මලක් වී යළි පිපෙන්නම් – 32

0
71

ධනුකත් තවන් සේවකයන් පිරිසකුත් උන් තැනට පැමිණි අමායා සේවකයන් දෙදෙනෙකු කැඳවාගෙන ගියේ ධනුක දෙස වැරදීමකින් වත් නොබලමින්ය. චාරුකගේ හිතවත්කම් මත සෑම විටකම ආයතනයේ තමාට වැඩි සැලකිල්ලක් බලාපොරොත්තු වූ ධනුක යළිත් වරක් අමායාගේ හැසිරීමෙන් හිත රිදවා ගත්තෙත්, කෝප ගත්තේත් අහේතුකව නොවේ. චාරුකගේත් තමාගේත් වන දැනහැඳුනුම්කම ගැන සහෝදර සේවකයන්ට අතිශොක්තියෙන් පවසා තිබූ ධනුකට අමායාගේ මේ ගනන් නොගැනීම දැනෙන්නට වූයේ මහා මදි පුංචි කමක් ලෙසින්ය. චාරුක සේම තේජනත් තමා දුටු තැන් වලදී කොහොමද ධනුක යැයි පවසමින් විශේෂ හිතවත්කමක් තමා වෙත පාන්නේ අනිකුත් සේවකයක්ගේ සිත්වලත් තමා පිළිබඳව යම් ගෞවයක් ඇති කරමින්ය.

“මේ වැඩේ ධනුකට පැවරුවනම් හරි..”

යනුවෙන් තේජන පවසද්දීත් අමායා උන්නේ නිහඬවය. ධනුක පිළිබඳව පැහැදීමක් ඒ සිතෙහි වූයේම නැත. ඊට හේතු පැහැදිලි කරන්නට නොගියත් අමායා උන්නේ ධනුක පිළිබඳව ඒ සා හොඳ ප්‍රතිරූපයක් මවාගෙන නොවේ.

රන්දික සංකල්පනීට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ සවසකය. නීතිඥයෙකු හමු වූ බවත් සොහොයුරියගේ විවාහ මංගල්‍යයෙන් පසුව නඩුව ෆයිල් කිරීමට කතිකාකරගත් බවත් ඔහු පැවසූයේ ඇගේ සිතට අලුත් බලාපො⁣රොත්තුවක් ලබා දෙමින්ය. 

“තව ටිකක් කල්පනා කරන්න සංකල්පනී”යැයි ඔහු පවසද්දීත් ඈ උන්නේ නිහඩවය. 

රන්දික යනු සතුට නොදන්නා අයෙකි. වසර ගණනක් පුරා විදේශගතව සිටියත් ඔහු හම්බකර තිබුණේ මුදල් පමණි. රන්දිකට  යහළුවන් කියා පිරිසක් වූයේ නැත. ඔහුගේ ජීවිතයේ සියල්ල වී තිබුණේ අම්මාත්, නැගණියත්ය. විවාහ ජීවිතයක් සාර්ථක වීමට තමා බිරිඳට වරදක් නොකිරීමම පමණක් ප්‍රමාණවත් යැයි සිතන සැමියන් අතර ඔහුද එක් සැමියෙකුයැයි සංකල්පනී සිතුවේ දුරකථනය පසෙක තබනා ගමන්ය. ඇය සමඟ අඹුසැමි ඇසුරක් පැවැත්වීම, පෝෂණය කිරීම, ලෙඩට දුකට බැලීම හෝ ඇඳුම් පැළඳුම් ලබාදීම පමණක් සැමියෙකුගේ යුතුකමයැයි සිතන සැමියන් අතරේ රන්දික සිටියේ ඉහළම තැනකය. ඔහුට තමාගේ සිත හෝ සිතුවිලි හඳුනා ගැනීමට හැකි වූයේ නම් මෙම කසාදය දික්කසාදයකින් කෙළවර නොවන්නට තිබුණායැයි ඇයට  සිතිණ. ධනුක සිටින්නේ රන්දිකත් සමඟ සසදා බලද්දී සංකල්පනීගේ ජීවිතයේ ඉහළම තැනය. ඔහු ජීවත් වන්නට දන්නා පිරිමියෙකි.

වර්ණ ඇඩ්වටයිසින් වෙතින් ඔහු තෙවන වරටත් ලැබූ වැටුපෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් අම්මා වෙනුවෙන් යැව්වේය. සංකල්පනී  කිසිත් නොකියා සිටියාට  එම පුරුද්ද පවුල් ජීවිතයකට සුදුසු නොවන බව ඇය විශ්වාස කළාය. විවාහ වී ගියත් දරුවන් දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතු බව සැබෑය. ඒ ප්‍රමාණවත් අයුරකින්ය. ධනුකගේ වැටුප ඇපයට තබා බැංකු ණයක් ලබාගැනීමට තවත් මාස කිහිපයක් ඉවසිය යුතු බව සංකල්පනී දැන සිටියාය. ඒ පිළිබඳව නුලාරා හා කතා කරන්නට සිතුනත් ඇය ඉවසා සිටියේ මේ ඊට සුදුසු කාලය නොවේයැයි සිතුණු නිසාය. දැන් එවැන්නක් එකවරම චාරුක හා කතා කරන්නට තරම් හිතවත් කමක් සංකල්පනීට වේ. ඊයේ පෙරේදා දෙදිනේම ඇය අන්තර්ජාලයෙහි විකුණන්නට දමා තිබූ නිවාස වල මිල ගණන් පරීක්ෂා කළේ ඒ බැව් සිහියේ තබාගෙනය. කොළඹින් මදක් එහාට වන්නට වන පර්චස් පහේ හයේ කුඩා නිවාස අඩු මිලකට ලබාගත හැක. ධනුකට ගමේ යම් දේපලක් තිබේ. ඉන් ඉඩමක් දෙකක් විකුණා ගතහොත් කුඩා නිවහනකට මූලික ගෙවීම සිදුකරන්නට බැරිකමක් නැතැයි ඈ සිතුවාය. ඊට ධනුකව පොළඹවා ගත යුත්තේ ඉවසිල්ලේය. 

මේ විවාහක ගැහැණියක දරුවෙකු ලැබිය යුතු හොඳම කාලයයැයි සංකල්පනී විශ්වාස කළාය. ධනුක ළඟ මේ ගෙවන ජීවිතය නිදහස් සුන්දර එකකි.  වෙනදා ඇගේ සිතෙහි එවන් අදහසක් නොවුනත් නුලාරා දකින වාරයක් වාරයක් පාසා දරුවෙකු කුස දරා සිටීමට සංකල්පනීගේ සිතෙහි ඇතිවන්නේ පුදුමාකාර ආශාවකි. දැන් ඒ හීනයට අත්තටු ලැබ අවසන්ය. දැන් ඇයට ඇවැසි පිළිවෙලක් ඇති පවුලක් ගොඩ නගා ගැනීමේ උවමනාවය.

                               ***************

නුලාරා ආලින්දයේ වූ පුටුවකින් අසුන් ගත්තේ මහා අලසකමක් දරාගෙනය. පසුගිය දිනවල නිවසේ වූයේ කලබලයකි. නිවස අස්පස් කරමින්, මොප්  කරමින්, වැකියුම් කරමින්, ගෙවත්ත පිළිවෙලකට සකස් කරමින් උන් සේවකයන් වැඩ නිමවා නික්ම ගියේ ඊයේ සවසය. ඒ දින කිහිපයේම නුලාරා කාලය ගෙවා දැමුවේ කාමරයට වීගෙනමය. 

අම්මාගේත්, සෝමාගේත් කටහඬ මුළුතැන් ගේ දෙසින් ඇසේ. පැය විසි හතරේ ප්‍රවෘත්ති නාලිකාවක් නරඹමින් උන් තාත්තා හිස ඔසවා බැලුවා මිස නුලාරා ගෙන් කිසිවක් ඇසුවේ නැත. පසුගිය දින කිහිපයේම චාරුක තමාට සමීප වීමට විවිධාකාරයෙන් උත්සාහ දැරූ බව නුලාරාට සිහි වූයේ එවේලෙහිය. ඔහු තවමත් මන්දස්මිව සේවයෙන් ඉවත් කර නොමැත. නුලාරාගේ සිත රිදුනේ අහේතුකව නොවේ. තමාත් ඇයත් අතරින් ඔහුට වටිනාකමක් වී ඇත්තේ ඇයය. ඔහුගේ ජීවිතයේ තමාට දුන් තැන සේම ඒ ආදරයද බොරුවක් යැයි නුලාරාගේ යටි සිත තදින්ම පවසමින් තිබිණ. 

ඒ සිතට දැනෙන්නට වූයේ ආත්මානුකම්පාවකි. තමා කිසිදා පිරිමි සිතක ආදරය නොපැතූ බව විශ්වාසය. පාසලේ අධ්‍යාපනය ලබන සමයේදීත්, පුද්ගලික විශ්ව විද්‍යාලයේදීත් ඇයට උන්නේ ගැහැණු යහළුවන් පමණි. ඉඳහිට තමාගේ ආදරය පතා පැමිණි පිරිමි ළමයින් වුවත් ඒවා ප්‍රතික්ෂේප කරන්නට තරම් දිරියක් ඈ සතු විය. කවදත් ඇගේ සිතේ වූයේ අම්මාට ගෞරවයකුත් තාත්තාට බියකුත්ය. පාසල් සමයේ කිසිඳු පිරිමි ළමයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වා නොගන්නයැයි අම්මා වරින් වර ඇයට සිහි කළේ අනතුරු ඇඟවීමක්ද සමඟය. 

“එහෙම වුණොත් පුතේ ඔයාට වෙන්නෙ ගේ ඇතුලෙ කාමරයකටම හිරවෙන්න. මං හිතන්නේ නෑ තාත්තා ආපහු ආසාවටවත් ඔයාට මේ වගේ නිදහසේ එළියට බැහැලා යන්න ඉඩ දෙයි කියලා…”

එනිසාම තමාගේ ජීවිතයට එවැන්නක් සිදුවේයැයි නුලාරාගේ සිතට වූයේ බියකි. හොරෙන් සම්බන්ධකමක් පවත්වන්නට තරම්වත් සුදුසු පිරිමි ළමයකු ඇයට ඒ ජීවිතයේ හමුවී තිබුණේ නැත. පුද්ගලික විශ්ව විද්‍යාලයට යද්දීත් තමාගේ ආදරය පතා ආ පිරිමි ළමයින් කිහිප දෙනෙකු සිටි බව නුලාරාට සිහි වූයේත් ඒ හදිසියේමය. ඇසුරු කළ යහළුවන් කිහිපදෙනාගෙන් පෙම්වතෙකු නොසිටියේ තමාට පමණි. අහම්බෙන් චාරුක හමුවන තුරුම තමාගේ දෑස් පැටලුණු වෙනත් දෑසක් නොවන බව විශ්වාසය. ඒ තමා දුටු චිත්‍රපටිවල තමා කියවූ නවකතාවල සිටි පෙම්වතාගේ රූපයට සමාන රූපයකි. තමාගේ සිතෙහි මැවී උන් පෙම්වතාගේ රූපයට සමාන රූපයකි..ඒ සියල්ලටම වඩා ඔහු කලක් කඩවසම් නළුවෙකු, නිරූපණ ශිල්පියෙකු වූ නිසා තම සිතෙහි කැමැත්තක් ඇති වූවා යැයි නුලාරාට සිතේ. එහෙත් තමා ඒ සා පරිස්සම් කළ හිත අවසනට හිමි කරගත්තේ ගැහැණුන් විශයෙහි මේ සා පලපුරුද්දක් ඇති පිරිමියෙකුයැයි සිතද්දී නුලාරා වෙව්ලා යන්නට විය. තමා ලැබූ ඒ ආදරයත්, පහසත් තමාගේ පමණක් නොවේය යන සිතුවිල්ල ගැහැණියකට කොතරම් පීඩාකාරී වේදැයි දැන් නුලාරා දන්නේ අත්දැකීමෙන්ය. 

ඒ සියල්ලටම වඩා රැවටීම ප්‍රබලය. චාරුක ගත කර ඇත්තේ දෙබිඩි ජීවිතයක්ය සිතෙන සිතුවිල්ලම නුලාරාව පුළුස්සා දමමින් තිබිණ. 

“මං බැලුවා කාමරේ නැති වෙනකොට කොහේ ගියාද කියලා? මට කතා කරන්න එපැයි දරුවෝ.”

අම්මා පැමිණ එසේ පවසද්දී නුලාරාගේ සිතෙහි ඇති වූයේ කෝපයකි. මේ සියල්ලන්ගේම ආදරයත් සැලකිල්ලත් තමා කෙරෙහි නොව දරුවා කෙරෙහි උපන් එකක් පමණකැයි ඇයට සිතුනේත් එවේලෙහිය. තමා නිහඬ නිසොල් මන්ව සිටින සමහර රාත්‍රීන්වලදීත් චාරුක තමාගේ කුස සිප ගන්නා අයුරු ඕනෑ තරම් නුලාරාට දැනී තිබේ. ඒ හිස කේ වලින් අල්ලා තල්ලු කරන්නට සිතුනත් ඕ එවන් බොහෝ අවස්ථාවල ඉවසා දරා සිටියාය. 

“මට ඇවිදින්න බැරි කමක් නෑ නේ….”

නුලාරා තම  සිතෙහි වූ කෝපයත් කලකිරීමත් ලඝුකොට පැවසූයේ එකම වදන් පෙළකින්ය. ඒ හඬ මදක් උස් වී තිබිණ. 

“ඇයි දරුවෝ මේ හේතුවක් නැතුව හැමදේකටම කේන්ති ගන්නෙ…”

සිතාරා මදක් එහාට වන්නට වූ පුටුවකින් අසුන් ගත්තේ එසේ අසමින්ය. 

“ඔයා චාරුක පුතා ළඟදිත් ඔහොම කතා කරනවා මං කීප දවසක්ම අහගෙන. චාරුක පුතා කියලා කියන්නේ හරියට මහන්සි වෙන දරුවෙක් දුව. මේ තරං සල්ලි තියෙන වැදගත් පවුලක වෙලත් කිසිම ආඩම්බරයක් අහංකාර කමක් ගෑවිලාවත් නැති දරුවෙක්. ඔයාගේ වාසනාවකට ඔයාට එහෙම ආදරයක් ලැබුණේ. ඒ දරුවාගේ හිතේ කලකිරීමක් ඇතිවෙන තැනට වැඩ කරන්න එපා. “

“ඇයි අම්මට එයා ඇවිල්ලා මොනවා හරි කිවුවද…?”

“ඒ දරුවා ඔයා ගැන බයෙන් ඉන්නේ. කතා කළොත් ඇත්තම් කියන්නේ අම්මේ බබා කල්පනා කර කර ඉන්නවා. අම්මේ බබා කන්නේ නෑ ඒ ඇරෙන්න කවදාවත් ඔයාගේ නොහොඳක් නුගුණක් අපිත් එක්ක කියල නෑ. මං ඔයාගේ අම්ම පුතේ…විසි හතර පැයේම ඔයාගේ ළඟට වෙලා ඉන්න බැරි උනාට මං හැමතිස්සෙම ඔයා ගැන ඇහැ ගහගෙන හිටියේ. ඔයා හැරුණත් මට ඒක තේරෙනවා. මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.”

“ඒ අම්මට පේන හැටි මට කිසි ප්‍රශ්නයක් නෑ.”

“දුවෙක්ට අම්මා කෙනෙක් රවට්ටන එක ඒ තරං ලේසි නෑ. ඔයා චාරුක පුතා කසාද බැන්දට පස්සේ මම හිතුවේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම දුව ඔයා කියලා. වාසනාවන්තම අම්මා තාත්තා අපි දෙන්නා කියලා. පහුගිය දවස්වල ඔයා හිටියේ හැමතිස්සෙම හිනාවෙලා. ඒ හිනාව දිහා බල බල මම හිටියේ පුදුමාකාර සැනසීමකින්. තාත්තා හිටියේ පුදුමාකාර ආඩම්බරයකින්. අද ඔයාගේ මූණ දිහා බලන වාරයක් වාරයක් ගානේ මං පිච්චෙනවා පුතේ.”

“අපි හැමෝම රැවටුනා අන්තිමට……”

දුක් සුසුමක් හෙලා නුලාරා එසේ පැවසූයේ සිතාරාගේ දෑස් විසල් කරමින්ය. ඇයට දැනුනේ තමාගේ පපුව හත් අට කඩකට පැලී යන්නා සේය. ඒ වදන් ඇගේ දොසවන් තුළ දෝංකාර නැංවූවා මිස ඒවායේ තේරුම අසන්නට  මුව විවර කරන්නට තරම් හයියක් සිතාරාට වූයේ නැත. ඈ තම දියණිය දෙස බලා සිටියේ දෑස් පමණක් නොව මුවත් විසල් කරගෙනය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here