මලක් වී යළි පිපෙන්නම් – 43

0
588

රඹුක්වැල්ල නිවස කාර්යබහුල වී තිබිණ. සියල්ලන්ගේම අවධානය වූයේ අලුත උපන් බිළිඳා වෙතය. ධනුකත් සංකල්පනීත් දරුවා බලන්නට පැමිණියේ එක් සවසකය. එදින නයනා රඹුක්වැල්ල සේම ඇගේ සැමියා වූයේ නිවසින් පිටතට ගොස්ය. සංකල්පනී ධනුක කැදවාගෙන ඒමට ඒ වේලාවම තෝරා ගත්තේත් එනිසාය.

“කොහොමද ධනුක අයියේ”

නුලාරා  ඇසුවේ අමුත්තන් පිළිගැනීමේ කාමරය තුළ ඔවුන් අසුන් ගෙන සිටියදීය.

“හොඳයි නංගි ඉතින්…”

“කොහොමද වැඩ කටයුතු එහෙම මේ දවස්වල වැඩ වැඩි ඇති නේද?”

“එහෙමමත් නෑ ඉතින් ෂේප්..”

“ධනුක අයියේ තවමත් අර ගෑනි ඔෆිස් එකට යනවා එනවද…?”

“කවුද මන්දස්මිද…?”

“ඔව්..”

“මේ දවස් ටිකේ චාරුක වැඩිය ඔෆිස් එකේ රැඳුනෙ නෑනේ නංගි. වතාවක් දෙවතාවක් ඇවිල්ලා අමාය මිස් එක්කයි තේජන සර් එකයි කතා කරලා යනවා නම් දැක්කා.”

“ඒ කියන්නේ එක්කෝ චාරුක කියලා නෑ එයාට එන්න එපා කියලා එහෙම නැත්නම් එයා චාරුක කියන දේ අහල නෑ.”

“හැමදේටම කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑනේ නුලාරා  චාරුක ඔයාට පොරොන්දු වුණානේ.  ගහෙන් ගෙඩි එන්න  වගේ එක පාරටම කොහොමද මනුස්සයෙකුට කියන්නේ අපි ඔයාව මේ වැඩෙන් අයින් කළා කියලා. ඒක චාරුක ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට කරයි.”

එවර සංකල්පනී පැවසූයේ යෙහෙළියගේ  සිතුවිලි ගැන හොඳින්ම දැන උන් නිසාය.

සේරසිංහ මහතාත් චාරුකගේ පියාත් අතර ඇති තරහව කුමක්දැයි ධනුක සිතුවේ මේ විසල් නිවස දෙස බලමින්ය. හෝරාවකට ආසන්න කාලයක් ඔවුන් එහි රැඳී සිටියේය. සංකල්පනී නිතරම දරුවා බලන්නට පැමිණියත් මේ ඔවුන් දෙදෙනාම එක්ව චාරිත්‍රානුකූලව දරුවා බලන්නට පැමිණි ගමනකි. කිසිවක් ඔහුට අඩුවක් නොවූ නිසාම සංකල්පනී ළදරු භාණ්ඩ මිලදී ගත හැකි අලවි සැලකින් ‘ගිෆ්ට් වවුචර්’  එකක් රැගෙන ආවාය. එහෙත් නුලාරා එය පිළි ගත්තේ බොහෝ වාරයක් ප්‍රතික්ෂේප කලාට පසුවය.

                                  *************

“දැන් චාරුක මොකද කියන්නේ ? තේජන….මං කියන්නේ මන්දස්මි ගැන.”

අමායා ඇසුවේ ඔහු හා කෝපි කෝප්පයක් බොමින් ප්‍රසංගය ගැන කතා කරමින් උන් සවසකය. 

ඒ තීරණේ ඌටම ගන්න දීලා මං පොඩ්ඩක් අඩිය පිටිපස්සට තියාගෙන ඉන්නවා අමායා. හැබැයි ඌත් ඉන්නේ අවුලෙන් කියලා මට තේරෙනවා. මම නම් මේ තීරණයට කැමතිම නැහැ තේජන. 

චාරුක ඒ ගැන මමත් එක්ක කිසිම දෙයක් කතා කළේ නෑ. ඒක මට අදාල තීරණයකුත් නෙමෙයි. ඒ උනාට නුලාරා  කිව්වොත් හෙට දවසේ තවත් කවුරු හරි මෙතනින් අයින් කරන්න කියලා චාරුකට ඒකත් කරන්න සිද්ධ වෙනවා. සමහර විට ඒ ඔයා වෙන්නත් පුළුවන් මම වෙන්නත් පුළුවන්. බිස්නස් එකයි පෞද්ගලික ජීවිතයයි කියන්නේ දෙකක්.”

“එතන බැලන්ස් කරන්න පුළුවන්කමක් ඇත්තෙම නෑ.”

“ඒක තමයි අමාරුම දේ. හැබැයි ඒක කරන්නත් ඕනම දෙයක්. මං හිතන්නෙ නෑ චාරුක මේ ගන්න හදන ඩිශිෂන්  එකෙන් අපිට හොඳක් වෙයි කියලා.”

“ඔව් ඒකෙන් වෙන ඩැමේජ් එක හිතාගන්න බැරි තරම්. මන්දස්මි කියන්නේ කවදාවත් කාටවත් කරදරයක් නැති මනුස්සයෙක් බව ඇත්ත. ඒ උනාට  කිසිම හේතුවක් නැතුව තමන්ව තැනකින් රිජෙක්ට් වෙන එක එයාට දරාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. මොකද මේක එයාගේ වෘත්තීය ජීවිතයට ලොකු කැළලක්. අපි ඒ පැත්ත ගැනත් හිතන්න ඕනේ අමායා”

“අනිවාර්‍යයෙන්ම. මෙහෙම කොහොමද චාරුක නුලාරා  එක්ක තව ඉස්සරහට ජීවත් වෙන්නේ. තාරුකගේ ජොබ් එක ගැන එයා මීට වඩා ඕපන් මයින්ඩඩ් හිතන්න ඕනේ. මෙහෙම උනහම ජීවත් වෙන්නන අමාරුයි. චාරුක කියන්නේ මට පොඩි කාලේ ඉඳලම යාළුවෙක් එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපි අවුරුදු ගානක් තිස්සේ එකට වැඩ කරනවා. එතන උනත්  තියෙන්නේ විශ්වාසය නෙමෙයිද තේජන. මට නුලාරව තේරෙනවා. එක්කෝ එයා යමක් වෙන්න කලින් ඒ ගැන හිත හිතා දුක් විඳින කෙනෙක්. එහෙම නැත්තං වටේ පිටේ සිද්ධ වෙන හැම දෙයක්ම, ඇහෙන දකින හැම දෙයක්ම ඔලුවට දාගෙන කතාවක් මවාගන්න කෙනෙක්. මේ දෙකම  නෙමෙයිනම් අපි නොදන්න කවුරු හරි කෙනෙක් නුලාරාව වෙනස් කරවන්න උත්සාහ කරනවා”

“සමහර විට ආදරේ වැඩිකම, නැතිවෙයි කියන බය වෙන්න බැරිද?”

“පුළුවන් තේජන. එඩියුකේටඩ් මිනිස්සුන්ට හැඟීම් දැනීම් නෑ කියලා මං මේ කියනව නෙමෙයි. හැබැයි ඉතින් නුලාර වගේ උගත් ළමයෙක් මීට වඩා සංයමයකින් ලෝකය දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ තේජන. මේ හැට හැත්තෑවේ දශකය නෙමෙයි.”

අමායා  පැවසූ සියල්ල සත්‍ය වුවත් තේජන මිතුරාට විරුද්ධව හෝ පක්ෂව කිසිවක් පැවසූයේ නැත. පසුගිය දිනවල ඔහු උන්නේ ජීවිතයේ සියල්ල එපා වූ ගණනටය. යළිත් ඒ දෑස් වල සතුටක් දකින්නේ ඊයේ පෙරේදා සිටය. ඔහු කුඩා පුතණුවන් ගැන කතා කරන්නේ මහත් වූ ආඩම්බරයකින්ය. සතුටකින්ය. 

“මන්දස්මිව මෙතන රඳවා ගත යුතුමයි කියලා මම කියන්නේ නැහැ. මොකද මන්දස්මිගෙයි මගෙයි අතර කිසිම පුද්ගලික හිතවත්කමක්වත් යාළුකමක්වත් නැහැ. චාරුක කියලා කියන්නේ සේවකයෝ සිය ගණනකගේ බොස් කෙනෙක්. මන්දස්මි කියන්නේ අපි යටතේ වැඩ කරන එක්කෙනෙක් විතරයි. හෙට දවසේ නුලාරා කිව්වොත් මේ ඔෆිස් එකේ ඉන්න ගෑනු ළමයි සේරමලා අයින් කරන්න කියලා චාරුක ඒකත් කරන්නද? විසඳුම ඒක නෙමෙයි තේජන. මන්දස්මිගෙයි, නුලාරගෙයි  අතරේ මොනවා හරි අපැහැදීමක් තියෙනවා නම් ඒක දුරු කරන්න වෙහෙස වෙන එක. සමාවෙන්න තේජන මං මෙහෙම කියනවට. වර්ණ ඇඩ්වර්ටයිසීන්  කියලා කියන්නේ මගේ තාත්තා එයාගේ මහ ගෙදර කියලා හිතාගෙන ඉන්න තැන. මෙතන ජොබ් එකට එක්කරගෙන ආපු දවසේ තාත්තා මට කිව්වෙත් කවද හරි දවසක ඔයාගේ දරුවෙක් මේ තැන තියන්න පුළුවන් තරම් ආදරෙන්, විශ්වාසයෙන් මේ මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න කියලා. එදා ඉදලා මට මේ ආයතනය දැනුනේ මගේ තැනක් වගේ. මං දන්නව තේජනටත් ඒකෙ වෙනසක් නෑ කියලා. හැබැයි චාරුක මේ ගන්න ඩිශිෂන් එක ගැන එයාට කවද හරි දවසක පසුතැවෙන්න සිද්ධ වෙනවා කියලා මට විශ්වාසයි.”

අවසන අමායා එසේ පැවසූයේ පැහැදිලි හඬකින්ය. මේ ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද සේම අත්දැකීම් අනුව අමායා ඒ,  ඔහේ කටට ආවාට පිට කරන වචන නොවන බව විශ්වාසය. 

                                    **********

මන්දස්මිට පැමිණ තමා හමුවන්න යැයි පැවසූවාට ඒ සඳහා වේලාවක් හෝ දිනයක් චාරුක තේජනට පැවසූයේ නැත. ඊයේ  පෙරේදා දෙදිනේත්  ඇය කාර්යාලයට පැමිණ ගොස් තිබුණේ තේජන හමුවීමටය. චාරුක සිතුවාටත් වඩා සාර්ථකව ප්‍රසංගයේ වැඩ කටයුතු සිදු වෙමින් පවතී. දවසේ වැඩි හරියක් ඔහුට නිවසට වී කාලය ගත කරන්නට හැකි වූයේ තේජනත් අමායාත් ඒ පිළිබඳව විශ්වාසයෙන් සොයා බලන නිසාය. නුලාරාත් දරුවාත් උන්නේ නින්දේය. චාරුක තෙවන මහලෙහි වූ හිස් අවකාශයට පැමිණියේ වෙහෙසකර වූ සිතුවිලි දරාගෙනය. 

අනවශ්‍ය ලෙස නුලාරා තමාව සැක කරනවාය යන සිතුවිල්ල තවමත් ඔහුගේ සිතින් නික්ම තිබුණේ නැත. මේ චාරුක බලාපොරොත්තු වූ ජීවිතය නොවේ. ඇය ඊයේ සවසත් තමාගෙන් අසා සිටියේ මන්දස්මිව අදාළ කාර්‍යයෙන් ඉවත් කරන්නේ කවදාද යනුවෙන්ය. වර්ණ ඇඩ්වර්ටයිසින් යනු කිසිදු විටෙක තමාගේ කීර්ති නාමයට කැළලක් ඇතිකරගත් ආයතනයක් නොවේ. ප්‍රශ්නය වනුයේ මන්දස්මීත් සමග අත්සන් කළ එකඟතා ගිවිසුමයි. මේ ප්‍රසංගයේ වැඩ කටයුතු නිමාවනතුරු ඇයට කිසිම ආයතනයක් නියෝජනය කරමින් සම්බන්ධීකාරක තනතුරක් හෙබවිය නොහැකි බව ඒ ගිවිසුමේ පැහැදිලිව සඳහන්ය. ඇගේ ගතව ගිය කාලය හා වෘත්තීය ජීවිතයට ඇතිවන කැළල වෙනුවෙන් ඕ නඩු මගකට වුවද පිවිසෙන්නට බැරි නැත.

චාරුක මුලින් සිතා සිටියේ මන්දස්මී හා සත්‍යම කතාව පවසන්නටය. එහෙත් ඉන් නුලාරා ගැන ඔවුන්ගේ සිතෙහි ඇතිවන වැරදි වැටහීම ගැන සිතූ චාරුක අඩියක් පිටුපසට ගත්තේය. 

“පුතා….”

නයනා තෙවන මහලට පැමිණියේ එවේලෙහිය. දින කිහිපයක සිට චාරුක මේ අයුරින් කල්පනා බරව පසු වන අයුරු නයනා දුටුවේ ඔහු ගැන වැඩි අවධානයකින් සිටි නිසාය. 

“අම්මා…”

“මොකද කල්පනාව…ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද?”

“ආ… නෑ අම්මා මම නිකං මෙතනට වෙලා හිටියේ.”

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න උවමනාව තිබුනා පුතා.”

“ඉතිං අපි කතා කරමු අම්මා. ඒකට අමුතු වෙලාවක් මොකටද?”

“පුතා…ඔයාගේ තාත්තා මුලින්ම වැඩ කළේ ෆිල්ම් ප්‍රොඩියුසර්  කෙනෙක් ළඟ. හැබැයි එයා ඩිග්‍රි එක කලේ මාර්කටින්, ඇඩ්වර්ටයිසින් ගැන. කාලෙකට පස්සේ තාත්තාට ඕන වුණා තාත්තාගේම වැඩක් පටන් ගන්න. ඒකට එයා හරියට වෙහෙස වුණා. ගමේ මට අයිතිවෙලා තිබුණු ඊට කඩන් පවා තාත්ත මේ  වෙනුවෙන් විකුණුවා. එවෙලාවේ මගේ අම්මයි තාත්තයි පවා කිව්වේ තියෙන දේවල් නැති නාස්ති කරගන්න එපා කියලා. එයාලා තාත්තව දැක්කේ නාස්තිකාරයෙක් විදිහට. එදා තාත්තා ඒ වචන අභියෝගයක් කරගෙන තමයි පුතේ දවල් රෑ නැතුව වෙහෙස වෙලා වර්ණ ඇඩ්වර්ටයිසින් ගොඩනැගුවේ.”

“ඒ කතාව මම දන්න දෙයක්නේ අම්මා…”

“ඒ දන්න කතාව ඇතුලෙ ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා පුතේ. තාත්තට මේ වැඩේ පටන් ගන්න සල්ලි මදි වෙද්දි ඒ ප්‍රොඩියුසර් ගාවම වැඩ කරපු යාළුවෙක් සල්ලි ටිකක් දාලා තාත්තත් එක්ක එකතු වුණා. හැබැයි බොහොම කෙටි කාලයක් තමයි ඒ දෙන්නට එකට බිස්නස් කරගෙන යන්න ලැබුනේ. ඒ මනුස්සයා කම්පැනි එක පාලනය කරන්නත් ඒක තමන්ගේ යටතට ගන්නත් උත්සාහ කළා. හරි අත්තනෝමතික තීරණ ගත්තා. තාත්තා බොහොම ගරු කරපු මනුස්සයෙක් තමයි ලෝයර් දේශබන්දු කියලා කියන්නේ. ඒ වගේම ඒ වෙලාවේ තාත්තගේ විශ්වාසවන්තම සේවකයා උනේ අමායගේ තාත්තා. දේශබන්දු  දීපු උපදේශය තමයි දෙපාරක් නොහිතා ඒ යාළුවාගේ කොටස අයින් කරන්න කියන එක. තාත්තා එහෙම කළා. පස්සේ කාලෙක ඒ මනුස්සයා වෙනම කම්පැනි එකක් පටන් ගත්තා.”

“ඇඩ්වටයිසින්මද…”

“නෑ…ගාමන්ට් එකක්..ඒ කාලේ පුතේ මමත් අපේ කම්පැනි එකේ වැඩ කළා. මට අක්කව හම්බ වුණාට පස්සේ තාත්තා කැමති වුනේ නැහැ මම අක්කාව දාලා වැඩට එනවට. මම නතර වෙනවත් එක්කම තාත්තා එතනට ගෑනු අය දෙතුන් දෙනෙක් වැඩට ගත්තා. මොකද ඒ වෙලාවේ ඒ අවශ්‍යතාවය දැඩිවම තිබුණා. මේ අතරේ හිටියා ඒ කාලේ ලංකාවෙ තරමක් ප්‍රසිද්ධ වුණු නිළියක්.”

නයනා රඹුක්වැල්ල  එසේ පවසමින් තම පුතණුවන් දෙස බැලුවේ සුසුමක්ද මුදා හරිනා අතරේ. තමන් නොදැන සිටි මේ කතාව අසන්නට ඔහු සිටියේ දෑස් විසල් කරගෙනය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here