තේජන අමායාගේ කාර්යාල කාමරයට පැමිණියේ කාර්යාලයෙන් පිටතට යැවිය යුතු සේවක පිරිසක් පිළිබඳව හරි හැටි දැනගන්නටය.
“අද බන්දුලත් නිවාඩු. මං මේ කල්පනා කලේ කවුද මේ වැඩේට යවන්නේ කියලා.”
සිය ලැප්ටොප් පරිගණකයෙන් දෑස් මුදාගත් අමායා පිළිතුරු දුන්නේ තේජන දෙසට හැරීගෙනය.
“ඒක තමයි මටත් හිතාගන්න බැරි වුණා. ප්‍රියන්තයි පාලිතයි දෙන්නම මම ලෝකේෂන් දෙකකට යැව්වා.”
“අපි සරත්ව යවමුද…”
“සරත් වෙලාවකට පිස්සු කෙලිනවනේ. කියන දේ නෙමෙයි කරන්නේ. සමහර ආටිස්ලා ඉන්නවා සරත් එක්ක වැඩ කරන්න කැමති නෑ. මේක අලුත් ප්‍රඩක්ෂන් එකක්නේ.
අපි ධනුකව යවල බලමුද. කොහොමටත් එක්ස්පීරියන්ස් එකක් මිනිහට දෙන්නත් ඕනනේ.”
“තේජන මං ඔයත් එක්ක කතා කරන්න හිටියේ. මට ධනුකගේ සමහර වැඩ අල්ලන්නෙම නෑ.”
“ඇයි එහෙම කියන්නේ..”
“ධනුක නුලාරගේ යාළුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් බව ඇත්ත. මං දන් නෑ මට ඒ මනුස්සය දිහාා බලනකොට කිසිම පැහැදීමක් ඇති වෙන්නෙ නෑ. මහා කපටි මනුස්සයෙක් කියලා හිතෙනවා. අනිත් එක එයා මැරි කරපු කෙනෙක්. පහුගිය දවස්වල අපේ නිශාදිටත් අනවශ්‍ය විදිහේ විහිළු කරලා තියෙනවා. එහෙම කියන ගමන් අඟවනවලු එයා චාරුකගේ හිතවතෙක් කියන එක. එතකොට මේකෙ ඉන්න ලේඩිස්ලා ඒ දේවල් ඉවසන්න ඕනි කියල හිතේ ඇති.”
“කවුද ඔයාට කිව්වේ…”
“මට නිශාදිම තමයි කිව්වේ. ඒ ළමයා ටිකක් බයත් වෙලා. මම පාලිතට කිව්වා ධනුක ටිකක් අවවාද කරන්න කියලා. මොකද නිතරම වැඩ කරන්නෙ පාලිතත් එක්කනේ. මං කොහොමත් තේජනත් එක්ක මේ ගැන කතා කරන්න හිටියේ. අපේ කම්පැනි එකේ මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ කලාතුරකින්”
“මිනිහා එහෙම එකෙක්ද….?”
“සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් අපි ටිකක් අවධානෙන් ඉන්න එකක හොඳයි. මේ වෙලාවේ යවන්න කෙනෙක් නැත්තං ධනුකව යැව්වට කමක් නෑ. හැබැයි ඉතින් සමහර වැඩත් එක්ක සීයට සීයක් විශ්වාසය තියන්නන එපා. මට නිකන් දැනෙනවා මිනිහට අනිත් අයව පාගගෙන හරි උඩට යන්න උවමනාවක් තියෙනවා කියලා. එයා චාරුකගේ ඒ හිතවත්කම අයුතු විදිහට පාවිච්චි කරනවා මං හිතන්නේ”
“ඔව් එහෙම එකක්නම් මටත් දැනිලා තියෙනවා. අපි බලමු..”
“එහෙම අයගෙන් ආයතනයකට හානියක් මිසක් හොඳක් වෙයි කියලා මං හිතන්නෙ නෑ තේජන. අපිට මෙතනදී නුලාරයි චාරුකයි නිසා මොකුත්ම කරගන්න බෑ. අපේ තාත්තා ඉස්සර නිතරම කියන කතාවක් තමයි තමන්ගේ මිනිස්සු තමන්ගේ සේවා ස්ථානයත් එක්ක ව්‍යාපාරත් එක්ක සම්බන්ධ කරගන්න එපා කියලා. අපි එහෙමනම් ධනුකව යවමු. මේ වෙලාවේ කරන්න දේකුත් නෑනේ. හැබැයි ඇත්තටම තේජන මං කැමති නැහැ අපේ ලේඩිස්ලා අවුට්ටේෂන් යන වෙලාවට විශ්වාස කරලා දනුකව එයාලත් එක්ක යවන්න.”
තේජන එවේලෙහි හිස වැනුවේ අමායාට එකඟවය. ඇයට මෙම ආයතනය තුළ පළ පුරුද්දක් සේම හිතවත්කමක් විශ්වාසයක් ද වේ. එනිසාම අමායා තීරණ ගන්නේත් යමක් පවසන්නේත් හොඳින් සිතා බැලුවාට පසුව බව විශ්වාසය. තේජන කිසිත් නොකියා නැගී සිටියේ එනිසාය. කාර්යාලය තුළ සේවක ගැටුම් අවමය. ධනුක ගැන ඇස ගසාගෙන සිටිය යුතුයැයි ඔහු සිතුවේත් එවේලෙහිය.
******************
චාරුකගේ මවට නුලාරාගේ ඒ වෙනස වැටහුම් වූයේ නිවසට පා තැබූ හැටියේමය. ඇය ලංකාවෙන් පිටව යද්දී ලේලියගේ මුහුණෙහි වූ සතුටු සිනහවවත්, තෘප්තිමත් බවවත් එහි වූයේ නැත. ඒ වෙනුවට ඇය ඈලි මෑලි වී සුදු මැළි වී සිටියාය. තමාගේ යලි පැමිණීම ඇයට සාමාන්‍ය එකක් වී තිබිණ. විනාඩි කිහිපයක් ඔවුන් හා රැඳී සිටිමින් කාලය ගත කළ නුලාරා යළි තම කාමරයට ගියේ ‘මට මහන්සියි අම්මා..’ යනුවෙන් පවසමින්ය. සෝමා සේම නුලාරාගේ මවත් සංග්‍රහ කටයුතු සඳහා වෙහෙස වෙමින් සිටියාය.
“පුතා ඔයා දිගටම දුවව ඩොක්ටර්ට පෙන්නුවා නේද වෙලාවටම.”
නයනා රඹුක්වැල්ල එසේ ඇසුවේ චාරුකව තනිකර ගත් පළමු තත්පරයේදීමය.
“ඔව් අම්මා…”
“මං අහන්නේ ඔයත් දුව එක්ක ගියා නේද…?”
“එකම එක දවසක් යන්න බැරි උනා. එදා මම බබාව එයාගේ අම්මා එක්ක යැව්වේ. අනිත් හැම දවසකම මම ගියා.”
“ඩොක්ටර් මුකුත් විශේෂ දෙයක් කිව්වෙ නෑ නේද ප්‍රෙශර් ශුගර් එහෙම.”
“නෑ අම්මා ඒ හැම වතාවකම ඩොක්ටර්ස් සොහාන් කියන්නේ බබා වගේම දරුවත් හොඳින් කියලා. ඇයි අම්ම හදිසියේ එහෙම ඇහුවේ.”
“නෑ…දුව ඉන්නේ අමාරුවෙන් කියලා මට තේරුණා සමහරවිට දවස් ළඟ නිසා වෙන්න ඇති. අනිත්දා නේද ඇඩ්මිට් වෙන්න තියෙන්නේ.”
“ඔව්..සමහරවිට එයාගේ හිතේ බයකුත් ඇතිනේ අම්මා…”
චාරුක එසේ පැවසූයේ තම මවගෙන් දෑස් හංගාගෙනය. ඇගෙන් යමක් සැඟවීම ලේසි පහසු නොවනවා සේම ඇයට බොරු කරන්නට තමාට හැකියාවක් නොවන බවද චාරුක දැන සිටියේය. ඔවුන් සමග රැඳී සිටි අඩ හෝරාවක් තරම් කාලය පුරාවටම නුලාරා තමාට මුහුණ නොදුන්නාය. තමා යමක් ඇසූ විටෙක පවා ඇය ලබා දුන්නේ කෙටි පිළිතුරුය. මෙවේලෙහි යමක් පවසා සිත රිදවා ගැනීමට වඩා නිහඬව සිටීම සුදුසුයැයි ඔහු අවසන සිතුවේය.
චාරුකගේ දෙමව්පියන් වැඩිපුරම ගෙනැවී තිබුණේ නුලාරාටත් දරුවාටත් අවැසි දේය. ඒ සියල්ල දෙස සිතාරා බලා සිටියේ ආසාවෙන්ය. එහෙත් දෑස් ඇර ඒ දෙස බලන්නට තරම්වත් උවමනාවක් නුලාරාට වූයේ නැත. ඇගේ හැසිරීම පිළිබඳව එවේලෙහි සිතාරාගේ සිතට දැනුනේ කෝපයකි. වසර දෙකකට පසුව ලංකාවට පැමිණි චාරුකගේ මව්පියන් පිළිබඳව ඇය මින් එහා ගිය සැලකිල්ලක් දැක්විය යුතුයැයි සිතාරා විශ්වාස කළාය. එහෙත් දියණියගෙන් ඔවුනට ලැබුනේ නොසැලකිල්ලකි. ඔවුන් මේ කෙටි කාලයකට හෝ පැමිණියේ ඇයත් ලැබෙන්නට සිටින දරුවාත් වෙනුවෙන්ය.
චාරුකගේ මුහුණ හොඳ නැතැයි ඇයට සිතුනේ කිහිප වරක් විමසිල්ලෙන් ඒ දෙස බලද්දීය. ඔහු හා මේ ගැන කතා කරන්නට සිතුනත් සිතාරා යළි නිහඬ වූයේ සංකල්පනීගේ වදන් සිහිවය.
“අපැහැදීම්, සැක මේවා ඉතින් පවුල් ජීවිතයක් ඇතුලේ ඇතිවෙන්නෙ නෑ කියලම කියන්න බෑනේ ආන්ටි. ඒවායේ අත්දැකීම් සමහරවිට ආන්ටිලටත් ඇති. හැබැයි ඕවට අපි අනවශ්‍ය විදිහට කලබල වෙන්න ගියොත් වෙන්නේ ඒ ප්‍රශ්න වැඩි වෙන එක. ඒ නිසා හොඳම දේ තමයි එයාල අතර ඇතිවුණු ප්‍රශ්න එයාලටම විසඳාගන්න ඉඩ දීලා බලන් ඉන්න එක. අපේ උදව් ඉල්ලපු වෙලාවට විතරක් අපි ඒවට මැදිහත් වෙමු ආන්ටි. චාරුක මමත් එක්ක මොන දේ කිව්වත් නුලාර මමත් එක්ක මොන දේ කිව්වත් මමත් ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ හරි පරිස්සමට”
සිතට බරක් වූ මේ කිසිවක් සැමියා සමග පවසන්නට නොහැකි කමින් සිතාරා තැවුණාය. කිසිවක් සොයා නොබලා මේ විවාහයට එකඟත්වය පළ කිරීම දෙමව්පියන් ලෙස තමාත් ඔහුත් අතින් සිදු වූ වරදක්යැයි විටෙක ඈ සිතුවාය.
************
රාත්‍රී ආහාරය සඳහා පොල් රොටිත් අල බැදුමකුත් සෑදුනේ බොහෝ දිනකට පසුවය. ධනුක රාත්‍රියට ගෙන එන ෆයිඩ් රයිස්, බුරියානි, පරාටා හෝ කොත්තු ප්‍රතික්ෂේප කළේ සංකල්පනීය. ක්ෂණික ආහාරවල රස දැන් ඇයට අප්පිරියය. බොහෝ දින උදෑසනත් දහවලත් වේල නුලාරාගේ නිවසින් පිරිමැසුනු නිසා තේ එකක් හැරෙන්නට යමක් නිවසේ නොසෑදුණු තරම්ය.
සංකල්පනී පොල් ගෙඩියක් සහ පාන් පිටි පන්සියයක් ගෙන ඒමට කඩයට ගියේ එනිසාය. මේ ඇනෙක්සියට පැමිණ මාස අටකට ආසන්න කාලයක් ගතව තිබූ නිසා දැන් අවට මිනිසුන් ඇය හා හිතවත්ය.
“අද මිස් වැඩට ගියේ නැද්ද….?”
කඩය තුළ උන් ගැහැණිය එසේ ඇසුවේ පසුගිය දින කිහිපයේම රැකියාවකට යන අයුරින් තමා නුලාරාගේ නිවසට ගිය නිසා විය යුතුය.
“මං ජොබ් එකක් කරන්නේ නෑ ආන්ටි.”
“ආ…මම පහුගිය දවස් ටිකේම උදේට ගිහිල්ලා හවසට එනව දැක්කා.”
“නැහැ මගේ හොඳම යාළුවා පදිංචි වෙලා ඉන්නේ මේ ළඟ. එයාට බබෙක් හම්බවෙන්න ඉන්නවා. උදේට හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මම වගේම එයත් ගෙදර තනියම ඉන්නේ. ඒ නිසා මම උදේට ගිහිල්ලා ටිකක් හවස් වෙනකල් එයා එක්ක කාලේ ගත කරලා ගෙදර එනවා. මගේ හස්බන්ඩ් ඔෆිස් ගියාට පස්සේ මමත් තනියම ඉන්නේ.”
“අනේ ඒක ඉතින් ලොකු උදව්වක් වෙන්නැති ඒ යාළුවට.”
“අනේ ඔව් ආන්ට්.”
“මේ ළමයාගේ මහත්තයා කොහෙද වැඩ කරන්නේ.?”
“රඹුක්වැල්ල ගෘප් එකේ. අර වර්ණ ඇඩ්විටයිසින් කියලා කියන්නේ.”
“ආ මං හිතුවා සංගීත කාරයෙක් කියලා නිතරම ගිටාර් එකත් පිට එල්ලගෙන යනවා දැකලා තියෙනවා.”
“නෑ එයා ගෘප් එකකත් සින්දු කියනවා ආන්ටි.”
“ඒක මිසක්..ඒත් මං හිතුවා ටිකක් දඟකාර ළමයෙක්ය කියලා. කඩේට ආපු කීප දවසකම අපේ ලොකු දුව ඉඳලා අනවශ්‍ය විහිළුවක් දෙකක් කරල තිබුණා. ඔයා පැතිවල වැඩ කරන ළමයි ටිකක් එහෙමනේ ඉතින්. ලොකු දුව කේන්ති අරගෙන මට කිව්වහමත් මම කිව්වා විහිළුවක්නෙ කලේ ඇඟේ ගෑවුණේ නෑනේ කියලා. ඒ උනාට ඉතින් ඔය වෙලාවේ මුදලාලි මහත්තයා කඩේ හිටියනම් මෙතන වෙන ප්‍රශ්නයක්. මං මේ ළමයාගේ හිතේ තරහක් ඇති කරන්න කිව්වා නෙමෙයි. වැරදි අදහසක් හිතේ තියාගෙන නෙමෙයි වෙන්න ඇති ඔය ඉතින් දැක්කට විහිලුවක් දෙකක් කරන්න ඇති. දැන් ඉතින් මේ අහල පහල මිනිස්සු වෙච්ච අපි නිකං ප්‍රශ්න නැති කරගන්න ඕනෙ නෑනේ ළමයෝ. මං හිතනවා උවමනා දෙයක් තියනවනම් ඔය ළමයා කඩේට ආවා නම් හොඳයි කියලා.”
ගැහැණිය එසේ පැවසූයේ පොල් , පාන් පිටි පමණක් නොව ලූණු කෑලි මිරිස් සහ සීනි තේ කොළ ඇතුලත් ඉටි බෑගය සංකල්පනී අතට ලබා දෙමින්ය. කඩයේ සිටියේ ඇයත් තමා පමණක් වුවත් මහා පිරිසක් ඉදිරිපස නිරුවත් වූවා වැනි හැඟීමක් සංකල්පනීට දැනෙන්නට විය. ධනුක කටකාරයෙකු බව සැබෑය. එහෙත් දැන් ඔහු යුවතියන්ට කරන එවන් අනවශ්‍ය විහිළු නැවතිය යුතු යැයි සංකල්පනී පවා සිතුවාය.
“අනේ ආන්ටි එයා කොහොමත් එහෙමයි ඒක ඔයාගේ දුවට කියලා විශේෂයක් නෙමෙයි. කවුරු දැක්කත් හිනා වෙලා කතා කරලා විහිළුවක් කරලා තමයි ඉන්නේ. එයාව දන්න අය ඒක දන්නවා..එහෙම නැතුව හිතේ නරක අදහසක් තියාගෙන විහිළු කරනවා නෙමෙයි. මටත් ඇවිත් කිව්වා කඩේ නංගිට මං විහිළුවකුත් කරලා ආවෙ කියලා”
“නෑ…. නෑ මම කියන්නේ නැහැ නරක අදහසක් තියාගෙන විහිළු කරා කියලා. මං කිව්වේ ඒ වෙලාවේ මුදලාලි මහත්තයා හිටියනම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. මොන තාත්තා කෙනෙක්වත් කැමති නෑනේ පිරිමි දරුවෙක් ඇවිල්ලා තමන්ගේ දුවට අනවශ්‍ය විදියේ විහිළු කරනවට…”
සංකල්පනී වෙළඳ සැලෙහි බිල ගෙවා ආපසු පැමිණියේ යළි එහි නොයනවායැයි සිතාගෙනය. ඇයට දැනුනේ එම කාන්තාව ගැන කෝපයකි. තරුණයෙකු තරුණියකට විහිළුවක් කළ පළියට එය මේ සා ගණන් ගත යුතු එකක්යැයි සංකල්පනී නොසිතුවාය. ඕ කතා කළේ ධනුක තමාගේ දියණියට විවාහයකට ආරාධනා කළ සේය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


