මලක් වී යළි පිපෙන්නම් – 37

0
137

චාරුක කිහිප වතාවක්ම රෝහල් කාමරයට පැමිණියත්, එහි රැඳී සිටින්නට උත්සාහ කළත් නුලාරා ඔහුව ප්‍රතික්ෂේප කරන අයුරු සිතාරා බලා සිටියේ දෑස් වල කඳුලක් තබාගෙනය. සන්සුන් විය යුතු මෙවේලෙහි ඇය අන් කවරදාටත් වඩා මුරණ්ඩු වී සිටියාය. ඒ මුරණ්ඩුකම  පුදුමය උපදවන තරම්ය. සිතාරා යමක් පවසන්නට ගිය වතාවකදී දෙවතාවකදීම චාරුක ඇයට නිහඬ වන්නයැයි සන් කලේ හිස වනමින්ය. වෛද්‍යවරයා පැමිණ නුලාරාව පරීක්ෂා කළ වේලාවේදී පමණක් ඇය ළඟ රැදුණු චාරුක යළිත් රෝහල් කාමරයෙන් එළියට පැමිණ එතන වූ  පුටුවකට බර වූයේ දිගු සුසුමක්ද මුදා හරිමින්ය.

“පුතා…”

සිතාරා රෝහල් කාමරයෙන් පිටතට පැමිණියේ තවත් අඩ හෝරාවක් පමණ ගෙවී ගියාට පසුවය. චාරුක නැගී සිටියේ කලබලයෙන්ය. 

“කලබලයක් නෑ පුතා. දුවට නින්ද ගිහිල්ලා ඒකයි මං එළියට ආවේ.”

“ඉඳගන්න අම්මා…”

“මොකක්ද පුතා මේ ප්‍රශ්නේ. ඔයාගෙන් කිසි දෙයක් අහන්නේ නැතුව හිටියට මං ඉන්නේ ගින්දරක..”

“ඒ ප්‍රශ්නෙ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ අම්මා. බබා අම්මා එක්ක මොකුත්ම ඒ ගැන කතා කලේ නැද්ද?”

“කිව්වා. ඒත් ඒ වගේ දෙයක් කටක් ඇරලා කොහොමද ඔයාගෙන් අහන්නේ කියලා මට හිතාගන්න බෑ. තාත්තටත් කිසිම දෙයක් නොකියා මං විදවන්නේ? ඒ නිසා.”

“මං දන්නෙ නෑ අම්මා බබාගේ හිතට කොහොම, කොහෙන් ඒ වගේ අදහසක් ආවද කියලා. එයා මාව නිකරුණේ සැක කරනවා. ඒ සැකය අන්තිමට එයා මා එක්ක කතා නොකරන්න තරම් දුර දිග ගියා අම්මැ. දැන් බබා මං දිහා බලන්නේ තරහ කාරයෙක් දිහා බලන ගානට”

“මට ඇත්ත කියන්න පුතා ඒක සැකයක් විතරමද..?”

“ඔව් කිසිම පදනමක් නැති කතාවක්.”

සංකල්පනී පැමිණියේ එවේලෙහිය. එනිසාම තවදුරටත් චාරුකට සිතාරා හා කතා කරන්නට අවස්ථාවක් වූයේ නැත. මේ කතාව එතනින් නැවතී ගිය එක හොඳක්යැයි චාරුක සිතුවත් සිතාරා එසේ සිතුවේ නැත. ගින්නක් නොමැතිව දුමක් නඟින්නේ නැතැයි ඇය විශ්වාස කළාය. එක පයින් චාරුකට කැමැත්ත දුන්, ඔහුව විශ්වාස කළ සතුටින් පිරි ජීවිතයක් ගොඩනඟා ගැනීමට වෙහෙස වූ දියණිය මේ අයුරින් දුක් දරන්නේ නිකමටුයැයි සිතීමට සිතාරා මැලි විය. චාරුකගේ විවාහ යෝජනාව එද්දී නුලාරා  විවාහයකට සූදානම්ව සිටියේ නැත. විවාහ වී ගිය පසුව වරින් වර තමාට දුරකථන ඇමතුම් ලබාදෙමින් ‘අම්මා ඒකට මොකද කරන්නේ? අම්මා ඒක කොහොමද හදන්නේ? අම්මා මට මේක හදල දෙන්න ඕනේ චාරුකට…’යනුවෙන් අසමින්, තම අඩුපාඩුකම් සම්පූර්ණ කරගනිමින්  චාරුකට යහපත් බිරිඳක් වන්නට උත්සාහ දැරූ බව සිතාරා දනී. තම දියණිය ගැන ආඩම්බර වීමට හේතු කාරණා ඕනෑ තරම් තමාට ඇතැයි ඇයට සිතුනේත් ඒ නිසාය. 

                                   **********

සෝමා යළි මුළුතැන් ගෙයට යද්දීත් නයනා උන්නේ එතැනමය. ඕ පැවසූ කිසිවක් ගණනකට නොගෙන බැහැර කරන්නට තරම් සිතක් නයනාට වූයේ නැත. මන්දස්මි වර්ණ ඇඩ්වර්ටයිසින්හි  විවිධ වැඩසටහන් සඳහා සම්බන්ධ වූයේ අද ඊයේක සිට නොවේ. එහෙත් තමාත් සැමියාත් රටින් නික්ම යන්නට පෙර චාරුකගේත් ඇයගේත් එවන් සම්බන්ධතාවයක් නොතිබූ බව විශ්වාසය. එදා සිටම මදක් ආඩම්බර තරුණයෙකු වූ චාරුක තම රැකියාවේත් පුද්ගලික ජීවිතයේත් ගෞරවය ගැන  සිතූ අයෙකි. කිසි දිනක ඔහුගේ නම අළලා ඕපාදූපයක්වත් නිර්මාණය වී තිබුණේ නැත. 

නුලාරාව හමුවී ඇය හා කතා කළ පළමු දිනයේම චාරුක තමා සමග ඇය ගැන පැවසුවේත් විශ්වාසයෙන්ය. මේ ආඩම්බරකාර තරුණයා ක්ෂේත්‍රය තුළ වැරදි නාමයක්, චරිතයට කැළලක් ඇති කර ගනීයැයි ඈ කොහොමටවත් සිතුවේ නැත. ඒ සියල්ලටම වඩා ඔහු නුලාරාට ආදරය කරන අයුරු, ඇයට ආරක්ෂාව රැකවරණය සපයන අයුරු සිතාරා බලා සිටියේ සතුටින්ය. තමා හොඳ පුතෙකු වැදූ සතුට නයනා විඳිමින් සිටියේ උපරිමයෙන්ය. 

“මටත් වඩා කොල්ල හොඳට මේ බිස්නස් එක කරගෙන යනවා නයනා..ඌ දක්ෂයෙක් නෙමෙයි අති දක්ෂයෙක්..”

සැමියා පවා චාරුක ගැන කතා කලේ බොහෝ ආඩම්බරයෙන්ය. එනිසාම මේ පුවත හිසට පොල්ලෙන් ගැහුවාක් මෙන් රිදුමක් වී තිබිණ. අවසන සිය දෙපයට වාරු ගත් නයනා රඹුක්වැල්ල සෝමාව සොයා මුළුතැන් ගෙය දෙසට ඇවිද ගියාය. 

“එතකොට සෝමා මේ දෙන්නා නිතරම රණ්ඩු උනාද…?”

“එහෙමත් නෑ ලොකු නෝනා. අපේ චූටි නෝනා තමයි වැඩිය කතා කරන්නේ නැතුව හිටියේ.”

“ඒ රණ්ඩු වෙන වෙලාවට සුදු මහත්තයා මොනවද කියන්නේ?”

“ඇයි ඔයා එහෙම හිතන්නෙ කියල අහනවා…ගොඩක් වෙලාවට සුදු මහත්තයා කිසිම දෙයක් කියන්නෙ නෑ ලොකු නෝනා.”

ගෙවී ගිය වසර තුනට සිදුව ඇති දේ බොහෝය. තමාත් සැමියාත් සිතා සිටියේ චාරුකත් නුලාරාත් සතුටින් ජීවත් වනු ඇතැයි කියාය. මුල් දිනවලදී තමාට දුරකථන ඇමතුමක් දී ඔහේ කියවමින් සිටි ලේලිය  පසු කලෙක වෙනස් වී ගිය අයුරු නයනාට සිහි වූයේත් ඒ හදිසියේමය. ඊයේ පෙරේදා ඇයට ඇමතුමක් ලබා දෙද්දී හොඳයි අම්මා, හා අම්මා, මහන්සියි අම්මා,  ඔලුවෙ කැක්කුමයි අම්මා කියමින් ඇය තමාව මගහැරි බව නයනාට වැටහුම් වන්නේ දැන්ය. 

තමා දරුවන් දෙදෙනාම හැදුවේ බොහෝ අර පරිස්සමටය. හොඳ ගතිගුණ කියා දුන්නා මිස වරදක් කරන්නයැයි තමා ඔවුනට කිසිවිටෙකත් නොකී බව නයනාට  මතකය. තමාත්, තමාගේ ආත්ම ගරුත්වයත් ආරක්ෂා කර ගනිමින් ජීවත් වන්නට ඔවුනට ගුරුහරුකම් දුන්නේ තමාගේත් සැමියාගේත් හැසිරීමෙන් බව විශ්වාසය. දරුවෙක් වරදක් කරනවා නම් ඔහුට ලැබෙන ඒ දෝෂාරෝපණයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් දෙමව්පියන් වෙතද එල්ලවන බව නයනා දනී.  එක සේ සමාන්තරව දැනෙමින් තිබූ දුකත්, ලැජ්ජාවත් වාවාගෙන  නයනා යළිත් ආලින්දයට පැමිණියේ සෝමා ඉන් එහා ගිය කිසිවක් නොදන්නවාය යන විශ්වාසයෙන්ය. 

ඊළඟට ඇයට සිහි වූයේ අමායාය. ඩයස් වනිගසේකර යනු සැමියා මේ ව්‍යාපාර ආරම්භ කරද්දීම ඊට එක් වූ සාමාජිකයන්ගෙන් එක් අයෙකි. පසු කලෙක සැමියාගේ විශ්වාසවන්තයා වූයේත් පුද්ගලික ලේකම්වරයා වූයේත් ඔහුය. වසර ගණනකට එහා සිට ඒ පැවත එන විශ්වාසය සහ හිතවත්කම නිසාම වනිගසේකර තම වැඩිමහල් දියණිය තමාගෙන් ඇතිවන හිස්තැනට පුරුදු පුහුණු කළේ සැමියාගේ කැමැත්ත හා ඉල්ලීම මතය. චාරුක හා වසර ගණනාවක් තිස්සේ විශ්වාසයෙන් සේවය කරන්නේ ඈය. අමායා ඇගේ පියා පමණක් නොව තේජන වෙනුවෙන් පවා ගෙන ආ තෑගි තවමත් ගමන් මලු තුළය. අමායාට  කතා කතාකර මේ ගැන අසන්නට සිතුනත් අවසන නයනා ඒ සිතුවිල්ල සිත තුළම දරා ගත්තාය. ඕ ජීවිතයේ කෙදිනකවත් කාර්යාලයේ ප්‍රශ්න නිවසට ගෙන ආවේවත් නිවසේ ප්‍රශ්න කාර්යාලයට ගෙන ගියේවත් නැත. සිතට පුදුමාකාර බරක් වූ මේ සිතුවිලි දරාගෙන අවසන ඈ උඩුමහලට නැගුනේ දියණියට හෝ කතා කර උපදෙසක් පතන්නට සිතාගෙනය. 

                                       ************

“මං එයාට හොඳ වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ…”

නුලාරා සංකල්පනී හා පැවසූයේ අපහසුවෙන් නැගී සිටිමින්ය. රෝහල් ගත කළ යෙහෙළිගේ සැත්කම යෙදී තිබුණේ සවස හයටය. සංකල්පනී සූදානම් වේ පැමිණියේත් රාත්‍රිය ඇය හා ගත කරන්නටය. සිතාරත් සිටින නිසා බියක් වූයේද නැත.

“ඇයි එහෙම කියන්නේ….”

“මන්දස්ම්ව අයින් කරන්න කියලා මං එයාගෙන් ඉල්ලලා හරියටම අදට මාසයක් වෙනවා. මේ මාසෙම එයා තවත් ඒ ගෑණිව ලං කර ගත්තා මිසක්කා අයින් කලේ නෑ සංකල්පී. ඒ කියන්නේ එයා ඉන්නේ හම්බවෙන්න ඉන්න මේ දරුවට වඩා, මට වඩා මන්දස්මි ඕන කියලා කියන තැනක…එහෙම කෙනෙක් ගැන මම තවදුරටත් විශ්වාස කරන්න ඕනෙද?”

“අනේ  නුලාරා ප්ලීස් කලබල වෙන්න එපා. අපි කොහොමද හරියට මේ ගැන නොදැන කතා කරන්නේ. මං ඔයාට එදත් කිව්වා. මේවා පවුල් ජීවිත කැඩිලා දෙන්නා දෙපැත්තට වෙන්න පුළුවන් තැන්. ගෑනියෙක් උනහම ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ කියලා මට උනත්  දැන් සමහර තැන්වලදී හිතෙනවා. එහෙම කලබල වෙලා හදිසි තීරණ ගන්න එපා. ඔයා මොන දේ කොහොම කිව්වත් එහෙම සම්බන්ධයක් එයාලා අතර තියෙනවා කියලා චාරුක පිළිගත්තේ නැහැනේ.”

“ඔයා  මාර කතාවක්නේ සංකල්පි කියන්නේ. චාරුක කොයි වෙලාවකවත් පිළිගනීද එයා වැරැද්දක් කරනවා කියලා.”

“ඇස් දෙකට පේන දේත් කන් දෙකට ඇහෙන දේත් සමහර වෙලාවට බොරු වෙද්දි අපි ඉසීමෙන් වැඩ කරන්න ඕන නේද…?”

සංකල්පනී එසේ පැවසූයේ ඉදිරිපස වූ හිස් බිත්තිය දෙස බලාගෙනය. ඒ හා සමගම ඇගේ මුවින් පිට වූයේ සුසුමකි. 

“ජීවිතයේ කිසිම දේකට කොයි වෙලාවකවත් හදිසි වෙන්න එපා. හදිසි තීරණ ගන්නත් එපා.”

අවසන ඕ නුලාරාගේ හිස අත කෑවේ තමාගේ නිල්ව තිබූ දකුණත  දෙස බලාගෙනය. ඒ හඬෙහි වූ ශෝකයවත්, වේදනාවවත්, කලකිරීමවත් නුලාරාට නොදැනෙන්නට ඇත. එවේලෙහි ඇගේ සිත පිරී තිබුණේ චාරුක ගැන කෝපයෙන්ය. තවදුරටත් තමා කිසිදු වරදක් නොකරනවා සේ මවා පා ගත් ආදරයකින් හැසිරෙන ඔහු ගැන කලකිරීමෙන්ය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්……..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here