ආදරය, විශ්වාසය, රැකවරණය මිස සැකය යනු පවුල් ජීවිතයක් මත වැටිය යුතු සෙවනැල්ලක් නොවේ. පසුගිය දිනවල සෝමා පැවසූ කතාත් නුලාරාගේ හැසිරීමත් එහෙන් මෙහෙන් ඇසුණු කතාත් එකතු කරගෙන සිදුව තිබුණේ කුමක්දැයි අනුමානයෙන් සිතාගන්නට නයනා රඹුක්වැල්ලට හැකි විය. තමාගේ සිතුවිලි නිවැරදියැයි ඇයට සිතුනේ චාරුක හා කතා කලාට පසුවය. එහෙත් ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැත යන කියමන තවමත් ඇගේ ගැහැනු සිත රිදවමින් තිබිණ.
සැමියා ලංකාවට පැමිණි දින සිටම වැඩිපුර කළේ ඔහුගේ ව්‍යාපාරික මිතුරන් හමුවට යාමය. තවත් ලංකාවෙහි රැඳීමට ඇත්තේ දින කිහිපයකි. මුණුබුරා නිසා මුළු ජීවිතයම වෙනස් වී ඇතැයි නයනාට සිතුනේ ඔහු දෙස බලා සිටියදීය. නුලාරාගේ සුදු පැහැය පමණක් දරා උපන් ඔහු චාරුකමය. දැන් නයනා පවා ලතැවෙමින් සිටියේ ඔහුව දමා යාමට නොහැකි කමකින්ය. පසුගිය දිනවල ලේලියගේ මුහුණෙහි වූයේත් සතුටය. තමා නොදන්නා කාලයේ වුවද රඹුක්වැල්ල නිවසට අහිමිව තිබූ සතුට යළි පැමිණ තිබිණ.
නයනා වසර දෙකකට පසු ලංකාවට පැමිණෙද්දී සිතා සිටියේ අනුරාධපුර වන්දනාවේ යාමටය. දරුවාත් ඔහුගේ මවත් දෙදෙනාම නීරෝඟී සුවයෙන් නිසා, ඇයට ඒ ගමනට සිත පහදා ගෙන සූදානම් වීමට අපහසුවක් වූයේ නැත. අකමැත්තෙන් සැමියාව කැඳවාගෙන යනවාට වඩා සිතාරාව මේ ගමනට එකතු කරගන්නට නයනා තීරණය කළේ හේතු කිහිපයක් ඇතිවය. තවමත් ඇය හා නිදහසේ දරුවන් ගැන කතා කරන්නට ඉඩක් නයනාට වූයේ නැත. මේ ගමන ඊට සහායක් වේයැයි ඕ විශ්වාස කළාය.
සිතාරාට වන්දනා ගමනට ආරාධනා කරද්දී ඈ එක පයින් එකඟ වූයේ දරුවන් වෙනුවෙන් භාරයක් වීමට සිතෙහි බලාපොරොත්තුවක් ද වූ නිසාය.
“අම්මා අපේ අම්මත් එක්ක ගිහිල්ල එන්න. අමායයි තේජනයි මේ දවස්වල වැඩ ටික බලා ගන්න හින්දා මට නිවාඩුවක් ගන්න පුළුවන්. මම බබා එක්ක ගෙදර නතර වෙන්නම්.”
ඒ තීරණය ඇසුවාට පසුව චාරුක පැවසූයේ සතුටින්ය. වසර දෙකකට පසුව ලංකාවට පැමිණි මවත් පියාත් කොළඹින් පිට නිස්කලංක තැනකට රැගෙන යාමට නොහැකි වීම පිළිබඳව ඔහුගේ සිතෙහි වූයේත් තැවීමකි.
“අපි දෙන්නම ගියහම කමක් නැද්ද පුතා..”
“ඒකට කමක් නෑ අම්මා සෝම ඉන්නවා නර්ස් ඉන්නවා මම ඉන්නවා..කොහොමත් අපේ චෑම්ප් කරදර කරන්නේ නෑනේ. කුම්භකර්ණ වගේ දවසෙම නිදාගන්න එක තමයි කරන්නේ.”
“බලන්නකෝ සිතාරා මේ දරුවා අර නොදරුවට කියන දේවල්..”
නයනා එසේ පැවසූයේ සිනහමුසුවය.
චාරුක පුතණුවන්ව සුරතල් කරන්නේ ඔහුට එක එක නම් පට බඳිමින්ය. ඒ සුරතලය බලා සිටින්නට ආසා හිතෙනා තරම්ය.
වන්දනා ගමනට චාරුක විසින් සූදානම් කළේ කාර්යාලයට අයත් වූ සුවපහසු කේ.ඩී.එච් වර්ගයේ වාහනයකි. උදේ හතරට නිවසින් පිටත් වූ මව්වරුන් දෙදෙනා යළි නිවසට පැමිණෙන්නට නියමිතව තිබුණේ මධ්‍යම රාත්‍රියේය.
“දැන් ඉතින් අවුරුද්දක් පාසා ලංකාවට එන්න මට හේතු තියෙනවා.”
නයනා බොහෝවර තමාගේ මුණුබුරා සුරතල් කරමින් එසේ පවසන්නේ ආදරයෙන්ය. මේ ඉපිද සිටින්නේ රඹුක්වැල්ල පරම්පරාවේ උරුමක්කාරයාය. අත්තම්මා කෙනෙකුටත් සීයා කෙනෙකුටත් ඉන් එහා ගිය සතුටක් නොවේයැයි නයනා රඹුක්වැල්ල වටහා ගත්තේ ඊයේ පෙරේදාය.
“අනේ නංගි අපි ලංකාවෙන් ගියාට පස්සේ නිතරම මේ දරුවෝ දෙන්න ගැන මේ වගේම හොයලා බලන්න ඕනේ.”
නයනා එසේ පැවසූයේ මද දුරක් පැමිණියාට පසුවය.
“ඇයි අක්ක එහෙම කියන්නේ…”
“මල්ලි මැරි කරපු ගමන් ඇමරිකාවට එනවා කියලා අපි දෙන්නම පොරොන්දු වෙලා ඉඳපු හින්දා අපිට ඒ ගමන යන්න වුණා. එහෙම නොවී තව ටිකක් කල් මේ දරුවෝ දෙන්නත් එක්ක ඉන්න තිබුනනම් ඒක සතුටක්. හැබැයි ඉතින් ඒ වෙලාවේ මමයි මහත්තයයි දෙන්නම එහෙම තීරණය කරන්න හේතු කීපයක්ම තිබුණා. දුව එහේ හිටියේ තනිවෙලා උනාට මෙහේ අපේ පුතාව බලාගන්න ඔයයි ඔයාගේ මහත්තයයි දෙන්නම හිටියා. අනිත් එක ඔක්කොටම වඩා මහත්තයාට වුවමනාව තිබුණා චාරුකට තනියම බිස්නස් එක බලාගන්න ඉඩ දෙන්න. ඒ උනාට අපේ ළමයි දිහා බලාගෙන ඉඳිද්දි මට වෙලාවකට හිතෙනවා, එයාලට තවම මේ ජීවිතේ ගැන අත්දැකීම් මදි කියලා. ඒනිසයි මම නංගිට කිව්වේ මල්ලිත් එක්ක නිතර නිතර අපේ ගෙදර ඇවිල්ලා දුව ගැනයි අපේ පුතා ගැනත් හොයලා බලන්න කියලා.”
“මට පුළු පුළුවන් වෙලාවට එනවා අක්කේ…”
යළිත් දෙදෙනා අතර ඇති වූයේ නිහඬ බවකි. චාරුක මේ ගමනට එකතු කර තිබුණේ කාර්යාලයේ වසර ගණනක් තිස්සේ වැඩ කර අත්දැකීම් බහුල හොඳම රියදුරුය. වරින් වර ඇමතුම් ලබා දෙමින් ඕ මව්වරුන් දෙදෙනාගේ සුව පහසුව පිළිබඳවද සොයා බැලුවේය.
“අපේ දුවගෙනුත් ඉතින් අඩුපාඩුකම් නොවේවි කියල හිතන්න අමාරුයි. ඉස්කෝලේ ගියා ගෙදරට ආවා පන්ති ගියා ගෙදරට ආව මිසක් ලොකුවට සමාජ අත්දැකීම් ඇති ළමයෙක් නෙමෙයි. අක්කට කියන්න, මට වුවමනාව තිබුණා සැලරි එකක් නැති උනත් දුවව ටික කාලයක් හරි ජොබ් එකකට යවන්න. හැබැයි මහත්තයා ඒකට කැමති වුණේ නෑ. එයා හැමතිස්සෙම දුවව හැදුවේ රෝස මලක් වගේ පරිස්සමට.”
“තාත්තලා කොහොමත් එහෙමනෙ නංගි..සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා කියන්නේ ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන එක. මං හිතනවා අපේ පුතා හොඳටම නුලාරා දුවව තේරුම් අරගෙන ඉන්නේ කියලා. එයා බලාපොරොත්තු උනෙත් එහෙම ළමයෙක්. ඒ අඩුපාඩු කම් ගැන අපි වද වෙන්නවත් හොයන්නවත් ඕනේ නෑ. ඒවා ඒ දෙන්නම කතාබහ කරලා විසඳ ගත්තාවේ.”
එවර සිතාරා හිස වැනුවේ ඇයට එකඟවය.
“චාරුක පුතා හොඳ දරුවෙක්. සමහර වෙලාවට අපි ගැන උනත් දුවට වඩා හොයලා බැලුවේ පුතා.”
“නුලාරා දුවත් හොඳ දරුවෙක් තමයි නංගි. ඒ දෙන්න සතුටින් ජීවත් වෙන එක තමයි අපේ සතුට. ඔයාලා දෙන්නා මේ දරුවෝ ගැන නිතරම හොයලා බලන එක තමයි මගේ සැනසීම.”
නයනා එවර පැවසූයේ සිතාරාගේ අතත් අල්ලාගෙනය. ඉන්පසු ඇයට දැනුනේ සැනසීමකි. සිතාරාත් තමා තරමටම මේ දරුවන් ගැන වද වෙනා බව පසුගිය කාලයේදී නයනා තේරුම් ගත්තාය.
**********
නුලාරා දුරකථනය විසන්ධි කළ පසුව සංකල්පනී ඇඳ මතින් වාඩි වූයේ වෙනදා කවරදාකවත් නොදැනුණු තරම් වේදනාවක් යෙහෙළිය ගැන ඒ සිතෙහි ඇතිවද්දීය. පසුගිය කාලයේ ඇය සිතා සිටියේ ඔවුන්ගේ ප්‍රශ්න නිමා වූවායැයි කියාය. චාරුක මන්දස්මිව ඔහුගේ වැඩ වලින් අයින් කරන්නට දෙවරක් නොසිතාම තමාට පොරොන්දු දුන් බව පැවසූයේත් නුලාරාමය. සැබවින්ම ඉන් පසුව ඈ සිටියේ සතුටින්ය. එහෙත් ඒ පොරොන්දුව රැවටිල්ලක් පමණක්යැයි දැන් නුලාරා කියා සිටී.
චාරුකට දුරකථන ඇමතුමක් ලබා ගන්නට සිතුවත් ආපසු ඒ සිතුවිල්ල සංකල්පනී විසින් සඟවා ගත්තාය. තවදුරටත් මේ ප්‍රශ්නයට තමා මැදිහත්වීම යුතු නොවේ යැයි ඈ විශ්වාස කළාය. එසේ කරන්නට තරම් සිතක් සංකල්පනීට වූයේත් නැත. ඇය එවේලෙහි සිටියේ තමා ගැනම දැනුණු ආත්මානුකම්පාවක්ද සමඟය. රන්දිකගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේ එවේලෙහිය. අංකය දෙස නොබලාම දුරකථනය කන තබාගත් සංකල්පනී එහා පස සිටින්නේ රන්දික බව වටහා ගත්තේ ඒ හඬින්ය.
“අද මං ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්නයි කතා කළේ.”
“මොකක්ද රන්දික..”
“නංගිගේ වෙඩින් එක ලබන මාසෙ දොළොස් වැනිදා. මට ඒ වෙනුවෙන් ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ.”
“අනේ සොරි රන්දික මම දන්නවා ඔයා තවම නෑදෑයන්ට කියලා නෑ මම ඔයාව දාලා ගියා කියලවත් දැන් ඩිවෝස් එක බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලවත්. ඒත් එහෙම හිතලවත් මට වෙඩින් එකට එන්න කියලානං කියන්න එපා. මං හිතන්නෙ නෑ ධනුක කොහොමටවත් ඒකට කැමති වෙයි කියලා.”
සංකල්පනී පැවසුවේ සෘජු හඬකින්ය.
“අනේ නෑ සංකල්පනී…මට ඔයා ඉන්න තත්වෙ තේරුම් ගන්න පුළුවන්. එහෙම යෝජනාවක් කරලා ඔයාව අපහසුතාවයට පත්කරන්න මට ඕන වුණේ නෑ. මං ඔයාගෙන් කරන ඉල්ලීම ඒක නෙමෙයි. අපි කතා වුණා කවුරුහරි ඔයා ගැන ඇහුවොත් ඔයා ජොබ් එක කරන තැනේ වැඩකට සතියකට රටින් පිටවෙන්න සිද්ධ උනා කියලා කියන්න. මං ඔයාගෙන් ඉල්ලන්න හිටියේ ඒ සතියට පුළුවන්නම් වැඩිය එළියට පහළියට නොයා ඉන්න කියලා.”
සංකල්පනීගේ සිතට දුකක් ඇතිවූයේ රන්දික එසේ පැවසුවාට පසුවය. රන්දිකත්, ඔහුගේ නැගණියත්, මවත් තමාගේ ජීවිතවල ගෞරවය පිළිබඳව ඕනෑවටත් වඩා වද වූ අයය. පන්සලට ගියත් විළුඹ තෙක් දිගු වූ ගවුමක් අඳින්නයැයි ඔහු බල කර සිටියේ එනිසාය. ඔහුට තුරුළු වී ගත් සේයාරුවක්වත් ෆේස්බුක් පිටුවෙහි පළ කරනවාට අකමැති වූයේ එනිසාය. කාමරයෙන් පිටතදී තමා ඔහුගේ අත අල්වා ගත්තත් ප්‍රවේසමට ඒ අත ඉවත් කළේ එනිසාය. තමා සෙවූ නිදහස සතුට ඔවුන් ළඟවත් ඒ නිවස තුළ වත් නැතැයි සංකල්පනී සිතුවේත් එනිසාය.
“මං ඒක කරන්නම් රන්දික මට ඒක කරන්න බැරි කමක් නෑ. ඒ උනාට ඉතින් දිගින් දිගටම බොරු කරන්න ගිහිල්ලා කවද හරි ඔයාලම තමයි බොරුකාරයෝ විදිහට එයාලා ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්නේ. ජීවිත කාලෙම දුක් විඳ විඳ ඇයි මිනිස්සු තමන් අකමැති තැන්වල රැඳිලා ඉන්නේ. ඔයා ඒ ගැන වද වෙන්න එපා රන්දික මම කොහොමත් ගෙදරින් එළියට යැවෙනවා හරි අඩුයි.”
රන්දික දුරකථන ඇමතුමට සමුදුන්නේ ඇය එසේ පැවසුවාට පසුවය. ධනුකගේ ලොකු අම්මාගේ දියණියගේ මංගල උත්සවය පැවැත්වෙනවායැයි පැවසූයේත් එදාමය. කොළඹ පැවැත්වෙන මංගල උත්සවය අහවරව ඔහු එහෙමම ඥාතීන් සමග ගමට යනවායැයි ධනුක පැවසූයේ අද උදෑසනය. ඒ දෙවන ගමනේ චාරිත්‍රවලට සහභාගී වීම සඳහාය. සංකල්පනීගේ පපුවට දැණුනේ රිදුමකි. ඔහුගේ ජීවිතයේ තමාට අයිති තැන ලැබී තිබුණානම් ඒ මංගල උත්සවයට ඔහු හා සහභාගී වන්නට තිබිණ.
(හෙටත් හමුවෙමු ආදරයෙන්….)


