?”
“ඒක කේලමක් නෙමෙයි. ඒ ගෑනිට මේ කිසිම දෙයක් ගැන තේරුමක් නෑ. ඒ මනුස්සයා අම්ම කෙනෙක් වගේ ඔයා ගැන වද වෙනවා, බය වෙනවා. සෝම හිතාගෙන ඉන්නේ ඔයා ඇවිදදේ නැත්නම් ඒක ඩිලිවරි එකට ප්‍රශ්නයක් වෙයි කියලා. චාරුක ලංවෙන්න හදන අවස්ථාවල්වල ඔයා ඈත් වෙලා හරියන්නෙ නෑ නුලාරා.”
“අනේ මන්දා මට එයාව අප්‍රසන්නයි. මට එයාව පේන්නෙම ඉස්සර අපි බලපු ෆිල්ම් එකක, නවකතාවක ඉන්න දෙබිඩි කැරැක්ටර් එකක් වගේ. ගෙදරට එක මූණක් ඔෆිස් එකට තව මූණක්. මේ මොන දේවල් ලැබුනත් මොකටද හිත සතුටින් නැත්නම් මට ඕනි හිතේ සතුට.”
“නුලාරා මං දන්නවා හැම කෙල්ලෙක්ගෙම හීනයක් වෙන්නේ ලස්සන පවුල් ජීවිතයක්. ඔයාගේ පැත්තෙන් භෞතික සැප සම්පත් ඔයාට හිතනවටත් වඩා වැඩිපුර ලැබිලා තියෙනවා. මේ තරම් ලොකු ගෙයක් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් යාන වාහන අතට පයට වැඩකාරයෝ මේවා සමහර කෙනෙකුට හීනයක් විතරක් වෙන්න පුළුවන්…මං දන්නවා එක පැත්තකින් ඔයාගේ තර්කෙ හරි. මට හම්බුනේ මීට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක්. අපි ජීවත් වෙච්ච පරිසරයට වඩා අපි ජීවත් වෙච්ච තත්වෙට වඩා රන්දික ළඟ යමක් කමක් තිබුණ තමයි. හැබැයි ඉතින් රන්දිකගේ ජීවිතේ තැනක් තිබුනේ මට විතරක් නෙමෙයි. එයාගේ අම්මයි නංගි ළඟදි හැමදාම මට වුණේ දෙවැනියෙක් වෙන්න. මං බලාපොරොත්තු වෙච්ච ආදරේ රන්දික ළඟ තිබුණේ නෑ..සමහර විට එයා ඒ ආදරේ පෙන්නන්න දැනගෙන හිටියේ නෑ කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒකයි ධනුක මුණගැහුණු ගමන් මං ඒ ආදරේට වශී උනේ. ඔයා දන්නවද මේ ජීවිතේ හරි දුකක්. ඇත්තටම කිව්වොත් අපිට තාම ඉන්න හිටින්න තැනක්වත් නෑ. හැබැයි ධනුකගේ ආදරේ ළඟදි මට ඒ සැප සම්පත් ගැන හැඟීමකුත් නෑ. දැන් මට ඕනේ දරුවෙක් හදාගෙන එයා එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. හදවතින් වගේම නීතියෙනුත් අපි අපේ වෙන්න. නුලාරා මම මේ දේවල් ගැන කිව්වේ ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන කතා කරන්න. මේ ලොකු ගෙදර ඔයාගේ. ඔයාලගේ ජීවිතය ගැන ඔයාලා තීරණ ගන්නවා. ඒ තීරණවලට බලපෑම් කරන්න කෙනෙක් නෑ. චාරුකගෙන් ලොකු ආදරයක් ගෞරවයක් ඔයාට ලැබෙනවා. මේ දරුවා ආවට පස්සේ ඔයාලගේ ජීවිතේ එක පැත්තකින් සම්පූර්ණයි. ඔයාට මොනවා හරි අපැහැදීමක් තියෙනවනම් චාරුක එක්ක නිදහසේ කතා කරන්න. මං මේ ඔයාට හැමදාම ලැබිච්ච සැප සම්පත් ගැන කතා කරනවා නෙමෙයි. ඒවට ඉරිසියා කරනවත් නෙමෙයි. මං කියන්නේ ලැබිච්ච මේ ජීවිතේ ආරක්ෂා කරගන්න කියලා. ඔය අපැහැදීම් ගැන කෙලින්ම කතා කරන්න. කෙළින්ම එයාගෙන් ප්‍රශ්න කරන්න.”
සංකල්පනී පැවසූයේ යෙහෙළියගේ අත අල්ලාගෙනය. ඇයට ලැබුණු මේ ජීවිතය අහිමි වී යාවියැයි බියක් සංකල්පනීට විය. චාරුක යනු සමාජයට විවෘත වූ මිනිසෙකි. මේ යැයි කියා අඩුපාඩුවක් ඇති අයෙකුද නොවේ. එවැන්නෙකු සිය පුද්ගලික ජීවිතය තුළ විඳව විඳවා ජීවත් වේ යැයි සිතිය නොහැක.
(යළිත් හමුවෙමු ආදරයෙන්……)


