මලක් වී යළි පිපෙන්නම් – 41

0
109

සංකල්පනී යළි රෝහලට පැමිණියේ පසුදා දහවලේය. චාරුක නුලාරා හා රැඳී සිට  එවේලෙහි නික්ම ගියේ වෛද්‍යවරයා හමුවන්නටය. 

“මං ඒක කළා…”

අපහසුවෙන් කෙඳිරියක් නගා මඳක් උඩට ඉස්සුණු නුලාරා පැවසූයේ සිනහ මුසුවය. 

“ඒක කලා කිව්වේ…”

“මං දැනගත්තා මේ වෙලාවේ චාරුක මං ඉල්ලන ඕනම දෙයක් මට දෙනවා කියල. ඉතින් මං කිව්වා මන්දස්මිව අයින් කරන්න කියලා”

“ඉතින්”

“ඉතින්… එයා ඒකට එකඟ වුණා.”

“මං ධනුකගෙන් ටිකක් අහලා බැලුවා නුලාරා. මන්දස්මි කියන්නේ අවශ්‍ය වෙලාවට ඇවිල්ල යන කෙනෙක් විතරනේ. එහෙම සම්බන්ධකමක් නැතුව ඇති. නිකරුණේ සැක කරන්න ගිහිල්ලා පව් පිරෙයිද මන්දා.”

“දැන් වෙලා ඉවරයි. ආපහු ඔය ගෑනු කෙනා චාරුක ළඟට එනවනේ කියලා හිත හිත වද වෙන්නයි හිත රිද්දගන්නයි මට බෑ.”

චාරුක යළිත් පැමිණ රෝහල් කාමරයට එබුණේ එවේලෙහිය. 

“එන්න චාරුක…” යැයි පැවසූ සංකල්පනී මදක් පසුපසට වූයේ ඔහුට ඉඩ දෙමින්ය. 

“තව ටිකකින් ඩොක්ටර් ඇවිල්ලා ඩිස්චාර්ජ් කරයි. බබා මං අම්මිට එන්න කියලා කියන්නද?”

“හා ඒක හොඳයි. මට තාම එයාව හරියකට අල්ලලන්න බයයි. එයාට රිදෙයිද කියලා හිතෙනවා”

නුලාරා එවර පැවසූයේ සිනහ මුසුවය.

චාරුක නුලාරා හා රැඳී සිටි නිසා සිතාරා නිවසට ගියේ මින් ටික වේලාවකට පෙරය. චාරුක යළිත් ඇමතුමක් ලබාදී ඇයට පැමිණෙන්නයැයි පැවසීය. 

දරුවා සිටියේ මඳක් එහාට වන්නට තබා තිබූ කුඩා ළදරු තොටිල්ලේය. ඔහු අසලින් ඈත් වෙන්නට තරම් සිතක් සංකල්පනීට  වූයේ නැත. ඈ හෙමින් සීරුවේ ඒ රෝස පැහැ ඇතැඟිල්ලක්  අල්ලා ගත්තාය. චාරුකගේ මුහුණුවරත් නුලාරාගේ සුදු පැහැයත් දරාගෙන උපන් කුඩා පුතු වයසින් වැඩෙත්ම සුන්දර දරුවෙකු වෙනු නොඅනුමානය. 

                                         *************

ඇඳෙහි ඒ මේ අත පෙරලමින් උන් ධනුක කොට්ටය ඇඳ ඉහපත්තට තබාගෙන ඊට හේත්තු  වූයේ සංකල්පනී නික්ම ගොස් විනාඩි කිහිපයක් ගත වූවාට පසුවය. ඊයේ රාත්‍රියේ ඇනෙක්සියට පැමිණියේ කීයටදැයි මතකයක් ඔහුට නොවේ. හදිසියේ යමක් සිහි වූ ධනුක ඇඳෙන් බැසගොස් තම කලිසම් සාක්කුවෙහි වූ චෙක්පත ඉන් පිටතට ගත්තේය. ලක්ෂ පහක් යනුවෙන් සටහන් වූ ඉලක්කම් පේළිය මත  තම දෑඟිලි ගෙන ගියේ ඉන්පසුවය. ‘මගේ යාළුවෙක් උඹව හම්බවෙන්න බලාගෙන ඉන්නවා….’ සංගීත කණ්ඩායමේ මිතුරා එසේ පවසද්දී ඒ කවුරුන්දැයි ධනුක ඇසුවේ පුදුමයෙන්ය. එහෙත් ඔහු කිසිවක් නොකිව්වේ ‘හම්බවෙලාම බලමු…’ යනුවෙන් පවසමින්ය. අවසන ඊයේ රාත්‍රියෙහි පැවැත්වූ කුඩා සාදයට ධනුකත් ඒ මිතුරාත්  සංගීත කණ්ඩායමේ මිතුරා වූ ජාලියත් එක්ව සිටියේය. 

“කෙටියෙන්ම කියන්නම්කෝ මට ඕනේ වර්ණ ඇඩ්වර්ටයිසින් එක බින්දුවටම වට්ටන්න.”

ඇති පදම් මත්වද්දී ආගන්තුක මිතුරා පැවසූයේ ඒ අයුරින්ය. වයස අවුරුදු හැටකට පමණ  ආසන්න වූ ඔහු විස්කි බෝතලයක් සඳහාත් කට ගැස්ම සඳහාත් වියදම් කළේ නොමසුරුවය. 

“ධනුකට තියෙන්නේ මං කියන විදිහට වැඩ කරන්න. ඒකට මම හොඳට ගෙවනවා. ඒ ගැන කිසිම සැකයක් හිතේ තියාගන්න එපා.”

“ඔව් මචං  ධනුක. මේ සේරසිංහ මහත්තයා කියලා කියන්නේ හොඳ සල්ලි කාරයෙක්. ඒ වගේම තමයි හරි හිත හොඳ මනුස්සයෙක්.  උඹව බලාගන්නව කියල කිව්වනං අනිවාර්යෙන්ම සේරසිංහ මහත්තයා උඹව බලා ගන්නවා..එහෙම මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ බං.”

ජාලිය පැවසූයේ ඒ  මත් බව සමගමය. 

“මොකක්ද සෙරසිංහ මහත්තයාගේ වර්ණ එකත් එක්ක තියෙන ප්‍රශ්නේ.

“ඒක හරි දිග කතාවක් ඉලන්දාරියා මෙහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. අහම්බෙන් තමයි මං දැනගත්තේ ධනුක එතන රස්සාව කරනවා කියලා. ධනුක හිතාගන්නකො මගේ ජීවිතේ මං කැමතිම දෙයක් ඔය රඹුක්වැල්ලගේ මහ එකා හොරකම් කරා කියලා. ජීවිතයේ හැමදාම දෙවියෝ මට අසාධාරණයක් කරන්නේ නෑ කියලා මං විශ්වාස කළා. මේ අවස්ථාව මට දෙවියෝ දුන්නේ අන්න ඒ නිසා. ධනුක බයවෙන්න එපා. මේ කේස් එක කොතනදි කොහොම පත්තු උනත් ධනුකට මං ගාව රස්සාව තියෙනවා. තමුසෙ මට කියනවා ඔතනින් කීයක් හම්බවෙනවද කියලා.”

“එකකට කිට්ටුවෙන්න ගන්නවා. සමහර දවස් වලට එක පනිනවා.”

“තමුසෙට මං ඒ වගේ දෙගුණයක් දෙන්නම්. මාසෙට. රඹුක්වැල්ල දෙන්නේ ලක්ෂයයිනම් මට ලක්ෂ දෙකක් දෙන්න පුළුවන්.”

“මොනවද සේරසිංහ මහත්තයා මට කරන්න තියෙන්නේ.”

“ලොකු දෙයක් නෑ. තමුසෙට තියෙන්නේ වර්ණ එකේ මොනවද කරන්නේ? මොනවද වෙන්නේ කියලා මට කියන එක. ඉදල හිටලා තමුසෙට ඔය ඩොකියුමන්ට් එකක් දෙකක් පන්නලා මට ගෙනත් දෙන්න වෙයි. ගේම ගහන්නේ මම. ඒකට ඕනේ මොළේ ලොකු කාලයක් යන්නේ නෑ. මාස දෙක තුනක් ඇතුළත වර්ණ බින්දුවටම බස්සලා මං පෙන්නනවා.”

“තමුසේ මේක ඇඩ්වාන්ස් එකක් විදිහට තියා ගන්නවා…”

අදම බැංකුවෙන් මාරු කර ගත හැකි චෙක් පත ඔහු  ධනුක වෙත දිගු කළේ ලක්ෂ පහක මුදලක් සටහන් කරමින්ය. ඒ යෝජනාවෙහි ඇති වරදක් නැතැයි ධනුකට සිතුනේත් එනිසාය. 

“ඉලන්දාරියා මොකද කියන්නේ මගේ යෝජනාවට. මේක නිකං ඉඳගෙන සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩක්”

“මචං සේරසිංහ මහත්තයා කියන විදිහට උඹට එතන පඩියයි මෙතන පඩියයි දෙකම ගන්න පුළුවන්. උඹ  මේ වගේ දෙයක් කරනවා කියලා එතන කවුරුවත් දන්නෙ නෑනේ.”

ධනුකට ඒ බවක් සිහිවූයේ ජාලිය එසේ පැවසුවාට පසුවය. එතෙක් ඔහු උන්නේ චෙක් පතෙහි සටහන්ව තිබූ මුදල දෙස බලාගෙනය. 

“සේරසිංහ මහත්තයා මේක හිරේ යන වැඩක් නෙමෙයිනේ..”

“ඒක ඉතිං තීරණය කරන්න ඕනේ තමුසේ. මං බාර දෙන වැඩේ කාටවත් නොදැනෙන්න සූක්ෂමව කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ තමුසෙට. ඒක නාගෙන හත් පොලේ ගාගෙන එතනින් එවුන් දැනගත්තොත් එහෙම එකක් වෙන්නත් පුළුවන්.”

චෙක් පත දෝතින් ලබා ගත්තාට තමා ඒ වැඩයට කැමති අකමැති බවක් ධනුක හරිහැටි ඔහු ඉදිරියේ ප්‍රකාශ නොකළේය. නෙස්ටමෝල්ට්  කෝප්පයක් සාදා ගෙන  යළි යහනට පැමිණි  ඔහු සේරසිංහට කතා කරමියැයි සිතා ඔහු දුන් දුරකථන අංක සඳහන් කාර්ඩ් පත අතට ගත්තේය. මිනිසුන්ට ජීවත් වීමට අවැසි  මුදල්ය. කොහොමටත් සංකල්පනී මේ ජීවිතයෙන් අතු ගා දැමූ පසුව චාරුකළා සමඟ වන සම්බන්ධකම් අත්හැර දැමිය යුතුය. මේ ජීවිතයේ අතරමගදී හමුවූ චාරුකගෙන්වත්, සංකල්පනීගෙන්වත් සේරසිංහගෙන්වත්  ඔහුට වැඩක් වූයේ නැත. ඒ වෙනුවට ඔහුට අවැසි වූයේ අතට දැනෙන්නට මුදලක් උපයාගෙන ගොස් දේවිකා හා අලුත් ජීවිතයක් අරඹන්නටය. 

අවසන සේරසිංහට කතා කරමින් ඔහු එකඟ වූයේ ඒ කැමැත්තට වැඩ කරන්නටය. 

                                      **********

කුඩා පුතුණුවන් නිවසට කැඳවාගෙන ආවේ සවසය. සංකල්පනීටත් ඒ ගමන සඳහා එක්වන්න යැයි බල කළේ නුලාරාය. 

“ඔව් සංකල්පනීට  ප්‍රශ්නයක් නැත්නම් අපිත් එක්ක ගෙදර යමු.”

චාරුක එසේ පැවසූයේ ඔහුට හුරු පුරුදු සිනහව මුහුණේ තබාගෙනය. 

චාරුකගේ මවත් පියාත් නූලාරාට වටිනා රන්මාලයක් තෑගි ලෙස  ලබා දුන්නේ නිවසට පා තබද්දීය. 

“අම්මා කෙනෙකුට පුතෙක් කියලා කියන්නේ මහ මෙරක්, පුතෙක් කියන්නේ ඇතෙක  කියලා කීමට කියන්නේ ඒ අර්ථය ඇතුව පුතේ. අම්මලා තාත්තලා එහෙම පුත්තු හදලා ගෑනු  දරුවෙකුට බාර දීලා ඈතට වෙන්නේ ඒ දරුවන්ගේ සතුට දිහා බලල සතුටු වෙන්න හිතාගෙන. මේ ගෙදර කොච්චර ලොකු උනත් කොච්චර සැප පහසුකම් තිබුණත් අතට පයට වැඩකාරයෝ හිටියත් කොච්චර සල්ලි මේ ගෙදරට ගලාගෙන ආවත් ඒවයින් වැඩක් වෙන්නෙ නෑ ඔයාලා දෙන්න සතුටින් නැත්නම්. පුතේ ඔයා මනමාලියෙක් වෙලා මේ ගෙදරට අඩිය තියපු දවසේ වගේම අද මේ චූටි දරු පැටියත් අරගෙන මේ ගෙදරට අඩිය තියපු දවසත් අපිට විශේෂයි. මොකද මේ දරුවා අපේ පරම්පරාව, රඹුක්වැල්ල කියන නම ඉස්සරහට ගෙනියාවි. හැමදාම සතුටින් ඉන්න පුතේ. මගේ පුතාට මං කොයි තරම් ආදරේ කරනවද ඒ තරමටම මං ඔයාට ආදරෙයි දුව.”

ඇය එසේ පැවසූයේ ආදරයෙන්ය. චාරුකගේ තාත්තාත් නුලාරාව පිළිගත්තේ සිප වැළඳගෙනය. මේ රඹුක්වැල්ල  නිවසට සුවිශේෂී දවසක් බව විශ්වාසය. නුලාරාගේ මවත් පියාත් මදක් පසෙකට වී සිටියේ සිනහමුසුවය. ඇයට අද මේ නිවසින් ලැබුනේ විසල් ගෞරවයකි.

සංකල්පනී මේ සියල්ල දෙස බලා සිටියේ දෑස් මත කඳුළක් තබාගෙනය. සිතෙහි ඉරිසියාවක්, කහටක් නොවූවත් තමාට මෙවන් ජීවිතයක් ලැබෙන්නේ කවදාදැයි ඕ සිතුවාය. ධනුකට ජීවිතය පිළිවෙලක් කර  ගන්නට වුවමනාවක් නැතැයි ඇයට සිතුනේ ඊයේ පෙරේදාය. තමාත් කුඩා කිරි කැටියෙකු දෝතින් දරාගෙන ඔහුගේ ගමට යන අයුරු සංකල්පනීට මැවී පෙනෙන්නට විය. ධනුකගේ මවත් මේ ආකාරයෙන්ම තමා පිළිගනීයැයි  ඈ විශ්වාස කළාය. 

චාරුකත් නුලාරාත් දරුවා වෙනුවෙන්ම විශේෂයෙන්ම සකස් කළ කාමරයට යද්දී සංකල්පනී අසුන් ගත්තේ ආලින්දයේ වූ සුව පහසු පුටුවකය. 

“මේ දරුවා අපේ දුවට ගොඩාක් උදව් කළා කියලා මට සෝම කිව්වා. ඒ හැම දේකටම බොහොම ස්තුතියි…”

නයනා එවේලෙහි සංකල්පනී අතරට පැමිණ පැවසූයේ ඇගේ උරහිසකිනුත් අල්ලා ගෙනය. 

“අනේ ඒක මොකක්ද ආන්ටි. මම ජොබ් එකක් කරන කෙනෙක් නෙමෙයි. නුලාරට  දවල්ට පාළු හින්දා මම ගොඩක් වෙලාවට ඇවිල්ලා එයා  එක්ක කාලෙ ගත කළා. චාරුකත් පස්සේ මට කතා කරලම කිව්වා ඉඩක් තියෙන වෙලාවට ඇවිල්ලා නුලාරා  එක්ක ඉන්න කියලා.”

“ඒක කොච්චර දෙයක්ද දරුවෝ හැම කෙනෙකුටම කරන්න පුළුවන් දේකුත් නෙමෙයිනේ. මේ දරුවාගේ හස්බන්ඩ් මොකද කරන්නේ?.”

“ඉස්සර නං එයා මියුසික් බෑන්ඩ් එකක සිංග් කළා. දැන් නං චාරුකලාගේ ඔෆිස් එකේම තමයි වැඩ කරන්නේ.”

“එතකොට ඉන්නේ…”

“මේ ළඟ. දැනටනං අපි ඉන්නෙ රෙන්ට් එකට. හස්බන්ඩ්ගේ  ගම නුවර. එහේ පදිංචියට යනවද   දිගටම මෙහේ ඉන්නවද කියලා තවම තීරණය කළේ නෑ.”

“කොහොමත් ඉතින් දැන් හස්බන්ඩ්ගේ  රස්සාවත් එක්ක දුරකට යන්නත් බැහැනේ.” 

“ඒක තමයි.”

මේ මහා මන්දිරයේ මිනිසුන් සුහදශීලී මිනිසුන්යැයි සංකල්පනීට  සිතුනේ  ඇය හා විනාඩි කිහිපයක් කතා කරමින් සිටියාට පසුවය. 

(හෙටත් හමවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here