ආදර මල්වල පාට කියන්නද? – 39

0
543

“මං ගෙදර ගිහින් එන්න කියලා හිතුවෙ” කියලා ආකර්ෂා කවීන්ට කිව්වෙ ඔන්න ඔහොම දෙන්නා තුරුල් වෙලා කතා කර කර උන්න දවසක හවස් වරුවෙ.

“ඇයි එකපාර?”

“එකපාර නෙවි ඉතින්. මං ආවයින් පස්සෙ ගෙදර ගියේ එකපාර නෙ. තාත්තව බලාගන්න මාමා කෙනෙක් උන්නට මමත් ගිහින් බලන්න ඕනනෙ”

“ඔයා ගියාම මට තමයි පාලු” කියලා කවීන් මූණ ඇඹුල් කරගෙන කිව්ව එක ඇත්තක් වුණාට ආකර්ශට හැමදාම මෙහෙම තමන්ගෙ ගෙදෙට්ට වෙලා ඉන්න බැරි විත්තියත් එයාගෙ තාත්තාව බලන්නත් කෙල්ල යන්නෝන විත්තියත් මතක තිබ්බා හන්දා කොල්ලා වේදනාව ඩබල් කරලා පෙන්නන්න ගියේ නෑ.

“හරි… හැබැයි දවස් තුනකට වඩා ඉන්න බෑ, හරිද?” කවීන් අන්තිමට කිව්වෙ ආකර්ෂාගේ නළලට පොඩි හාදුවක් දෙන ගමන්.

කොහොම හරි පහුවදා උදෙන්ම කෙල්ල බෑග් එකත් ලෑස්ති කරන් කාමරයෙන් එළියට බැස්සේ ගමට යන්න මාරම ආසාවෙන් වුණත්, මොකක් හරි නොතේරෙන දෙයක් හන්දා, කියාගන්න නොතේරෙන හිතුවිල්ලකට තමන්ගේ හිත ඇතුළේ මාරම පාලුවක් වගේම ලොකු දුකක් පිරිලා තිබුණා කියන එක කෙල්ලට නොතේරුනා නෙවෙයි. තමන් මේ යන්නේ සදහටම නෙවෙයි, දවස් කිහිපයකට විතරයි කියලා හිතට තේරුම් කරන්න හැදුවත්, පපුවේ කොනකින් ආපු ඒ අමුතුම, නොතේරෙන වේදනාව මොකක්ද කියලා ආකර්ෂාටවත් හිතාගන්න බැරි වුණා.

“සමහරවිට ගොඩක් දවසකට පස්සෙනෙ ගෙදර යන්නෙ, මොක උනත් කවීන් එක්ක සන්තෝසෙන් ඉන්න වෙන්නෙ ආයෙ ටික දවසකට පස්සෙනෙ කියලා හිතෙන හන්දා වෙන්නැති” කියලා හිතලා තමයි කෙල්ල අන්තිමේ හිත කිව්ව හැමදේම අමතක කරලා වගේ ගෙනියන්න ඕන ජාති ටික අස්පස් කරන්න ගත්තෙ. ඇඳුම් වලින් ගෙදර ගෙනියන්න ඕන ඒවා ටිකක් විතරක් එක්කාසු කරගත්ත කෙල්ල චිත්‍ර බඩු නං උස්සගෙන යන්නෙ හිතුවෙ නෑ මොකෝ “ආය ඉතින් එනවනෙ” කියලා මතක තිබිච්ච හන්දා.

කෙල්ල මුලින්ම ගියේ වික්‍රමසිංහ මහත්තයා, ඒ කියන්නේ කවීන්ගේ තාත්තා හිටපු කාමරේට. ඇඳ උඩ හාන්සිවෙලා කිසිම කතාවක් නැතුව ඉන්න ඒ අසරණ මනුස්සයා ළඟට ගිහින් ආකර්ෂා හෙමින් දණගැහුවෙ යන්න කලින් වඳින්න හිතාගෙන. කතා කරන්න බැරි වුණත්, හරි සිහියකින් උන්නෙ නැතත් කවීන්ට පස්සෙ මේ මාලිගාව ඇතුළේ තමන්ට පොඩි හරි නියම ආදරයක්, කරුණාවක් පේන්න තිබ්බෙ ඒ ඇස්වලින් විතරයි කියන එක කොච්චරවත් අමතක කරන්න ආකර්ෂට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ආකර්ෂා හෙමින් වික්‍රමසිංහ මහත්තයගෙ අතක් අල්ලගෙන, “මං දවස් කිහිපයකට ගිහින් එන්නම් තාත්තේ… පරිස්සමින් ඉන්න” කියලා කියද්දී ආකර්ෂාගේ ඇස් දෙක කඳුළින් පිරුණා. ඒ වචන ටික කියද්දී තමන්ගෙ කටහඬ වෙව්ලලා ගියේ ඇයි කියලා කෙල්ලටවත් හිතාගන්න පුළුවන් වුනේ නෑ. හරියට මේ තමන් එයාව දකින්නේ අවසාන වතාවට වගේ මූසල හැඟීමක් හිතට වද දුන්නා කියන එක හැබැයි කෙල්ලට දැනුණා. වික්‍රමසිංහ මහත්තයත් කතා කරගන්න බැරි වුණත්, වෙනදාට වඩා මාරම අසරණ බැල්මකින් ආකර්ෂා දිහා බලන් හිටියේ හරියට “මාව දාලා යන්න එපා දුවේ” කියන්නා වගේ. ඒ බැල්ම කෙල්ලගේ හිත තවත් පෑරුවා.

කාමරයෙන් එළියට ඇවිත් සාලයට බහිද්දී තමයි කවීන් එතන හිටියේ. සෝෆා එකට බර වෙලා සාමාන්‍ය විදිහට ෆෝන් එක ඔබ ඔබ හිටියත්, කවීන්ගේ හිතත් තිබුණේ නොසන්සුන් වෙලා කියලා ආකර්ෂාට තේරුණා. කෙල්ල හෙමින් බෑග් එකත් අතට අරන් කවීන් ඉස්සරහට ගිහින් හිටගත්තා. කවීන් හෙමින් ඔළුව උස්සලා බලද්දී, ඒ ඇස් දෙක අස්සේ වෙනදා තියෙන අකීකරු, දඩබ්බර ගතිය වෙනුවට මොකක්දෝ පාලුවක් හැංගිලා තිබුණාද කියන එක හොයාගන්න වගේ ආකර්ෂා තව උනන්දුවෙන් කවීන්ගෙ ඇස් අස්සටම එබිලා උන්නා.

“මං යනවා… දවස් තුනකින් ආපහු එන්නම්” කියලා ආකර්ෂා කියද්දී කවීන් මුකුත් නොකියා එකදිගටම කරේ කෙල්ල දිහා බලාගෙන උන්න එක

“පරිස්සමින් යන්න” කවීන්ගේ කටින් පිටවුණේ එච්චරයි. ඒ හඬේ වෙනදා තිබ්බ සැර ගතිය ගිලිහිලා, මාරම හුදකලා බවක් ගෑවිලා තිබ්බා.

“යන්න නෙවෙයි ගිහින් එන්න කියන්න. මං ආයෙ එනවනෙ”

“ඔයාට කැබ් එකක් දාලා දෙන්නම් කිව්වට ඔයා කැමති වුණේ නෑනෙ”

“එපා, තාත්තට සැක හිතේවි. ඊට හොඳයි මං බස් එකේ යන්නම්”

ආකර්ෂා ආපහු හැරිලා කවීන්ලගෙ මහ මන්දිරේ දොරෙන් එළියට බහිද්දී කෙල්ලගේ පපුව මහා බරකින් හිරවෙලා තිබුණා. තමන්ට මේ තරම් දුකක් දැනෙන්නේ ඇයි? තමන් මේ යන්නේ තමන් පණ වගේ ආදරේ කරන තමන්ගේම මහගෙදරට, තමන්ගේම තාත්තා ළඟට නේද? ඉතින් ඇයි මේ හිත අඬන්නේ? තමන්ට වචන වලට හරවලා කියන්න බැරි අමුතුම හැඟීමක් හිත අස්සෙ ලියලා තියෙනවා වගේ දැනෙද්දී ආකර්ෂාට දැනුණේ මහා බයක්.

හැමදාම මරාගන්න, එකිනෙකාට වෛර කරනවා කියලා හිතාගෙන ඩීල් එකකට ආව තමන් දෙන්නාගේ හිත් ඇතුළේ ඒ වෙලාවේ තිබ්බෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච ෆීලින්ග්ස්. හැබැයි කෙල්ල ආපහු හැරිලා බලන්න ගියේ නෑ. අන්න ඒ කුතුහලයත් එක්කම, හිතේ පිරිච්ච අමුතුම පාලුවක් දරාගෙන ආකර්ෂා තමන්ගේ ගෙවල් පැත්තට යන  බස් එකට ගොඩවුණා.

බස් එකේ ජනේලෙන් ඇතුලට වැටිච්ච ඉර එළියත් එක්ක හුළඟ මූණට වදිද්දී, ආකර්ෂා හිටියේ ලොකු කල්පනාවක.

ඇත්තටම කෙල්ලගේ ඇස් පාර අයිනේ තියෙන ගස්වැල් දිහා බලාගෙන හිටියට, හිත තිබ්බේ කවීන් ළඟ. කවීන් අන්තිමට “පරිස්සමින් යන්න” කියද්දී එයාගේ ඇස්වල තිබ්බ ඒ පාලු අන්ධකාර පාට බැල්ම හිතෙන් අයින් කරලා දාන්න බැරි හේතුවක් කෙල්ලට තිබ්බා. මුල් දවස්වල තමන්ට මහ නපුරු විදිහට කතා කරපු, ආඩම්බර ලයින් දාපු මනුස්සයා එකපාරටම මෙච්චර සොෆ්ට් වුණේ කොහොමද කියලා හිතද්දී ආකර්ෂාට දැනුණේ පුදුමයක්. මූණ ඇඹුල් කරගෙන “ඔයා ගියාම මට පාලුයි” කියපු හැටි මතක් වෙද්දී කෙල්ලගේ තොල් කොනකට නොදැනීම පුංචි හිනාවකුත් ආවා.

හැබැයි ඒ එක්කම හිතේ කොනකින් ආපු නොතේරෙන දුකයි, බයයි තවමත් එහෙම්මම තිබුණා.

පැයක විතර ගමනකින් පස්සේ බස් එකෙන් බැහැලා, හුරුපුරුදු ගෙවල් පාර දිගේ ඇවිදගෙන ආකර්ෂා තමන්ගේ මහගෙදර ගේට්ටුවෙන් ඇතුළට ආවෙ ඔන්න ඔය වගේ කල්පනා ලෝකයක් අස්සෙ හිරවෙලා ඉන්න අතරවාරෙ. මෙච්චර දවසක් තමන් ලස්සනට ආදරෙන් වවලා, පිලිවෙලට අතු කපලා තිබිච්ච බෝගන්විලා පැල එහෙම ඔහේ පිස්සුවෙන් වගේ වැවිලා තියෙද්දි “අප්පා වත්ත නිකන් වනන්තරේ වගේ” කියලා හිත කිව්වට මොකෝ “තාත්තාට අසනීපෙන් ඉද්දි ආය ඔය ගස්වැල් වලට සාත්තු සප්පායම් කර කර ඉන්න බෑනෙ” කියලා  තාත්තා ගැන මතක් වෙද්දී පපුව රිදුණා. කෙල්ල හෙමින් දොර ඇරගෙන ඇතුළට ගිහින්, කෙළින්ම දිව්වේ තාත්තා ඉන්න කාමරේට.

විජේන්ද්‍ර උන්නෙ ඇඳේ හාන්සිවෙලා. තමන් ගියයින් පස්සෙ තාත්තගෙ රැවුලවත් හරියට කපලා නෑ නේද කියල එක දැක්කමයි, තාත්තා නිකන් ඔහේ ඇඳේ හාන්සිවෙලා ඇස් දෙක පියාගෙන ඉන්න විදිය දැක්කමයිනම් කෙල්ලට ඒත් හිතුණා “තාත්තා තව වයසට ගිහින්ද මන්දා, අපරාදෙ මට මීට කලින් ගෙදර ඇවිත් යන්න එන්න තිබ්බෙ. කෝල් දුන්නට ඉතින් දිනපතා තාත්තව පේන්නෙ නෑනෙ” කියලා.

ආකර්ෂට ඕන වුණේ හෙමින් සැරේ සද්ද නැතුව ඇවිත් තාත්තට පොඩි කෝචෝක් එකක් දාන්න වුණාට වයසට ගියත් තමන් ආකර්ෂගෙ තාත්තා විත්තිය විජේන්ද්‍රට මතක තිබිච්ච හන්දද කොහෙද තමයි මනුස්සයා ඇස් දෙක පියාගෙන ඉද්දිම කට ඇරියෙ.

“ගෙයක් තියෙන විත්තිය… අප්පෙක් ඉන්න විත්තිය… උඹට දැන්ද මතක් වුණේ?”

තාත්තා ඒ වචන ටික යාන්තම් කියාගද්දී ආකර්ෂාගේ ඇස් දෙකට එකපාරටම කඳුළු පැන්නා.

කෙල්ල බෑග් එක පැත්තකින් තියලා, දුවලා ගිහින් තාත්තාව බදාගත්තා.

“අනේ නෑ තාත්තේ…” කියලා කියද්දී කෙල්ලගේ හඬ වෙව්ලුවා. කොළඹදී මොන තරම් මැරයා වගේ හිටියත්, තාත්තා ඉස්සරහදී කෙල්ල ආයෙමත් අර පුංචි දූම වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here