සිතාරා නැගී සිට තම දියණිය උන් පුටුවට එහාපස අසුනෙන් අසුන් ගත්තේ හිර කරගෙන උන් හුස්ම මුදා හැරියාට පසුවය. නුලාරා සිටියේ ආලින්දයෙන් ඔබ්බෙහි වූ ගේ උයන දෙස බලාගෙනය. හෙට අනිද්දා යළිත් මේ නිවසෙහි පාළුව මැකී යනු ඇත. සිනහවෙන් කතාවෙන් පිරී යනු ඇත. චාරුකගේ අම්මා තාත්තාත් ලංකාවට පැමිණි පසුව ඔවුන්ගේ නෑ හිතවතුන් නිරතුරුවම පැමිණෙනු ඇත. ඔවුන් ලංකාවේ රැඳී සිටින්නේ සති තුනක් තරම් වූ කෙටි කාලයකි.
එහෙත් ඒ කාලය ගෙවා ගැනීම ලෙහෙසි පහසු නොවනු ඇතැයි නුලාරා සිතුවාය. ඔවුන් ඇමරිකාවට යාමට පෙර ව්‍යාපාරවල අයිතිය සේම මේ නිවසේ අයිතියත් අනිකුත් ඉඩ කඩම් වල අයිතියත් චාරුක වෙත පැවරූ බව සැබෑය. එහෙත් තමාගේ නිවසයැයි කියා ඔවුන් පැමිණෙන්නේ මෙතනටය. අන් සියල්ලන් ඉදිරිපිටදී සේම ඔවුන් ඉදිරිපිටදීත් තමාට රඟ දක්වන්නට වන්නේ වෙනමම භූමිකාවකි. බේ රැවටිල්ල, බොරුව අප්පිරියා වන තරමටම නුලාරා ඉන් පීඩාවට පත්ව උන්නාය.
“අනේ දරුවෝ මාව බය කරන්නේ නැතුව මොකද වුණේ කියලා කියන්න…”
එවර සිතාරා ඇසුවේ බිඳී ගිය හඬකින්ය.
“එහෙම ලොකු දෙයක් නෑ අම්මා…”
නුලාරා එසේ පැවසුවත් සන්සුන් විය හැකි කමක් සිතාරාට වූයේ නැත.
“ඔයා ඉන්නේ සතුටින් නෙමෙයි කියලා මට දැනුනේ අද ඊයේ එක ඉඳලා නෙමෙයි ළමයෝ. ඒක අහන්නේ කොහොමද කියලා මමත් හිත හිතා හිටියේ. ප්‍රශ්නයක් තියෙනවානම් මමත් ඒක කතා කරන්න. හැමදේම හිතේ හිරකරගෙන දුක් විඳලා හරියන්නෙෙ නෑ. එහෙම උනහම තමන්ට තමන්වම එපා වෙන දවසක් එනවා.”
“අම්ම තාත්තව මැරි කරලා ආවට පස්සේ අම්මා කැමති හැම දෙයක්ම තාත්තගෙන් ලැබුනද. මම මේ අහන්නේ තාත්තගේ ගතිගුණ තාත්තා ජීවත් වෙච්ච විදිහ..”
“අපි කැමති හැම දෙයක්ම කොතනකදිවත් ඒ විදිහටම ලැබෙන්නේ නෑ දුව. කාලෙත් එක්ක සමහරවිට අපේ කැමැත්තට අනුව අනිත් අය හැඩ ගැහෙනවා. එහෙම නැත්නම් අපි ඒ ගොල්ලන්ගේ කැමැත්තට අනුව හැඩ ගැහෙනවා. ඔයා දන්නවා තාත්තා කියන්නේ ජීවත් වෙන්න ලේසි කෙනෙක් නෙමෙයි. දුක හිතුණු තැන් දරා ගත්ත තැන් අනන්තවත් තිබුණා. හැබැයි ඉතින් කාලයත් එක්ක මං තාත්තාට ඕන විදිහට ජීවත් වෙන්න හැඩ ගැහුණා. ඒ දවස්වල ඔයාගේ ආච්චි මට නිතරම කියපු දෙයක් තමයි කසාද ජීවිතයක සාර්ථකත්වයට අපි එකිනෙකා වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕනේ කියලා. කාලේ වෙනස් වෙද්දි මේ මතිමතාන්තරත් යම් තරමකට වෙනස් වෙනවා තමයි දුව. හැබැයි ඉතින් අනාගතයත් අතීතයත් අතර කාලෙක ජීවත් වෙන අපි ජීවිතේ හදිසි තීරණ ගන්න හොඳ නෑ කියල තමයි මංනං විශ්වාස කරන්නේ.
“චාරුක කියන්නේ අපි දැකපු දන්න කෙනා නෙමෙයි කියලා මං අම්මට කිව්වොත්…”
“සිද්ද උනේ මොනවද කියලා නොදැන මං කොහොමද පුතේ මේ කිසි දෙයක් තීරණය කරන්නේ.”
“එයාගේ ජීවිතේ ඉන්නේ මං විතරක් නෙමෙයි අම්මා…..”
නුලාරා එවදන් පැවසුයේ දෑස් මුලට උනා ආ කඳුළු ආයාසයකින් යටපත් කරගෙනය. සිතරා වෙව්ලා ගියාය. විසි හතර පැයම තම දියණිය ගැන වද වෙන බෑනාගෙන් ඈ කිසි කිසිසේත්ම එවැන්නක් බලාපොරොත්තු නොවූවාය. ඉහළට ඇදගත් හුස්ම පහළට හෙළන්නටත් අමතකව ගිය තරමට වික්ෂිප්ත වූ සිතාරා ගේ උයනේ කෙළවරක වූ වතුර මල දෙස බලා සිටියේ මේ කුමන හෙන ගෙඩියක් පහත් වූවාදැයි සිතමින්ය.
“ඔයා මොනවද මේ කියන්නේ…”
පසුගිය දින කිහිපය පුරාම මේ සැකය සිතාරාගේ සිත පුරා හොල්මන් කරමින් තිබුණේ අහේතුකව නොවේ යැයි දැන් ඇයට සිතේ. විවාහක ගැහැණියකගේ දෑස් වල නිරතුරුව කඳුලක් වේනම් ඊට හේතුව සැමියාගේ හැසිරීමයැයි සිතාරා විශ්වාස කළේ සිය වෘත්තිය ජීවිතයෙන් ලද අත්දැකීම්ද සමඟය. වසර ගණනක් පුරා කාර්යාලීය හිතවතියන් සිය ගණනක් ඇසුරු කළ ඈ බොහෝ දෙනකුගේ කතා අසා තිබිණ.
“ඔයා හේතුවක් නැතුව කතා කරනවද පුතේ. හිතේ ඇති වෙච්ච සැකයකට මෙහෙම කියනවද…..?”
අවසන සිතාරා එසේ ඇසුවේ සිත රවටා ගන්නට මගක් සොයමින්ය. ඊයේ සවසත් චාරුක දුරකථනයෙන් විනාඩි කිහිපයක් තමා සමග කතා කරමින් සිටි බව ඇයට සිහි වූයේ එවේලෙහිය.
“මං කැමතියි බබා හොස්පිට්ල් ඉදලා ගෙදර ආවට පස්සේ අම්මල මෙහේ නතර වෙන්න එනවනම්..අපේ අම්මලා හිටියට කමක් නෑ. ඒ කාලෙට බබාට අම්මව ඕනේ වෙයි.”
එවේලෙහිත් සිතාරාට තම බෑණනුවන් ගැන දැනුනේ ආඩම්බර හැඟීමකි. තමාගේ සතුට නිදහසට වඩා ඔහු නුලාරා ගැන සිතනවා යැයි ඈ සිතුවාය. කොහොමටත් නුලාරා සමහර ප්‍රශ්න අභියස කලබලය. ‘ඔයත් වෙලාවකට ඔයාගේ තාත්තා වගේමයි…’ තමාගේ මුවින් එසේ පිටවූ අවස්ථා ඕනෑ තරම් තිබූ බව සිතාරාට සිහි වූයේත් ඒ හදිසියේමය.
“ඔය දෙන්න රණ්ඩු වෙනවද ඔය දෙන්නා අතරේ ප්‍රශ්න ඇති වෙනවද…”
යළිත් ඈ ඇසුවේ හදිසියකින් සේය.
“අනුන්ගේ තැනක ඉඳගෙන මං කොහොමද අම්මේ රණ්ඩු කරන්නේ. මං එයාට හොඳින් කිව්වා ඔය මේ දවස් වල කරේ එල්ලගෙන ඉන්න ගෑනිව අයින් කරන්න කියලා. හැබැයි ඉතින් තමන්ගෙ කම්පැනි එක ඇතුළෙවත් එයාට තමන්ගේ වයිෆ් වෙනුවෙන් තීරණයක් ගන්න බෑ. එයා මම මේ ගෙදරින් ගියත් මන්දස්මිව කරන්න කැමති නෑ අම්මේ.”
“මන්දස්මි කියන්නේ අර…”
“ඔව් එයා තමයි…ජාතියක් ජම්මයක් නැති ලැජ්ජාවක් නැති ගෑනියෙක්…”
නුලාරා එසේ පැවසූයේ දත්මිටි කමින්ය. සිතාරා ඈ දෙස බලා සිටියේ කිසිවක් පවසාගතත නොහැකිවය. ඒ දෑස් රත් පැහැයෙන් දිලිසෙමින් තිබිණ. පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වූ වෙළඳ දැන්වීමක චාරුකත් මන්දස්මිත් රඟපෑ අයුරු සිතාරාට සිහි වූයේ ඒ හදිසියේමය. ඒ ජනප්‍රිය සන්නාමයක් වූ සුවඳ විලවුන් වර්ගයක් සඳහා කළ වෙළඳ දැන්වීමකි. බොටම් වර්ගයේ කලිසමක් ඇද උඩුකය නිරුවත්ව උන් චාරුක පසු පසින් පැමිණ ඒ බඳ හරහා දෝත යවා ඔහුව වැළඳ ගන්නා මන්දස්මි සිය දෙතොළ තබන්නේ ඒ නිරුවත් පපුවටය. ඉන්පසු ඇයව ඉදිරියට ඇද ගන්නා චාරුක සිය දබර ඇඟිල්ල ඒ නළලේ සිට පපුව දක්වා ගෙනවිත් නතර කරන්නේ සරාගී අයුරකින්ය. වෙළඳ දැන්වීමෙන් ලෝකයට දෙන පණිවිඩය නම් ඒ සුවඳ විලවුන් නිසා ඔවුන් ඔවුනොවුන්ට වශී වී ඇති බවය. ඒ ජවනකාව සිහිවෙත්ම සිතාරා යළිත් වතාවක් වෙව්ලා ගියේ බියෙන් සැකයෙන්ය.ඊයේ පෙරේතා රාත්‍රී වැඩ නිමා කළ ඈ රූපවාහිනිය ඉදිරියෙන් අසුන් ගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹන්නට සිතාගෙනය. වර්ණ ඇඩ්වර්ටයිසින් හි පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව රූපවාහිනී තිරය මත සටහන් වූයේ ඉන් තත්පර කිහිපයකට පසුවය. මාධ්‍ය නාලිකා කිහිපයකම මයික්‍රෆෝන ඉදිරිපස අසුන්ගෙන උන්නේ චාරුකත්, තේජනත්, මන්දස්මි නම් යුවතියත්ය. චාරුකට සමීපව අසුන්ගෙන උන් ඈ කිහිප වතාවක්ම තම කතාවේදී චාරුකගේ නම පවසමින් ඔහු දෙස බැලූ අයුරු සිතාරාට සිහිපත් වූයේත් ඒ හදිසියේමය.
“මට මහන්සි මං කාමරේට යනවා…”
නුලාරා නැගී සිටියේ සිතාරාට කිසිවක් පවසන්නට ඉඩක් ලබා නොදෙමින්ය. විවාහ වී නිවසින් පිටව ගිය දියණියක සිටින අම්මා කෙනෙකු ජීවිතයේ අසන්නට හොඳම නැති වචන කිහිපය තමා මින් තත්පර කිහිපයකට පෙර ඇසුවායැයි සිතාරාට සිතුනේ එවේලෙහිය. විවාපත් වූ යුවළක් අතරට පිරිමියෙකු හෝ වේවා ගැහැණියක හෝ වේවා කිසිදු පිටස්තරයෙකු පැමිණිය යුතු නොවේ. තම දියණිය ගැන වේදනාවක් චාරුක ගැන කලකිරීමක් සේම ඔවුනගේ විවාහ ජීවිතය ගැන බියක් සැකක් සිතාරාගේ සිතෙහි ඉපිද තිබිණ. මේ අහිමි වූයේ සිතෙහි වූ සැනසිල්ලය.
*********
“මට ඔයාට කියන්න දෙයක් තියෙනවා…..”
ධනුක එසේ පැවසූයේ සංකල්පනී නැවිය දිග හැරිය හැකි මේසය මත ඔහු කාර්යාලයේ සිට පැමිණෙද්දී ගෙන ආ ෆයිඩ් රයිස් පාර්සලය දිග හරිද්දීය.
“මොකක්ද..”
“ඔයා කෝකටත් නුලාරට චාරුකගේ ප්‍රයිවෙට් සෙක්‍රට්‍රි ගැන අනතුරු අඟවලා තියන්න”
“ඇයි ඔයා එහෙම කියන්නේ.”
“මට ඔය ගෑනි දිරවන්නෙම නෑ. අනවශ්‍ය විදිහට චාරුකගේ පවර්ස් අරගෙන තමයි ඒ ගෑණි වැඩ කරන්නේ. ඒ දෙන්න අතර මොනවා හරි තියෙනවා.”
“අම්මෝ ඕවනං මේ වෙලාවේ නුලාරට කියන්න බෑ. මන්දස්මි හම්බ උනොත් කම්මුලට ගහන තරම් කේන්තියක එයා ඉන්නේ. අනිත් එක මේ ඔය කිසි දෙයක් කතා කරන්න තරම් හොඳ වෙලාවක් නෙවෙයි නෙවෙයිනේ ධනුක. ඔයාට එහෙම අමායාගෙන් ප්‍රශ්නයක් තියෙනවනම් ඔයා කෙලින්ම චාරුක එක්ක කතා කරන්න. අපි නුලාරගේ යාළුවෝ මිසක්කා අමායාගේ කවුරුවත් නෙමෙයිනේ.”
“ඒක ඒ ගෑනි නොදන්නෙ නෑනෙ සංකල්පි. හැබැයි එයා හැසිරෙන්නේ ඒක නොදන්නවා වගේ. මං ඔයාට දැන් කියන්න කියලා කිව්වේ නෑ. අපට මෙතනදි වටින්නේ අමායවත්, චාරුකවත් නෙමෙයි. එක අතකින් ඒ ගෑණි පව්. කවද වෙනකන් ඔහොම විඳවන්නද…රැවටෙන්නද..අන්තිමට නුලාරට වෙන්නේ කිසි දෙයක් නැතුව පාරට බහින්න. අමායා කියන්නේ එච්චර හොඳ ගෑනියෙක් නෙමෙයි. චාරුකගේ තාත්තා ඉන්න කාලේ ඒ මනුස්සයවත් රවට්ටගෙන දැන් චාරුකවත් රවට්ටගෙන කම්පැනි එකෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ ගෑනිට හෙම්බිරිස්සාවක් හැදුනත් වියදම් කරන්නේ කම්පැනි එකේ සල්ලි. අපි නුලාරට කරන්නේ වරදක් නෙමෙයි සංකල්පි හොඳක්. එතකොට හරි නුලාරා උත්සාහ කරනවා තමන්ට අයිති දේවල් රැක ගන්න”
ධනුක පවසන්නේ සත්‍යයක්යැයි සංකල්පනීට සිතුනේ කුකුළු මස් කැබැල්ලක් කඩා බත් සමග අනාගන්නා අතරේය. රස කාරක පමණක් ඉස්සරවූ මේ කඩකෑම දැන් සංකල්පනීට අප්පිරියය. එහෙත් සවසට ෆයිඩ් රයිස් එකක්, කොත්තුවක් හෝ බුරියානි වැනි යමක් සමග මත්පැන් කුඩා බෝතලයක් රැගෙන ඒම දැන් ධනුකගේ පුරුද්දක් වී තිබේ. ඔහු පවසන පරිද්දෙන් අවසන සියල්ල අහිමිව යන්නේ නුලාරාටය. එනිසාම යෙහෙළිය ගැන සංකල්පනීගේ සිතෙහි උපන්නේ සැබෑම වූ දුකකි.
“කෝකටත් ඔයා ඇහැ ගහගෙන ඉන්නකෝ මේ දවස් ටික පහු කරලා අපි නුලාරා එක්ක කතා කරමු.”
සංකල්පනී එසේ පැවසූයේ කුඩා ග්‍රොසරි බෑගය කඩා මස් හොදි ස්වල්පයක් ධනුකගේ පසට හළමින්ය. තමාට වුවමනා සියල්ල සංකල්පනී නුලාරා ලවා කරවනු ඇතැයි ඔහුට සිතුනේ එවේලෙහිය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්……)


