මලක් වී යළි පිපෙන්නම් – 31

0
53

වෙළඳ දැන්වීම් රූගත කිරීමේ කටයුත්තක් සඳහා ආයතනයෙන් පිටතට ගිය තේජන යළි කාර්යාලයට පැමිණියේ රාත්‍රී නවයට පමණය. පසු දා උදෑසන ලබා දිය යුතු වීඩියෝවක් සංස්කරණය කරමින් උන් සංස්කරණ ශිල්පීන් කිහිප දෙනෙකු ඒ වන විටත් ආයතනය තුළ රැඳී සිටියේය. අධික ලෙස වෙහෙස වී සිටියත් තේජනට වුවමනා වූයේ ඒ කාර්යය නිමා කරන්නට ඔවුනට සහාය වීමටය. 

කාර්යාලයට මදක් එහායින් වන ප්‍රසිද්ධ අවන්හලක නමක් ගැසූ කෝපි කෝප්පයක් රැගත් මුරකරු තේජනට හමු වූයේ විදුලි සෝපානය අසලදීය. 

“තේජන සර් මේ වෙලාවේ..”

“ඔව් සමන්..පොඩි වැඩ වගයක් තිබුණා මං ඒක ඉවර කරලම යන්න කියලා හිතාගෙන ආවෙ. තවම සංකල්පලත් වැඩ නේද?”

“ඔව්  සංකල්ප සර්රුයි  නිහාල්  සර්රුයි එළියට යනවනම් දැක්කේ නෑ.”

“කාටද මේ කොෆී…”

තේජන එවර ඇසුවේ ඔහු අත වූ කෝපි බඳුන දෙස බලාගෙනය. 

“මේ අපේ චාරුක සර්ට. ඕඩර් එකක් දාලා ගෙන්න ගත්තේ. දැන් බයික් එකකින් ඇවිල්ල දීල ගියේ. මට කෝල් එකක් දීලා කිව්වා උඩට ගෙනත් දෙන්න කියලා.”

“මං ඕක දෙන්නම්. චාරුකගේ ඔෆිස් එකට ගිහිල්ලා තමයි මං ආපහු පල්ලෙහාට එන්නේ.”

තේජන කෝපි බඳුන තමා අතට ලබා ගත්තේ චාරුක මෙතෙක්  වේලා කාර්යාලය තුළ රැඳී සිටින්නේ කුමන කාර්යයකටදැයි සිතමින්ය. දන්නා තරමින් තමාත් අමායාත් දැඩි ලෙස අවිවේකී වී ඇත්තේ ඔහුගේ කාර්ය භාරයත් පවරා ගත් නිසාය. ඒ මෙවේලෙහි ඔහුව මනසින් නිදහස් කිරීමේ අරමුණෙන්ය. එනිසාම ඔහුට  කළ යුතු විශේෂ වැඩ කොටසක් වූයේ නැත. තමාගේ කාර්යාල කාමරයට යාම පසෙක තබා ඔහු මිතුරාව සොයා ගියේ එනිසාය. 

තේජන යන විටත් සුවපහසු අසුනට හේත්තු  වී උන් ඔහු කල්පනාවකය. පසුගිය දින කිහිපය පුරාම ඔහු මේ ආකාරයෙන් දුටු වාර ගණන තේජනගේ මතකයේ වූයේ නැත.

“ඇයි උඹ ගෙදර ගියේ නැත්තේ?”

තමා එසේ අසද්දී චාරුක තිගැස්සෙන අයුරු ඔහු හොඳටම දුටුවේය.

“චාරුක සර්ට මොනවාහරි ප්‍රශ්නයක්ද තේජන..මේ දවස් ටිකේම මට සර්ගේ ලොකු වෙනසක් පෙනුනා. ඒ නිසයි එහෙම ඇහුවේ.”

දවාලේ අමායා එසේ ඇසූ බව තේජනට සිහි වූයේත් ඒ හදිසියේමය. 

“උගේ බබාට බබා හම්බවෙන හින්දා ඌ ටිකක් කම්පියුස් වෙලා ඉන්නේ කුළුදුලේ වෙන්න තාත්තනේ”

එවේලේ ඇගේ වදන් විහිළුවට ගත්තද තේජන උන්නේද මිතුරා ගැන සැලකිල්ලේය. දින කිහිපයක සිට ඔහුගේ ඒ වෙනස වෙනදාටත් වඩා තදින් දැනෙන්නට විය. පසුගිය දිනවල ඔහුට නිවසට යාමට වූයේ හදිසියකි. එහෙත් සතියක දෙකක පමණ වේලේ සිට ඒ හදිසිය වූයේ නැත. 

“චාරුක..මචං මොනව හරි ප්‍රශ්නයක් තියෙනවනම් අපි කතා කරමු. කම්පැනි එකේ මොකක් හරි අවුලක්ද?”

“උඹ භාගයක් බීලා දීපන්..”

මිතුරාගේ ප්‍රශ්නයට පිළිතුරක් නොදීම චාරුක කළේ කෝපි බඳුන ඔහු වෙත දිගු කිරීමය. 

“මං එද්දි තේ එකක් බීලා බං ආවේ. උඹ ඔෆිස් එකේ ඇති කියලා හිතුවේ නෑ.”

“මං කොහොමත් උඹත් එක්ක මේ ගැන කතා කරන්න හිටියේ. දැන් ටික දවසක ඉඳලා බබා මමත් එක්ක තරහෙන් ඉන්නේ.”

“තරහින් කිව්වේ, කොහොමත් චුට්ටක් අවුලෙන්නේ  හිටියේ.”

“ඩොක්ටර් සොහාන්  කියපු විදිහේ ප්‍රශ්නයක් නෙමෙයි බං ඒක. එයා මාව තේරුම් ගන්නේ නෑ.”

“මචං මේ දවස්වල නංගි  අතින් පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. එදා සිරිමෙවන් බාස්ව  බස්සවන්න උඹලගේ ගෙදරට ගියපු වෙලාවෙ නංගි මටත් වැඩිය මුහුණ  දීලා කතා කලේ නෑ. හැබැයි ඉතින් මේ වෙලාවේ එයාගේ අතින් වෙන ඒ අඩුපාඩු අපි ගණන් නොගෙන ඉන්න එක තමයි හොඳම දේ.”

“එහෙම තමයි බං මං හිටියේ. මේක ඊටත් එහා ගිය ප්‍රශ්නයක්. කොයිම වෙලාවකවත් මගේ ජීවිතේට එයි කියලා මම බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයක්.”

“ඇයි බං උඹ එහෙම කියන්නේ.”

“මචං මම දන්නෙ නැහැ බබාට කොහොමද එහෙම සැකයක් ඇති වුණේ කියලා. එයා මාවයි මන්දස්මිවයි සැක කරනවා.”

“නෑ..ඒ කොහොමද බං ඒක උනේ.”

“මට තේරෙන්නේ නෑ. එයා තදින්ම කියනවා මන්දස්මිව මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් කරන්න කිව්වා.” 

“හිතාගන්න බැරි ප්‍රශ්නයක්නෙ බං ඒක. එහෙම කිසිම සාධාරණ හේතුවක් නැතුව.”

“මං දන්නෑ බං එයා මේ ගැන කතා කරලා තියෙන්නේ එයාගේ යාලුවත් එක්ක විතරයි. අර ධනුකගේ වයිෆ් එක්ක. සංකල්පනී කියන විදිහට ටික කාලෙක ඉඳලම බබාගේ හිතේ මේ සැකේ තිබිලා තියෙනවා. ඒක එහෙම වෙන්න විදිහක් නෑ කියලා සංකල්පනීත්  බබාට තේරුම් කරලා දීලා තියෙනවා. හැබැයි එයා ඒක පිළිගන්නේ නෑ.”

“මොනව කරන්නද කියලා මටත් හිතාගන්න බෑ බං. මාරම අවුලක් උනානේ.”

“මගේ ඔළුවත්  සම්පූර්ණයෙන් අවුල් බං. ලබන සතියේ  අම්මයි තාත්තයිත් එනවා. බබාගේ අම්මත් ඉන්නේ අවුලෙන් කියල මට තේරෙනවා.  සමහර විට එයා මේ බව අම්මා එක්කත් කියල ඇති. උඹ කියන්නෙ සෝමත් මේ දවස්වල ඉන්නෙ මාර බයකින්. වචන වලින් නොකිව්වට ඒක මට දැනෙනවා. මම දවස් කීපයක් උත්සහ කලා බං බබා එක්ක මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න.” 

“මචං මටත් හිතාගන්න බෑ මොනවද කරන්න ඕනේ කියලා. නුලාරා නංගි කවදාවත් මේ විදිහේ දෙයක් ඔලුවට දාගනියි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. ඒ කියන්නේ මචං කවුරුහරි ගින්නක් දීලද..?”

“මටත් ඒක තවම හිතාගන්න බෑ. එයා කියනවා අද නැතිවුනත් සමහරවිට එහෙම දෙයක් ඉස්සරහට ඇතිවෙන්න පුළුවන්ලු. මාස කීපයක ඉඳල බං එයා එයාගේ රූපෙ ගැන ගොඩක් වද වුණා. බබා ලැබෙන්න ඉන්න එකෙන් එයා අවලස්සන වෙලා කියලා එයා හිතුවා. ගොඩක් වෙලාවට මගෙන් අහනවා ‘ඔයාට දැන් මාව එපා වෙයිද? කියලා..මට දැන් මේ සේරම ගලපල බලද්දී හිතෙනවා. සංකල්පනී කියපු විදිහට බබා මේක ටික කාලෙක  ඉඳලම හිතේ තියාගෙන හිටපු දෙයක් කියලා.”

“ඇයි මන්දස්මිම..උඹ ඇක්ටර්ස්ලා කී දෙනෙක් එක්ක වැඩ කරනවද? දවසකට මොඩර්ස්ලා කී දෙනෙක් මෙතනට එනවා යනවද..?”

“ඒක තමයි මටත් හිතාගන්න බැරි. සමහර වෙලාවට මේ වෙලාවේ මන්දස්මි එක්ක  ටිකක් සමීප වෙලා වැඩ කරන නිසාද දන්නෙ නෑ.”

“මේ ප්‍රශ්නෙට උත්තර හොයන එකනම් එච්චර ලේසි වෙන්නෙ නෑ බං.”

“මේ වෙලාවේත් එයා තදින්ම ඉල්ලනවා මන්දස්මිව මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් කරන්න කියලා..”

“ඒක කරන්න බෑනේ බං…”

චාරුක දිගු සුසුමක් මුදා හැරියේ මිතුරාට පිළිතුරක් නොදීය. 

ඒ ඉල්ලීම කෙතරම් අකාරුණිකදැයි ඇයට පහදා දීමට උත්සාහ ගත් සෑම විටකම ඔහුට වූයේ නිහඬවන්නටය. 

“බබා සෑහෙන්න කල්පනා කරනවා බං. වචන දෙක තුනකට වඩා මමත් එක්ක කතා කරන්නේ නෑ. හරියකට කෑමක් බීමක් ගන්නේ නෑ. මහ රෑටත්  හූල්ලනවා. මචං අඩු තරමේ මට එයාගේ අත අල්ලන්නවත් දෙන්නේ නෑ. කොයි වෙලාවෙ බැලුවත් ඇස් දෙකේ කඳුළු. මට සොහොන්ට මේ ගැන කියන්න විදිහක් නෑ. එයාව කවුන්සලර් කෙනෙක් ළඟට හරි එක්කන් යන්න ඕන උනත් මේ ඒකට වෙලාව නෙමෙයි. මට තේරෙන්නේ නෑ බං…මේ අනවශ්‍ය ප්‍රශ්නෙන් එයා දුක් විඳිනවා. උඹ දන්නවනේ හැමතිස්සෙම හිනාවෙලා කොච්චර සතුටින් ඉඳපු කෙල්ලෙක්ද මේ. මට වෙලාවකට හිතෙනවා එයා ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න යන එක ඒ ලයිෆ් එකට බර වැඩි වුණාද කියලා.”

“එහෙම හිතන්න බෑ බං අවුරුදු  විසි හතරක් කියල කියන්නේ මං හිතන විදිහට ප්‍රෙග්නන්සි එකකට හොඳම වයස. කොහොම උනත් උඹට  මේ වෙලාවේ නංගි ගැන සැලකිල්ලෙන් ඉන්න වෙනවා.”

“ඒක මම දන්නවා බං ඒ උනාට ගෙදර යන්න හිතෙන්නෙ නෑ. ඇත්තටම මට තේරෙන්නෙ නෑ බං මං මොනවද කරන්න ඕනේ කියලා.”

“ඉවසන්න වෙනවා බං. මොනව උනත් ඉවසගෙන උඹට  මේ වෙලාවේ නංගිත් එක්ක ඉන්න වෙනවා. සමහර විට බබා හම්බවුණාට පස්සේ මේ තත්ත්වෙ ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. එහෙම සැකයක් නංගිගේ හිතට ආපු එක තමයි බං මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක එච්චර හොඳ එකක් නෙමෙයි. අනිත් එක එයා උඹව දන්නවා. උඹේ රස්සාව ගැන දන්නවා. මේ ෆිල්ම් එක ගැන හොඳාකාරවම  දන්නවා.”

“එයා වෙනස් වෙලා බං හොඳටම වෙනස් වෙලා. මට හිතා ගන්න බැරි තරම් වෙනස්වෙලා.”

අවසන චාරක පැවසූයේ දිගු සුසුමක් මුදා හරිමින්. මිතුරන් දෙදෙනා තවත් විනාඩි කිහිපයක් කාර්යාල කාමරයට වී කාලය ගත කළේ නිහඬවය. දිය යුතු පිළිතුරක් හෝ කළ යුතු දෙයක් පේජනට සිතා ගත හැකි වූයේ නැත. 

අවසන චාරුක නැගී සිටියේ මේසය මත වූ වාහනයේ  යතුරත් රැගෙනය. 

“යමු මම ඩ්‍රයිව් කරන්නම් ආපහු මට කැබ් එකක් දාගෙන ඔෆිස් එකට එන්න පුළුවන්නේ.”

එසේ පවසමින් නැගී සිටි තේජනගේ එක් උරයකට අත තැබූ චාරුක තත්පර කිහිපයක් නැවතී සිටියේය. 

“ඒක කවද වෙනකල්  කරන්නද බං. අමාරුවෙන් හරි මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නත් වෙනව උත්තරයක් හොයන්නත් වෙනවා.”

එසේ පැවසූ චාරුක කාර්යාල කාමරයෙන් නික්ම යන තුරුම තේජන බලා සිටියේ මිතුරා ගැන ඇති වූ සැබෑම වේදනාවකින්ය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here