යළිත් රඹුක්වැල්ල නිවසට උදා වී තිබුනේ සුභ දවස්ය. දරුවා බලා ගන්නට විශේෂයෙන්ම කැඳවාගෙන ආ හෙදිය දක්ෂ කාර්ය ශූර මෙන්ම හිතවත් අයෙකු වූවාය.
දරුවාට නම් තැබුණේ සියල්ලන්ගේම කැමැත්තෙන්ය. චමත් රඹුක්වැල්ලගේ හඳහන පරීක්ෂා කෙරුණේ සිතාරාගේ උවමනාවටය.ඒ කලක් ඇය සමඟ පිළියන්දල බැංකු ශාඛාවේ සේවය කළ මිතුරෙකුගෙන්ය. විශ්‍රාම සුවය ලැබූ ඔහු දැන් නක්ෂාත්‍ර වැඩ කටයුතුවල නිරත වන්නේ ඒ එදා සිටම ඔහුගේ කැමැත්ත වී තිබූ නිසාය.
“මේ දරුවාගේ අම්මගේ තාත්තගේ තුන්දෙනාගෙම හදහන් අරගෙන වෙලාවක එමුකෝ නෝනා මගේ ළඟට…”
ඔහු පැවසූයේ හඳහන යළිත් සිතාරා අතට ලබා දෙමින්ය.
එහෙත් ඔහුගේ මුහුණ හොඳ නැතැයි සිතාරාට සිතිණ. දරුවාගේ ග්‍රහ අපල පරීක්ෂා කරන්න යැයි ඉල්ලා සිටියත් ඔහු පැවසූයේ මේ ඊට වෙලාව නොවන බවය. සිතාරා එතැනින් නික්මුනේ හිත මත බරක් තබාගෙනය.
සිතාරා නයනා සේම පුතුණුවන් වෙනුවෙන්ම කැඳවාගෙන ආ සේවිකාවත් නිවසේ සිටි නිසා නුලාරාට කරන්නට තරම් දෙයක් වූයේ නැත. චාරුකත් යළි කාර්යාලයට ගියේ දින දෙක තුනකට පසුවය.
“දැන් උඹ මන්දස්මි එක්ක මේ ප්‍රශ්නේ ගැන කතාරනවද..?”
තේජන එසේ ඇසුවේ තම මිතුරා ඉදිරිපසින් ඉඳගන්නා ගමන්ය.
“කතා කරන්න වෙනවනේ බං.”
“අනේ මන්දා ඒ කරන දේ තේරුමක් ඇති කියලා මං හිතන්නෙ නෑ. ඒක නෙමෙයි බං කෙරෙන්න ඕනේ නුලාරාගේ හිත වෙනස් කරන එක.”
“ඊට වඩා මේක ලේසියි බං.”
“මම හිතුවේ නෑ නුලාරා නංගි එහෙම වෙයි කියලා. මචං මේක උඹේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක්”
චාරුක දිගු සුසුමක් මුදා හැරියේ මිතුරාට පිළිතුරක් නොදෙමින්ය.
“ඔයා මට දීපු මේ ලස්සන ජීවිතේ ආපහු මගෙන් උදුර ගන්න එපා.”
අද උදෑසනත් ඇය එසේ පැවසූයේ චාරුක කාර්යාලයට ඒමට සූදානම් වද්දීය. තමාගේ වෘත්තීය ජීවිතය තුළ මේසා ගැටලුකාරී අවස්ථාවක් මින් පෙර පැන නැගී නොතිබූ බව විශ්වාසය.
“කොහොම වුණත් බං කසාද බැඳපු මිනිහෙක් අන්තිමට උත්සාහ කරන්නේ තමන්ගේ පවුල් ජීවිතේ රැක ගන්න. උඹ මට හැමදේම ඒ ටූ ඉසෙඩ් නොකිව්වට පහුගිය කාලේ උඹ මාර විදිහට ටෙන්ෂන් වෙලා හිටියේ කියලා මම දන්නවා. එහෙම දිගටම ඉන්න බෑ බං. ඉවරයක් තියෙන්න ඕනේ තමයි.”
“බබා පහුගිය කාලේ හැසිරුණේ මට මේ හැමදේම එපා කරවන විදිහට. මං එයාට දන්න හැම භාෂාවකින්ම කියන්න උත්සාහ කළා බං ඒක එයාගේ හිතේ මැවිච්ච දෙයක් විතරයි කියලා. පැමිණ ලයිෆ් එක ඇතුලට සැකය ආවහම හරි අමාරුයි බං.”
මට තේරෙනවා උඹ කියන දේ..
“මොන පැත්තකින් බැලුවත් මන්දස්මිව මෙතනින් අයින් කරනවා කියලා කියන්නේ ඒක අපිට හොඳ නෑ බං. ඒ ඩැමේජ් එක හදාගන්න ලේසි නෑ. හැබැයි ඉතින් ඊට එහා ගිය තීරණයක් ගන්නත් බෑ. උඹ මන්දස්මිට කතා කරල කියපන් මට හෙට එයාව මීට වෙන්න ඕනෙ කියලා.”
චාරුක පැවසූයේ අවසන් තීරණය ගත්තා සේ පැහැදිලිවය. ඒ තීරණය හරි වුවත් වැරදි වුවත් එය වෙනස් කරන්නට හෝ හරි වැරදි පෙන්වා දෙන්නට තේජන ඉක්මන් වූයේ නැත. ඇයව මේ ව්‍යාපෘතියෙන් ඉවත් කිරීම මගින් සිදුවන පාඩුවත් ඉන් ලැබෙන නරක නාමයත් එසේ මෙසේ එකක් නොවන බව දැන සිටියත් චාරුක මෙවේලෙහි තමාගේ තීරණය වෙනස් නොකරන බව තේජන දනී. අමායානං මේ තීරණයට කොහොමටවත් කැමති වූයේ නැත.
“මෙතන ඉන්න සේවකයෝ අයින් කරන එක නෙමෙයි තේජන කරන්න ඕනේ. චාරුක තමන්ගේ පැමිණි ලයිෆ් එක බැලන්ස් කරගන්න උත්සහ කරන එක.”
ඇය පැවසූයේ ඊයෙ මේ ගැන කතා කරද්දීය. යෙහෙළියක සේ චාරුකත් තමාත් හා සමීප වූ ඇයගෙන් මේ ප්‍රශ්නය සඟවාගෙන සිටිය හැකි කමක් තේජනට වූයේ නැත. සිදුවිය යුත්තේත් එයයි. එහෙත් එසේ පවසා මිතුරා රිදවන්නට තරම් සිතක් මේ වේලෙහි තේජනට නොවූව්ය.
***********
ධනුක ඇනෙක්සියෙන් පිටවූයේ සංකල්පනී ගැන කෝපයෙන්ය. ඇය දිගින් දිගටම නුලාරාගේත් චාරුකගේත් දරුවා ගැන කියවීම ඔහුට වදයක් වී තිබිණ. ඇය මේ උත්සාහ කරන්නේ තමාගේ සිතැඟි වෙනස් කිරීමට බව ධනුක දැන උන්නේය. එදා ඒ රූපයට, කතා විලාසයට සේම හැසිරීමට මේ සිතෙහි කැමැත්තක් උපන් බව සැබෑය. දිගින් දිගටම දුරකථනයෙන් ඇය හා පණිවිඩ හුවමාරු කර ගත්තේත් අවස්ථාවක් ලද විටෙක හමු වූයේත් පාලනය කර ගත නොහැකි කොලු සිතට අවනතවය. ඒ සෑම අවස්ථාවකම සංකල්පනී තමාට වඩා ඉස්සර වූ බව ධනුක දැන සිටියේය. ඇයත් සමග නිදහසේ හැසිරෙන්නට ඒ ලැබුණු අවස්ථාව ඔහු මගහැර ගත්තේ නැත.
“මම රන්දිකව දාලා ඔයා ළඟට එනවා..”ඈ එක් දිනක් එසේ පැවසූයේ ධනුකගේ දෑස් විමතියෙන් විසල් කරමින්ය.
“මට ඕනේ ඔයා එක්ක ඔයාගේ ලඟට වෙලා සතුටින් ජීවත් වෙන්න විතරයි.”
ඇය ඔහුගේ තුරුලෙහි සිටිමින් එසේ පැවසූයේ ධනුක යමක් පවසන්නට ප්‍රථමය. කොහොමටත් කුලී කාමරවල ජීවත් වූ තමාට අමුතුවෙන් ඇය වෙනුවෙන් කරන්නට තරම් දෙයක් වූයේ නැත. එදා අනාගතය ගැන නොසිතාගත් ඒ තීරණය පිළිබඳව අද ධනුක සිටින්නේ පසුතැවීමෙන්ය. දැන් ඔහුට අවැසි වී ඇත්තේ සංකල්පනී තම ජීවිතයෙන් පලවා හරින්නටය. මුලින් සිතා සිටියේ දේවිකාව විවාහ කරගෙන සුපුරුදු ලෙසම ඇය ගමේ සිටියදී ඔහු සංකල්පනී හා ජීවත් වන්නටය. එහෙත් දැන් දැන් සංකල්පනීගේ මේ කියවිල්ලත්, බලපෑමත් ඔහුගේ සිතට වදයක් වී ඇත. දැන් ඇයට උවමනා වී ඇත්තේ ඉක්මනින් විවාහ වී දරුවෙකු හදන්නටය.
ඔහුට බොහෝ දුරක් යන්නට ඉඩක් ලැබුණේ නැත සිය ජංගම දුරකථනය නාද වූ හෙයින් ධනුක මදක් පාර අයිනට කර යතුරුපැදිය නතර කළේය.
“සේරසිංහ මහත්තයා…”
“ඔන්න මං ධනුකට පළවෙනි රාජකාරිය පවරන්න යන්නේ”
“කියන්න සේරසිංහ මහත්තයා…”
“තමුසේ ටිකක් ලඟින් ඔය චාරුකවයි ඒ ෆැමිලි එකයි ආශ්‍රය කරනව කිව්වා නේද?”
“මම නෙමෙයි..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්…”
“හරි තමුසෙ උනහම මොකද ගර්ල් ෆ්‍රෙන්ඩ් උනහම මොකද..අපිට ඔය මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එකක් හොයාගන්න විදිහක් නැද්ද. මං කියන්නේ මේ දවස් වල ඔය ගෙසිප් වලට මාර තැනක් තියෙනවද..”
“සේරසිංහ මහත්තයා කියන දේ මට තේරෙන්නේ නෑ.”
“මේ දවස්වල රඹුක්වැල්ලයි උගේ ගෑනිත් ලංකාවට ඇවිල්ලා කියලා මට ආරංචියි…”
“ඇවිල්ලා.. මොකද චාරුක රඹුක්වැල්ලගේ වයිෆ්ට බබා හම්බවුණානේ සේරිසිංහ මහත්තයා.”
“හරි තමුසෙ පොඩ්ඩක් බලනවා අපිට උන්ට මඩ ගහන්න පුළුවන් තැනක් ගැන. කොතැනකින් හරි මේක පටන් ගන්න ඕනේ අයිසේ. අවුරුදු ගානක්ම මං නිහඬව හිටියා. ඒක නිකම්ම නිකං ගොසිප් එකක් වෙන්න බෑ. ඇඬෙන්න දෙන එකක් වෙන්න ඕනේ.”
“මං ඉක්මනටම බලලා කියන්නම්..”
ධනුක යළිත් යතුරුපැදිය පණ ගන්වා ගත්තේ දුරකථනය විසන්ධි කලාට පසුවය. ‘සල්ලිකාරයන්ට ඇත්තේ පුදුම ප්‍රශ්න’යැයි ඔහුට සිතුනේ කාර්යාලය වෙත යන අතරේය.
************
නුලාරා යළිත් සාමාන්‍ය ජීවිතයට හුරු වෙමින් සිටියාය. යා යුතු ගමන් කිහිපයක්ම වූ නිසා නයනාත් සැමියාත් නිවසින් පිටව ගොස් සිටියහ. ආපසු මේ නිවසට සතුට ලැබුණායැයි සෝමා පවා සිටියේ සතුටින්ය. සිතාරා තවමත් දියණිය හා රැඳී සිටියාය. ඒ අතරේ දවසකට දෙකකට වරක් ගොස් සැමියාගේ කෑම බීම ගැන සොයා බැලුවාය.
“මට ආයේ ජීවත් වෙනවා වගේ දැනෙනවා…”
නුලාරා සංකල්පනී හා පැවසූයේ ඇය එහි ගිය උදෑසනකය. නයනා රඹුක්වැල්ල සිටි නිසා නිතර රඹුක්වැල්ල නිවසට යාමට ඇයට සිත් දුන්නේ නැත. එහෙත් කුඩා දරුවා සිහිවද්දී ඇනෙක්සියේ සිටින්නට තරම් සිතක් වූයේ ද නැත. බොරු හේතුවක් මවාගෙන හෝ ඇය දරුවා බලන්නට ගියේ එනිසාය.
“ඇයි එහෙම කියන්නේ…..”
“පහුගිය කාලෙ මං හිටියේ ඇවිදින මළ කඳක් ගානට. චාරුක මගේ විතරක් නෙවෙයි කියලා දැනෙන හැම වතාවකම මං පිච්චුනා.”
“ඔය මනස්ගාත අමතක කරලා සතුටින් ඉන්න මේ චූටි පැටියගෙ හිනාව දිහා බැලුවට පස්සේ ආයේ වෙන මොනවද ඕනේ.”
“මං ඔයාගෙන් අහන්නමයි හිටියේ සංකල්පි පහුගිය දවස්වල ඔයාගේ මූණ නිකං අමුතු වෙලා තිබුණේ. මොකක් හරි ප්‍රශ්නෙකද?”
“ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒත් මගේ හිතත් හරියට රිදිලා තියෙන්නේ.”
“ඇයි එහෙම කියන්නේ…”
“අපේ ප්‍රශ්න දැන් ගොඩක් විසඳිලානේ නුලාරා”
“අපේ ප්‍රශ්න කිව්වේ..”
“මං ඔයාටත් හංගපු සමහර දේවල් තිබුණා. මම රන්දිකගෙන් අයින් වෙලා ධනුක ළඟට ආවට අපිට එහෙම සැප පහසුකම් එක්ක ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. අපි ජීවත්වෙන සම්පූර්ණ ඇනෙක්ස් එකම මේ කාමරේ තරං ඇති. අඩු ගානකට ඒක ගන්න පුළුවන් උන නිසයි අපි එහෙම හිරවෙලා ජීවත් වුණේ. ධනුකට හරි හමන් රස්සාවක් තිබුණේ නැහැනේ. සතුටින් නිදහසේ ඉන්න ඕන උනා මිසක්කා මට ඒවා ප්‍රශ්නයක් වුණෙත් නැහැ.”
“ඇයි ඉතින් මේ කිසි දෙයක් මට කිව්වෙ නැත්තේ.”
“එහෙම කියන්න හිතුනේ නෑ. ඒක දැනගත්තනම් සමහරවිට ඔයා උනත් හිතයි මං රන්දික දාලා ඇවිල්ල දුක් විඳිනවා කියලා. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. රන්දික ළඟ මම හිටියේ කූඩුවක හිරවෙච්ච කිරිල්ලියෙක් වගේ. ධනුක ළඟ මට ඕන නිදහස සතුට මේ හැමදේම තියෙනවා.”
“ඉතින්…”
“දැන් ධනුකට ජොබ් එකක් තියෙන හින්දා අපිට ලොකු ආර්ථික අපහසුකම් නෑ. මීට වඩා ඉඩකඩ තියෙන ගේකට යන්න පුළුවන්. නුලාරා මම රන්දිකට කතා කරලා ඩිවෝස් එකත් ඉල්ලුවා. එයා ඒකට එකඟ වුණා. මටත් දැන් ඕනේ කොතනකින් හරි ජීවිතේ පටන්ගෙන පිළිවෙලක් වෙන්න. ඒත් මට හිතෙනවා ධනුක ඒකට කැමති නෑ කියලා.”
“කැමති නෑ කියන්නේ…”
එයා තාම කැමතියි සැහැල්ලුවෙන් ඉන්න..
එතනින් එහාට යමක් පැවසීමට සංකල්පනීට නොහැකි වූයේ ‘මැඩම් බබාව නාවන්න පුළුවන්’ යනුවෙන් පවසමින් අලුත් සේවිකාව කාමරයට පැමිණි නිසාය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


