“මට අල්ලගන්න බැරි උනාට කවුරු උනත් එදා ආවෙ හොඳට මේ ගෙදර ගැන දන්න එකෙක්. මිනිහා එච්චර හොඳට මේ ගේ ගැන දන්න හන්දම තමයි මං එන්න කලින් ඉක්මනට යන්න පුළුවන් උනේ. හැබැයි මට හිතෙන්නෙම ආයෙ වතාවක් ඔය මනුස්සයා කවුරු උනත් මේ ගෙදෙට්ට එන්න ලොකු ඉඩක් තියෙනවා කියලා. අනික් එක මට නිකමට හිතෙනවා මේ ගේම් එකට මේ ගෙදර ඉන්න කවුරුම නමුත් උදව් කරනවා කියලා. ගොඩක් දුරට ඒ සෙලීනා වෙන්නැති. මොකෝ එදා එයා කාට උනත් කෝල් කරලා ප්ලෑන් එකක් ගැන කිව්ව එකේ එයා ගැන සැක කරන්න ලොකුම ලොකු හේතුවක් තියෙනවා.
ඒ උනාට මට තියෙන ප්‍රශ්නෙ මං හිතුවෙ කවීන්ලා එක්ක වික්‍රමසිංහලා එක්ක ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරයි කියලනෙ. බලන් යද්දි යකෝ මුං එක්ක හැමෝම තරහයිනෙ. අනිවාර්‍යෙන් ඔෆිස් එක ඇතුලෙ දෙයක් හෙව්ව කියන්නෙ මේක ශුවර් එකටම මොනවහරි බිස්නස් රිලේටඩ් දෙයක්නෙ. මං හිතන විදිය හරිනම් කවීන්ලගෙ බිස්නස් සම්බන්ධව මට ඇරෙන්න වෙන ප්‍රශ්නයක් තියෙන කෙනා කවුද? එහෙම නම් එයාට තියෙන ප්‍රශ්නෙ මොකද්ද? මේකට මේ ගෙදර කෙනෙක් සම්බන්ධයි කියන්නෙ එළියෙ කෙනා කවුද?
අනික මේවා පිටිපස්සෙ මං සැක කරන විදියටම සෙලීනා ඉන්නවනම් ඒකිට මේ ගෙදර මිනිස්සු එක්ක තියෙන ප්‍රශ්නෙ මොකද්ද? යකෝ ඒකි මේ පවුලෙම එකියක්නෙ. තමන්ගෙම පවුලෙ උන්ට මෙහෙම කෙලවන්න හදන්නෙ අහවල් එකකටද?” කියලා කෙල්ල කල්පනා කර කර උන්නෙ ඇත්තටම මේ සල්ලිකාර පවුල්වල මිනිස්සුන්ගෙ ජීවිත අස්සෙ ගෙවල් අස්සෙ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවෙච්ච හන්දා.
“එදා ආපු කෙනා ආයෙ වතාවක් එයි කියලා කිව්වට ඉතින් මං දන්නෙ නෑනෙ ඒ මනුස්සයා කවදා ඒවිද කියලා. එහෙමෙකේ කොහොමද මූ කවුද මොකටද එන්නෙ කියලා දැනගන්නෙ? ඊට වඩා ලේසියි මේ ගේ අස්සෙ ඉඳන් ඔය වැඩේට උදව් කරන්නෙ කවුද කියලා හොයාගන්න එක” කියලා හිතෙන් හිතුවට මොකෝ ඒක කොහොමද කරන්නෙ කියන එක ගැන කිසිම අදහසක් කෙල්ලට තිබ්බෙ නෑ.
“සෙලීනා නම් ඇත්තටම මේක කරන්නෙ ඒකිට මොකක් හරි මාර ලොකු රිසන් එකක් තියෙන්න ඕන නෙ මෙහෙම දෙයක් කරන්නා. මොක උනත් මේ ඉන්නෙ තමන් කලින් යාලුවෙලා උන්න කොල්ලායි උගෙ පවුලෙ උනුයි නෙ. එහෙමෙකේ මොකද්ද ඇත්තටම සෙලීනාට තියෙන ප්‍රශ්නෙ? අනික මං මෙතන මේ පැල් බැඳගෙන ඒ සෙලීනා කියල මට ඒකිව ඇහැට පේන්න බැරි හන්දයි එදා අර කෝල් එකෙන් ඇහිච්ච වචන දෙක තුනක් අල්ලගෙනයි මං මෙහෙම හිතුවට සමහරවිට මේක පිටිපස්සෙ මං හිතන්නෙම නැති කෙනෙක් ඉන්නත් පුළුවන් නෙ” කියල කෙල්ල අන්තිමේ හිතුවෙ වෙන කරන්න දෙයක් නැතිම හන්දා.
දවස් ගෙවුණේ කවීන් ලෙඩ ඇඳටම වැටෙද්දි කෙල්ල පණ ඇරගෙන වගෙ කවීන්ටයි වික්‍රමසිංහටයි සාත්තු සප්පායම් කරද්දි. සෙලීනා ගැන හිතේ සැකයක් තිබිච්ච නිසාද මන්දා ආකර්ෂා උන්නෙම උඩැක්කිය දිහා වපර ඇහින් බලන ගමන්. කොච්චර මොනවහරි කරලා සෙලීනාගෙ කටෙන් මොකක් හරි වචනයක් පිට වෙන වෙලාවක් අල්ලගන්න බලාගෙන උන්නට මොකෝ සෙලීනා වෙනදා තරම් කතා කරන්නෙ නැති විත්තිය ආකර්ෂට හොඳටම තේරුණා.
“සෙලීනා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?” කියලා ලේඩි කලම්බු සෙවන් දවසක් බ්‍රෙක් ෆස්ට් ටයිම් එකේ ඇහුවෙ ඒ හන්දා වෙන්නැති. එවෙලෙ ආකර්ෂා උන්නෙ කාමරේ ඉන්න වික්‍රමසිංහට වගේම කවීන්ටත් කෑම බෙදාගෙන යන්න කෑම මේසෙ ලඟට ඇවිත්. කවීනුත් ලෙඩ වුණයින් පස්සෙ ආකර්ෂා කවීන්ව කෑම මේසෙ ලඟට එක්කරගෙන එන වගේ කරදර වැඩ වලට අතගහන්න ගියේ නෑ. අනික කොහොමත් ඇඟේ පතේ අමාරු එක්ක කවීනුත් ඇත්තෙ අමාරුවෙන් හන්දා ආකර්ෂා කවීන් කවන්න කෑම බෙදාගෙන යන ගමන්ම වික්‍රමසිංහටත් එහෙමම කෑම අරගෙන ගියා. තමන්ගෙ පැත්තට කතා කරන මිනිස්සු නැතුව ලෙඩ්ඩි කලම්බු සෙවන් සහ සෙලීනා ඉන්න තැනක ඉඳන් හිත නිදහසේ බත් කටක් උගුරෙන් පල්ලෙහට යවාගන්න බැරි හන්දා කෙල්ලත් කෑවෙ කාමරේ ඉඳන්මයි. වෙනදාට නම් ටක් ගාලා ඇවිල්ලා කෑම එක බෙදාගෙන ගියාට මොකෝ මෙදා පාර ලේඩි කලම්බු සෙවන් තමන්ට අහන්න උවමනාව වෙච්ච මාතෘකාවක් කතාකරන්න පටන් ගත්ත හන්දා කෙල්ල ටිකක් කෑම මේසෙ ලඟ ටැග් ගැහි ගැහි උන්නෙ.
“සෙලීනා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?” කියලා ලේඩි කලම්බු සෙවන් ඇහුවට මොකෝ සෙලීනා ඇත්තටම එවෙලෙ උන්නෙත් වෙන කල්පනාවක කියලා ආකර්ෂට තේරුණේ මෙහෙම ප්‍රශ්නයක් තමන්ගෙන් ඇහුවා කියලා දන්නෙවත් නැතුව ගෑනි බටර් ගාපු පාන් පෙත්ත කට ලඟ තියාගෙන ෆෝන් එක උඩ ඇස් දෙක අලවගෙන උන්න හන්දා.
“සෙලීනා…සෙලීනාආආ” කියලා ලේඩි කලම්බු සෙවන් ආයෙ වතාවක් අහද්දි තමයි ගෑනි මේ ලෝකෙට සම්ප්‍රාප්ත වුණේ.
“ස්ස්..සො…සොරි ආච්චි අම්මා මං මේ යාලුවෙක් එව්ව මැසේජ් එකක් කියවන ගමන් උන්නෙ.ආච්චි අම්මා මගෙන් මොනාහරි ඇහුවද?” කියලා අහද්දිත් සෙලීනා උන්නෙ මෙලෝ සිහියකින් නෙවෙයි කියන එක ආකර්ෂට නම් හොඳටම තේරුණා.
“නෑ මං ඇහුවේ ඔයා මේ දවස්වල මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ කියලා සෙලීනා? මූණත් නිකන් සුදුමැලි වෙලා ගිහින්ද මන්දා. වෙනදා වගේ ඇක්ටිව් නෑනේ දැන්” ලේඩි කලම්බු සෙවන් තමන්ගේ තේ කෝප්පෙ මේසෙන් තියන ගමන් මාරම විමසිලිමත් බැල්මක් සෙලීනා දිහාවට විසික්කරා.
සෙලීනා එකපාරටම තමන්ගේ ෆෝන් එක මේසය උඩින් මුනින් අතට හරවලා තිබ්බේ මාරම කලබලයකින්. ඒක කෑම බෙදන්න ලෑස්ති වෙනවා වගේ රඟපපා හිටපු ආකර්ෂාගේ ඇස් දෙකට නම්මඟඇරුණේ නෑ. කෙල්ල එක වචනයක්වත් නොකියා, හැන්දත් අතේ තියාගෙන මාරම සන්සුන්ව මුන් දෙන්නගේ මූණුවල වෙනස් වීම් දිහා හොරෙන් වගේ බලාගෙන උන්නා.
“අනේ නෑ ආච්චි අම්මා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මං මේ නිකන් කල්පනා කර කර හිටියේ” සෙලීනා උපරිමයෙන්ම සාමාන්‍ය විදිහට ඉන්න ට්‍රයි කරමින් කට කොනකින් හිනාවක් දාන්න හැදුවා.
“නිකන් කල්පනා කරන්න ඔයා වෙනදා ඔහොම ඉන්න කෙල්ලෙක් නෙවෙයිනේ සෙලීනා. ඇයි මේ ෆෝන් එක දිහා බලාගෙන ගැහෙන්නේ? කවුද ඔය උදේ පාන්දරම මැසේජ් එවන්නේ? මං දන්නවා ඔයා ලංකාවට ආවේ නිකන්ම නෙවෙයි කියලා. මොකක් හරි හංගනවා නේද ඔයා?” ලේඩි කලම්බු සෙවන් මලාට එහෙම මූණටම අහවි කියලා සෙලීනා විතරක් නෙවෙයි තමන් උනත් හිතුවෙ නෑ නේද කියලා හිතිච්ච නිසා තමයි ආකර්ෂා උනත් පොඩ්ඩක් ගැස්සිලා ගියේ.
“ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. නාකිච්චිත් වයසෙ හැටියට නෙවි වැඩ. ඔහොම බය නැතුව මූණටම ඔහොම දෙයක් අහන්න මාර ගට් එකක් තියෙන්න එපාය. ඔය වයසෙදි ඔහොම ගටක් තිබ්බා නම් අපේ වයසෙදි කොහොම ඉඳියද දන්නෙ නෑ මෙයා” කියලා කෙල්ල හිතුවෙ හිතෙන්.
සෙලීනාට එකපාරටම කෙළ ගිළුණා. ගෑනි තමන්ගේ වොයිස් එක කන්ට්‍රෝල් කරගන්න ගමන් ආයෙමත් බොරුවක් ගෙතුව කියන එක නම් ආකර්ෂට හොඳටම තේරුණා.
“අයියෝ ආච්චි අම්මා ඔයාටත් මාර සැකයක්නේ තියෙන්නේ. මේ මගේ රට හිටපු යාලුවෙක්. එයා එහේ බිස්නස් එකක් පටන් ගන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒකට මගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඉල්ලලා මැසේජ් එකක් දාලා තිබුණා. ඒකයි මං මේ කියව කියව හිටියේ. නැතුව මං මොනවා හංගන්නද?”
“බිස්නස් ඇඩ්වයිස්? ඔයාගෙන්?” ලේඩි කලම්බු සෙවන් ඇස් දෙක හීන් කරලා සෙලීනා දිහා බලද්දී, කාටත් නොපෙනෙන්න ආකර්ෂාගේ තොල් කොනකට නම් හෙන කිණ්ඩි හිනාවක් ආවා.
“යාලුවෙක්ගේ බිස්නස් එකක් නෙවෙයි, උඹ කා එක්ක හරි එක්කහු වෙලා මේ ගෙදර බිස්නස් එකට කෙළින්න හදන ප්ලෑන් එක නේද ඕකේ තියෙන්නේ?” කෙල්ල හිතින් හිතුවා.
“ඔව් ඉතින් මං එහේ සෑහෙන කල් හිටපු හන්දා මං ගැන දන්න අය මගෙන් අහනවා. අනික ආච්චි අම්මා, කවීන් මෙහෙම අසනීපෙන් ඉද්දී මගේ හිතටත් හරි නෑ. මං මේ දවස්වල ඇත්තටම ඉන්නේ මාරම අප්සෙට් එකේ. ඒකයි වෙනදා වගේ සතුටින් ඉන්න බැරි” සෙලීනා තමන්ගේ බොරුව තවත් ශක්තිමත් කරන්න කවීන්ගේ නම මැදට දාලා, මූණ අඬන්න වගේ හදාගත්තා.
“හ්ම් කවීන්ගේ අසනීපෙ ගැන නම් මටත් තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. හැබැයි මට මේ අහන්න ඕන උනේ ඒක නෙවෙයි ඔයා මහ රෑ වතුර එකක් ගන්න කියලා කාමරෙන් එළියට ඇවිත් ගේ අස්සෙ අරහෙ මෙහෙ යනවා කියලා මට ආරංචි වුණා. වතුර බොන්න ඔය හැටි මහ රෑ කාමරෙන් එළියට යන්න ඕනද? කාමරේට වතුර ජග් එකක් තියාගන්න පුළුවන්නේ” ලේඩි කලම්බු සෙවන් අත් දෙක බැඳගෙන සෙලීනාව තවදුරටත් කොටු කරා කියලමයි කෙල්ලට හිතුණෙ. තමන් දන්නවා වගේම දෙයක් එහෙමත් නැත්තම් තමන් දන්නවට වඩා වෙනස් දෙයක් ලේඩි කලම්බු සෙවන් දැනගෙන ඉන්නවා කියන එකත් කෙල්ලට එවෙලෙ හිතුනා. අන්න එවෙලෙ නම් කෙල්ලට පොඩ්ඩක් බය හිතුනා තමන්ගෙ ප්ලෑන් එකත් මේ ගෑනි දන්නවද දන්නෙ නෑ කියලා.
සෙලීනා බය වෙච්ච පාරට බටර් පිහිය අතින් වැටෙන්න වගෙත් ගියා.
“ඒ… ඒක ඉතින්… කාමරේ වතුර ඉවර වෙලා තිබුණ හන්දා ආච්චි අම්මා. මං ටක් ගාලා පල්ලෙහාට ගිහින් වතුර එකක් අරන් ආවා. ඔයා මේ පොඩි දේවලුත් මාර විදිහට හිතනවානේ. කවුද අනික ඔයාට ඔය කේලං කියන්නෙ” සෙලීනා වචන පටලව පටලව, හිනාවෙන්න ට්‍රයි කරන ගමන් කියාගෙන ගියා. ගෑනිගේ නළල දිගේ හීන් දාඩිය බිංදුවක් වැක්කෙරෙනවත් ආකර්ෂා හොඳටම දැක්කා.
“හොඳයි මං මේ කියන දේ හොඳින් මතක තියාගන්න. කවීන් මේ වගේ තත්ත්වෙක ඉද්දී, ගෙදර ඇතුළේ වෙන දේවල් මං දන්නෙ නෑ කියලා හිතන්න එපා. ඔය එක එක්කෙනා ගහන්න ඉන්න ප්ලෑන් මට දැනගන්න ලැබුණොත් මං ඒක ලේසියෙන් අතාරින්නේ නෑ කියන එක මතක තියාගත්තා නම් හොඳයි” කියලා කියද්දි ආච්චිගේ කටහඬේ තිබ්බේ අවසන් අනතුරු ඇඟවීමක් කියන එකත් ඒක සෙලීනට වගේම තමන්ටත් අදාල කරගන්න වෙන විත්තියත් හිතෙද්දි ආකර්ෂගෙ පපුවත් පොඩ්ඩක් ඩිග් ඩිග් ගෑවා.
“අනේ නෑ ආච්චි අම්මා මං මොකටද එහෙම කරන්නේ. මං කාමරේට යනවා, ඔළුව රිදෙනවා වගේ” කියලා සෙලීනා තවදුරටත් එතන හිටියොත් තමන්ගේ බොරු අහුවෙන විත්තිය දන්න හන්දා පුටුවෙන් නැගිටලා කාමරේ පැත්තට යන්න ඉක්මනට අඩිය උස්සලා දිව්වා.



