සෙලීනා වලව්වේ නතර වුණු දවසේ ඉඳන්ම කරේ කවීන්ව තමන් ළඟම තියාගන්න මාරම දරුණු විදිහට දඟලපු එක.
ඒකිට ඕන වුණේ කොහොමහරි ආකර්ෂා ඉස්සරහම කවීන් තමන්ගේ විතරයි කියලා පෙන්නන්න. කවීන් ඔෆිස් කාමරේට වෙලා වැඩක් කරන්න ගත්තොත් සෙලීනාට ඒක ඉවසන්න බෑ. එයා එක එක ජාතියේ කෑම බීම, කෝපි කෝප්ප හදාගෙන කවීන්ගේ කාමරේට රිංගන්න මොකක් හරිම විදියක් හොයාගන්නවා.
“කවීන් ඔයාට මහන්සි ඇති කියලා මං මේ ස්පෙෂල් කෝපි එකක් හදාගෙන ආවේ. බොන්නකෝ” සෙලීනා මාරම හුරතල් පාටකින් කවීන්ගේ මේසය උඩින් කෝපි එක තියනවා.
ආකර්ෂා සාලේ ඉන්න වෙලාවට සෙලීනා හිතාමතාම එතනට ඇවිත් කවීන්ට කිට්ටු වෙනවා. ඊටපස්සේ කවීන්ට විතරක් ඇහෙන්න වගේ ලං වෙලා පරණ කාලේ එයාලා එකට කරපු දේවල්, එකට ඇවිදපු තැන් ගැන මතක් කර කර හයියෙන් හිනාවෙනවා.
“කවීන්, ඔයාට මතකද අපි අර එක සැරයක් වැස්සේ තෙමි තෙමි දුවපු දවස? අනේ මන්දා ඒ කාලේ මාරම ෂෝක් නේද?” එයා එහෙම කියද්දී ආකර්ෂාට දැනෙන්නේ තමන් ඒ දෙන්නා මැදට ආපු පිටස්තරයෙක් වගේ. නිකන් තර්ඩ් වීල් වෙන්න ඕන නෑනෙ කියලා කෙල්ල ඒ වෙලාවට තමන්ගෙ කාමරේට ගියාට මොකෝ හිත මෙල්ල කරගන්න එකනම් ලේසි වැඩක් වුණේ නෑ.
කවීන්ට තමන් එක්ක නිදහසේ වචනයක්වත් කතා කරන්න සෙලීනා ඉඩක් තියන්නේම නැහැ කියලා හොඳටම තේරුණත් කෙල්ල උන්නෙ ඒකට විරුද්ධව මෙලෝ දෙයක් කරගන්න බැරුව. අනික මොක උනත් මේක ඩීල් එකක්. සමහර විට කවීන් උනත් එදා අරහෙම හැසිරෙන්න ඇත්තෙ නිකන් ආතල් එකට වෙන්නැති කියල හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ආකර්ෂට තිබ්බෙ නෑ. ඇස් පනාපිට මෙහෙම දේවල් වෙද්දි බලාගෙන ඉන්න එක ජීවිතේ පලවෙනි වතාවට ආදරේ කරන්න පෙළඹිච්ච හිතකට කොච්චර අමාරු උනත් මොන දේ වුණත් තමන් දෙන්නා මැදට පැනලා තමන්ව කොන් කරලා දාන්න සෙලීනා හැම තිස්සෙම බලන් උන්නා කියන එක දැන දැනම ඒකට විරුද්ධ වෙන්න ආකර්ෂට පුලුවන්කමක් තිබ්බෙ නෑ.
“කවීන්, ඔයා මේ වීකෙන්ඩ් ෆ්‍රී නේද? අපි අර අලුතෙන් ඇරපු රෙස්ටුරන්ට් එකට යමුකෝ. ඔයා ආසම කරන කෑම ජාති එහේ තියෙනවලු. මං මෙනු එක බැලුවා ඉල්ලගෙන” සෙලීනා කවීන්ගේ උරහිසට යාන්තම් අතක් තියලා හුරතල් වෙද්දී, කවීන් ඒක මඟහරින්න වගේ පුටුවෙන් නැගිටලා ආකර්ෂා දිහා බලනවා. හැබැයි සෙලීනා ආයෙමත් ඒ දෙන්නා මැදට පැනලා කවීන්ගේ අවධානය තමන් දිහාවට හරවාගන්නවා. “අනේ කවීන්, මං මේ කියන දේ අහන්නකෝ” සෙලීනාගේ ඒ බොරු හුරතල් කටහඬ කොරිඩෝ එක පුරාම රැව්දෙන්න ගනිද්දි ආකර්ෂා ඕව ඉවසන් උන්නෙ පුදුම අමාරුවෙන්.
දවසක් හවස ආකර්ෂා කුස්සියේ ඉඳලා සාලෙට එද්දී සෙලීනා කවීන්ගේ අතකින් යාන්තමට අල්ලගෙන මොකක්දෝ රහසක් කියනවා කෙල්ල දැක්කා. ඒක දැක්ක ගමන් ආකර්ෂාගේ හිත මාරම විදිහට පෑරිලා රිදෙන්න ගත්තා. තමන් මේ වලව්වේ නමට විතරක් කවීන්ගෙ වෙලා ඩීල් එකකට යටත් වෙලා ඉද්දි, සෙලීනා හැමදේම තමන්ට ඕන විදියට අයිති කරගන්නවා නේද කියලා හිතිලා කෙල්ලගේ ඇස්වලට කඳුළු උනන්න හැදුවා.
කවීන් සෙලීනාගේ අත මඟහැරලා ආකර්ෂා ඉන්න දිහාවට එන්න අඩිය උස්සන්න හැදුවත්, සෙලීනා ආයෙමත් කවීන්ගේ කමිසෙන් ඇදලා තමන් දිහාවට අද්දගෙන මොකක්දෝ කියවන්න ගත්තා. මේ හැමදේම දිහා බලාගෙන හිටපු ආකර්ෂාට තවදුරටත් එතන ඉන්න එක මහා වදයක් වගේ දැනුණෙ. කට්ටියම ඉස්සරහා තමන් කොන් වෙනවා දකිද්දී හිතට ආපු ලැජ්ජාවයි කේන්තියයි දරාගන්න බැරුව කෙල්ල තොල් හපාගත්තා.
ආකර්ෂා ඒ හිත් වේදනාව කාටවත්ම නොපෙන්නා, තමන්ගේ ඇස්වලට ආපු කඳුළු කැට හංගගන්න හීන් සැරේ ආපහු හැරුණා. කෙල්ල මාරම අසරණකමකින් වගේම පාලුවකින් හිත රිද්දගෙන, පඩිපෙළ දිගේ වේගෙන් දුවලා ගිහින් තමන්ගේ කාමරේට වැදුණේ මේ හැමදේම දකිද්දී හිත ඇතුළෙන් මහා ලොකු හිස් බවක් දැනිච්ච හන්දා. ඩීල් එක කැන්සල් කරලා ගෙදර යන්න කොච්චර උවමනාව තිබ්බත් එහෙම කරොත් තමන්ට උන් හිටි තැන් අහිමි වෙන බව දන්න හන්දම එහෙම කරන්න පුලුවන්කමක් කෙල්ලට තිබුණෙ නෑ.
සෙලීනාගේ කරදර හින්දා ආකර්ෂා දවස් ගාණක් තිස්සේ උන්නේ මාරම හිත් තැවුලෙන් වගේම පාලුවෙන්.අන්න එහෙම දවසක තමයි කවීන්ට මේක මීටර් වෙලාද මන්දා, මිනිහා දවසක් උදේ කාමරේට ඇවිත් ආකර්ෂාට කිව්වා හවස් වෙලා දෙන්නත් එක්ක විතරක් ෂොපින් යන්න ලෑස්ති වෙන්න කියලා. දවස් ගාණකට පස්සේ කවීන් තමන්ව විතරක් එක්කන් යන්න හදනවා කියලා දැනගත්තම ආකර්ෂාගේ හිතට මාරම සතුටක් දැනුණා. කෙල්ල සෙලීනා හින්දා හිතේ තිබ්බ හැම පාලුවක්ම අමතක කරලා, සෙලීනාට පේන්නත් එක්කම ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳලා, මූණ පුරාම හිනාවක් පුරවගෙන මාරම සතුටින් පල්ලෙහා තට්ටුවට බැස්සා.
හැබැයි පඩිපෙළ බැහැලා සාලෙට අඩිය තියද්දීම ආකර්ෂාගේ මූණේ තිබ්බ හිනාව එකපාරටම අතුරුදන් වෙලා ගියා. කෙල්ල පුදුම වෙලා වගේ බලාගත්තු අත බලාගෙන උන්නෙ ඒ ප්ලෑන් එකත් විනාසයි නේද කියලා තේරිච්ච හන්දා.
මොකද, සාලේ මැද තියෙන සෝෆා එකේ උන්නෙ වෙන කවුරුත් නෙවෙයි, සෙලීනා මාරම ලස්සනට ඇඳ පැළඳගෙන, හෑන්ඩ් බෑග් එකත් අතේ තියාගෙන වාඩි වෙලා. ආකර්ෂා පල්ලෙහාට එනවා දැක්කම සෙලීනා සෝෆා එකෙන් නැගිටලා, මාරම පල් හිනාවක් දාගෙන කෙල්ල ඉස්සරහට ආවා.
“ආ… ආකර්ෂා, ඔයත් ලෑස්ති වුණාද? මරු අනේ යන්” සෙලීනා තමන්ගේ බෑග් එක උරහිසට දාගන්න ගමන් හෙන නොටෝරියස් විදියට තමයි කිව්වෙ
“ඔයා… ඔයා කොහේද මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ සෙලීනා?” ආකර්ෂා තමන්ගේ හිතේ ඇතිවුණු කලකිරීම වහගන්න උපරිම උත්සාහ කරමින් ඇහුවෙ.
“ඇයි අනේ, කවීන් කිව්වේ නැද්ද? මටත් ගන්න බඩු ටිකක් තියෙනවා. ඉතින් මං කවීන්ට කිව්වා මාවත් ඔයාලා යන ගමනට එක්කන් යන්න කියලා. කවීන් ඉතින් මං කියන දේකට කවදාවත් බෑ කියන්නේ නෑනේ” සෙලීනා මාරම කපටි විදිහට ඇස් දෙකක් පුංචි කරලා කිව්වේ හරියට ආකර්ෂාට රිද්දන්න හිතාගෙනම වගේ.
“මමත් ඔයාලත් එක්කම එනවා. ඉස්සරත් අනේ මමයි කවීනුයි හරියට ෂොපින් යනවා.” කියලා සෙලීනා කියද්දිම කවීනුත් ඔෆිස් කාමරේ පැත්තෙන් සාලෙට ආවා. මිනිහා ලෑස්ති වෙලා ඉන්න සෙලීනා දිහා බලලා, ඊටපස්සේ මූණ අඳුරු කරගෙන ඉන්න ආකර්ෂා දිහා බැලුවා. කවීන්ගේ මූණෙත් තිබුණේ මහා ලොකු අකමැත්තක් වුණත්, සෙලීනා හැමෝම ඉස්සරහා බලෙන්ම මේ ගමනට රිංගපු එක මිනිහටත් එකපාරටම නතර කරගන්න බැරි වුණා වගේ. හැබැයි ඒක ආකර්ෂා දැනගෙන උන්නෙ නෑ.
“ යමු නේද? ඔයාගේ කාර් එකේ ඉස්සරහා සීට් එක මගේ හොඳේ මට පරණ පුරුද්දට ඉස්සරහින් ඉඳගන්න ඕනේ” සෙලීනා කවීන්ගේ අතකින් ඇදගෙනම ඉස්සරහට යද්දී ආකර්ෂා එතනම ගල් වෙලා වගේ බලාගෙන උන්නා.
කෙල්ලට දැනුණේ තමන්ගේ සතුට සේරම සෙලීනා එක තත්පරයෙන් විනාස කරලා දැම්මා වගේ මහා ලොකු වේදනාවක්. කවීන් ආකර්ෂා දිහා හැරිලා බලලා, තමන්ගේ ඇස්වලින් සොරි කියන්න වගේ ෆීලින් එකක් පෙන්නුවත්, හිත හොඳටම පෑරිලා තිබ්බ ආකර්ෂා ඒක මායිම් කරේ නෑ. “අපි දෙන්නා විතරයි යන්නෙ” කියලා හිතපු ෂොපින් ගමන, සෙලීනාගේ මේ බලහත්කාරී රිංගීම හින්දා සම්පූර්ණයෙන්ම මූසල වෙලා යද්දී, ආකර්ෂා මහා ලොකු කලකිරීමකින් වගේම හිතේ පිරුණු කඳුළුත් එක්ක එයාලගේ පස්සෙන් ඇවිදගෙන ගියා.
ෂොපින් මෝල් එකට ඇතුළු වුණු වෙලාවේ ඉඳන්ම සෙලීනා කරේ කවීන්ගේ ඇඟේම එල්ලීගෙන වැල් වටාරම් කියවපු එක. එක එක ඇඳුම් කඩවල් අස්සේ රිංග රිංගා, ඇඳුම් තෝරලා කවීන්ගේ ඇඟට තිය තියා අහන්න ගත්තේ හරියට ආකර්ෂා කියලා කෙනෙක් එතන පේන්නෙවත් නැති ගාණට.
“කවීන් මේ ඩ්‍රෙස් එක බලන්නකෝ. මේක මට මාරම ලස්සනයි නේද අනේ? ඔයා ඉස්සරත් මං මේ වගේ ඒව අඳිනවට මාරම ආසයිනේ” සෙලීනා මාරම හුරතල් හිනාවක් දාගෙන කවීන්ට තවත් ලං වෙද්දී, කවීන් මූණත් බෙරි කරගෙන ආකර්ෂා දිහා බැලුවා.
ආකර්ෂා උන්නේ කඩේ එක පැත්තකට වෙලා මාරම කලකිරීමෙන් බිම බලාගෙන. සෙලීනා එක එක ජාතියේ බෑග්, සෙරෙප්පු තෝරලා කවීන් ලවාම ඒ හැමදේටම සල්ලි ගෙවද්දී, ආකර්ෂාට තමන් එතන ඉන්න එකත් මහා ලොකු නින්දාවක් වගේ දැනුණෙ. ඒ අස්සේ කවීන් සෙලීනාට හොරෙන් ආකර්ෂාගේ අතින් යාන්තමට අල්ලන්න හැදුවත්, හිත හොඳටම පෑරිලා හිටපු කෙල්ල මාරම කේන්තියෙන් කවීන්ගේ අත ගසාදාලා අහකට හැරුණා.
“මාත් එක්ක තරහෙන් වගේ ඇයි?” කියලා කවීන් ආකර්ෂාගෙන් ඇහුවෙ ඇත්තටම ආකර්ෂා මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරුව වගේ.
“තරහෙන් වගේ? වගේ නෙවෙයි තරහෙන් තමයි. තමුසෙ නං මහ ලැජ්ජ නැති මිනිහෙක්” කියලා ආකර්ෂා කියද්දි කවීන්ගෙ ඇස් තිබ්බෙ නළලෙ නෙවෙයි ඊටත් උඩින්ද මන්දා.
“ඇයි? තමුසෙට පුදුමද? ඇස් දෙක නළලෙ තියන් බලන් ඉන්නේ නිකන් මං වැරදිකාරයා වගේනේ ඇයි අරෙහෙන් කවීන්… අනේ මේ සෙරෙප්පුව කවීන්… අනේ අර ඩ්‍රෙස් එක ගාලා වලිගෙ පාගගත්තු වැඳිරි වගේ ඒකී තමුසෙගේ ඇඟේ එල්ලෙද්දී මාර සෝක් නේද? සල්ලි ගෙවන්න විතරක් නෙවෙයි, තව ටිකකින් ඒකිගේ හෑන්ඩ් බෑග් ටිකයි, සෙරෙප්පු ජෝඩු ටිකයි සේරම බෙල්ලේ එල්ලාගෙන මෙතන මැනිකින් එකක් වගේ හිටන් ඉන්න තිබ්බේ තමුසෙට” ආකර්ෂා එක දිගටම හුස්මක් කටක් නොගෙන කියාගෙන කියාගෙන ගියා.
කවීන් බයටම කෙළ උගුරක් ගිලලා, සෙලීනා මේ පැත්තට එනවද කියලා වටපිට බලන ගමන් හිමින් සැරේ මිමිණුවා.
“නෑ ආකර්ෂා… මං ඉතින් එයාව එක්කන් ආවේ නෑනේ… එයා බලෙන්මනේ…”
“මොකද්ද බලෙන්ම? ෂොපින් එන්නලු දෙන්නත් එක්ක විතරක්. ආවා මෙතන සෙලීනා නෝනගේ බඩු මූට්ටු උස්සන්න? නාට්ටාමි කෙනෙක්ද? ඊලඟ වතාවෙ මහ ලොකු නෝනව කරේ තියන් එන්න තිබ්බෙ මාව මෙතන නිකන් තර්ඩ් වීල් එක කරගන්නෙ නැතුව” ආකර්ෂා අත් දෙකත් ඉණේ තියාගෙන, මූණ රතු කරගෙන බණිද්දී, කවීන්ට බය හිතුණත් මාරම විදිහට හිනා යන්න ආවා.
හැබැයි මිනිහා මාරම අමාරුවෙන් තොල් හපාගෙන කට තද කරගත්තේ, දැන් හිනා වුණොත් මේ සෙනඟ පිරුණු මෝල් එක මැදදීම ආකර්ෂාගෙන් හොඳ ලුණු ඇඹුල් ඇතිව සංග්‍රහයක් ලැබෙන විත්තිය ෂුවර් නිසාමයි.
තමන්ටත් අන්තිමේ වුණේ ප්‍රේම දඩයමේ ගිහින් වනජීවි එකෙන් ඇල්ලුවා වගේ සීන් එකක් නේද කියලත් කොල්ලට ඒ අස්සෙ හිතුණා.


