මලක් වී යළි පිපෙන්නම් – 40

0
996

රාත්‍රිය පුරාම නුලාරා හා රැඳී උන් චාරුක යළි නිවසට පැමිණියේ පසුදා උදෑසනය. ඒ නිවසට ගොස් පැය කිහිපයක් විවේකීව කාලය ගත කර පැමිණෙන්නයැයි සිතාරා, නයනා, සේම නුලාරාත් දිගින් දිගටම පැවසුවාට පසුවය.  

වරද තමාගේ යැයි පවසමින් ධනුකගෙන් සමාව ගත් සංකල්පනී පසුදා උදෑසන ඔහු වෙනුවෙන් කිරි බතක්, ලුණු මිරිසක් සේම සැමන්  බැඳුමක්ද සෑදුවාය. ඈ ධනුකගේ කාර්යාලීය ඇඳුම් පවා සකසා තැබුවේ වෙනදාට වඩා වැඩි ඕනෑකමකින්ය. 

“මං අද ඔෆිස් යන්නේ නෑ සංකල්පි. ඒක නිසා ටී ෂර්ට් එකක් අයන් කරානම් ඇති.”

ඔහු පැවසූයේ නාන කාමරයේ සිට පිටතට පැමිණෙමින්ය. සංකල්පනී ඒ දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. 

“මම තේජන සර්ට මැසේජ් එකක් යැව්වා. අද මට බෑන්ඩ් එකේ පොඩි වැඩ වගයක් තියෙනවා. ඒක නෙමෙයි ඔයා අදත් යනවද නුලාරව බලන්න.”

“යන්න ඕනේ ධනුක. ඒකිට කවුරු හිටියත් වැඩක් නෑ මාව නැත්නම්.”

සංකල්පනී එසේ පැවසූයේ සිනහ සෙමින්ය. ⁣සිනා සෙද්දී වළගැහෙන ඒ කොපුල් ඇයට ගෙන ආවේ අමුතුම සුන්දරත්වයකි.

“චාරුක  ඊයෙනම් දවසේම ඔෆිස් ආවෙ නෑ. අදත් එන එකක් නෑ මං හිතන්නේ.”

“මං උදේ චාරුකට කෝල් එකක් දුන්නා. තාම හොස්පිට්ල් එකේ කියලා තමයි කිව්වේ. කොහොමත්  දවස් කීපයකට ඔෆිස් එකට එන එකක් නෑ. ඊයෙ චාරුකට පිස්සු හැදිලා වගේ. නුලාරා තියටර් එකට ගත්ත වෙලේ ඉඳලා කොරිඩෝ එකේ එහාට  යනවා මෙහාට යනවා එක තත්පරයක් ඉඳගත්තේ නෑ. මං හිතන් නෑ වෙන මොනම මිනිහෙක්වත් ගෑනියෙක්ට ඒ තරම් ආදරේ ඇති කියලා. අනිත් එක ඒ තරම් කෙනෙක්”

“ආදරේ නැති උනත් සමහර මිනිස්සුන්ට ආදරේ පෙන්නන්න පුළුවන්.”

ධනුක එසේ පැවසූයේ කුඩා  මේසය මත වූ දීසියෙන් කිරිබත් කැබලි දෙකක් බෙදා ගන්නා ගමන්ය. 

“දැන් හරිද දෙන්නගෙ අතර තිබුණ ප්‍රශ්න.”

“මං දන්නෙ නෑ නුලාරා  ඒවා අමතක කරයිද කියලා. ඒ උනාට ඉතින් ඒවා අමතක කරලා දැන් දරුවත් එක්ක ඉස්සරහට යන එක තමයි හොඳම දේ. ඔයාට කියන්න ධනුක බබාව දැක්කහම ලෝභකමේ බෑ. චාරුකම තමයි. සුදු පාට චීස්  බෝලයක් වගේ.”

සංකල්පනී ඇඳ කෙළවරෙහි ධනුක අසලින්ම ඉඳගත්තේ එසේ පවසමින්ය. ඔහු කිරිබත් කටක් ඇගේ මුවෙහි තැබුවේ කිසිවක් නොපවසමින්ය. 

“ඒ සතුට ගෑනියෙක්ට පිරිමියෙකුට ලැබෙන්න ඕනේ ධනුක. ඒ හැඟීම හැම ගෑනියෙක්ම, හැම පිරිමියෙක්ම විඳගන්න ඕනේ.” 

පෙර දිනක ඇති වූ හිත් නොහොඳින් පසුව සියල්ල යළි සන්සුන් වී ඇතැයි සංකල්පනීට සිතුණේ ධනුක දෙවැනි කිරිබත් කටත් ඇගේ මුවට ලං කරද්දීය. ආදරය ශක්තිමත් වන්නට නම් ඉද හිටක එවන් මත ගැටුම් හිත් නොහොඳකම් ඇතිවිය යුතු යැයි ඇය අසා තිබිණ. 

“ධනුක…”

“හ්ම්…”

“මේ සැරේ නංගිගේ වෙඩින් එකට ගමේ ගියාට පස්සේ ඔයාට පුළුවන්ද අම්මත් එක්ක මං ගැන කතා කරන්න. මං ඩිවෝස් වෙච්ච ගෑනියෙක් බව ඇත්ත. ඒ උනාට දරුවෙක් එක්ක තනිවෙච්ච ගෑනියෙක් නෙමෙයි නේ. ඒ හින්දා මං කසාද බැඳලා දික්කසාද උනා කියල වහං කරගෙන ඉන්න අම්මලට පුළුවන් වෙයි. නොගැළපෙන විවාහ ඇතුලේ මිනිස්සු කොච්චර වෙන් වෙනවද. අද කාලේ හැටියට ඒවා මහ දේවල් නෙමෙයි. අනිත් එක මට ඕනනම් රන්දික ළඟ ඉඳගෙන එයාට වරදක් කරන්න තිබුණා. එහෙම නැතුව මං ඔයා ලඟට ආවනේ..අපිට හැමදාම මෙහෙම ඉන්න බැහැනේ. දැන් ඔයාට හොඳ ජොබ් එකක් තියෙන නිසා අපිට මීට වඩා ලොකු ගෙදරකට යන්න පුළුවන්. කාලයත් එක්ක අපිට චාරුකලගේ උදව්වක් අරගෙන අපේම කියලා පොඩි ස්කීම් එකක  ගේකට  හරි යන්න බැරි කමක් නැතිවෙයි. දැන් පුංචි දරු පැටියෙක් අපේ ලෝකෙටත් එන්න කාලෙ හරි නේද ධනුක.”

මුවට දමා ගත් කිරිබත් කට ඔහුට හිර වූයේ ඇය එසේ පවසද්දීය. වහ වහා නැගී සිටි සංකල්පනී මේසය මත වූ වතුර වීදුරුව ඔහු වෙත දිගු කළේ ඒ පිටත් අතගාමින්ය. 

“හෙමින් කන්න ඔයාට යන්න වෙලා තියෙනවා කිව්වනේ..”

සංකල්පනී එසේ පැවසූයේ ඔහු අඩක් බී නිමකළ කළ වතුර වීදුරුව යළිත් කුඩා මේසය මත තබමින්ය. 

“ඔයාට පුළුවන්නම් හවසට හොස්පිට්ල් එකට එන්න. මං හිතන්නේ අද ඩිස්චාර්ජ් කරන එකක් නෑ. ඔයාට ආස හිතෙයි බබා දැක්කනම්..”

ධනුක එවේලෙහි හිස වැනුවේ සංකල්පනීට එකඟවය. අද මේ යන ගමන ගැන ඔහු බලාපොරොත්තු රැසක් තබාගෙන උන්නේය. කොහොමටත් ඔහු සිතා සිටියේ ඥාති සහෝදරියගේ විවාහ මංගල්ල උත්සවය සඳහා ගමට ගිය පසුව දේවිකාගේත් තමාගේත් විවාහ ලියාපදිංචිය පිළිබඳව කතා කරන්නටය. දේවිකාව ගමෙහි රඳවා යළි කොළඹට පැමිණ සංකල්පනී හා මේ ජීවිතය ගත කරන්නට තමාට බාධාවක් නැතැයි ධනුක සිතා සිටියේය. ඔහුට කොහොමටත් වූයේ වල්මත් වූ ජීවිතයකි.

                                     ********

චාරුකගේ දුරකථන සංවාදය නයනාට ඇසුණේ සෝමා ලවා සකස් කර ගත් බීම වීදුරු තුනෙන් එකක් සැමියාට දී අනිත් වීදුරු දෙකත් රැගෙන උඩුමහලට නගිද්දීය. මින් විනාඩි කිහිපයකට පෙර සිතාරාව අමතද්දී ඈ පැවසූයේ දියණියත් කුඩා පුතණුවනුත්  සුව නින්දක බවය. කෙටි කාලයක් සඳහා සේවයට බඳවා කුඩා දරුවන් බලා ගැනීමට පල පුරුදු කාන්තාව සවස නිවසට පැමිණීමට නියමිතය. සිතාරා එපා කියද්දීත් චාරුක එවන් තීරණයක් ගෙන තිබුණේ නුලාරාගේ පහසුව පිණිසය. ඇය වසර ගණනක් තිස්සේ පුද්ගලික රෝහලක හෙද සේවයේ නියුතු වූ කාන්තාවකි. 

චාරුක දුරකථන සංවාදයක වූ බව නයනා වටහා ගත්තේ අවසන් පඩි කිහිපය නගිද්දීය. ඒ උස් කටහඬ ඇසුණේ සඳැල්ල දෙසින්ය. 

“මං දන්නෑ බං මං මන්දස්මිට කොහොම මේ කාරණය ගැන කතා කරන්නද කියලා…?”

මන්දස්මිගේ නම ඇසුණු සැණින් නයනාගේ දෙපා නතර වූයේ සඳැල්ලත් විසිත්ත කාමරයත් යා කරන වීදුරු දොර අබියසය. එය අඩවල් කර තිබිණ. 

“නුලාරගේ හිතේ තියෙන්නේ බයක් බං. මේ ෆිල්ම් එක ගැන හරි හැටි නොදන්න කෙනෙකුට එහෙම බයක් ඇතිවෙන්න පුළුවන්. එයා දිගින් දිගටම කිව්වේ අපි දෙන්න අතරට තව කෙනෙක්ට එන්න බෑ කියලා. මං හිතුවේ නැහැ ආපහු එයා ඒ ඉල්ලීම මගෙන් කරයි කියලා. හැබැයි මේ වෙලාවේ එයා කරපු ඉල්ලීම මට ඇහුනෙ නෑ වගේ ඉන්න බෑ බං. කොච්චර පාඩු උනත්, ඒක අපිට කොච්චර බ්ලැක් මාක් එකක් උනත් මන්දස්මිව මේ තැනින් අයින් කරන්න මට සිද්ධ වෙනවා බං.”

චාරුකගේ කටහඬ අන් කවරදාටත් වඩා නිවී ගිය එකක් වී තිබිණ. 

“මටත් තියෙන්නෙ අන්න ඒ ප්‍රශ්නෙම තමයි. මචං මන්දස්මිගේ කිසිම වරදක් නැත්තම් එයා එයාට බාර දීලා තියෙන ඩියුටි එකත් හරියට කරනවනම් මට තේරෙන්නේ නෑ බං මං මොකක්ද එයාට කියන රීසන් එක කියලා.”

සමහර විට ඔහු මේ කතා කරනවා ඇත්තේ තේජනට විය යුතුය. නයනා වඩාත් හොඳින් කන් දෙමින් සිටියාය. 

“නෑ බං එතන තියෙන්නේ විශ්වාසය අවිශ්වාසය අතර ප්‍රශ්නයක් නෙමෙයි. එයාට තියෙන්නේ බයක්. මං හිතන්නේ නෑ මට මොනම විදිහකටවත් හේතු පැහැදිලි කරලා ඒ බය එයාගේ හිතෙන් නැති කරන්න පුළුවන් වෙයි කියලා. උඹ කියන්නෙ වෙනදා වගේ ඊයේ මුළු රෑම මට තුරුල් වෙලා හිටියා. එයාට නිදාගන්න දීලා මම බෙඩ් එකට  හේත්තු වෙලා ඔළුව අත ගගා හිටියේ. එයා එහෙම කළේ මන්දස්මිව අයින් කරන්න කියලා කිව්වහම මං ඔළුව වනලා ඒකට ඇග්‍රි වෙච්ච හින්දා. අපි තුන්දෙනා සතුටින් මේ ගමන යන්නනම් බබා හරි උනත් වැරදි වුනත් මට එයාගේ මේ ඉල්ලීමට කන් දෙන්න වෙනවා.”

යළිත් ඇති වූයේ නිහඬතාවයකි. 

“උඹ කියන්නේ අපි එහෙම කතා කරමු කියලද..ඔව් සමහරවිට කිසිම හේතුවක් දක්වන්නේ නැතුව අපි එයාට යන්න කියනවට වඩා ඒක හොඳ වෙයි කියලා මට හිතෙනවා. මචං මන්දස්මි අපි එළියෙන් දකින කැරැක්ටර් එක නෙමෙයි. උඹත් දැන් අවුරුදු ගානක් ඒ කෙල්ල එක්ක වැඩ කරලා තියෙනවා. මචං එයා එඩියුකේටඩ්. ඒ නිසාම හොඳ තේරුම් ගැනීමේ ශක්තියක් එයාට තියෙනවා. මම මන්දස්මිත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු නමයකට වැඩී බං. සමහර අවස්ථාවල අපිට ප්‍රශ්න ආවා. මචං මුල් කාලේ මීඩියා කාරයෝ අපි දෙන්නව කසාද බැන්ඳෙව්වෙ නැති ටික විතරයි. මම කලබල වෙච්ච වෙලාවටත් මන්දස්මි  තමයි මගේ හිත හැදුවේ. එයා කිව්වේ “චාරුක මේ හැමදේම ටික කාලයයි..”කියලා. එහෙමනම් උඹයි මමයි දෙන්නම එයා එක්ක කතා කරමු.”

අඩියක් පෙරට තබන්නට ගිය නයනා යළිත් නතර වූයේ තවමත් ඒ දුරකථන සංවාදය නිමා වී නොතිබුණු නිසාය. 

“ඔව්..අනිවාර්යෙන්ම එතනට ප්‍රශ්නයක් වෙනවා. මචං ඒ ආටිස්ලා හැන්ඩ්ල් කරන තැනදි මන්දස්මි උඹට, මට, අමායට තුන්දෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා බං. හැමදේටම වඩා මන්දස්මි එක්ක වැඩ කරන එක මාර පහසුවක්.  ඊළඟට අපිට කල්පනා කරන්න වෙන්නේ මන්දස්මිගේ තැනට කවුද අපි ගන්නේ කියලා. බිස්නස් වලදි බං සමහර වෙලාවට ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි අතර පොඩි වෙනසක් තියෙනවා. අමාය උනත් අද ඔය ඉන්න තැන උඹ හිටියනං ඒක ඒ තරම් සාර්ථක නොවෙන්න තිබ්බා බං. සමහර වෙලාවට බබා හිතන මේ විදිහත් එක්ක මට ඉස්සරහට බිස්නස් වලදී පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ හැම දේකටම වඩා මට මගේ ෆැමිලි එක මට වටිනවා බං. පහුගිය දවස්වල බබාගේ මූ⁣ණෙ හිනාවක් නෑ ඇස් දෙකේ කිසි සතුටක් නෑ මං හිටියේ පිච්චි පිච්චි…එයා මට ලොකු සතුටක් ගෙනත් දීලා මගෙන් ඉල්ලපු එකම ඉල්ලීම තමයි මේ. එනිවේ මචං උඹ වැඩ ටික බලපන්කෝ…”

චාරුක දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. සියල්ල පැහැදිලි වූ නයනා ඉදිරියට අඩියක් දෙකක් තැබුවේ පෙර දිනවලටත්  වඩා වැඩි සැකයක් සාංකාවක් සිතෙහි තබා ගෙනය..

(හෙටත් හමුවෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here