මලක් වී යළි පිපෙන්නම් – 25

0
160

නුලාරා සිටියේ ඇඳටම වීගෙනය. චාරුක  රාත්‍රී කෑමට යමු යැයි ඇයට කිහිප වරක්ම ඇවිටිලි කලේ ඒ නළලතත් සිප ගනිමින්ය. සෝමා ආප්ප, ලුණු මිරිස් හා මාළු ඇඹුල්තියල් සාදා තිබිණ. නුලාරා වෙනුවෙන්ම සැකසූ විශේෂිත එළවළු සලාදයක්, විස්කෝතු කුඩුවල තවරා බැද තිබූ තෝරා මාළු පෙත්තක් සහ පලතුරු වර්ග කීපයක් පසෙක විය. එහෙත් ඕ ඒ කිසිවක් දෙස නොබලා පාන් පෙත්තක චීස් ස්වල්පයක් පමණක්  තවරා ගත්තාය. 

“බඩ පිරෙන්න කන්න ඕනේ මැණික…”

චාරුක පැවසූයේ ඈ දෙස බලා සිටියාට පසුවය. 

“රෑට කෑවහම අමාරුයි..”

ඊයේ සිටම ඇයට ඔහුගෙන් ලැබුණේ මෙවන් කෙටි පිළිතුරුය. එහෙත් චාරුක කිසිවක් අසන්නට නොගියේය. සෝමා ⁣පැවසූයේත් ඈ වෙනුවෙන් සාදන කෑම බාගෙට බාගයක්ම විසි කරනා බවය. එහෙත් චාරුක ඇයට උපදෙස් දුන්නේ මහන්සි නොබලා ඈ ප්‍රිය කරන සියල්ල සාදා දෙන ලෙසය.  කෑමෙන් පසු දෙදෙනා ගේ  උයනට පැමිණියේ චාරුකගේ ආරාධනයෙන්ය. මේ අයුරින් ආගන්තුකයින්  සේ නිවස තුළ සිටීම ඔහුගේ සිතට වදයක්, දුකක් වී තිබිණ. 

“බබා ඔයාගේ හිතේ මොනව හරි දෙයක් තියෙනවනම් අපි ඒක කතා කරමු.”

අවසන චාරුක පැවසූයේ ඒ අතැඟිලි තමාගේ අතැඟිලි හා පටලාගෙනය. ඔහු දැන සිටි නුලාරානම් සැහැල්ලුවෙන් සිටීමට කැමති අයෙකි. 

“මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා…”

අවසන නුලාරා පැවසූයේ කළු වලාවකින් වැසී ගිය සඳ දෙස බලාගෙනය. තවත් බොහෝ වේලා ගතව යන්නට මත්තෙන් වැස්සක් කඩා වැටෙන බව විශ්වාසය. ඒ හා සමගම ඇයට පෙනුනේ සාද පවත්වන නිවසේ උඩුමහල දෙසය. පසුගිය කාලය පුරාම චාරුක කිසිඳු මිතුරු හමුවක් හෝ ව්‍යාපාරික හමුවක් නිවසේ පැවැත්වූයේ නැත. ඒ උපරිමයෙන් තමාට නිදහස ලබා දෙන්නට සිතූ නිසා බැව් ඇය දනී. පසුගිය කාලවල නිවසේ  පැවැත් වූ සාදවලට මන්දස්මිත් පැමිණිබව නුලාරාට සිහිවූයේ ඒ හදිසියේමය. ඔවුන් අතර වන ඒ සබඳතාවය කාලයක සිට පැවති එකක්යැයි ඇය විශ්වාස කළේ එනිසාය. 

“මොනවද ඔයාට ඕනේ..ඔයා ඉන්නෙ සතුටින් නෙමෙයි බබා. මට ඒක දැනෙනවා. ඔයා සතුටින් තියන්න මොනවද මං කරන්න ඕනේ.”

“ඔයා ඔයාගේ වැඩ වලින් මන්දස්මිව අයින් කරන්න ඕනේ.”

අපහසුවෙන් මුත් ගලපාගත් වදන් පෙළක් නුලාරා කියා දැමුවේ සෘජුවය.

තිගැස්සී ගිය චාරුක තම බිරිඳ දෙස බැලුවේත් නුලාරා දිගු සුසුමක් මුදා හැරියේත් එකම වරකය. තවදුරටත් මේ දුක් වේදනා සිතෙහි හංගාගෙන දරා සිටිය යුතු වූයේ නැත. 

“ඇයි බබා ඔයා එහෙම කියන්නේ…”

ඒ හඬ වෙනදා කවරදාටත් වඩා කාරුණිකය.

“මං එයාට කැමති නෑ. මට එයාව පේන්නේ ඔයාව මගෙන් උදුර ගන්න ආපු කෙනෙක් වගේ. මොන පැත්තකින් හිතුවත් මට එයා ඔයාට ළං වෙලා ඉන්නවා දරා ගන්න බෑ. ඒක මගේ හිතට හරි වදයක් චාරුක අයියේ…”

දෙදෙනා වාඩි වී උන්නේ ඔන්චිල්ලා පුටුවේය. චාරුක වඩා හොඳින් තම බිරිඳව තුරුලු කරගත්තේ කිසිවක් නොකියමින්ය. 

“ගොඩක් පවුල් අවුල් වෙලා තියෙන්නේ ඔය වගේ ගෑණු හින්දා. ඔයා මට ආදරේනම් ඔයා මං ගැන හිතනවනම් ඔයාට ඒ දේ කරන්න බැරි කමක් නෑනේ. ඔයා ළඟ කවුරු හිටියත් මට කමක් නෑ මන්දස්මි නැතුව.”

“බබා මන්දස්මි මම එක්ක වැඩ කරන්නේ අද ඊයෙක ඉඳලා නෙමෙයි. එයා අපි එක්ක පර්මනට්  ජොබ් එකක් නොකලට අපේ ප්‍රමෝෂන් ප්‍රෝග්‍රෑම් වලදී හැමදාම මන්දස්මිගේ සපෝර්ට් එක සීයට සීයක්ම අපිට ලැබුණා. ඒක මගේ තීරණයක් විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට කම්පැනි  එක ඇතුලේ තීරණ ගන්නේ මමයි, අමායයි, තේජනයි තුන්දෙනාම කතා කරලා. තාත්තා කොහේ හිටියත් අපි මීටින් එකක් අරගෙන තාත්තවත් සම්බන්ධ කර ගන්නවා. ඉතින් මන්දස්මි කියන්නේ අපි හැමෝගෙම කැමැත්ත බබා. මන්දස්මිම තෝර ගන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මන්දස්මිගේ ෆැමිලි බෑක් ග්‍රවුන්ඩ්  එක. සමහර අය වගේ වාත වෙන්නෙ නෑ. අනිත් එක තමයි කොලිෆිකේෂන්, ඒ හැමදේටම වඩා වැදගත් වෙන්නේ අපි පවරන රාජකාරිය විශ්වාසයෙන් කරන එක. මන්දස්මි  කියන්නේ එඩියුකේටඩ් ගර්ල් කෙනෙක්. එහෙම අයත් එක්ක වැඩ කරන්න හරි පහසුයි. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා.”

“ඔහොම නෙමෙයි චාරුක අයියේ ඔයා කොහොම කිව්වත් මන්දස්මි ගැන පැහැදීමක් මගේ හිතේ නෑ…”

“බබා තේරුම් ගන්න මේක කම්පැනි  එකක්. අපි මන්දස්මිව අපේ වැඩකට සම්බන්ධ කරගන්නේ ඇග්‍රිමන්ට් එකක් සයින් කලාට පස්සේ. මේ වැඩේ ඉවර වෙනකල් මන්දස්මි අපි එක්ක ඉන්න ඕනේ. බබා මේ වෙද්දිත් පිටරටවල් වලින් එන ආටිස්ලත් එක්ක ඩීල් කරන්නේ මන්දස්මි. එහෙම තීරණයක් ගන්න අපිට හේතුවක් තියෙන්න ඕනේ.”

“ඔයාට මාව ඕනෙ නං හේතුවක් හදල හරි ඒ තීරණේ ගන්න චාරුක  අයියේ  මං දන්නෙ එච්චරයි.”

අපහසුවෙන් නැගිටගත් නුලාරා ගෙතුළට ගියේ චාරුකගේ අතත් ගසා දමමින්ය. සිය නළලත රැලි කරගත් තරුණයා තවත් විනාඩි කිහිපයක්ම ඔන්චිල්ලා පුටුවට වී සිටියේ මේ සිදුවූයේ කුමක්දැයි සිතමින්ය. කාලයක සිට නුලාරා මන්දස්මි පිළිබඳව යම් යම් දේ ප්‍රශ්න කළ බව ඔහුට සිහිවූයේත් එවේලෙහිය. ගෙවී  ගිය වසර දෙක පුරාවටම තමාගෙන් මේ අයුරින් අකාරුණික ඉල්ලීමක් නොකළ බිරිඳට හදිසියේ සිදු වූයේ කුමක්දැයි චාරුකට සිතා ගත හැකිවූයේ නැත. ඇය තමාට මානසික වදයක් වූ අයෙකු නොවේ. කිසි විටෙකත් ඇය ව්‍යාපාර ගැන වත් තමාගේ ආදායම ගැනවත් තමා සමග සම්බන්ධ වී සිටින පුද්ගලයන් ගැනවත් ප්‍රශ්න නොකළාය. එනිසාම ගෙවී ගිය වසර දෙක පුරාවට චාරුක තමාගේ ව්‍යාපාර කටයුතු කර ගෙන ගියේ නිවී සැනසිල්ලේය. අඩ හෝරාවකට පමණ පසුව චාරුක යළිත් කාමරයට පැමිණෙද්දී  නුලාරා උන්නේ ඇඳෙහි වැතිර අනෙක් ඇලයට හැරීගෙනය. කිහිප වරක්ම ඇය හා කතා බහක් ගොඩනඟා ගන්නට උත්සාහ උත්සහ කලත් ඕ දෑස් නොඇරියාය. 

                                      **************

එළැඹි දින දෙකේ නිවාඩුවට ධනුක ගමේ යාමට සැලසුම් කළේ අම්මා අසනීපයෙන්යැයි පවසමින්ය. ගෙහිමියන් එහා පස නිවසේ වූ නිසා සංකල්පනීට බියක් වූයේ නැත. කොහොමටත් ඈ හෙට දවස නුලාරා හා ගත කරන්නට පොරොන්දු වී සිටියාය. ධනුකගේ යතුරුපැදිය පිටත්ව යනතුරු බලාසිටි ඈ යළි කුඩා නිවස තුළට පැමිණියේ මහා පාළුවක් දරාගෙනය. වර්ණ ඇඩ්වර්ටයිසින්හි  සේවයට ගොස් ධනුක දෙවෙනි වැටුප ලැබුවේ ඊයේ පෙරේදාය. ගමේ යන්නට අවැසි බව පවසමින් ඔහු ඉන් වැඩි ප්‍රමාණයක් තමා සන්තකයේ රඳවා ගත්තේය. ධනුකගේ ගම නුවර බව දැන සිටියත් ඉන් එහා කිසිදු තොරතුරක් ඈ දන්නේ නැත. රජයේ සේවකයෙකු වූ තාත්තා මියගියත් ඔහුගේ විශ්‍රාම වැටුප අම්මා වෙත ලැබුණු නිසා මුදල් අගහිකකම් ඔවුනට නොවීය. 

ධනුක අම්මාත්, දේවිකාත්, මාමාත්, නැන්දාත්, වෙනුවෙන් ඇඳුම් සහ තෑගි බෝග මිලදී ගත්තේ නුවරින්මය. නිවසට ගිය හැටියේම ඔහු ආපසු හැරුණේ මාමාගේ නිවසට යනවායැයි පවසමින්ය. මෙවේලෙහි මාමාත් නැන්දාත් සිටින්නේ හන්දියෙහි වන සිල්ලර බඩුකඩයේය. එනිසාම දේවිකා හා නිදහසේ යමක් කතා කළ හැකි බව ධනුක දැන සිටියේය. 

නොදැකි  මාස කිහිපයට ඇය තවත් සුන්දරව උන්නාය. සංකල්පනී තුලින් ධනුක දුටුවේ විවාහක ගැහැණියකි. ඇගේ අත්දැකීම් සේම සිතුම් පැතුම්ද එසේමය. එහෙත් දේවිකා එසේ නොවේ. ඇය තවමත් ළඳ බොළඳ යෞවනියකි. ධනුකගේ පපුවට හිස තබාගෙන තත්පර කිහිපයක් ගත කළ ඕ හිස ඔසවා ගත්තේ දෑස් වල කඳුළු පුරවා ගෙනය. 

“අනේ එක්කෝ ඔයා  මෙහේ ඉන්න ලොකු අයියේ. නැත්තං මාවත් කොළඹ එක්කරගෙන යන්න..”

ඕ ඒ වදන් තෙපලේ සුපුරුදු අහිංසක කමින්මය. 

“ඔයාව කොළඹ එක්කරගෙන යන්න මං කැමති නෑ මැණික. කොළඹ ජීවිතයේ හිතන තරම් ලස්සනත් නෑ සැහැල්ලුත් නෑ. අපි ඉක්මනට අපේ වෙමු. එතකොට මට පුළුවන් සෙනසුරාදා හවස ගෙදර ඇවිල්ලා සඳුද උදේම මෙහෙන් පිටත් වෙන්න. තව මාස දෙක තුනක් ඉවසමු මැණිකේ..”

ඔහු පැවසූයේ දේවිකාගේ නළලත සිප ගත්තාට පසුවය. පිළිවෙලින් ඇගේ කොපුලත් ගෙලත් සිප ගත් ඔහුගේ දෙතොල් නතර වූයේ ඇගේ දෙතොල් මතය. කොතරම් නිදහස් වුවත් ධනුක දේවිකාව ආදරයෙන් සුරැකියේය. කඩේ වසා මාමාත් නැන්දාත්  නිවසට එනතුරුම ඔහු උන්නේ ඇය හා ආලින්දයට වී කතා කරමින්ය. 

ඒ කිහිප වතාවක්ම සංකල්පනී දුරකථන ඇමතුම් ලබා ගත්තත් ධනුක ඒවා නොදුටුවා සේ සිටියේය. ඔහු මාමාගේ නිවසින් පිට වූයේ රාත්‍රී ආහාරත් ලබා ගත්තාට පසුවය. අන් කවරදාටත් වඩා තමාගේ පෙම්වතිය දමා යාමේ දුකකින් ඒ සිත පෙළෙන්නට විය. තමා ඇයට වරදක් කරනවාය යන හැඟීම සිත පුරා උඩු දුවමින් තිබුණත් ධනුක තමාවම සාධාරණීකරණය කරගත්තේය. ඉක්මනින්ම දේවිකාව විවාහ කරගෙන ඇයට සාධාරණය ඉටු කරන්නට ඔහු සිතා ගත්තේත් එවේලෙහිය. මහත් ලෝභකමකින් තමාව බදා වැළඳගෙන ඉන්නා යුවතියගේ හිස මත මෘදු හාදුවක් සටහන් කළ තරුණයා යතුරුපැදියට නැගුණේ යළිත් ඉක්මනින්ම පැමිණෙනවා යැයි ඇයට පොරොන්දු දෙමින්ය. 

“ලොකු තාත්තගේ  පුතාටත් මගුලක් හරි ගිහිල්ලා. ඔය කොළඹ මහරගම පැත්තෙන් කියලා කිව්වේ. මං හිතන්නේ අපි දෙන්නටම මගුල් කියයි. දේවිකාටත් කියන්න ඕනෙ කියලා ලොකු අම්ම මාත් එක්කක කිව්වා. තාත්තා වෙනුවෙන් අපි දෙන්නම ඒකට සහභාගී වෙන්න ඕනේ පුතේ.”

අම්මා පැවසූයේ පසුදාය. ධනුක ‘හා’ යැයි පවසමින් හිස වැනුවේය. තමා වැඩි හරියක් ගමේ නොවූ නිසා අම්මාගේ සැප දුක සොයා බලන්නේ මාමාත්, ලොකු තාත්තාත් පහළ සිටින නැන්දාගේ පවු‍ලේ උදවියත්ය.

“ඒත් ලොකු අම්ම කිය කිය හිටියේ උඹට  කියලා ඒ ළමයා ගැන ටිකක් හොයලා බලන්න ඕනේ කියලා. ඒ ගෙදරත් තාත්තා නැති වෙලාලු. අයිය බැන්දට ඒ නෝනා පිටරටක තමයි ඉන්නවා කියන්නේ. අම්මා එක්තැන් වෙලාලු”

“ඒ දෙන්නට දෙන්න කැමතිනම් මොනවා හොයන්නද අම්මේ…”

ධනුක පැවසූයේ රතු කැකුළු බතුත්   අල හොඳින් ලුණු මිරිසුත් බෙදා ගන්නා ගමන්ය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here