මලක් වී යළි පිපෙන්නම් – 45

0
106

ප්‍රසංගය සඳහා බොලිවුඩයේ සුපර් ස්ටාර් ලෙස හැඳින්වෙන ප්‍රවීණ රංගන ශිල්පියෙකු වෙත ආරාධනා කර තිබුණත්  ඔහුගේ පැමිණීම ස්ථිර කර තිබුණේ නැත.  රූපවාහිනි නාළිකාවල ගුවන් විදුලියේ හා පුවත්පත්වල ද ප්‍රධාන නගර පුරා ද සවිකිරීමට නියමිතව තිබූ වෙළඳ ප්‍රචාරක දැන්වීම් පමා කරන්නට හේතුව වූයේත් එයයි. ඊට විකල්ප පුද්ගලයෙකු නොවූ බව විශ්වාසය. ඒ සඳහා මන්දස්මි උපරිමයෙන්ම වෙහෙස වන බව මාර්ගගත සාකච්ඡාවකදී අමායා සහ තේජන පැවසූයේ අගය කරමින්ය. සැබවින්ම චාරුක උන්නේ ඒ බලාපොරොත්තුව අතහැර දමාය. ප්‍රසංගයට පැමිණෙන සෙසු ගායක ගායිකාවන්ගේ හා රංගන ශිල්පීන්ගේ පැමිණීම දැන් ස්ථිරය.

ඇය ඊට තමා ඉගෙනුම ලැබූ ඉන්දියානු සරසවියේ ආචාර්ය වරයෙකුගේ  දැන හැඳුනුම්කමක්ද භාවිතා කරමින් සිටින බව පැවසූයේ අමායාය. 

ඒ සතුටු පණිවිඩය තමාගේ පුද්ගලික ඊමේල් පණිවිඩ ගොන්න අතරට පැමිණ තිබුණේ එක් උදෑසනකය. නුලාරා උන්නේ සිඟිති පුතුට කිරි පොවමින්ය. කාමරයට පැමිණ දරුවා ඇය අතට දුන් හෙදිය කාමරයෙන් ඉවත් වූයේ චාරුකත් එහි රැඳී සිටි නිසාය. 

“බබා හම්බවුණාට පස්සේ හරි යනවා කියලා කිව්වට තවම මගේ මහත අඩු වුණේ නෑනේ චාරුක අයියේ..කොහෙද ඉතින් මේ ඔක්කොම එකතුවෙලා බබාට හොඳට කිරි දෙන්න ඕනේ කියලා මට එක එක දේවල් කවනවනේ…”

“චුට්ටක් ඇගේ ශේප් එක අඩු උනාට කමක් නෑ බබා මේ දවස්වල ඔයා පුතා  ගැනයි ඔයා ගැනයි තමයි හිතන්න ඕනේ. මට නම් දැන් හරි අමුතු ලස්සනක් ඔයා ළඟ පේනවා. ඒක වෙන කාගෙවත් ළඟ නොදැකපු තරම් ලස්සනක්…”

චාරුක පැවසූයේ නුලාරාගේ හිස සිප ගනිමින්ය. ඔහු එසේ පැවසූයේ ඇයව රවටන අටියෙන් නොවේ. ඒ වතට එක් වී තිබුණේ අමුතුම ලස්සනකි. මිනිසුන් පින් පාට යනුවෙන් හඳුන්වන්නේ එය විය යුතුයැයි ඔහු සිතුවේය. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ කාන්තාවන් තුල වන්නේ පිරුණු ගතියකි.

“අක්කිත් එහෙමයි සනායව හම්බ උනාට පස්සේ…බෝලෙ වගේ උනා..”

චාරුක ලැප්ටොප් පරිගණකය දිගහැර ගත්තේ නුලාරා සිඟිති පුතුව තම තුරුලට ගනිද්දීය. 

ඊමේල් පණිවිඩ කියවූ චාරුකගේ මුහුණෙහි ඇඳුණු සිනහව දෙස නුලාරා බලා සිටියේ දෑස් මහත් කරගෙනය. ඒ සිනහව අන් කවරදාකවත් නුදුටුව තරම් සුන්දර එකක් විය.  නුලාරාට දැනුනේ ලෝබ කමකි. මේ සුන්දර මිනිසා කෙදිනක හෝ තමාට අහිමි වී යාවි යැයි බියකින්, සැකයකින් යළි යළිත් ඇගේ සිත පෙළෙන්නට විය. තමා සොයන සැනසීමත්, ආදරයත්, ජීවිතයත් වන්නේ මේ පපුව මත්තේ බව විශ්වාසය. 

කුඩා පුතුට යළිත් නින්ද ගොස් තිබිණ. බඩ පුරවාගත් පසු ඔහුගෙන් වදයක් නැති තරම්ය.  ඔහුව අර පරිස්සමට ඇඳ මැදට කළ නුලාරා නැගී සිටියේ දෙපසින් කොට්ටා දෙකකුත් තබාගෙනය. ඉතා ඕනෑකමින් ඒ ඊමෙල් පණිවිඩය දෙවනි වරටත් කියවමින් උන් චාරුක නුලාරා  තමා අසලට පැමිණි බව දැන සිටියේ නැත. සාහිල් ඛාන්ගේ මැනේජර් වරයා එවා තිබූ ඊ මේල් පණිවිඩයත් මන්දස්මි තමාගේ පණිවිඩයට එකතුකර තිබිණ. තම සැමියාගේ උරහිසට උඩින් ලැප්ටොප් පරිගණකයට එබුණු නුලාරා දුටුවේ මන්දස්මිගේ රුව සඳහන්ව තිබූ ඇගේ ඊමේල් ලිපිනයෙන් ආ යමක් දෙස චාරුක ඉතා උනන්දුවෙන් බලා සිටින බවය. ඒ සිනහවට හේතු වූයේත් ඒ පණිවිඩය විය යුතුය. එහෙත් පණිවිඩය කුමක්දැයි කියවා ගැනීමට  නුලාරාට අවස්ථාවක් නොලැබුණේ තම දෑස් බොඳව ගිය නිසාවෙන්ය. පිටුපසින් ගොස් ඔහුව සිප ගන්නට, බදා වැළඳගන්නට සිතා සිටි ඇය යළි හැරුනේ දෑස් මත කඳුළක් තබාගෙනය. 

ඒ හා සමඟම තේජනට දුරකතන ඇමතුමක් ලබාගත් චාරුක කාමරයෙන් පිටව ගියේ ලැප්ටොප් පරඝනකයත්  තම දකුණතින් අල්ලාගෙනමය. තමා පසුපස උන් නුලාරාව නොදුටු ඔහු නතර වූයේ අලින්දයේය. 

“මචං හීනයක්ද මං මේ දකින්නේ…”

“ඒක ඉතින් මං කියන්න දන්නෙ නෑ උඹ තාම ඇඳේ වෙන්න ඇතිනේ..යකෝ ඔෆිස් වැඩ කරන වෙලාවට කතා කරලා හීන ගැන අහන බොස් කෙනෙක් මම මේ දැක්කමයි.” 

“මචං මන්දස්මි මට ඊමේල් එකක් එවලා.”

“ඒක ඉතින්  අමුතු අලුත් දෙයක් නෙමෙයිනේ මන්දස්මි අපිත් එක්ක වැඩ කරනවනේ. ඔන්න ප්‍රශ්නෙ තියෙන්නෙ මන්දස්මි වෙන දේකට උඹට කතාකරානම්. එහෙම නෙමෙයිනේ…”

“මචං…සාහිල් ඛාන් අපේ ෂෝ එකට එන්න කැමති වෙලා.”

“ඒක මං දන්නවා බං. මන්දස්මි  උඹට ඔය එවපු මේල් එක මීට විනාඩි ගානකට කලින් මටයි අමායටයි එවලා තිබුණා. මචං මේ පොර ලංකාවට එන්නේ පළවෙනි වතාවට. ආයෙ මේ ඉතිහාසයේ වර්ණ ඇඩ්වර්ටයිසින් කියන නම හොල්ලන්න කාටවත් බෑ. මචං මේක රඹුක්වැල්ල පොඩි මෑන්ගේ වාසනාව. මොකද කවද හරි මේවයෙ අයිතිය එයාටනේ.”

“සීරියස්ලි  මට හිතාගන්න බෑ බං..මේකට මං ස්පෙෂලි මන්දස්මිට තෑන්ක්ස් කරන්න ඕනේ. මදං අපි මේ ඩියුටි එකට ගත්තෙ හරිම කෙනාව.”

“ඔව් අනිවාර්යයෙන්ම. ඒ වගේම මචං මන්දස්මිට මේකට උදව් කරලා තියෙනවා එයාගේ ඉන්දියන් කැම්පස් එකේ ඉඳපු ප්‍රොෆෙසර් කෙනෙක්. ඔය මිස්ටර් කාන්ගෙත් ප්‍රොපෙසර් කෙනෙක්. අපි කම්පැනි එකෙන් ස්පෙෂලි තෑන්ක් කරලා ඒ ⁣ප්‍රොපෙසර්ට ලියුමක් යවන්න ඕනේ.”

“අනිවාර්‍යයෙන්ම..අනිවාර්‍යයෙන්ම”

“මීට සතියකට දෙකකට කලින් කිව්වා එයාගේ අන්තිම තුරුප්පුව වෙන්නේ ඔය ප්‍රොෆෙසර් කියලා. මොකද මිස්ටර් කාන් සාමාන්‍යයෙන් ඒ ප්‍රොෆෙසර්ගේ  ඉල්ලීමක් අහක දාන්නෙ නෑලු. මචං මන්දස්මි කියන්නේ මාර ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන කෙල්ලෙක්. ඒකි පටන් ගතපු ඔය ඉවෙන්ට් මැනේජ්මන්ට් එක කවදාහරි ලංකාවේ අංක එක වෙනවා.”

“තේජන..විනාඩි ගානක් මං මේ ආරංචියෙන් සෑහෙන්න සතුටු වුණා. ඊළඟ කාරණය බං අපි මන්දස්මිත් එක්ක කතා කරන්න හිතාගෙන ඉඳපු දේ..”

“ඒක එහෙම වුණොත් ඒක අපි මන්දස්මිට කරන ලොකු  අසාධාරණයක්. එයාගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකට,  එයාගේ වෘත්තිය ජීවිතයටම කරන ලොකු අසාධාරණයක්. කොහොමත් මේ කාරණයෙන් පස්සේ මන්දස්මි ගැන මුළු ලංකාවම කතා කරන්න පටන් ගන්නවා. මොකද මිනිස්සු දන්නවා අපේ කෝඩිනේටර් එයා කියලා. ඒ වගේ වෙලාවක මන්දස්මිව මොනම හේතුවකට හරි ඒ තනතුරෙන් අයින් කරනවා කියන්නේ ඒකෙන් කම්ෆැනි එකට,  උඹට වෙන ඩැමේජ් එක ආපහු මොනව කරලවත් වහගන්න බැරි එකක් වෙයි. මචං මං මේ කතා කලේ  වෘත්තීය පැත්තෙන්. හැබැයි ඉතින් උඹේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ඕනෙම තීරණයක් ගන්න අයිතිය උඹට තියෙනවා. මං කොහොමටවත් ඒකට මැදිහත් වෙන්නෙ නෑ. ඒ තීරණය ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම උඹ සතුයි.”

මේ වර්ණ ඇඩ්වර්ටයිසින් ඉතිහාසයේ ලද ලොකුම ජයග්‍රහණය බව විශ්වාසය. වසර ගණනාවක් පුරාවට මිනිසුන් මේ ප්‍රසංගය ගැන කතා කරනු ඇත. ඒ සියල්ල මේසා සාර්ථක වන්නට මන්දස්මි සියයට පනහකටත් වඩා වැඩි කොටසකින් සිය දායකත්වය  සැපයූවාය. ඔහු අවසන ආලින්දයේම වූ පුටුවකින් අසුන් ගත්තේ කුමක් කරන්නේදැයි සිතාගත නොහැකිවය. 

ප්‍රසංග සංවිධායක ධූරයට පත්ව තිබූ ඇය මේ ලැබුවේ ජයග්‍රහණයකි. මෑතකදී ආරම්භ කළ ඇගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනය කළ ජයග්‍රහණයකි. ව්‍යාපාරයක්  සාර්ථක කර ගැනීමට සියයට සියයක්ම හේතුව වන්නේ මිනිසුන්ගේ කැපවීම, අවංකකම හා තමා පවරා ගත් හෝ පැවරූ රාජකාරියට සියයට සියයක්ම සාධාරණය ඉටු කිරීමය. පසුගිය කාලය පුරාම ඇය සාහිල් ඛාන් මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා ගැනීම සඳහා වූ වෙහෙස අපමණක් බව පැවසූයේ අමායාය. එය මන්දස්මි තමාගේ වෘත්තිය ජීවිතය තුළ සාර්ථක ව්‍යාපාරිකාවක් බව ඔප්පු කළ අවස්ථාවකි. තේජන පවසන පරිදි ඇයව මෙම අවස්ථාවේ ඒ සම්බන්ධීකාරක තනතුරෙන් ඉවත් කළහොත් මිනිසුන් ඊට හේතු සොයා වෙහෙසවනු නොඅනුමානය. 

                                   **********

නුලාරාගේ අංකය සටහන් කරමින් සංකල්පනීගේ ජංගම දුරකථනය නාද වූයේ ඇය ඇඳ මතට  වී කල්පනාබරව සිටියදීය.  දැන් මේ සිටින්නේ ඇය වසරකට, එකහමාරකට පමණ පෙර හඳුනාගත් ධනුක නොවේ. සවස ‘චිත්‍රපටියක් බලන්නට යමු..’යැයි යෝජනා කරද්දි ඔහු එය මග හැරියේ ‘පිස්සුද සංකල්පනී..මට මෙච්චර වැඩ තියෙද්දි, ඔයා කොහොමද එහෙම අහන්නේ අහන්නේ?..’.යනුවෙන් පවසමින්ය. ඔහුට දැන් හේතු ගොඩකි. නිදහසට කාරණා ගොඩකි. තමා සොයා ආ සතුටත් සැනසීමත් දෑස් ඉදිරිපිටදීම අහිමිවී යාවියැයි සිතූ සංකල්පනීට දැනුනේ බියකි. 

“මට චුට්ටක් කතා කරන්න ඕනේ….”

එහා පසින් කතා කළ යෙහෙළියගේ හඬෙහි වූයේ හැඬුම් මුසු බවකි. 

“ඇයි මොකක්ද ප්‍රශ්නේ…”

“දැන් චුට්ටකට කලින් චාරුක එයාගේ ලැප් එක දිහා බලාගෙන තනියෙන් හිනා වෙනවා. ඒක තමයි මං එයාගෙන් දැකපු ලස්සනම හිනාව.”

නුලාරාට ඉකි බිඳුනේ නිරායාසයෙන්මය. 

“අනේ ඉතින් අඬන්නෙ නැතුව උනේ මොකද්ද කියලා කියන්නකො.”

“මට එයාව බදාගෙන ඉඹින්න හිතුණා.”

“ඉතින් එහෙම වෙන්න එපැයි කෙල්ලෙ”

“මං එයාගේ පිටිපස්සට යනවවත් එයාට දැනුනේ  නෑ. කොටින්ම ඔයාට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා වගක් තිබුණේ නෑ.  ගිහින් බලනකොට මන්දස්මි එයාට ඊමේල් එකක් එවලා.”

“ඉතින්…”

“ඒ  එකේ පුංචියට පේන මන්දස්මි දිහා බලාගෙන තමයි එයා හිනා වෙන්නේ..අර එයාගේ immage එකක් පේන්නේ ඊ මේල් එඩ්‍රස් එකේ”

“ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ ඔයා ඒ ඊමේල් එක කියෙව්වද..?”

“නෑ..එහෙම කියවන්න තරං මට පුළුවන් කමක් තිබුණේ නෑ. අර ඉස්සර අපි කියන්නේ අවුරුදු දාසයේ දාහතේ කෙල්ලෝ කොල්ලෝ ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා කියලා. එතකොට ඒ ගොල්ලෝ ඉන්නෙ වෙනම ලෝකෙක කියලා. අඩු ගානේ තමන්ගේ වටේ පිටේ වෙන්නේ මොනවද කියලවත් හැඟීමක් නෑ කියලා. ඔයා විශ්වාස කරනවද චාරුක හිටියේ අන්න ඒ ගානට. අඩුම තරමින් මං එයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා හිටගෙන ඉන්නවා කියලවත් එයා දන්නේ නෑ. ෆෝන් එකත් කනේ ගහගෙන ලැප් එකක් තුරුල් කරගෙන කාමරෙන් එළියට ගියා. ඊට පස්සේ මං දැක්කා එයා හරි සතුටින් කතා කරනවා. කතා කරනවට වඩා හිනාවෙනවා. එයා සතුටු වෙන්නෙ මන්දස්මිගෙන්.ඒකට හොඳම සාක්ෂිය තමයි ඒ හිනාව”

“නුලාරා……”

“අද මට ඒක හොඳටම දැනුණා.  මං පැරදිලා ඉවරයි සංකල්පී. එයාගේ මූණෙ තිබුණු ඒ හිනාව මට විස්තර කරන්න වචන නෑ. මට එයාව බදාගෙන ඉඹගෙන… ඉඹගෙන… ඉඹගෙන යන්න හිතුණු හිනාවක් ඒක. හැබැයි මං හිතුවේ නෑ  ඒ හිනාව එයාගේ මූණට ගෙනාවේ මන්දස්මි කියලා. මං කොච්චර අසරණද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්ද?  සංකල්පි මේ මගේ හස්බන්ඩ්. මගේ ජීවිතේ පළවෙනි වතාවට පිරිමියෙක් වෙනුවෙන් මගේ හිතේ ආදරයක් ඉපදුණා නම් ඒ එයා වෙනුවෙන්. මං එයාව ගොඩක් විශ්වාස කරගෙන ආයි දෙපාරක් හිතන්නෙ නැතුව හා කියලා කිව්වා. ඇයි සංකල්පි එයා මේ වගේ ජීවිතයක් ගතකරනවනම් මාව එයාගේ ළඟට  ගත්තේ. මට දුක නෑ මමත් එහෙම කෙනෙක් උනානම්. මගේ ජීවිතේ මගේ හුස්ම එයා කියලා හිතාගෙන ඉන්න නිසා වෙන්න ඇති  මට මේ තරම් දරා ගන්න අමාරු” 

දිගු සුසුමක්  මුදා හැරියේ සංකල්පනීය. යෙහෙළියගේ ඒ හඬ වෙනදා කවරදාටත්  වඩා දුකින් පිරී තිබිණ. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්…….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here