නුලාරා කුඩා බිළිඳා ප්‍රසූත කළේ රාත්‍රියේය. එවේලෙහි සංකල්පනී, සිතාරා, නයනා පමණක් නොව තේජන ද චාරුකගේ පියාද රෝහල තුල විය. තමා පියෙකු වූවාය යන ඒ අපූරු හැඟීම චාරුක විඳිමින් උන්නේ දෑස් මත කඳුළක් තබාගෙනය. කුඩා බිළිදාව මුලින්ම දුටුවේ ඔහුය. දරුවා දෙස බලන්නටත් පෙර තම බිරිඳ වෙත අඩියට දෙකට දිවගිය චාරුක ඇගේ වතට එබුණේ දෑස් මුල වූ කඳුලක් කොපුල් දිගේ බේරී වැටෙද්දීය. තමාට හුරු පුරුදු වූ ඒ සුවඳ දැනෙද්දී නුලාරා දෑස් ඇරියාය.
“ඔයා හොඳින් නේද මැණික….”
චාරුක ඇසුවේ ඒ නළලත මත මෘදු හාදුවක් සටහන් කරමින්ය.
නුලාරා හිස වැනුවේ ‘ඔව්’ යැයි පවසන්නටය. මින් විනාඩි කිහිපයකට පෙර ප්‍රසූතිකාගාරයෙන් පිටව ගිය වෛද්‍ය සොහාන් ගුණරත්න ආපසු පැමිණියේ එවේලෙහිය.
“ආයෙත් බලන්න දෙයක් නෑ. පොඩි රඹුක්වැල්ල කෙනෙක්ම තමයි. එහෙම් පිටින්ම ෆොටෝ කොපියක්”
චාරුක තම පුතණුවන් දෙසට හැරුනේ ඔහු එසේ පැවසුවාට පසුවය. සැබෑය. ඔහු ඉපදී තිබුණේ තමාගේ මුහුණුවර ඒ අයුරින්ම දරාගෙනය.
මේ සතුට මහ මෙරකටත් වඩා උස යැයි තරුණයාට සිතිණ. හෙදියක විසින් ඔහු අතට දරුවා දෙද්දී චාරුකට දැනුනේ නුහුරු බවකි. ඔහු දරුවා අල්ලා ගන්නට උත්සාහ දැරුවේ ඒ නුහුරු ඇළයටමය.
“වම් අත උඩින් තියාගෙන දකුණු අත ඉස්සරහට අරගෙන අල්ලපං…කවද නලවපු දරුවෝද ඉතින්. වයිෆ්ව විතරක් නලවල බෑ දැන් ඉතින් උඹට ළමයි නලවන්න පුරුදු වෙන්න වෙයි.”
සොහාන් යළිත් පැවසූයේ අවඥා සහගත සිනහවක් මුවෙහි තබාගෙනය. හිතවතෙකු මිතුරෙකු විළසින් ඔහු මෙවේලෙහි තම යුතුකම වගකීම උපරිමයෙන් ඉෂ්ඨ කරමින් සිටියේය. සොහාන් ගුණරත්න යළිත් නුලාරාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලුවේ දරුවා චාරුකගේ අතෙහි සිටියදීය. හෙදියක ඒ අසලටම වී සැලකිල්ලෙන් උන්නේ ඔහුට තවමත් දරුවා වඩා ගැනීම නුහුරක් වී තිබූ නිසාය.
“තෑන්ක්ස් මචං..තැන්කියු වෙරි මච්..”
යළිත් දරුවා කුඩා ඇඳ මත තැබූ චාරුක පැවසූයේ වෛද්‍ය සොහාන් කාමරයෙන් පිටව යද්දීය.
“නංගී මූ මට දීපු වදයක් වෙන කිසි කෙනෙක් මට දීලා නෑ. ඔයා කෑවෙ නැතත් මූ මට කතා කරනවා. ඔයා විනාඩි පහක් වැඩිපුර ඇඳට වෙලා හිටියත් මූ මට කතා කරනවා. දවසක් වයිෆ් හිනා වෙවී කියනවා එක්කෝ චාරුකගේ වයිෆ් මෙහේ ගේමු නැත්නම් ඔයා එහේ නවතින්න කියලා. ඇයි මූ දවසක් කතා කරද්දි රෑ එකයි. මචං දෙවැනි බබා හදද්දිවත් තේරුම් ගනින් මේ කාලෙට අම්මලාගේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා කියලා. එහෙම නැත්තං උඹට මට අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා වෙන ඩොක්ටර් කෙනෙක්ව බලපං කියලා..
සොහාන් එසේ පැවසූයේ මිතුරාගේ කරට අතක් දමාගෙනය.
“බබයි, නුලාරයි දෙන්නම නිරෝගීයි. පුංචි පවුලට මගෙන් සුභ පැතුම්…”
අවසන ඔහු නික්ම ගියේ චාරුකව බදා වැළඳගෙන සිප ගත්තාට පසුවය. අන් සියල්ලෝම රෝහල් කාමරයට පැමිණියේ එවේලෙහිය.
”නේ පුතේ ඔයා ඉපදෙද්දි මේ විදිහමයි. කිසිම වෙනසක් නෑ. ඔයාට මතකද මහත්තයා”
නයනා රඹුක්වැල්ල පැවසූයේ සිය දෑස් වල වූ කඳුළු උතුරා යද්දීය. අත වූ මල් කළඹ නුලාරා අබියසින් තබා ඇයව සිප ගත් නයනා පැවසූයේ “ඔයා ගැන මගේ හිතේ තිබුණු ආදරේ තවත් වැඩි වුනා දුව. ඔයා මගේම දරුවෙක්….”යනුවෙන්ය. තේජන දරුවාට පොඩි රඹුක්වැල්ල යැයි පවසද්දීී සියල්ලෝම සිනහ වූයේ මුහුණින් මුහුණ බලාගෙනය.
“ගෑනු දරුවෙක් තමන්ගේ පවුල් ජීවිතය ලස්සනට ගත කරන එක තරං සතුටක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තවත් නෑ. මෙතන ගොඩක් කට්ටිය ඉන්න හින්දා මං එන්න එපා කියලා කිව්වට තාත්තත් දැන් ඇත්තේ කොයි වෙලාවේ ඔයාව දකින්නද කියලා බලාගෙන. පුතේ අර දරුවා ඔයාව තියටර් එකට ගත්තට පස්සේ අඩු තරමින් එක තප්පරයකට වාඩි වුනේවත් නෑ. ඇස් දෙකේ කඳුළු පුරවගෙන කොරිඩෝ එකේ එහෙට මෙහෙට ඇවිද්දා. වරදක් සිද්ධ වුණත් ඒ හැමදේම අමතක කරලා දැන් සතුටින් ඉන්න. මේ දරුවා ඔයාලා ලඟට ආවේ ඒ සතුටත් අරගෙන….”
සිතාරා එසේ මිමිණූයේ මද හඬකින්ය. නුලාරාගෙ දෑස් වල පිරී තිබුණේත් කඳුලකි. අවසන සියල්ලෝම රෝහල් කාමරයෙන් පිටව යද්දී තනිවූයේ නුලාරාත් චාරුකත් පමණි. දරුවා උන්නේ සුව නින්දකය. එනිසාම හෙදියත් රෝහල් කාමරයෙන් පිටව ගියාය.
“බබා…ඔයාට තැන්කියු මේ වගේ සතුටක් මට දුන්නට. ඒ හැඟීම මොන වගේද කියල විස්තර කරන්න මටට වචන නෑ. වෙනදටත් වඩා මං ආදරෙයි. දැන් ඔයා මගේ වයිෆ් මගේ ජීවිතේ විතරක් නෙමෙයි මගේ දරුවාගේ අම්මා. අපි සතුටින් ඉමු මැණික.”
ඔහු පැවසූයේ යළිත් වරක් ඇගේ වතට එබීගෙනය. මෙතෙක් වේලා සිත තුළ වූ සැක සංකා පහව යමින් තිබිණි. සැබවින්ම නුලාරාගේ සිත තම සැමියා කෙරෙහි තවත් ලෝබ වී තිබිණ. ඔහුව අතහැර ගන්නට තබා එසේ සිතන්නටවත් හැකියාවක් වූයේ නැත.
“මං ඔයාගෙන් ඉල්ලුවේ එකම එක ඉල්ලීමයි…”
නුලාරා පැවසූයේ කෙඳිරිල්ලක ස්වරූපයෙන්ය. ඇගේ අපහසුව දකින වාරයක් වාරයක් පාසා චාරුකගේ සිතෙහි ඇතිවූයේ බියකි. එනිසාම ඔහු දෙවතාවක්ම හෙදියට කතා කළේය.
“ හිරි වැටෙන්න බෙහෙත් එකක් දුන්නේ. ඒකේ පවර් එක අඩු වෙද්දි තුවාලේ රිදෙන්න ගන්නවා. සීසර් කරලනෙ බබාව ගත්තේ. ඒ වේදනාව සාමාන්‍යයි. තව පැයකින් විතර වගේ බෙහෙත් එකක් දෙන්න තියෙනවා. එතකොට වයිෆ්ට නින්ද යයි. ටික දවසක් යනකල් පොඩි කැක්කුමක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට අපි ෆේන් කිලර්ස් දෙනවා. බබාට කිරි දෙන්න ඕනේ වෙන වෙලාවට මම එන්නම්.”
ඇය එසේ පැවසූයේ නුලාරාගේ කුස ප්‍රදේශයෙහි වූ තැල්ම පරීක්ෂා කර බැලුවාට පසුවය.
“චාරුක අයියේ…මටත් ඕනේ සතුටින් ඉන්න. ඔයාගෙයි මගෙයි මේ ජීවිතයේ අතරට වෙන කාටවත් එන්න දෙන්න බෑ. අපි දෙන්නයි පුතයි විතරමයි…ප්ලීස් මන්දස්මිව අයින් කරන්න. ගෙවිලා ගියපු දවස්වල හැම තත්පරයක්ම මම හිටියේ පිච්චි පිච්චි. ඔයා කොහොම මොනවා කිව්වත් චාරුක අයියේ මට දැනෙන්නේ එයා ඔයාව මගෙන් උදුරගෙන යන්න ආපු යක්ෂණියක් වගේ.”
මේ යළිත් ඒ ඉල්ලීම කරන්නට හොඳම වේලාව බව නුලාරාට සිතුනේ මින් තත්පර කිහිපයකට ඉහතදීය. සියල්ලෝම දරුවා වටා එක් වෙද්දී ඔහු සිටියේ මහත් ආඩම්බරකාරයෙකු ලෙසය. නුලාරාට උවමනා වූයේ ඔහු සමග ආදරයෙන් සතුටින් ජීවත් වන්නටය. ඒ සඳහා වූ බාධකය ඉවත් කරන්නට මේ හොඳම වේලාවයැයි ඈ තීරණය කළාය. තත්පර කිහිපයක් තම බිරිඳ දෙස බලා උන් චාරුක හිස වැනුවේ ඇයට එකඟවය. අපහසුවෙන් මඳක් උඩට ඉස්සීගත් නුලාරා තම සැමියාගේ කුස ප්‍රදේශයට හිස තබා ගත්තාය. තත්පර කිහිපයක් ගතවන තුරුම ඇගේ හිස කේ අතර දෑඟිලි ඇවිද්දවමින් උන් තරුණයා ඒ හිස සිප ගත්තේ දයාබරවය.
“ගෙදර යන්න එපා මාත් එක්ක ඉන්න…ඔයා නැතුව හිටියේ පුළුවන් කමකට නෙමෙයි.”
නුලාරා යළිත් වරක් පැවසූයේ හැඬුම් මුසුවය.
“නෑ බබා. ඔයාව දාල මං කොහෙවත් යන්නේ නෑ. හැම දෙයක්ම අමතක කරන්න. ඉස්සර වගේ සතුටින් ඉමු….”
නුලාරා උන් ඇද අසලම පුටුවක් තබාගෙන ඉඳගත් චාරුක එසේ පැවසූයේ තම බිරිඳ දෙසත් කුඩා පුතු දෙසත් මාරුවෙන් මාරුවට බලමින්ය.
************
සංකල්පනී රෝහලින් පිටවන්නට සූදානම් වූයේ දහයට පමණය. එක දිගට ධනුකට ඇමතුම් කිහිපයක් ලබා ගත්තාට පසුව ඔහු දුරකථනය හා සම්බන්ධ වූයේය.
“ට්‍රයි ශෝ එකක් දාගෙන එනවා මං ආයේ ඔතෙන්ට එන්න ඕනෙ නෑනේ. මං ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නේ.”
ඔහු පැවසූයේ කිසිඳු ලතෙක් බවකින් තොරවය. දිගු සුසුමක් මුදා හැරී සංකල්පනී රෝහල් කාමරයෙන් පිටවන්නට සූදානම් වද්දී ‘කොහොමද යන්නේ යන්නේ? ධනුක එනවා කිව්වද නැත්නම් මම ගෙදරට ඇරල වන්නද?’ යනුවෙන් ඇසුවේ තේජනය. ‘ධනුක එයි’ යනුවෙන් පවසමින් ඇය රෝහල් කාමරයෙන් පිට වුවත් දුරකථනයෙන් කුලී රථයක් ඇනවුම් කරගත්තේ මගදීමය.
නුලාරාගේ දරුවා දුටු වේලේ දෑස් වලට උපන් කඳුළු තවමත් එහෙමමය. තමාට අහිමි වූ ජීවිතය පිළිබඳව වේදනාවක් තැවීමක් ඒ සිතෙහි සටහන් වූයේ ඇයටත් හොරා ය. යෙහෙළියගෙන් සමුගන්නට රෝහල් කාමරය තුළට යද්දී සංකල්පනී දුටුවේ නුලාරා දරුවාට කිරි පොවනා අයුරුය. චාරුක ඒ අසලටම වී සිටියේ ඇයව තුරුළු කරගෙනය. ඒ දසුන දෑස් වලට කෙතරම් සනීපයක්දැයි ඕ සිතුවේ කුලීරියට නගිමින්ය.
අවසන ධනුක සමග අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර ගත්තායැයි සිතමින් සංකල්පනී තමාටම බැණගත්තාය. තමාත් නුලාරා සේ සැකය පදනම් කරගෙන ජීවිතය අවුල් කරගන්නට සූදානම් වනවායැයි තමාටම සාප කර ගත්තාය. එනිසාම ධනුකගෙන් සමාව ගන්නට ඕ සිතා සිටියේ මඟදීමය.
රන්දිකගේ සොයුරියගේ විවාහ උත්සවයට දින යොදා ගෙන තිබුනේ ලබන මාසය අවසානයේය. ඉන්පසු දික්කසාද නඩුව කෙළවරක් කරන්නට ඔහු පොරොන්දු වී තිබුණේය. ඉන්පසු ධනුක හා විවාහ වී මේ ජීවිතය පිළිවෙලක් කර ගන්නට සංකල්පනීට වූයේ ලොකු උනන්දුවකි. කුඩා ඇනෙක්සිය ඉදිරිපස විදුලි බුබුළක්වත් දල්වා තිබුණේ නැත. අඩවල් කර තිබූ දොරෙන් ඇතුලට එබුණු ඈ දුටුවේ හොඳටම බීමත්ව ඇඳේ වැතිර සිටිනා ධනුකය. උඩු කමිසය පමණක් උනා දමා සිටි ඔහු කාර්යාලයට ඇඳගෙන ගිය කලිසමවත් ගලවා තිබුණේ නැත. ඔහු ඕනෑවටත් වඩා හිත රිදවාගෙන ඇතැයි ඇයට සිතුනේ එනිසාය. එහාට වන්නට දිගහැර දමා තිබූ කොත්තු පාර්සලය වසා පසෙකින් තැබූ ඕ ධනුක අසලට ළං වූයේ දෑස් වල කඳුලක් තබාගෙනය.
(හෙටත් හමවෙමු ආදරයෙන්)


