ආදර මල්වල පාට කියන්නද? – 36

0
65

මෙච්චර දවසක් අතනින් මෙතනින් එළියට පැන පැන, බඩු අවුස්ස අවුස්ස පිස්සු නට නට උන්න කවීන්ලගෙ පිස්සු හැදිච්ච තාත්තා මෙදා පොටේ අල්ලලා තියෙන්නෙ එසේ මෙසේ අඩව්වක් නෙවෙයි කියන එක කෙල්ලට තේරුණේ දෙන්නත් එක්කම එක්කහු වෙලා සාලෙට දුවගෙන එද්දි.

වෙනදා ගෙදර හැමෝටම හොරෙන් එහෙ මෙහෙ ගියපු මනුස්සයා අද මොකක් හරි හේතුවක් නිසා පාර වැරදිලා සාලෙට එන්න හදපු වෙලාවක සාලෙ මැද්දෑවෙ ලොකු ටීපෝ එක උඩ තියලා තිබ්බ පිත්තල මල් වාස් එකේ හැප්පිලා ඒක බිමට වැටිලා තිබුණා.

අන්න ඒ සද්දෙ තමයි මහා ගෝරනාඩුවක් විදියට තමන්ට ඇහුනෙ කියන එක තේරුං ගන්න හිතයි මොලෙයි එවෙලෙ කොලැබරේට් වෙවී උන්නට මොකෝ ආකර්ෂගෙ ඇස් දෙක තිබ්බෙ සෙලීනයි ලේඩි කලම්බු සෙවන්ගෙයි මූණවල් දෙක උඩ මාරුවෙන් මාරුවට එහෙට මෙහෙට යන ගමන්. තමන්ව දැකලා, ඊටත් වඩා තමන් මෙච්චර දවසක් මේ වලව්ව අස්සෙ හංගගෙන උන්න රහස දැන් දැනගෙන කියන බය සෙලීනටත් වඩා කැත කරලා තිබ්බෙ ලේඩි කලම්බු සෙවන්ගේ මූණ කියන එක ආකර්ෂා හොඳටම දැක්කා.

ගෑනි උන්නෙ පුළුවන් නං තමන්ව කාලා දාන ලෙවල් එකක කියන එක ආකර්ෂාට නොතේරුණා නෙවෙයි. ඒ උනාට එවෙලෙ තිබ්බ සිටුවේශන් එකත් එක්ක කරන්න දෙයක් නැති හන්දම ලේඩි කලම්බු සෙවන් තමන්ගෙ ෆීලින්ග්ස් ඔක්කොම හංගගෙන ඉන්නවාය කියන එකත් කෙල්ලට ඒ අල්ලපනල්ලෙ තේරුණා.

“මං කී පාරක් ඔයාට කිව්වද කවීන් මේ පිස්සව බලාගන්න කවුරුහරි ඇටෙන්ඩන්ට් කෙනෙක් දාන්න කියලා. මොන පිස්සුවක්ද මේ. රෑ තිස්සෙ ඇහැරගෙන මෙතන නාඩගම් නටනවා අපිටත් හරියාකාර නින්දක් නෑ අනික් එක මොන ලැජ්ජාවක්ද මේ පිට එවුනුත් ඉන්න තැන” කියලා ලේඩි කලම්බු සෙවන් කෑගහද්දි නම් ඒත් ආකර්ෂාට අහන්න හිතුණා “පිට එකා කිව්වෙ මටද?” කියලා. හැබැයි ආකර්ෂාට කලින් කවීන් මෙදා පාර ඉස්සර වුණා.

“ආච්චි අම්මා ඔයා දන්නවනෙ මම ආස නැත්තෙ ඇයි කියලා තාත්තව බලාගන්න එක එක උන්ව ගෙනත් තියන්න. අනික අපිට හරියන කෙනෙක් හම්බු උනේ නැති නිසානෙ මේ දවස්වල තාත්තා එහෙ මෙහෙ ඇවිදින්නෙ. කලින් ඉඳපු මනුස්සයා අපිට හොරෙන් තාත්තට රෑට කිරි එකට ස්ලීපින් පිල්ස් දාලා දුන්න හන්දනෙ ඒ මනුස්සයට යන්න වුනේ කියන එක හොඳටම දැනගෙන ඔයා මෙතන මුකුත් නොදන්න කෙනෙක් වගේ කතා කරන්න එපා ආච්චි අම්මා.

අනික ප්ලීස් පිස්සා වගේ වචන කියන්න එපා. මේ ඔයාගෙ පුතා විත්තිය ඔයාට අමතක වුනාට මේ ඉන්නෙ මගෙ තාත්තා කියන එක මම අමතක කරලත් නෑ මම කවදාවත් අමතක කරන්නෙත් නෑ. මට කිසිම ලැජ්ජාවක් නෑ රටට ලෝකෙට කියන්න මගෙ තාත්තට අසනීපයි, එයාට අතීතෙ මතක නෑ කියලා.

ඒක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයිනෙ. මිනිස්සුන්ට එහෙම දේවල් වෙනවා. අනික ආච්චි අම්මා පිට එකෙක් කියලා කිව්වෙ ආකර්ෂට නම් ආච්චි අම්මට වැරදිලා ආච්චි අම්මා. ආකර්ෂා කියන්නෙ මගෙ ෆියන්සේ. මම කවදහරි මැරි කරන්නෙ එයාව. එතකොට කොහොමත් එයා පිට කෙනෙක් වෙන්නෙ නෑනෙ. එයා කවදහරි මේ දේවල් දැනගන්න ඕන නේද?” කියලා කවීන් එක දිගට බෝලෙට ගහගෙන ගහගෙන යද්දි ආකර්ෂා වගේම ලේඩි කලම්බු සෙවන් උන්නෙත් ෆුල් හොල්මන් වෙලා. ගෑනිගෙ කට ඇරිලා තිබිච්ච හැටි දැක්කම නම් ඒත් ආකර්ෂාට කියන්න හිතුණා “කට වහගන්න, මැස්සො යාවි” කියලත්.

මේ කතන්දර ඔක්කොම වෙද්දිත් කවීන්ගෙ තාත්තා වෙච්ච වික්‍රමසිංහ උන්නෙ බිත්තියට හේත්තු වෙලා ඔලුව හොල්ල හොල්ල මේ වෙන කිසිම දෙයක් ගැන නොතේරෙන පොඩි බබෙක් වගේ හැසිරෙන ගමන්.

ආකර්ෂට මතක් වුණේ තමන්ගෙ තාත්තව. මොක උනත් මේ ඉන්නෙත් තමන්ගෙ තාත්තගෙ වයසෙම වගේ මනුස්සයෙක් කියන එක තමන්ගෙ තාත්තට මෙහෙම දෙයක් වුණානම් දරුවෙක් විදියට තමන් කොහොමද ඒ හැමදෙයක්ම ඉවසා දරාගෙන ඉන්නෙ කියන එක තමයි මෙච්චර වෙලා කවීන් ළඟ හිටගෙන උන්න කෙල්ලව හෙමින් සැරේ වික්‍රමසිංහ ළඟට අද්දවන්න හේතු වුණේ.

“තාත්තව කොහෙටද කවීන් එක්කරගෙන යන්නෝන?” කියලා ආකර්ෂා ඇහුවෙ වැහැරිලා, කෙට්ටු වෙලා, උන්නයින් බාගයක්වත් නෑ කියලා හිතෙන ශරීර කූඩුවක් එක්ක උන්න වික්‍රමසිංහව ඒ මනුස්සය හේත්තු වෙලා උන්න බිත්තියෙන් පහලට රූටා වැටෙන එක නවත්තන්න අල්ලන ගමන්.

“තාත්තගෙ කාමරේ තියෙන්නෙ මේ පැත්තෙ ආකර්ෂා. ඉන්න ඔයාට බෑ. මං තාත්තව කාමරේට එක්කරගෙන යන්නම්, ඔයාට පුලුවන්ද එයාට බොන්න උණු කිරි එකක් හදන් එන්න. ඒක බිව්වම එයාට නින්ද යනවා” කියලා කවීන් එතනට ආවෙ තවදුරටත් එතන සෙලීනවත් ආච්චි අම්මවත් ඉන්නවා කියන එක තඹ සතේකට මායිම් කරන්නෙ නැතුව විත්තිය ආකර්ෂට වුණත් තේරුණා. මේ වෙලාවෙ කොල්ලා කොහොමත් ඉන්නෙ ඔළුවෙ කරදරෙන් විත්තිය තේරිච්ච හන්දා තමයි කෙල්ල මුකුත්ම කියන්නෙ නැතුව කුස්සිය දිහාවට ඇවිදගෙන ගියේ.

හැබැයි කෙල්ල නොහිතුව විදියට සෙලීනත් තමන්ගෙ කාමරේට යනවා වෙනුවට ආකර්ෂා පස්සෙන්ම කුස්සියට ආවා.

“කවීන් විතරක් නෙවෙයි දැන් ඔයා අංකල්වත් දැලේ දාගන්න වගේ නේද හදන්නෙ?” කියලා සෙලීනා ඇවිත් අහද්දි ආකර්ෂා වෙනදා වගේ තරහා ගත්තෙවත් හිත රිද්දගත්තෙවත් නෑ. අනික එහෙම හිත රිද්දගන්න තියෙන හේතුව මොකද්ද? මොක උනත් තමන් කියන්නෙ කවීන්ගෙ ෆියන්සේ. මේක ඩීල්ද නැද්ද කියන කතාව සෙලීනා දන්නෙ නැති එකේ ඇත්තටම කවීන්ගෙ ෆියන්සේ විදියට රඟපෑවා නම් ඉවරයි කියන කතාව තමයි කෙල්ල එවෙලෙ හිතෙන් හිතුවෙ.

“දැලේ දාගන්න? එහෙම මේ දකින දකින එකාව දැලේ දාගන්න මොකෝ මං මාලු කාරයෙක් කියලා හිතුවද?” කියලා ආකර්ෂා අහද්දි නම් සෙලීනත් පොඩ්ඩක් ගැස්සිලා පස්සට විසික් වුණා.

“කොහෙන් ආව උන්ද කියලා අපි දන්නෙ නෑනෙ. මෙතන තරුණ කොල්ලන්ව අල්ලගෙන දේපල ටික හූරගෙන කන්න මේ ගෙවල් අස්සට රිංගගෙන තව මෙතන මට සද්ද දාන්න එන්නෙපා”

“අනේ මේ ඔයාට සද්ද දාන්න මම ලවුඩ් ස්පීකර් එකක් නෙවිනෙ. අනික තමුන්ම නේද මේ මගෙ පස්සෙන් මෙතනට ඇවිදන් ඇවිත් මට එක එක සද්ද දාන්න ආවෙ. අනික මොකද්ද ඔය දේපළ හූරං කන කතාව? මං මොකටද මගෙ මනුස්සයගෙ දේපළ හූරං කන්නෙ. ඒවා කොහොමත් කවදහරි මගෙනෙ. මට ආයෙ අමුතුවෙන් හූරං මේ හිඟන ලෙවල් එකෙන් කන්න උවමනාවක් නෑ. කනවනම් මම කුට්ටියක් කපාගෙනම තමයි කන්නෙ. කේක් තියෙන්නෙ? ඒවා කන්නෙ කෑලි කපං අන්න ඒ විදියට” කියලා මහ නසරාණි හිනාවක් දාගෙන උණු වෙච්ච කිරි එක කෝප්පෙකට දාලා සීනි හැන්දක් දාලා දිය කරන ගමන් තමයි ආකර්ෂා සෙලීනට කිව්වෙ.

“තමුසෙ හිතන් ඉන්න ඒවා වෙයි කියලා හිතන්න එපා. මං කවදාවත් ඒවට වෙන්න ඉඩ තියන්නෙ නෑ”

“ඒක ඉතින් ලේසියෙන් කරන්න ඔය නෝනට පුළුවන් වෙන්නෙ නෑ”

“ඇයි ඒ මොකද?”

“ඒ මොකද කියන්නෙ ඉතින් මං හිතන් ඉන්නෙ මොනවද කියලා දැනගෙන ඒවා විනාස කරන්න මං හිතන ඒවා ඔහේට කියන්න ඕන නේද?

මොකෙක් වගේද මාව පේන්නෙ? හලෝ මේ මෙන්න මේක හොඳට මතක තියාගන්නවා. තමුසෙ මාව බයකරන්න හදන්නෙ තමුසෙට මෙතන කවීන් එක්ක ඉස්සර තිබිච්ච සම්බන්ධෙ තුරුම්පුවක් විදියට පාවිච්චි කරලා මට හර්ට් කරලා නම් ඒවා මාත් එක්ක වානා හොඳේ.

මිනිස්සු කොහොමත් එහෙම තමයි. ගෙදරකට බඩුවක් ගද්දි උනත් අපි එක එක ඒවා අල්ලලා කරල බලලනෙ හොඳම එක තෝරගන්නෙ. එහෙමෙකේ කවීන් ඔහේ එක්ක අතීතෙ මොන මංගල්ලෙ නටලා තිබ්බත් මට ඒවා අදාලම නෑ.

මොකෝ දැන් එයා නටන නැටුම නටන්නෙ මාත් එක්ක හන්දා. ඔහේට ඕන නම් ඒ නැටුමට සෙට් වෙන්න ඒක කරන්න වෙන්නෙ සයිඩ් එකෙන් තමයි.

හැබැයි මතක තියාගන්නවා ඔය සයිඩ් එකෙන් එල්ලගන්න තොරොම්බල් කෑලි වලට එච්චර ආයුස නැති විත්තිය.

ගොං ගෑනි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here