“මමත් දන්නෙ නැතුව සෙලීනා වෙන මොකක් හරි ගේමක් ගහන ගමන් තමයි ඉන්නෙ. ඕකි සමහරවිට රට ඉඳල එකපාරටම ලංකාවට ආවෙ එහෙම කේස් එකකටද දන්නෙ නෑ”
කුස්සියේ බිත්තියට වාරු වෙලා, සෙලීනා ඕපන් ගාඩ්න් එකේ ඉඳන් හොරෙන් කතා කරපු වචන ටික ගැන කල්පනා කර කර උන්න ආකර්ෂා තමන්ටම කියාගත්තේ මාරම ගැඹුරු කල්පනාවකට වැටෙන ගමන්. කෙල්ලට ඇත්තටම තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ වුණේ “හරිනං කවීන්ලගෙන් පලිගන්න ප්ලෑන් එක ගහන්නෙ මං වෙන්නෝන කොට සෙලීනා මොකක්ද මේ කියන ප්ලෑන් එක” කියලා. සෙලීනා ලංකාවට කඩාපාත් වෙච්ච දවසේ ඉඳන්ම හැසිරිච්ච ඒ අමුතු විදිහ, කවීන් එක්ක බොරුවට හුරතල් වෙවී තොදොල් වෙන්න හදපු හැටි, සහ අද මේ කවුද කියනා නොදන්න කෙනෙක් එක්ක එක්කහු වෙලා කරන ඩීල් එක මේ හැමදේම කෙල්ලගෙ හිතේ මාර ලොකුවට තැංපත් වුණා.
“මං හිතුවේ මේ මාලිගාවේ ඉන්න ලොකුම සතුරා ඉන්නෙ මට විතරයි කියලානෙ. ඒත් බලන් යද්දී මේ ලොකු ලොකු සල්ලිකාරයෝ කියන එවුන් තමන්ගේම එවුන්ව පාවලා දෙන්න බලාගෙන ඉන්න තිරිසන්නුනේ” කෙල්ල හිතින් මුමුණගත්තට මොකෝ හයියෙන් ඒක කියන්න හැටියක් කෙල්ලට තිබුණෙ නෑ.
ආකර්ෂා තමන්ගේ අතේ තිබ්බ හිස් තේ කෝප්පේ සින්ක් එකෙන් තියලා, හීන් සැරේ සාලේ පැත්තට ඇවිදන් ආවෙ ඔන්න ඕවා කල්පනා කරන ගමන්. සෙලීනා ඒ වෙනකොටත් ෆෝන් කෝල් එක ඉවර කරලා, කිසිම දෙයක් නොවිච්ච ගාණට සාලේ මැද තියෙන සෝෆා එකෙන් වාඩි වෙන්න හදනවා කෙල්ල දැක්කා. සෙලීනාගේ මූණේ තිබුණේ මහා කපටි, ඒ වගේම තමන්ගේ සැලසුම අවුල් වෙන්න පුලුවන්ද කියන ලෙවල් එකේ තිගැස්සිච්ච ලුක් එකක් කියන එක කෙල්ලට නොතේරුණා නෙවෙයි.
“උඹලා හැමෝම හිතන් ඉන්නේ මං මේ කිසිම දෙයක් දන්නැති තේරෙන්නෙ නැති මෝඩ ගෑනියෙක් කියලා නේද? සෙලීනා උඹ ඔය රන් කරන්න හදන ප්ලෑන් එක මොකක් උනත් උඹේ කකුල් දෙක ළඟම කඩන් වැටෙන දවස වැඩි ඈතක නෑ. කවීන්ව විනාශ කරන්න පුළුවන් මට විතරයි. ඒක වෙන එකෙක්වත් කරනකම් බලන් ඉන්න මං ලෑස්ති නෑ” ආකර්ෂා තමන්ගේ නියපොත්තක් හපන ගමන්, සෙලීනාට නොපෙනෙන්න මාරම හීතල බැල්මක් සෙලීනාගෙ පැත්තට දාන ගමන් හිතෙන් හිතුවා.
සෙලීනා දන්නෙ නැතුව ආකර්ෂා සෙලීනව අල්ලගන්න හිතන අතරවාරෙ තමයි දවස් කීපයක් යද්දී කවීන්ගේ ඇඟ පණ නැති ගතිය තව තවත් වැඩි වෙන්න ගත්තෙ. මුල් දවස්වල යාන්තමට මතකෙ විතරක් අවුල් වෙච්ච මිනිහට, දැන් දැන් ඇඳෙන් නැගිටගන්න එකත් මාරම අමාරු දෙයක් වෙලයි තිබුණේ. උදේට ඇහැරෙද්දීම අත් කකුල් දෙක පණ නැති වෙලා, ඇඟිලි යාන්තමටවත් හොලවාගන්න බැරි තරමටම, හරියටම අංශභාග ලෙඩෙක් වගේම හැසිරෙන්න කවීන් පටන් ගත්තෙ දවස් ගාණක් යද්දි. ඇත්තටම ඒ වෙද්දි කවීන් එදා කලන්තෙ දාපු දවසෙන් පස්සෙ එක දවසක්වත් ඔෆිස් ගිහින් තිබ්බෙ නෑ.
ආකර්ෂා නම් සෑහෙන්න දැඟලුවා කවීන්ව හොස්පිටල් එකකට එක්කරගෙන යන්න. ඒ වුණාට ලේඩි කලම්බු සෙවන් නම් කිව්වෙම “මේ ගෙදර මහ එකයි පොඩි එකයි දෙන්නම එක විදියට අසනීප වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් අපේ කම්පිටිටර්ස්ලා අපේ බිස්නස් නැති කරලා දාන ලෙවල් එකට ප්ලෑන් ගහවි. ඒ නිසා අපේ ෆැමිලි ඩොක්ටර්ට එන්න කියලා බලනවා ඇරෙන්න ඔය එක එක හොස්පිටල් ගානෙ කවීන්ව එක්කරගෙන යන්නෝන නෑ.
ඕන නම් අපි කාටවත් තේරෙන්නෙ නැතිවෙන්න කවීන්ව ඉන්ංග්ලන්ඩ් අරගෙන ගිහිල්ලා එහෙ හොස්පිටල් එකකට පෙන්නමු” කියලා.
ආකර්ෂා නම් හැබැයි ගෙදර උන්ට පේන්නත් එක්ක ආච්චි අම්මා එක්ක මරාගත්ත එකයි කරේ. හැබැයි හිත ඇතුලෙන් කවීන්ට මෙහෙම වෙච්ච එක ගැන තමන් සන්තෝස වෙන විත්තිය දැනගෙන උන්නෙ කෙල්ලම විතරයි.
“ආච්චි අම්මා හරි කතාවක්නෙ කියන්නෙ. මේ බිස්නස් ඔක්කොම විනාස වෙලා ගියත් කමක් නෑ කියලා හරිනං අපි මෙවෙලෙ කරන්න ඕන කවීන්ව සනීප කරගන්න විදියක් බලන එක නේද? මනුස්සකමක් කියලා දෙයක් ඔය මහ ලොකු ධානපති හිත් අස්සෙ ඇත්තෙම නැද්ද? තමන්ගෙ එකම පුතා අසනීප වෙලා පැත්ත වැටෙනකම් බලාගෙන ඉන්න ආච්චි අම්මට පූළුවන් වුණාට මට පුළුවන් කමක් නෑ මං බඳින්න ඉන්න කොල්ලට එහෙම වෙනවට.
ආච්චි අම්මගෙ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මං කවීන්ව හොස්පිටල් එකට අරගෙන යනවම තමයි” කියලා ආකර්ෂා කියද්දි කෙල්ල හිතන් උන්නෙ වෙනදා වගේම ලේඩි කලම්බු සෙවන් සද්දෙ වහගෙන යාවි කියලා උනාට මොකෝ මෙදා පොටේ නම් කාන්තාව උන්නෙ දෙන්නං ජම්බු කියලා හිතාගෙන විත්තිය ආකර්ෂට තේරුණෙත් ආච්චි පෝච්චි කට ඇරියයින් පස්සෙ.
“ආකර්ෂා මේ මෙන්න මේක හොඳට මතක තියාගන්නවා. තමුන් මේ කොහේද ඉඳලා එකපාර මේ ගේ අස්සට කඩා පාත් වුණයින් පස්සෙ තමයි අපිට ගහන්න ඕන ඔක්කොම හෙණ ටික ගැහුවෙ.
අනික් එක මේ ගෙදර තාම ඩිසිශන්ස් ගන්නෙ මම කියන එක හොඳ හිතින් මතකයේ තියාගන්න. මේක මගේ හස්බන්ඩ්ගෙ මහ ගෙදර. ඔයා බඳින්න ඉන්න කෙනාගෙ ගෙදරත් මේක වෙන්න ඇති හැබැයි ඔයා තාම එයාව බැඳලා නැති විත්තිය අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගෙ ඔය සද්ද බද්ද වලින් මාව සරෙන්ඩර් කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ලොකුම ලොකු වැරදි හිතුවිල්ලක් කියන එක අමතක කරන්න එපා.
මේ ගෙදර මිනිස්සු ඉන්නෙ, කන්නෙ, බොන්නෙ මට ඕන විදියට, ඒ හන්දා එයාලා අසනීප උනාම එයාලට බෙහෙත් කරන්නෙ කොහොමද කියන එකත් ඩිසයිඩ් කරන්නෙ මම කියන එක ඔයා මෙච්චර දවසක් දැනගෙන හිටියෙ නැත්තං දැන්වත් දැනගන්න. මොකද ඔය කියන තරං ලේසියෙන් අත ඇරලා දාන්න මේව මේ එක දවසින් බිල්ඩ් කරපු දේවල් නෙවෙයි. මගෙ හස්බන්ඩ්, එයාලගෙ පරම්පරාවෙ මිනිස්සු අවුරුදු ගානක් තිස්සෙ බොහොම අමාරුවෙන් කරගෙන ආව ව්‍යාපාර. කොහෙන්වත් ඉඳලා මේ ගේ අස්සට කඩං පාත් වෙච්ච එක එකියන්ට ඕන විදියට ඒවයි තීන්දු තීරණ ගන්න මම ඉන්නකං බැරි විත්තිය අමතක කරන්න එපා” කියලා ආච්චි අම්මා කියාගෙන කියාගෙන යද්දි බොරු කියන්න ඕන නෑනෙ ආකර්ෂත් පොඩ්ඩක් විතර ඩාම් උනා ඩූම් උනා. ඇයි ඉතින් මෙච්චර දවසක් තමන් කට ගහගෙන දිනාගෙන ආව මැරතන් එකේ බැට්න් එක එකපාර ආච්චි අම්මා අතට ගියාම හිතාගන්න බැරිවෙනවනෙ.
“ආච්චි අම්මා හිතන් ඉන්නෙ ඔයා ඔය ගන්න ඩිසිශන්ස් වලින් මේ ගෙදර මිනිස්සුන්ට හොඳක් වෙයි කියලා නම් ඒවා එහෙම අරගන්නකො. හැබැයි ඔයා ඔය කරන්න යන මෝඩ වැඩවලින් වෙන්නෙ ඔයාට වගේම මේ වික්‍රමසිංහ පරංපරාවට තව එක හයිය පුරුකක් අඩුවෙන එක විතරයි කියන එක ඔයා අමතක කරන්න එපා.
එච්චරයි මං කියන්නෙ. අයෑම් සොරි කවීන්. මෙච්චර දවසක් මං උත්සහ කරේ, මං කරපු හැමදේම කරේ ඔයාව බේරගන්න මිසක් මේ ඔයාව විනාස කරන්න, ඔයාලගෙ බිස්නස් එහෙම විනාස කරලා දාන්න නෙවෙයි.
හැබැයි ඔයාලගෙ පවුලෙ අය හිතාගෙන ඉන්නෙ මෙතන මේ මනුස්සයෙක්ගෙ ජීවිතේට වඩා බිස්නසුයි නම්බුවයි ලොකුයි කියලනෙ. එන හැටියකට අපි ෆේස් කරමු කවීන්. මට ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරන්න උවමනාව තිබ්බත් ඔයාලයි ගෙදර මිනිස්සු ඒවට හරස් කපන එකනෙ කරන්නෙ.
මමත් අසරණයි. ඔයාටත් හරියට දෙයක් කරකියාගන්න පණක් නැති එකේ මට ඇත්තටම තේරෙන්නෙ නෑ මොකද්ද මං කරන්නොන කියලා. සොරි කටවහගෙන ඉවසන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ”



