මලක් වී යළි පිපෙන්නම් – 24

0
618

ධනුකත් තේජනත් තවත් කාර්යාලීය හිතවතෙකුත් තේජනගේ කාර්යාල කාමරයට පැමිණියේ ඔහුගේ ඇමතුමෙන්ය. මේ දිනවල ඔවුන් සොයා බලමින් සිටියේ ප්‍රසංග පැවැත්වෙන ස්ථාන වල ඇති පහසුකම් පිළිබඳවය. ධනුක සමග සිටියේ සංවිධායකවරුන් ලෙස පත්කර ඇති කිහිප දෙනාගෙන් එක් අයෙකි. ධනුක සේවය කළේ පත්මලාල් යනුවෙන් හැඳින්වූ ඔහු යටතේය. ඔහු කලෙක මෙරටෙහි ප්‍රධාන රූපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදන ධුරයක් හෙබවූ අයෙකි. 

ධනුක ඔහුගේ යටතේ තබා වැඩ පැවරූයේත් තේජනමය. අලුත් සේවකයාගේ ඇති උනන්දුව හා විශ්වාසය බොහෝ කල් යන්නට මත්තෙන් පද්මලාල්ගේ සිත් ගත්තේය. එනිසාම ඔහු විශ්වාසයෙන් ධනුකව ඕනෑම වැඩ කටයුත්තක් සඳහා සහභාගී කරවා ගත්තේය. ඔහු චාරුකගේ හිතවතෙකුයැයි දැනගත් පසුව ඒ  විශ්වාසය තවත් වැඩි විය. කිහිප වරක්ම චාරුක ධනුකට පුද්ගලිකව කතා කරමින් වැඩ කටයුතු හා පහසුව පිළිබඳව සොයා බැලුවේය. චාරුකගේ උවමනාව වී තිබුණේ ධනුක ප්‍රසංග සංවිධායක ධූරයේ ඉහළ තැනක තබන්නටය. ඒ පිළිබඳව ඔහු කිහිප වතාවක්ම තේජන සමගද සාකච්ඡා කළේය. මේ ජාත්‍යන්තර ප්‍රසංගයෙන් පසුව ඔහුට ඒ සඳහා හොඳ අත්දැකීමක් ලැබේයැයි චාරුක විශ්වාස කළේය. 

අමායා තේජනගේ කාර්යාල කාමරයට පැමිණියේ එවේලෙහිය. 

“ධනුක පොඩ්ඩක් එළියට යනවද? මට තේජනයි, පද්මලාලුයි එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ.”

අමායා එසේ පැවසූයේ ධනුක දෙසත් තේජන දෙසත් මාරුවෙන් මාරුවට බලමින්ය. කිසිවක් නොකියූ ධනුක එළියට පැමිණෙද්දී අමායා අසල වූ පුටුවක් ඇදගෙන වාඩි වූයේ කලබලයෙන්ය. පත්මලාල් මේ ආයතනයේ පැරණිම සේවකයෙකු වූ අතර වගකිවයුතු රාජකාරියක නිරත වූවෙකි. එහෙත් මෙවේලෙහි ධනුක පිළිබඳව විශ්වාසයක්, අමායාගේ සිතෙහි වූයේ නැත. ඒ ඔහු මේ කාර්‍යයෙහි නවකයෙකු වූ නිසාය.

“ඇයි අමායා කලබලෙන් මොකක්ද ප්‍රශ්නේ…”

“අපි දැනට ඉෂූ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ වී අයි පී ටිකට් විතරයි තේජන. ඒත් මේ වෙලාවෙදි අපේ උපරිම ධාරිතාවය ඉක්මවලා තියෙන්නේ. මට හිතෙනවා මේක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා.”

“මොකද කරන්නේ…

“අපිට එක ෂෝ එකකට හරි වැඩි ආරක්ෂාවක් එක්ක ගෝල්ෆේස් වගේ තැනකට යන්න අපහසු වෙයිද. වැඩිපුර ක්‍රවුඩ් එකක⁣ට මේ චාන්ස් එක දෙන්න පුළුවන් විදිහට”

“ඒක ටිකක් අපහසුයි තමයි. හැම දේකටම වඩා අපිට තියෙන්නේ සිකියුරිටි  එකේ ප්‍රශ්නෙ. එච්චර කැපෑසිටි එකක්…”

“අපි මේ ගැන මිනිස්ට්‍ර් එකත්  එක්ක සාකච්ඡාවක් ඉල්ලමුද…”

“ඔව් ඒක හොඳ යෝජනාවක්…”

“මං අදම ඒ ගැන බලන්නම් තේජන. මම මේ ගැන චාරුක එක්ක කතා කළේ නෑ. මුලින්ම  අපි එෆොයිමන්ට් එකක් දා ගන්න බලමු. අපි ගෙස් කළාටත් වඩා ආදායමක් අපිට මෙතැනින් එනවා. ඒක හින්දා සිකියුරිටි එකට අපි වෙන්කළ ප්‍රමාණයට වඩා දෙගුණයක් වුණත් වියදම් කරන්නන පුළුවන්.”

තේජන හිස වෙනුවේ ‘ඔව්’ යැයි පවසමින්ය. 

“එතකොට මැඩම් වී අයි පී ටිකට්ස් ටික ඇරුනහම වැඩි ප්‍රමාණයක් අපේ සාමාන්‍ය කට්ටියටත් ෂෝ එක බලන්න පුළුවන් වෙයි. ඒක හොඳ අයිඩියා එකක් කියලා මටත් හිතෙනවා.”

පත්මලාල් පැවසූයේ අමායාගේ අසහසට පක්ෂවය.

ධනුකගේ සිතෙහි ඇතිවී තිබුණේ කෝපයකි. ඔහු තමාට හිමිව තිබූ පුටුවෙන් අසුන් ගත්තේ ඒ කෝපය සිත පුරා පැතිර යද්දීය. චාරුකත් තේජනත් තරමට අමායා තමාව පිළි නොගන්නවාය යන සිතුවිල්ල ඔහුගේ සිතට වද දෙමින් තිබුණේ කාලයක සිටය. කොහොමටත් අමායා සේවකයන් සමඟ වැඩි හිතුවත්කම් පැවැත් වූ අයෙකු නොවේ. ඈ ඒ රූපයේ, තනතුරේ තරමටම ආඩම්බරය.

“මොකෝ අවුලෙන්….”

එහා පස වූ ප්‍රියන්ත ඇසුවේ ධනුක ඔහේ බලා සිටියදීය. 

“නෑ මුකුත් අවුලක් නෑ…”

“ඇයි උඹ තේජන බොස්ගේ ඔෆිස් එකට නේද ගියේ…”

“ඔව්.. පොඩි වැඩක් තිබුණා..ඒක නෙමෙයි බං අර අමාය මැඩම් ටිකක් අමුතුයි නේද..?”

“ටිකක් නෙමෙයි හොඳටම මට පෙන්නන්න බෑ බං ඔය ගෑනි. බොස්ගෙ රෙස්පෙක්ට් අරන් ඉන්නේ ඒකි තමයි. ඒකි හරියට මෙතන අයිතිකාරී වගේ වැඩ කරන්නේ. ඇයි ඉතින් බොස්ගේ පවර්ස් ඔක්කොම ඒකි ලඟනේ.”

“ඇයි උඹ එහෙම කියන්නේ…”

“ඇයි උඹ දන්නෙ නැද්ද..ඒකිට බොස් නොකරන දෙයක් නෑ. පහුගිය දවස්වල වෙඩින් එක ගත්තා. ලක්ෂ දහයක් දුන්නලු බං. තේජන බොස්ටවත් නැති තැනක් තමයි ඒකිට තියෙන්නේ. ඔය අමායගේ තාත්තත් මේකේ අයිතිකාරය වගේ තමයිලු ඒ දවස්වල”

“එහෙමද..ඒක තමයි එහෙනං…”

ධනුක එසේ පැවසූයේ මුවගට නගා ගත් අවඥා සහගත සිනහවක් සමගින්ය. අමායා තමාට මදි පුංචි කමක් කළාය යන සිතුවිල්ල ධනුකගේ සිතෙහි තැන්පත් වූයේ කෝපයක්ද සමගින්ය. 

“කසාද බැන්ද කියලා වැඩි වයසක්ද බං ඕනනම් බොසාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඇති. කාගේ තහනමක් ද ඉතින්…ඔය මටත් දිරවන්නෙම නැති ගෑනියෙක්නේ බං..”

ප්‍රියන්ත තවත් බොහෝ දේ පවසන්නට වූයේ ධනුකගේ නිහඬතාවය මැදය. 

“කොහොමත් බං හැමතැනම බොස්ලා නෙමෙයි වාත වෙන්නේ. ඔය වගේ කටු කන ගෑණු තමයි..ඇයි උඹට මොනව හරි කිව්වද?”

ධනුක හිස වැනුවේ නැතැයි කියන්නටය. ධනුකගේත්  චාරුකගේත් ඇති සම්බන්ධතාවය නොදැන සිටි ප්‍රියන්ත අවසන එසේ පැවසූයේ අමායා සමග වූ කෝපය පිට කරමින්ය. අමායා ඒ බව නොදැන සිටිනවායැයි සිතිය නොහැක. චාරුක තේජන සහ ඇය සිටින්නේ යහළුවන් සේය.

                                     *********** 

සංකල්පනී යෙහෙළියගේ වේගයටම අඩි තබා ගේ උයනේ එහෙටත් මෙහෙටත් ඇවිද ගියේ ඇය හා කතා කරමින්ය. 

“දැන් ඇති නේද…?”

අවසන ඈ එසේ පැවසූයේ නුලාරා හති අරිද්දීය. 

වඩාත් හොඳින් ඉදිරියට නෙරා ආ කුස නිසා වෙනදා සේ  වේගවත් අඩි තබන්නට ඇයට හැකියාවක් වූයේ නැත. නුලාරා දකින වාරයක් වාරයක් පාසා සංකල්පනීගේ සිතෙහි ඇති වන්නේ පහන් හැඟීමකි. ආසාවකි.

“හෙට ඩොක්ටර් ගාවට ගියහම නතර වෙන ඩේට් එකක් කියයි නේද..?”

නුලාරා හිස වැනුවේ සංකල්පනී එසේ පවසද්දීය. වෙනදා සේ  ඈ වැඩිපුර කතා නොකළාය. උදෑසන පැමිණි වේලේ සිටම ඒ බව වඩා හොඳින් සංකල්පනීට දැනෙන්නට විය. 

“මොනවද කල්පනා කරන්නේ. හැමදේම හොඳම විදිහට වෙයි…ගිය සැරේ ගියපු වෙලාවෙත් ඩොක්ටර් කිව්වනේ ඔයයි බබයි දෙන්නම හොඳින් කියලා.”

“මං කල්පනා කළේ ඒ ගැන නෙමෙයි.”

“එහෙනම්…”

“චාරුක ගැන..”

“චාරුක ගැන මොනව හිතන්නද ඒ මනුස්සයා පුරුදු විදිහටම ඉන්නවනේ.”

“ඒකම තමයි ප්‍රශ්නෙ. එයා ඊයේ මන්දස්මිත් එක්ක මීටින් එකකට ගිහින් තියෙනවා. මට එහෙම යන බවක් කිව්වෙත් නෑ ගියපු බවක් ඇවිල්ලා කිව්වෙත් නෑ.” 

“ඒක එයාගේ රාජකාරියනෙ නුලාරා. ඔයාට එදා කිව්වනේ මේ දවස්වල මන්දස්මි එයාලට ගොඩක් වැදගත් වෙනවා කියලා. ධනුක වුණත් කියන්නේ මේ දවස්වල චාරුක ගොඩක් මේ වැඩේ වෙනුවෙන් මහන්සි වෙනවා කියලා. ඔයා දන්නවද නුලාරා ධනුක කියනවා මේ වැඩේ ඉවර වෙද්දි ලංකාවේ අංක එකේ කම්පැනි එක වෙන්නේ වර්ණ එකලු. මේකේ ආදායම කෝටි ගානක්ලු. චාරුක හැමදේම කරන්නේ ඔයාලා වෙනුවෙන්නේ. බිස්නස් එකක් කරන මනුස්සයෙක්ගෙ ඔළුවේ තියෙන පීඩනය සමහරවිට ඔයාට තේරෙන්නේ නැතුව ඇති. මහ දෙයක් නෙමෙයි  ඉස්සර අපේ අම්මා සාරිජැකට් මහද්දි  දඟලන දැඟලිල්ල…” 

“මට ඔය හැමදේටම වඩා චාරුක වටිනවා…”

“ඔව්  ඒක ඇත්ත. ඒ උනාට මේ වෙලාවේ එයාගේ ඔළුවට පීඩනයක් දෙන්න එපා.”

“ඔයාලා හැමෝටම මට බණ කියන්න ලේසියි. ඒ උනාට මගේ හිතේ තියෙන බය, වේදනාව ඔය කාටවත් තේරෙන්නේ නෑ. මන්දස්මි කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි.”

“අනේ නොතේරෙනවා නෙමෙයි. දෙයක් වෙන්න තියෙනවනං අපි ඒක වලක්ව ගන්න උත්සාහ කරමු.  හිත හිතා දුක් උනා කියලා ඵලක් නෑ.”

“මම තීරණයක් ගත්තා….”

තීරණයක් ගත්ත කිව්වේ. 

“මං චාරුකට කියනවා මන්දස්මි ඔය තැනින් අයින් කරලා ඒ තැන වෙන කෙනෙකුට දෙන්න කියලා.”

“ඒක ලේසි නැතුව ඇති. දැන් කාලයක් මන්දස්මි එයාලා එක්ක වැඩ කරනවා.” 

“එහෙම එඩියුකේටඩ් ගර්ල් කෙනෙකුට මේ ලෝකේ ඉන්නේ මන්දස්මි විතරද. භාෂා දෙක තුනක් කතා කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ මන්දස්මි විතරද. ඇඩ් එකක් දැම්මහම එහෙම අය පෝලිමේ එයි. හැමදේම වෙනකල් බලන් ඉඳලා උත්තර හොයන එක ලේසි නෑ. එතකොට චාරුක මට නැති වෙලා ඉවරයි”

“ඇයි ඔයාට මන්දස්මි ගැනම මෙහෙම හිතෙන්නේ. එහෙම සැක හිතන්න කාරණයක් තියෙනවද. සාධාරණ සැකයක් නෑනේ නුලාරා ඒක හිතේ ඇති වෙච්ච සැකයක් විතරයිනේ.”

“සැක හිතුණු තැන්වලදී ඒ සැකය අයින් කරන්න ඕනේ.”

“ඔව් ඉතින් මං පිටින් බලලා මොනවා කිව්වත් ඒක දන්නේ ඔයා තමයි. හැබැයි ඉතින් මං කියන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව චුට්ටක් ඉවසන්න බලන්න කියලා.”

“මං ඉවසුවා. ගොඩක් ඉවසුවා. මං හැමදේටම වඩා හිතුවෙ එයාගේ සතුට ගැන. එහෙම වෙලත්…”

සංකල්පනී  ඉන් එහාට කිසිවක් නොකීවාය. නුලාරා පවසන්නේ ඇය බිඳවමින් ජීවත්වන බවය. චාරුක නිවසින් පිටව ගියාට පසු ගතවන තත්ත්පරයක් තත්පරයක් පාසා ඇය පිච්චි පිච්චී  ජීවත්වන බවය. ඔහුව සදහටම තමාට අහිමිව යාවියැයි බියකින් පසුවන බවය. අවසන සංකල්පනී  සිතුවේ නුලාරාට කැමැත්තක් කරන්නට ඉඩදී නිහඬ වන්නටය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here