නුලාරාව සිසේරියන් සැත්කම සඳහා ප්‍රසූතිකාගාරය වෙත ගෙන ගියේ සවසය. චාරුකත් සිතාරාත් දෙදෙනාම ඇය හා ගිය නිසා සංකල්පනී රෝහල් කාමරයට වී සිටියාය. තවමත් රිදුම් දෙන වම් අත අල්ලාගෙන ඕ ජංගම දුරකථනයට එබුණේ ධනුකගෙන් කෙටි පණිවිඩයක් හෝ පැමිණ ඇතැයි සිතාගෙනය. නුලාරාට වූ පොරොන්දුව නිසා රෝහලට පැමිණියත් සංකල්පනී සිටියේ සතුටකින් නොවේ. මේ ඇයට තමාව අත්‍යාවශ්‍යම වේලාවය.
නාන කාමරයට ගියත් සිය ජංගම දුරකථනය රැගෙන යන ධනුක එදා ජංගම දුරකථනය චාජරය හා සම්බන්ධ කර තිබිණ. සංකල්පනී රාත්‍රියට සැමන් තෙල් දමා සුදු කැකුළු බතක් හා පරිප්පුවක් සෑදූයේ ධනුකගේ කැමැත්තටමය.
‘දේවි’ යනුවෙන් නම් සදහන් වූ දුරකථන ඇමතුමක් දනුකගේ ජංගම දුරකථනයට පැමිණියේ එවේලෙහි. දුරකථනය කිහිප වරක් නාද වී නිහඬවද්දීම පැමිණියේ කෙටි පණිවිඩයකි. ධනුකගේ ජංගම දුරකථනයේ රහස්‍ය අංකය නොදැන සිටියත් ‘ඉක්මනට එන්න ධනුක මට හරි පාලුයි…’යනුවෙන් සටහන් වූ වදන් කිහිපය දුරකථන තිරයේ දිස්වෙනවා සංකල්පනී හොඳටම දුටුවාය. ඔහු ජංගම දුරකථන දෙකක් පාවිච්චි කරන බව ඈ දැන සිටියාය. ඉන් එක දුරකථනයක් ඔහු බොහෝ ආරක්ෂිතව පරිස්සම් කළේ ගීතවල පද, තනු සටහන් සහ අත්‍යවශ්‍ය බොහෝ දේ ඒ දුරකථනය තුළ ගබඩා කරගෙන ඇතැයි කියමින්ය. මේ ඇමතුමත් කෙටි පණිවිඩයත් පැමිණියේ ඒ දුරකථනයටය. ධනුක නාන කාමරයේ සිට යළි පැමිණෙද්දී සංකල්පනී වූයේ තමාගේ සිතට ආ රහස්‍ය අංක ඔබමින් එය විවෘත කර ගැනීමේ වෑයමකය.
“මොනවද ඔය කරන්නේ?”
ධනුක ජංගම දුරකථනය උදුරා ගත්තා සේ ඇගේ අතින් ගත්තේ දෑස් විසල් කරගෙනය.
“මං ඔයාට කියලා තියෙනවා මේ ෆෝන් එක ඔන් කරන්නේ යන්න එපා කියලා. මොනවා හරි දෙයක් තියෙනවානම් මට කියන්න. ඔයා දන්නව මේකෙ කොච්චර වැදගත් දේවල් තියෙනවද කියලා.”
“දේවිගෙන් මැසේජ් එකක් ආවේ..කවුද ධනුක දේවි කියන්නේ”
“දේ..දේවි…”
ඔහු කලබල වූ බවසංකල්පනී දුටුවේ ඒ දෑස් දෙස බලා සිටි නිසාය. චාජරයට සම්බන්ධ කර තිබූ ජංගම දුරකථනය ගලවාගත් ධනුක ඇයට පිටුපා සිට ගත්තේ සිය හිස කේ ගසා දමමින්ය. ගෙලටත් මඳක් පහළට වෙන්නට වැටී තිබූ හිස කේ වලින් විසිර ගිය දිය බිඳු සංකල්පනීගේ මුහුණ පුරාමත් ඇඳ ඇතිරිලිවලත් රටාවක් මැව්වේය.
“කවුද ධනුක දේවි කියන්නේ..”
“දේවි කියල කෙනෙක් නෑ කවුද දේවි කියන්නේ?…”
“එහෙනම් එයාට ඔයා නැතුව පාළුයි කියලා කියලා තිබුනේ.”
ක්‍ෂණයක වේගයෙන් ධනුක ආපසු හැරුණේ සංකල්පනී එසේ පැවසුවාට පසුවය.
“ඒ කියන්නේ තමුසේ මගේ ෆෝන් එක බැලුවා.”
ඒ දෑස් රත් පැහැවී තිබිණ. වචන වල වූුයේ කෝපයකි.
“ඒක එහෙම බැලුවත් ඔයාට ඔච්චර කේන්ති යන්න දෙයක් නෑනේ.තවම රෙජිස්ටාර් ඉස්සරහ අත්සන් නොකලට මං ඔයාගේ වයිෆ්. ඔයාට මගෙන් හංගන්න දෙයක් තියෙන්න විදිහක් නෑනේ.”
“තමුසෙට පිස්සු…”
“ඔව් පිස්සු හැදෙයි කියලා තමයි මට බය. ධනුක මං හැමදේ අතෑරලා දාලා ඔයා ගාවට ආවෙ ඔයාව විශ්වාස කරපු හින්දා. අපි දෙන්න තවදුරටත් දෙන්නෙක් නෙමෙයි කියලා ඔයා වචන වලින් කිව්වට ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ නැත්තේ ඇයි. අපි දෙන්න දෙන්නෙක් නෙමෙයි නං ඔයාගේ මගෙයි අතර රහස් තියෙන්නේ විදිහක් නැහැනේ. අඩුගානේ ඔය ෆෝන් එකේ පාස් වර්ඩ් එකවත් මං දන් නෑ”
“පිස්සු හැදිලද කියවන්නේ. මං දන්න දේවි කෙනෙක් නෑ.”
“මට ඇත්ත කියන්න ඔයාගේ නෑනා දේවිකාටද ඔය දේවි කියලා කියන්නේ. ඒ ගෑනි කසාඳ බැඳපු ගෑනියෙක් කිව්වා නේද”
“දේවිකාට දේවිකා කියනවා මිසක්කා දේවි කියන්නේ නෑනේ. මට පොඩි ගමනක් යන්න තියෙනවා. විකාර මනස්ගාත හිතන්නෙ නැතුව ඔයා කාලා නිදාගන්න.”
“ධනුක ඔයා ආපු වෙලාවේ කිව්වෙ අද කොහෙවත් යන්නේ නෑ කියලනේ. ලොකේෂන් එකට ගියපු හින්දා මහන්සියි කියලත් කිව්වේ. වේලාසනින් නිදාගන්න ඕනේ කියපු හින්දා මං ඉක්මනින් ඉව්වත් එක්ක.”
“ඔව් බාත්රූම් එකේ ඉඳිද්දි තමයි මතක් උනේ. සජීයගේ සින්දුවකට ගිටාර් පාට් එකක් දෙන්න තියෙනවා. වැඩි වෙලාවක් යන එකක් නෑ. ඌ ස්ටුඩියෝ එකේ ඇති. මං ඒක කරලා ටක්ගාල එන්නම්. මහන්සියි තමයි.”
ධනුක පැවසූයේ අඳුම් වැට මත වූ ටී ෂර්ටයක් ඇද ගන්නා ගමන්ය.
“මට ඇත්ත කියන්න ධනුක ඔයා ඔය යන්න හදන්නේ මාව මග ඇරලා. මට ඒක හොඳටම දැනෙනවා. ඔයාගේ ඇස් දිහා බලලා මට කියන්න පුළුවන් ඔයා මට දෙයක් හංගනවා කියලා. ප්ලීස් ධනුක. අනේ මාව ඒ විදිහට රවට්ටන්නනම් එපා.”
“තමුසෙට පිස්සුද ඕයි. මං කියලා තියෙනවානේ මං හෑලි කියවන ගෑනුන්ට කැමති නෑ කියලා. අන්න අරහෙට අයින් වෙනවා. වාතයක් වෙන්නනම් ලෑස්ති වෙන්න එපා. ඉඳපු විදිහට හිනා වෙලා කතා කරලා ඉන්නවා.”
එවර ධනුක එසේ පැවසූයේ නුලාරාවත් තල්ලු කරගෙන සේ කුඩා කාමරයෙන් පිටතට යාමට සූදානමින්ය. එහෙත් ජංගම දුරකථනය උදුරාගත් ඇය නිසා ඔහුට එසේ කළ හැකි කමක් වූයේ නැත.
“නෑ අද මං මේක කොහොම හරි ඇරගෙන බලනවා. ගෑනියෙක් කවදාවත් පිරිමියෙකුට කතා කරලා නිකමට පාළුයි කියලා කියන්නේ නෑනේ.”
සංකල්පනීගේ හඬ හැඬු මුසු වී තිබුණි. තමා ඉදිරිපස උන් ගැහැණියගේ වම් අත තදින් අල්ලා අඹරවා මෙන් ඒ මත වූ ජංගම දුරකථනය තම දකුණතින් අල්ලා ගන්නට ධනුකට බොහෝ වේලාවක් ගත වූයේ නැත. අවසන ඔහු හිතක් පපුවක් නැති මිනිසෙකු විලසින් කාමරයෙන් පිටවූයේ සංකල්පනී සිය වම් අතත් අල්ලාගෙන හඬා වැටෙද්දීය. රාත්‍රී නමයට පමණ දුරකථන ඇමතුමක් දුන් ධනුක පවසා සිටියේ නිවසට නොඑනා බවය. ඒ වද්දීත් ඔහු ඇති පදම් මත්වී සිටි බව සංකල්පනී හඳුනාගත්තේ කතාවේ විලාශයෙන්ය. අද උදෑසන හතට පමණ කලබලයෙන් ඉවසට පැමිණි ධනුක යළි කාර්යාලයට ගියේ සංකල්පනීට මුහුණ නොදෙමින්ය. අඩු ගණනේ ඇය හදිසියෙන් සෑදූ තේ එකවත් ඔහු පානය කර තිබුණේ නැත.
“අනේ ධනුක මගේ අතත් රිදෙනවා. අද නුලාරාව බලන්න යන්නත් ඕනේ..”
“ඕවා තමුන් විහින් කරගත්ත දේවල්. කට වහන් පාඩුවෙ හිටියනම් ඔය ප්‍රශ්න නෑනේ..”
යතුරුපැදියට නැගුණු ඔහු නික්ම ගියේත් තමා ගැන වගක් නැති ගණනටය.
දෑස් වලට උනා ආ කඳුළු පිස දා ගත් සංකල්පනී ප්‍රසූතිකාගාරය අසලට ඇවිද ගියාය. මඳක් එහාට වන්නට වූ බංකුවක සිතාරා අසුන්ගෙන සිටි අතර ප්‍රසූතිකාගාරය ඉදිරිපිට කොරිඩෝවේ චාරුක එහෙටත් මෙහෙටත් ගියේ නොසන්සුන්වය. තත්පර කිහිපයක් කොරිඩෝව කෙළවර නතර වී ඔහු දෙස බලා උන් සංකල්පනීට හෙළුනේ දිගු සුසුමකි. දහවෙලේ සිටම ඔහු උන්නේ ඒ නොසන්සුන්කම දරා ගෙනය. හෙදියක පැමිණ නුලාරාව ප්‍රසූතිකාගාරය වෙත ගෙන යාමට සූදානම් කරද්දීත්, ඇයව රැගෙන යද්දීත් චාරුකගේ දෑස් වල කඳුළක් දිළිසුනා සංකල්පනීට මතකය.
“බයවෙන්න එපා චාරුක ඒ දෙන්නට ප්‍රශ්නයක් නැහැනේ. අනිත් එක ඔයාගේ අර යාළු ඩොක්ටර් එයාලා ගාව ඉන්නවනේ..”
සංකල්පනී මද හඬකින් එසේ පැවසූයේ චාරුක අසල නතර වී ගෙනය. රත් පැහැයට හැරුණු ඒ දෑස් මුල නතර වී තිබුණේ වැටෙන්නට ආසන්න කඳුලකි.
නුලාරා රෝහල් කාමරයෙන් පිටතට ගැනීමට පෙර චාරුක ඒ වතට පහත්ව නළලත සිප ගත් අයුරු සංකල්පනීට සිහි වූයේ එවේලෙහිය. එහෙත් නුලාරා කළේ ගසාගෙන මෙන් හිස ඉවතට ගැනීමය. තවදුරටත් චාරුක වරදකරුවෙකු යැයි සිතන්නට සංකල්පනීගේ සිත ඉඩ නොදෙන්නේ එනිසාය.
***************
නයනා රඹුක්වැල්ල ඇමරිකාවේ සිටින සිය දියණිය හා තමා දැනගත් සියල්ල පැවසූයේ ඉවසිල්ලේය. මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ඇයට කාගේ හෝ සහයක් අවැසි විය. සැමියා සමග කතා කරනවාට වඩා දියණිය සමග කතා කිරීම සුදුසුයැයි නයනාට සිතුනේ හදිසියේය.
ඔවුන්ට වූයේ අලුත් අදහස්ය. ඒ සියල්ලටම වඩා දියණිය හොඳ සවන් දෙන්නෙකු බව නයනා දැන සිටියාය. සිතූ සේම ඉමාෂා සුසුමකින්වත් බාධා නොකර තම මවට සවන් දීගෙන සිටියාය.
“අම්මා..මල්ලි එහෙම කෙනෙක් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අපිට එහෙමයි කියලා සීයට සීයක්ම මනුස්සයෙක් ගැන විශ්වාස කරන්නත් බැහැ. මං මේ කතා කරන්නේ එයා මගේ මල්ලි කියන තැනින් බැහැරව. සමහර විට මේ නංගිගේ හිතේ ඇතිවෙච්ච සැකයක් වෙන්න පුළුවන්. සමහර විට හේතුවක් ඇතිව නංගි කතා කරනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් මේ වෙලාවෙ අම්මා ඒ දෙන්නගෙන් එක්ක පැත්තක්වත් ගන්න යන්නන එපා. ප්‍රශ්නෙ මොකද්ද කියලා නොදැන අපිට උත්තර හොයන්න බෑ අම්මා. මේ වෙලාවේ නුලාරා ඉන්න තත්වෙන් එයාට මිදෙන්න කල් දෙන්න. මල්ලි සමහරවිට අපිට මේ ගැන කිසිම දෙයක් නොකිව්වේ එයාට මේ ප්‍රශ්නේ හැන්ඩල් කරගන්න පුළුවන් නිසා වෙන්න ඇති. අම්මා විමසිල්ලෙන් එයාල දිහා බලන් ඉන්න. හැබැයි හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක අම්මා මේ ගැන යමක් දන්න බවක් ඒ ගොල්ලන්ට අඟවන්න එපා. ඒ ප්‍රශ්නෙට ඉන්වෝල් වෙන්න යන්නත් එපා. සමහර ප්‍රශ්න තියෙනවා ලේසියෙන්ම විසඳගන්න පුළුවන් ඒවා සෑහෙන දුරදිග යන්නේ වටේ මිනිස්සුන්ගේ මැදිහත්වීම මත. අම්මේ වෙලාවෙ කිසිම වෙනසක් නොකර නංගි ගැන බලන්න. මල්ලිට අපේ උදව් අවශ්‍යවුණු වෙලාවට එයා අපිට කතා කරයි.”
අවසන නයනා නිහඬ වූයේ සිය දියණියගේ වදන්වලට එකඟ වීය. ඒ හා සමඟම ඈ රෝහලට යාමට සූදානම් වූවාය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


