“මහත්තයා මං බබාව එයාගේ කාමරේට ගෙනියන්නද….?”
හෙදිය ඇසුවේ චාරුක තම නිදන කාමරයට ඇතුළු වද්දීය. පුතුත් සුව නින්දේ උන් අතර නුලාරා වූයේත් දෑස් පියාගෙනය.
“එපා කමනි බබා ඔහොම හිටපුවාවේ. මම ඕන උනහම කමනිට කතා කරන්නම්.”
චාරුකගෙන් අවසර පැතූ ඈ කාමරයෙන් නික්ම ගියේ ඔහු එසේ පැවසුවාට පසුවය. නිදා උන් පුතුගේ කොපුල් දෙපසත් නළලතත් සිප ගත් තරුණයා නුලාරාගේ නළලත සිප ගත්තේ ඇයට එහා පසින් වැතිරෙමින්ය. ඕ දෑස් හැරියත් එහි වූයේ කඳුලකි. චාරුක කලබල වූයේ එනිසාය.
“ඇයි බබා ඔයාට මොකක් හරි අපහසුතාවයක් දැනෙනවද..?”
නුලාරා හිස දෙපසට වැනුවේ නැතැයි කියන්නට ය.
“ඇයි එහෙනම් මේ ඇස්වල කඳුළු.”
“නින්ද ගියේ නෑ මං ඇස් දෙක පියාගෙන ගොඩක් වෙලා හිටියා. ඒක නිසා වෙන්න ඇති.”
තවදුරටත් ඔහු හා තර්ක කරන්නට, රිදවන්නට හෝ ආයාචනා කරන්නට බල කරන්නට ඈ නොසිතූයේ පෙරදා රාත්‍රියේය. ඒ උණුසුම් පපුවට බරව සිටියත් ඇය උන්නේ වෙනමම ලෝකයකය. රාත්‍රිය පුරාම ඇයට මැවි මැවී පෙනුණේ මන්දස්මිගේ ඊමේල් පණිවිඩය දෙස බලා සිටින අතරේ ඒ මුහුණේ මැවුණු පෙම්වත් සිනහවය. ලැප්ටොප් පරිගණකය හෝ ඔහුගේ ජංගම දුරකථනය ගෙන එය පරීක්ෂා කරන්නටවත් ඇයට සිතක් වූයේ නැත. ටිකෙන් ටික මේ සිතුවිලි වලින් ඔහුව ගිලිහෙමින් තිබූ බව විශ්වාසය.
“දන්නවද බබා, ඊයේ වර්ණ එකේ ඕනර් විදිහට මට අහන්න තිබුණු සතුටම ආරංචිය අහන්න ලැබුණා. ඒක හරියට කන්ෆර්ම් කරගන්න කල් මම අම්මට තාත්තටවත් කිව්වේ නෑ.
“මොකක්ද ඒ..”
නුලාරා එසේ ඇසුවේ තමා යමක් ඇසිය යුතු නිසා මිස ඒ පිළිබඳව වූ වැදගත්කමක් නිසා නොවේ.
“සාහිල් ඛාන් අපේ ඉන්විටේශන් එක බාරගෙන”
සැබැවින්ම එය පුදුමය උපදවන කරුණක්ය. මේ සමයේ බොලිවුඩයේ සුපිරිම නළුවා වූ සාහිල් ඛාන් ගී ප්‍රසංගය සඳහා සහභාගී වීමට ලංකාවට පැමිණීම වර්ණ ඇඩ්වටයිසින් ලැබූ ජයග්‍රහණයක් බව විශ්වාසය.
“දන්නවද බබා ඒක මට කරන්න පුළුවන් වුනේ මන්දස්මි නිසා. මන්දස්මි කාලයක්ම ඉන්දියන් යුනිවර්සිටි එකක ඉඳලා තියෙනවා. එහෙදී එයාගේ ප්‍රොෆෙසර් කෙනෙක් සාහිල් ඛාන්ගෙත් ප්‍රොෆෙසර් කෙනෙක්ලු. සාමාන්‍යයෙන් ඒ ප්‍රොෆෙසර් කියන දෙයක් සාහිල් ඛාන් ගණන් නොගෙන ඉන්නෙ නැහැලු. මුලින් මන්දස්මි ඔෆීෂියලි විදිහට උත්සාහ කරලා පස්සේ තමයි ඒ ප්‍රොෆෙසර්ගේ උදව් අරගෙන තිබුනේ.”
චාරුක දිගටම කියවා ගෙන ගියත් නුලාරා උන්නේ සිය දෙසවන් වසා ගන්නට තරම් කෝපයකය. එහෙත් ඒ කෝපය පිටතට නොපෙන්වා සිටින්නට ඕ මහත් වෑයමක් දැරුවාය. අවසන ඔහු කුමක් පැවසුවාදැයි නොදන්නා තරමටම ඈ සිටියේ වෙන කල්පනාවකය. ඒ දෑස් පියාගෙනය.
“බබා ඔයා නිදිද…”
සිය සතුට වචන වලට පෙරලමින් උන් අවසන චාරුක ඇසුවේ ඒ මුහුණට උඩින් එබෙමින්ය.
“පව් රෑටත් දෙපාරක් විතර බබාට කිරි දෙන්න ඇහැරෙනවනේ. මහන්සි ඇති.”
චාරුක ඕ අසලින් නැගී සිටියේත් බන්දේසියක තබාගත් සැන්ඩ්විච් පෙති දෙකක් සහ කිරි වීදුරුවක් රැගෙන සෝමා කාමරය තුළට පැමිණියේත් එකම වේලාවකය.
“නෝනට නින්ද ගිහිල්ලා සෝමා. දැන් ඇහැරවන්න එපා. පස්සේ ආපහු කිරි එකක් හදලා දෙමු.”
චාරුක කාමරයෙන් පිටවූයේ සෝමාවත් ආපසු හරවා ගෙනය. හෙදිය පැමිණ බබාව රැගෙන ගොස් ළදරු කාමරයේ ඔහුගේ ඇඳ මතින් තැබුවේත් එවේලෙහිය. දෑස් තදකර වසා උන්නාට ඒ සිදු වූ සියල්ල නුලාරා දනි. තමාට සියල්ල අහිමි වූවාක් බඳු වේදනාවක් ඒ සිතුවිලි වලට දැනෙන්නට වූයේ එතැන් පටන්ය. චාරුක පැවසූ සියල්ලෙහි සංශිප්තය වූයේ මන්දස්මිගේ වටිනාකමය. දැන් ඔහුට ඇය නැතුවම බැරි කෙනෙක් බවය. තමා තවදුරටත් හෑල්ලුවූවාය යන සිතුවිල්ල නුලාරාගේ මුළු ගතම ගිනි තියමින් තිබිණ. එය පුදුමාකාර දැවිල්ලකි. රිදුමකි.
**************
චාරුක උන්නේ සතුටේ පිනුම් ගසමින්ය. හෙට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී සාහිල් කාන්ගේ පැමිණීම පිළිබඳව හෙළි කරන්නට නියමිතය. ඔහු ගේ උයනට වී දොඩම් වීදුරුවක් බොමින් උන් තාත්තා අසලට ගියේ ඒ සතුටෙහි කරවටක් ගිලී සිටියදීය.
“තාත්තා හෙට හවස මොනවා හරි වැඩක් දාගත්තද…?”
“කරන්න තරම් නං විශේෂ වැඩක් නෑ පුතේ ඒ උනාට නිමල් අංකල් දිගටම කෝල් කරනවා හෙට හවස කට්ටිය මුණ ගැහෙමු කියලා. ඇයි ඔයා එහෙම අහන්නේ?.”
“තාත්තට මහන්සිත් ඇති..”
“මහන්සියිනම් තමයි. ඒත් ඉතින් අවුරුදු ගානකට පස්සේ ලංකාවට ආවහම ඒ දවස්වල එකට ඉඳපු ගජයෝ ටික අමතක කරන්නේ කොහොමද. ඔය තමයි ඉතින් නැගිටපු වැටුණු හැම තැනකදිම අපිත් එක්ක ඉඳපු මිනිස්සු.”
“තාත්තේ හෙට හවස ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා. තාත්තට පුළුවන්නම් ඒකට සහභාගි වෙන්න.”
“මං දැන් මොකටද පුතා, ඔයානේ බිස්නස් එක කරගෙන යන්නේ. මට ඊයේ ධර්මසිංහ අංකලුත් කිව්වා ඔයා හරි දක්ෂයෙක් කියලා. මේ අවුරුදු දෙකට ඔයා කම්පැනි එක සෑහෙන්න ලොකු තැනකට ගෙනල්ලා තියෙනවා පුතා. ඒවට ඉන්වෝල් නොවුනට මං ඉන්නේ ඔයා දිහා බලාගෙන. ඔයාට උදවුවක් අවශ්‍ය වුණු තැනදී මට කියන්න. එහෙම නැතුව මම දැන් කම්පැනි එකේ කිසිම වැඩකට ඉන්වෝල් වෙන්න අවශ්‍ය නෑ.”
“තාත්තා දන්නවනේ අපේ සංවත්සරයට අපි තියන්න යන ඉන්ටර්නැෂනල් ෂෝ එක එක ගැන.”
“ඔව් ඇයි නැත්තේ ඔයා නිතරම මමත් එක්ක ඒ ගැන කතා කරනවනේ.”
“තාත්තා අපි ඒකට සාහිල් ඛාන්ව ගෙන්න ගන්න ගොඩක් උත්සාහ කළා.”
“එයාලා සාමාන්‍යයෙන් වෙන රටවල් වල ෂෝ වලට සහභාගි වෙනවා අඩුයි නේද පුතා. ඒත් ඔයා මට එවපු මේල් එකේ තිබුණා සෑහෙන්න ප්‍රසිද්ධ ගායික ගායිකාවන් නළු නිළියන්ගේ නම්. මං හිතන්නේ ලංකාවෙ පළවෙනි වතාවට මේ වගේ දැවැන්ත වැඩක් කෙරෙන්නේ. ලේසියෙන් කෙනෙක් අත ගහන්නේ නැති වැඩක් මේක. සාහිල් ඛාන්ලා වගේ ටොප් ලෙවල් එකේ ඉන්න මිනිස්සු අපිට මේ වගේ වැඩකට ගෙන්නන්න අමාරුයි. අමාරුයි නෙමෙයි, කොහොමටවත් අපේ වගේ රටවල් වලට එන්නේ නෑ. එහෙම ඉතිං ගෙන්න ගන්න පුළුවන්කම තිබුනනම් පුතා ඒකත් ඉතිහාසයේ පළවෙනි වතාවනේ.”
“තාත්තේ සාහිල් ඛාන් එනවා. ඊයේ හවස එයාගේ මැනේජර් ඒක කන්ෆර්ම් කරලා තිබුණා කන්ඩිෂන් ගොඩකුත් එක්ක.”
චාරුක එසේ පවසද්දීත් ඒ මුවෙහි වූයේ ආඩම්බරයකි.
“ෂා…ඒකනං ගුඩ් නිව්ස් එකක් පුතා. ගුඩ් නිවුස් එකක් විතරක් නෙමෙයි.ඒක ලොකු ජයග්‍රහණයක්. ආයෙ පරම්පරා ගානක් යනකල් වර්ණ ඇඩ්වර්ටයිසන් කියන එක වට්ටන්න බෑ. ඔයා මාර දක්ෂයෙක් මාරම දක්ෂයෙක්. මටත් රෙක්ස්පෙක්ට් කරන්න හිතෙන.”
නැගී සිටි රඹුක් වැල්ල සිය පුතුට සුභ පැතුවේ ඔහුව සිප වැළඳගෙනය.
“මං දන්න තරමින් මීට අවුරුදු හතකට විතර කලින් නෙත් ටීවී එකත් සෑහෙන උත්සාහයක් ගත්තා සාහිල් ඛාන්ව එයාලගේ දහවෙනි සංවත්සරයට ගෙන්න ගන්න. හැබැයි එක සාර්ථක වුණේ නෑ. පුතා ඒක කලා කියන්නේ මේ ලෝකෙම අවධානය එක තත්පරයකින් වර්ණ ඇඩ්වර්ටයිසින් වලට ඇද ගන්න පුළුවන්..මං කොහොමත් කියන්න හිටියේ මේ වැඩේදී ඔයාගේ ටීම් එක සුපිරියි. එයාලා අති දක්ෂයෝ ටිකක්.”
යළිත් රඹුක්වැල්ල පැවසූයේ සැබෑවටම සිතෙහි උපන් ආඩම්බරයත් සමඟය. පසුගියදා මිතුරන් හමු වූ බොහෝ අවස්ථාවල ඔවුන් චාරුකගේ ව්‍යාපාරික ගමන් මාර්ගය වර්ණනා කළ බව රඹුක්වැල්ලට සිහි වූයේත් එවේලෙහිය. සිය ජීවිතයේ බොහෝ දේ කැප කරමින් ගොඩනගා ගත් ව්‍යාපාරය මේ අයුරින් දරුවෙකු ඉදිරියට ගෙන යනවා දැකීම සතුටකි.
**************
රෑට පාන් සමඟ බිත්තර ඔම්ලට් කමු යැයි යෝජනා කළේ ධනුකමය. බිත්තර රැගෙන එන්නට අසල වෙළඳ සැලට ගිය ඔහුට ජංගම දුරකථනය අමතක වී තිබිණ.
“කඩේට ගියාට කමක් නෑ. ඒ ඉන්න ආඩම්බර ගෑනුන්ට අනවශ්‍ය විහිළු කරන්න යන්න එපා. සමහර ගෑනු හිතන්නේ පිරිමියෙක් විහිළුවක් කරහම හිනා වුනහම එයාව කසාද බඳින්න ලෑස්ති වෙනවා කියලා.”
ඉඳහිට ධනුක වෙළඳ සැලට යද්දී සංකල්පනී එසේ පවසන්නේ ඇඟට පතට නොදැනීය.
අම්මා යනුවෙන් සටහන්ව ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඇමතුමට පිළිතුරු සපයන්නට සිතුවත් අවසන එසේ නොකළ ඈ දුරකථන තිරයෙහි දිස් වූ ඇගේ අංකය වහ වහා සටහන් කර ගත්තාය. තමා නිදහස, ආදරය, රැකවරණය සොයා ආ ජීවිතයය තුළත් හිස්තැන් වේයැයි සංකල්පනීට සිතුනේ ඊයේ පෙරේදා සිටය. දැන් අයාලේ යන මේ ජීවිතය පිළිවෙලක් විය යුතුය.
නිවසට පැමිණි පසුව ධනුක අම්මාට දුරකථන ඇමතුමක් ලබා දෙනු සංකල්පනී අසාගෙනය. ඔවුන් කතා කළේ විවාහ මංගල උත්සවයට සහභාගී වන පිළිවෙල ගැනය. සංකල්පනී ඒ කිසිවක් නෑසුනා සේ ඉවසා සිටියාය.
“අම්මා දේවිට කියන්න ඒ සල්ලි වලින් ලස්සන සාරියක් ගන්න කියලා. කොහොමත් මේ වෙඩින් එකේදී හැමෝම කතා කරන්නේ එයා ගැන තමයි.”
ඔහු මද හඬකින් පැවසූ ඒ වදන් සංකල්පනීට ඇසුණේ “කෑම ලෑස්ති”යැයි පවසන්නට ඔහුව සොයා යද්දීය. ඒ වද්දී ධනුක උන්නේ ඇනෙක්සිය කෙළවරක වූ අඹ ගහට පිට දී ගෙනය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


