“අනේ මට උදව් කරන්න… මගේ අතින් නංගිට පිහියෙන් ඇණුනා.”
හදිසි ඇමතුම් ගත්ත ඔපරේටර්ට මුලින්ම හිතුණේ එයා මේ කතා කරන්නේ බයවෙලා වෙවුලන පුංචි පිරිමි ළමයෙක් එක්ක කියලා.
ඒ සද්දෙට ඔපරේටර්ට මුලින්ම හිතුණේ මේක අතපසුවීමකින් වුණු ලොකු අනතුරක් වෙන්න ඇති කියලා. හැලහැප්පීමක් නැතුව, පුදුම හිතෙන විදියේ සන්සුන් කමකින් ඒ ළමයා හේතුව කියද්දී තමයි ඔපරේටර්ටත් තරු විසිවුණේ. එයා කියනවා එයාගේ අවුරුදු හතරක නංගි යක්ෂයෙක් වෙලා කියලා එයාට හිතුණලු.
කොච්චර ශොක් වුණත් ඔපරේටර් ප්‍රශ්න අහන එක නතර කළේ නැහැ. එයා ඒ වෙලාවෙම ළමයාට කිව්වා, “දැන් ඕවා වැඩක් නැහැ, වහාම නංගිට CPR (කෘතිම ශ්වසනය) දෙන්න පටන් ගන්න” කියලා.
“මාත් එක්ක සද්දෙට ගණන් කරන්න…”
එකයි. දෙකයි. තුනයි.
ෆෝන් එකෙන් ඇහෙන සද්දෙත් එක්ක ඔපරේටර් හිතුවේ මේ ළමයා නංගිගේ පණ බේරගන්න දඟලනවා කියලා.
හැබැයි… ඇත්ත කතාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විත්තිය ඔපරේටර් දැනගෙන උන්නෙ නෑ.
CPR දෙනවා වගේ රඟපාන ගමන්, ඒ අවුරුදු 13ක කොල්ලා කළේ ඔපරේටර්ව රවට්ටන්න කාමරේ වටේ ඇවිද ඇවිද සද්දෙට ඉලක්කම් ගණන් කරපු එක විතරයි. හිතාගන්න පුළුවන්ද? තමන්ගෙ නංගි මැරෙන්න පණ අදිද්දි අයියා කෙනෙක්ට එහෙම කරන්න පුළුවන්ද කියලා?
ටෙක්සාස්වල ඇබිලීන් කියන පුංචි නගරයේ තිබුණු ඒ ගෙදරට පොලිසිය එනකොටත් හැමදේම සිද්ධවෙලා ඉවරයි. බේරගන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.
කාමරේ බිම වැටිලා හිටපු ඒ අහිංසක කෙල්ලට ඇනලා තිබුණේ පිටින් ආපු හොරෙක්වත්, මැරයෙක්වත් නෙවෙයි.
ඒ ගෑනු ළමයගෙ වයස අවුරුදු හතරක් විතරයි. එයාගේ නම එලා බෙනට්.
පුංචි එලාට මෙහෙම කරදරයක් කරලා තිබුණෙ වෙන කවුරුවත් නෙවෙයි එයා පණ වගේ ආදරේ කරපු, එයාගේම ලොකු අයියා.
ඒ තමයි පැරිස් බෙනට්.
2007 පෙබරවාරි 4 වෙනිදා කියන්නෙ මුළු ඇමරිකාවම උඩුයටිකුරු කරපු සුපර් බෝල් තරගය බලන්න මිලියන ගාණක් සෙනඟ ටීවී ඉස්සරහට වෙලා හිටපු දවසක්. රට පුරාම තිබුණු රෙස්ටුරන්ට් සේරම සෙනඟින් උතුරලා ගිහින්. ඒ අතරේ එලාගෙයි පැරිස්ගෙයි අම්මා, චැරිටි බෙනට් වැඩ කරපු බෆලෝ වයිල්ඩ් වින්ග්ස් රෙස්ටුරන්ට් එකත් සෑහෙන්න බිසී වෙලා තිබුණ නිසා එයාට එදා රෑ වෙනකම් වැඩ කරන්න සිද්ධ වුණා.
තමන්ගේ දරුවෝ දෙන්නා ගෙදර සුරක්ෂිතව ඉඳියි කියලා හිතපු චැරිටි, වැඩට යන්න කලින් දරුවෝ බලාගන්න බේබිසිටර් කෙනෙක්වත් ලෑස්ති කරලයි ගියේ.
කිසිම සැක හිතෙන දෙයක් තිබුණෙ නෑ. බැලූ බැල්මට හැමදේම සාමාන්‍යයි.
හැබැයි ඒ වෙද්දිත්, ඒ ගෙදර ඇතුළේ හිටපු පැරිස්, අපරාධ විද්‍යාඥයන්ව පවා අවුරුදු ගාණක් තිස්සේ හොල්මන් කරවපු ඒ දරුණු තීරණයක් අරගෙන තිබුණා.
රෑ 10ට විතර, පැරිස් උපක්රමශීලීව බේබිසිටර්ව රවට්ටලා එයාව වේලාසනින්ම ගෙදරින් පිටත් කරලා ඇරියා. දැන් ගෙදර ඉතිරි වෙලා ඉන්නේ එයායි, එයාගේ චූටි නංගියි විතරයි. ඊටපස්සේ එයා හෙමින් සීරුවේ එලා නිදාගෙන හිටපු කාමරයට ඇවිදගෙන ගියා.
කිසිම හිතේ බයක් සැකක් කම්පාවක් නැතුව පැරිස් තමන්ගේම අවුරුදු හතරක චූටි නංගිව අමානුෂික විදියට පිහියෙන් ඇණලා ඝාතනය කළා.
හැබැයි වැඩේ කියන්නේ, ඒ දේ කරපු ගමන්ම එයා පොලිසියටවත්, හදිසි ඇමතුම් අංශයටවත් කතා කළේ නැහැ. එයා කළේ තමන්ගේ ඉස්කෝලේ යාලුවෙක්ට කෝල් එකක් අරන් විනාඩි කිහිපයක් තිස්සේ කිසිම ගාණක් නැතුව, හරිම සාමාන්‍ය විදියට කතා කරපු එක.
එයා 911 අංකයට කෝල් එකක් දුන්නේ ඒ හැමදේටම පස්සේ.
ඒ කෝල් එක අතරතුර තමයි එයා ඔපරේටර්ට කිව්වේ නංගි යක්ෂයෙක් වගේ පෙනුණු නිසා පිහියෙන් ඇන්නා කියලා. හැබැයි පරීක්ෂණ පවත්වපු නිලධාරීන්ට පස්සේ තේරුණා, මේක තමන්ට පිස්සු කියලා ඔප්පු කරලා නීතියෙන් බේරෙන්න පැරිස් ගොතපු පට්ටපල් බොරුවක් කියලා.
හැබැයි මේ හැමදේටම වඩා ඇඟ කිලිපොලා යන, හදවත නතර වෙන විදියේ ඇත්තක් පරීක්ෂණවලදී එළියට ආවා.
පැරිස් තමන්ගේ නංගිව මැරුවේ ඒ අහිංසක කෙල්ල කරපු කිසිම වරදකට නෙවෙයි.
පස්සේ කාලෙක කරපු මනෝවිද්‍යාත්මක පරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම්වලදී පැරිස්ම පිළිගත්තා, එයාගේ ඇත්තම ඉලක්කය වුණේ තමන්ගේම අම්මා කියන එක.
නංගිව මරලා අම්මව ජීවිත කාලෙටම මානසිකව වට්ටලා, අපායක ජීවත් කරවන්නයි මේ 13 හැවිරිදි පිරිමි ළමයාට ඕන වෙලා තිබුණේ.
එයා විශ්වාස කළා තමන්ගේ අම්මා, ඒ කියන්නේ චැරිටිට දෙන්න පුළුවන් දරුණුම, දරන්න බැරිම මානසික වධය තමයි එයාගේ දරුවෙක්ව එයාගෙන් සදහටම උදුරා ගන්න එක කියලා.
එතකොට එලා කියන්නේ එයාගේ හතුරෙක් නෙවෙයි.
තමන්ගේ අම්මගේ හදවත කුඩුපට්ටම් කරලා, එයාව ජීවිත කාලෙටම විඳවන්න පුළුවන් හොඳම ආයුධය විදියට විතරයි පැරිස් තමන්ගේම චූටි නංගිව දැක්කේ.
පරීක්ෂණ පවත්වපු නිලධාරීන් මේ ගැන තව තවත් හාරලා අවුස්සලා බලද්දී තමයි තේරුණේ, මේ විනාශය එකපාරටම අහසින් කඩාපාත් වුණු එකක් නෙවෙයි කියලා.
ඇත්තටම පැරිස්ගේ අම්මා, ඒ කියන්නේ චැරිටිත් හැදී වැඩුණේ පුදුම විදියේ මානසික පීඩනයක් තිබුණු පවුල් පසුබිමක.
චැරිටිගේ අම්මා, කයිලා ට කාලෙකට කලින් චෝදනාවක් එල්ල වෙලා තිබුණා චැරිටිගේ තාත්තාව මරන්න කුමන්ත්‍රණය කළා කියලා. උසාවියෙන් කයිලාව නිදොස් කොට නිදහස් කළත්, චැරිටි හැමදාම විශ්වාස කළේ තමන්ගේ තාත්තාව මරන්න හැදුවේ තමන්ගේම අම්මා කියලා. ආදරයක්, කරුණාවක් නැති, හැඟීම්වලට ඉඩක් නොතිබුණු ඒ වගේ මූසල ගෙදරක හැදෙන වැඩෙන අතරේ, අම්මාගේ අවධානය දිනාගන්න බැරි වුණු තැන චැරිටි තරුණ කාලෙදීම මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලා තිබුණා.
වැඩේ කියන්නේ, මේ අවාසනාවන්ත සිද්ධිය වෙන්න හරියටම ටික කාලෙකට කලින් චැරිටි ආයෙමත් සැරයක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් අරන් තිබුණා.
සමහරු විශ්වාස කරන්නේ අම්මා ආයෙත් මේ වගේ තත්ත්වයකට වැටුණු එක පැරිස්ගේ ඔළුවට දරාගන්න බැරි වුණා කියලා. හැබැයි මනෝවිද්‍යාඥයන් සොයාගත්තේ ඊට වඩා බරපතළ, අන්ධකාර ඇත්තක් ඒ ළමයාගේ හිත ඇතුළේ ඊට සෑහෙන කාලෙකට කලින් ඉඳලම තිබුණා කියලා.
පැරිස් පස්සේ කාලෙක පිළිගත්තා එයාට පුංචි කාලේ ඉඳලම මිනිස්සුන්ව මරන්න වගේ දරුණු සිතිවිලි ආවා කියලා. වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වුණා පැරිස් කියන්නේ උපතින්ම අනුකම්පාවක්, පසුතැවීමක් නැති දරුණු මානසික ලක්ෂණ තියෙන, හැසිරීම් රටාවේ දරුණු ආබාධයකින්පෙළුණු ළමයෙක් කියලා.
ටෙක්සාස් ප්‍රාන්තයේ නීතියට අනුව වයස අවුරුදු 14 හෝ ඊට වැඩි ළමයින්ව විතරයි මෙන්න මේ වගේ දරුණු මිනීමැරුමකට වැඩිහිටියෙක් විදියට සලකලා උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා, වයස අවුරුදු 13ක් වුණු පැරිස්ට නඩු පැවරුණේ ළමා උසාවියකයි.
එයා තමන්ගේ වරද පිළිගත්තා.
විනිසුරුවරයා එයාට දෙන්න පුළුවන් උපරිම සහ දරුණුම දඬුවම නියම කළා. ඒ තමයි, අවුරුදු 40ක සිරදඬුවමක්!
හැබැයි අවුරුදු 20ක් සිරදඬුවම් වින්දට පස්සේ ඇප මත නිදහස් වීමේ අවස්ථාවක් ඒ නීතියේ තිබුණා.
වයස අවුරුදු 19 පිරුණට පස්සේ පැරිස්ව වැඩිහිටි හිරගෙදරකට මාරු කෙරුණා.
ඇප ලැබුණේ නැත්නම්, එයාට 2047 වෙනකම්ම හිරබත් කන්න සිද්ධ වෙනවා. හැබැයි එයාට ඇප ඉල්ලුම් කරන්න ලැබෙන පළවෙනිම අවස්ථාව යෙදිලා තියෙන්නේ 2027 පෙබරවාරි මාසයටයි.
තමන්ගේ දූ පැටියාව සදහටම අහිමි වුණත්, චැරිටි දිගටම හිරගෙදරට ගිහින් පැරිස්ව හම්බවුණා. තමන්ගේ අම්මා තවමත් තමන්ට මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැහැ කියලා පස්සේ කාලෙක පැරිස් පවා පිළිගත්තා.
අවුරුදු ගණනාවක් තිස්සේ චැරිටි උත්සාහ කළේ ඒ හිරගෙදර බිත්ති හතර ඇතුළේ ඉන්නේ තමන් හදපු වඩපු, තමන්ගේම පුංචි පුතා කියලා හිත හදාගන්න. හැබැයි කාලයත් එක්කම ඒ බලාපොරොත්තුවත් සුනුවිසුනු වෙලා ගියා.
2021 අවුරුද්දේදී චැරිටි ලෝකයටම හෙළි කළා එයා තමන්ගේ පුතා එක්ක තිබුණු හැම සම්බන්ධයක්ම සදහටම නතර කළා කියලා. ඒකට හේතුව වුණේ, මහා පරිමාණ සමූහ වෙඩි තැබීමක් සැලසුම් කළා කියලා චෝදනා ලැබූ කාන්තාවක් එක්ක පැරිස් හිරගෙදර ඉඳන් සම්බන්ධකමක් පටන් අරන් තියෙනවා කියලා චැරිටිට දැනගන්න ලැබුණු එක.
“මගේ පුතා විදියට එයාට ආදරේ කරන එකේ වැරැද්දක් නැහැ කියලා මම අන්තිමේදී පිළිගත්තා” චැරිටි කිව්වා. “හැබැයි අද එයා පත්වෙලා ඉන්න ඒ කාලකන්නි මනුස්සයාට මම ඇත්තටම වෛර කරනවා.”
ඇත්තටම මිනිස්සු උපතින්ම මේ වගේ අතිශය සැලසුම්සහගත දරුණු අපරාධ කරන්න පුළුවන් මානසිකත්වයකින්ද උපදින්නේ?
නැත්නම්, පරම්පරා ගණනාවක් තිස්සේ පවුල ඇතුළේ තිබුණු ඒ මානසික බිඳවැටීම්, නොසලකා හැරීම් සහ අවුල් ජාලාවන් නිසා පැරිස් බෙනට් කියන මේ දරුණු චරිතය නිර්මාණය වුණාද?
මේකට කවදාවත් හරි උත්තරයක් ලැබෙන එකක් නැහැ.
හැබැයි එක දෙයක් සහතිකයි.
මුළු ඇමරිකාවක්ම එකතු වෙලා සුපර් බෝල් තරගය සමරමින් සතුටු වුණු ඒ ඉරිදා රෑ, අවුරුදු හතරක පුංචි කෙල්ලෙක්ට තමන්ගේම නිදන කාමරය ඇතුළේදී ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා.
ඒ කිසිම පිටස්තරයෙක්ගේ අතින් නෙවෙයි තමන්ව හැමදාම ආරක්ෂා කරයි කියලා හැමෝම විශ්වාස කරපු, තමන්ගේම සහෝදරයාගේ අත් දෙකෙන්.











