“වවුල්ලුන්ගෙ සද්දෙ නෙ නෝනෙ.ඔය කෙල්ලො අන්තරස්දාන උනාට පස්සෙ ඉඳල ගමේ උන් ඔය කැලෑව පැත්තටත් යන එක ඩිංග ඩිංග අඩු වුනා. වෙනද ඉතින් ගෑනුටික එක්කහු වෙලා කැලෑවෙන් තමා උයන්න පිහන්න දර ටික, බේතකට හේතකට කොලයක් මුලක් හෙම ගලෝගෙන එන්නත් ගියේ.ඒකෙන් මේකෙන් උනේ දර ඩිංගිත්තක් හොයාන එන්න දැන් ඔය පල්ලමටටම ගාටන්න වෙච්චි එක නෙව.”
චීක් චීක් ගාන සද්දෙට කෑගහන් ගියපු වවුල්ලු ටික දිහා බිරන්ත වෙලා උන්නු මට ඒ මනුස්සය එහෙම උත්තර දුන්නා.
“අර ඈතින් පේන්නෙ රදන්පොල වලව්ව.නෝනෙ එම හන්දද කොහෙදෝ ලොකු කුමාරිහාමි මහ පාන අද පත්තු කොරල.නැත්තම් මේ වෙලාව වෙද්දි මුලු ගම් මණ්ඩියම බුදි නෝනෙ.”
“ඒකතමා.මන් හින්දා මාමටත් නින්දක්නෑ වුනා නෙව.අහන්නත් බැරිඋනා.මාමගෙ නම හෙම මක්කද?”
“මගෙ නම සියාතු. මන් තමා ඉස්කෝල වත්ත මුරකරන්නෙ.වලව්ව අද්දරින් ඔය පැත්තට එන පල්ලම කෙලවරේම තමා මයෙ පැල් කොටේ තියෙන්නෙ.අපේ එකිත් ඔය ඉස්කෝලෙම තමා නෝනෙ අකුරු සෑස්තරේ කොරන්නෙ.නෝනෙට හම්බුවෙන්නෙ නැතෑ.”
බුලත් කහට හන්දා කහ පාට ගැහිච්චි දත් ටික පෙන්නල හිනාවෙලා ඒ මනුස්සය එහෙම කිව්ව. අද සෙනසුරාදා හන්ද අනිද්ද ඉඳල නෙව ඉස්කෝලෙ පටන් ගන්නෙ.හෙට දිහාට ඔය අහල පහල් ගැන ඩිංගිත්තක් හොයන්න බැරිය. එහෙම හිත හිත ඩිංග ඩිංග අපි වලව්ව කිට්ටුවට ලං උනා.
ඈතට ඒ තරමට පෙනුනෙ නැතුවට මොකද ලංවුනාම නෙව ලස්සන පේන්නෙ.හැබෑවටම වලව්වක් තමා. ඉස්සරහ පෝටිකෝව දෙපැත්තෙන් වලව්වෙ පිටිපස්ස පැත්තට විහිදිච්චි පාරවල් දෙකක් තිබුනා.වලව්වෙ එක පැත්තක් මායිම් වෙලා තිබ්බෙ මහ කැලෑවෙන්.වලව්වෙ වහලෙ එක පාදාසයක්ම වහගෙන කොල අතු බිම හල හල හුලගට වැනි වැනී තිබුන නුග ගහ ඒ පැත්තට එක්කහු කොරල තිබුනෙ මහ ගන අන්දකාරයක්.
ගේ ඉස්සරහින්ම වත්තෙ පඩි පෙල් දෙක තුනක් බැහැගෙන ගියාම තව පොඩි වතු කෑල්ලකට තමා වැටෙන්නෙ.මක්කද කියාල හරියටම පෙනුනෙ නැතුවට ඒ වතු කෑල්ලත් මක්කද ගස් වගේකින් වහන් වෙලා තියෙන විත්තිය නම් මගෙ ඇස් වලට පෙනුනා.
අවුරුදු ගාණකින් ඇරල නැතුවද මන්ද ඇතුලෙන් ආව කවුරුහරි මහ දොර අරිද්දි ආව සද්දෙට බය වෙලාද කොහෙද නුග ගහ අස්සෙ අන්දකාරෙ හැංගිලා උන්නු වවුල්ලු රෑනක් ආයෙ ඉගිලීගෙන්ස් ගියේ හරියට අපි උඹ ගැන බලාගන්නම් කියන්න වගේ චීක් චීක් සද්දෙන් මුලු පලාතම දෙවනත් කරාන.
පුදුම වවුල්ලු තොගයක් නෙව මේ ගමේ ඉන්නෙ.මගේ හිතට ඒ අදහස ආවෙ ඇයිද කියන්න වගේම ඒ එක්කම කැලෑව දිහාව බලන්නත් මට හිතුනෙ මක්කටද මන්ද? කවුදෝ අපි දිහාව බලාන ඉන්නව කියලාමයි මට නම් හිතුනෙම.
“පුදුම වවුල් කරදරයක් නෙව තියෙන්නෙ.මේ මෑතක ඉඳල තමා ඔය ඔක්කෝම”
ඇරපු මහ දොරෙන් එලියට ඇවිදින් සියාතු මාමට කිව්වෙ මයි හිතේ මහ කුමාරිහාමි වෙන්නැති.මන් හිතාන උන්නට වඩා හරිම මව්වත් පෙනුමක් තමා ඒ නෝනගෙ මූණෙ තිබුනෙ.මට එක පාරටම මතක් වුනේ අම්මව.
“කියලා වැඩක් නෑ කුමාරිහාමි. මන් මේ එන ගමන් අලුත් නෝනෙටත් කියාන ආවෙ ඒකයි.”
සියාතු මාම එහෙම කියාන ගමන් ආයෙ පාරක් කහ පාට දත් පෙන්නල මා එක්කල හිනා උනා. ඒ එක්කම අර ඇත්තිත් මන් දිහාව බලල හරිම ලස්සනට හිනාඋනා. ඒ උනාට ඒ ඇස් අස්සෙ හැංගිල තිබ්බෙ අකාලෙ මිය පරලොව ගියපු තමන්ගෙ සුවාමි පුරුසයයි, මක්ක උනාද කියන්න දන්නෙවත් නැතිව පිපෙන්නත් කලින් පරවෙල ගිය තමන්ගෙ එකම දූ නැතිවීමෙ සාංකාවයි කියල මන් දුටුවා.
“හෙනං සියාතු බෝම පින් මේ දැරිවිව ගෙනැල්ල ඇරලෙව්වට. අද උදේ පොල් කැඩෙව්ව නෙව.හෙට දිහාට වරෙන් මන් උඹට කොටහක් දෙන්න.”
“හරි කුමාරිහාමි.හෙනම් මන් ගියා.නෝනෙ මං ගියා හෙනම්.මන් අපේ කෙල්ලට කියන්නම්කො අලුත් ඉස්කෝලෙ ගුරී ව මෙහෙට්ට ඇරලෙව්වෙ මන් විත්තිය.”
එහෙම කියාල සියාතු මාමා පල්ලම බැහැන් ආපහු යන්න ගියා.උන්දැගෙ හුලු අත්තෙ එලිය නැති ව ගියාට පස්සෙ වත්ත හතර මායිම පේන්න එලියකට කියල තිබ්බෙ මහ පානෙන් ආව එලිය විතරයි.ඒඋනාට ඒ ආව එලියත් මේ වලව්වෙ අයගෙ ජීවිත වගේම මලානික වෙලා කියලයි මට නම් නිච්චි උනේ.
“දූගෙ නම මොකද්ද?”
ගේ ඇතුලට යද්දි තව කලුවරයි.ඒ කලුවර මැකුනෙ ලොකු කුමාරිහාමි අතේ තියාගෙන උන්නු ලාම්පුවකින්. මගෙ මල්ලත් උස්සන් ම උන්දැ පස්සෙ ගාටම ගමන්ම තමා උත්තර දුන්නෙ.
“ගීතාංජලී නානායක්කාර”
“නානායක්කාර ල හොඳ වංසවත් මිනිස්සු. ගාල්ලෙ කිව්ව නේද ගම? අපේ නෑයො හෙම ඉන්නව එහෙ.මගෙ ගම මාතලේ ඇල්කඩුවෙ.කසාද බැඳල නෙව මෙහෙ ආවෙ”
ඒ කියන ගමන් එයැයිගෙ මූනෙ තිබ්බ අර අන්ධකාරගතිය ඩිංගිත්තක් විතර පෑදුනේ ඒ කාලෙ ගෙවිච්චි ලස්සන තැන් මතක් වෙලා වෙන්නැති.
“ගාල්ලෙ කොහෙද කිව්වයි ගෙවල්?”
“වැකුණගොඩ පාරෙ?”
“අහ්හ්හ් වැකුණගොඩල කියන්නෙත් මේ අපේ මාතලේ පැත්තෙ බෝම වංසවත් පවුලක් නෙව.ඕන් බලන්න ලමයි මේ රටේ කොහෙ ගියත් නෑයො තමා ඉන්නෙ”
එහෙම කියල උඩහට නගින්න තිබ්බ පඩිපෙල ලඟ හිටගෙන මන් දිහාවට හැරිල බලල ආයෙ හිනාඋනා.
“මන් දූට ලැහැත්ති කලේ උඩ කාමරෙ.උඩට යන්.මල්ල උස්සන් එන්න පුලුවන්ද? පොඩි මල්ල මට දෙන්න දූ. සාරියත් ඇඳන් උඩට නගිද්දි මල්ල උස්සන් යන එක අමාරු නෙව”
“ඒකට කාරි නෑ නෝන.මට ඇහැකි අරන් නගින්න”
“මට නෝන කියන්න එපා දුවේ.නැන්දෙ කියාල කතාකොරන්න. “
ඒ මනුස්සය එහෙම කියුවෙ ඇස් වල කඳුලු පුරවන්.මතක් වෙන්නැති තරුණ වයසෙදි අන්තරස්දාන වෙච්ච තමන්ගෙ දූව කියල මට තේරුනා.
උඩහට යද්දි පඩිපෙල සද්ද කොලේ හරියට මේ මහ රෑ ඇවිදින් එයැයිගෙ නින්දට බාදා කොලාට අමනාපෙන් වගේ.
උඩහට යද්දි දෙපැත්තෙ එල්ලල තිබ්බ චිත්ර වල උන්නෙ මේ වලව්වෙ මුල් උරුමක්කාරයො වෙන්නැති.ඒ තෙල් සායම් චිත්ර වල උනත් ඒ මිනිස්සුන්ගෙන් පෙනුනෙ මහා තේජවන්න කමක්. මන් දන්නෙ නැති එක එක මිනිස්සුන්ගෙ කලු සුදු රූප, කසාද රූප වලින් ඒ බිත්ති වැහිල තිබ්බ.
පාලු අදුරු කොරිඩෝවක් දිගේ ගොහින් අපි එක කාමරයක දොර ලග නතර උනා.
“අපෙ මහත්තය මැරුනට පස්සෙ මන් වැඩිය උඩහට ආවෙ නෑ දුවේ. ඊට පස්සෙ අපිට හරියට කරදර උනා.මන් පස්සෙ එව්ව දූට කියන්නම්කො. දැන් මේ තකහනියෙ ආව විතරනෙ.”
එන ගමන් සියාතු මාම මට විස්තරේ කිව්ව විත්තියක් නොකිව්වෙ ඒක මේ මනුස්සය කෝම භාරගනිවිද කියල දන්නෙ නැතිහන්ද වගේම සියාතුල දන්නවට වඩා කාරණා කෝමත් මේ මනුස්සයගෙන් කතාවෙන් දැනගන්න ඇහැකිනෙ කියල හිතිච්ච හන්දමයි. කෝමත් තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන මනුස්සයලුනෙ.
කිරීස් ගාන සද්දෙ එක්කල දොරඇරුනෙ ඒ කාමරේ අවුරුදු ගාණකින්තමා මේ අරින්නෙ කියාල නොකියන ගමන්මයි.
“අවුරුද්දකට විතර පස්සෙ දුවේ දොර ඇරියෙ අද උදහැනැක්කෙ දූ එන හන්දා අස් පස් කොරන්න හිතාන. මේ අපේ ස්වර්ණාගෙ කාමරේ.”
ස්වර්ණා කියන්නෙ නැතිවෙච්චි දු වෙන්නැති කියාල මන් හිත හදාගත්තා.ආයෙ අමුතුවෙන් ඕක අහන්න ඕන නෑනෙ. මක්කටෙයි මේ මනුස්සයව තව අසරණ කොරන්න කියල හිතන ගමන්මයි මන් කාමරේට පය තිබ්බෙ.කාමරේට පය තියනව එක්කම තමයි කාමරේ ඇතුලෙ ඇරල තිබ්බ ජනේලෙකින් ආව මහ හුලං පාරක් අපිව ඉඹගෙන වගේ දොරෙන් පිට උනේ.මට දැනුනෙ හිරකරල තිබුන ආත්මයක් හරියට නිදහස ලැබිල පිටමන් උනා හේ හිතිවිල්ලක්.
“අසව්ව බුරුල් වෙලාද කොහෙද ජනේලෙ ඇරිල”
ඒ කාමරේ මහ ලොකුඑකක්වත් පුංචිම එකක්වත් නෙවි.ඒඋනාට තරුණ පහේ ගෑනු ලමේක්ට ඔබින විදිහට හරිම හුරුබුහුටි විදිහට හදලා තිබ්බෙ. වියන් ඇඳකුයි, ඇඳුම් දාන අල්මාරියක්, මේසයයි පුටුවයි, කණ්නාඩි මේසෙකුයි තමා ඒ කාමරේ තිබ්බෙ. කාමරේ තිබ්බෙ එක පෙලට එලියෙ තට්ටුවකට ඇරෙන ජනෙල් තුනකින්. ඒ එක ජනේලයක් තම ඇරිල තිබුනෙ.ජනෙල් තුනම ඇරුනෙ කැලෑව දිහාවට.අඳුරු පාටට ඒ කැලෑව පෙනුනෙ බයංකාර යෝදයෙක් වගේ.
“දූට මූන කට හෝදගන්න මන් පල්ලෙහ වතුර ඩිංගිත්තක් සූදානම් කොරල තිබ්බ දුවේ.මේ කලුවරේ එලියට යන්න බෑනෙ.සීතල හන්ද නාගන්නත් බෑ නෙව.හෙට උදේම නා කියාගන්න බැරිය.අදට මූණ හෝදන් කෑම් ඩිංගිත්තක් කාල නිදියගමු.”
එහෙම කියාන උන්දැ පල්ලෙහාට ගියා.අරන් ආව බඩුටික ඔහෙන් මෙහෙන් තියාල සාරිය ගලෝලා ගවුමක් ඇඟට දාන් මන් පල්ලෙහාට ආයෙ යන්න කලියෙන් හැරිල බැලුවෙ ඉස්සෙල්ල වහපු ජනේලෙ ආයෙ ඇරිල හුලං පාරක් ඇතුලට එන සද්දෙත් එක්කමයි.
“අසව්ව ගැලවිල වෙන්නැති අර කිව්ව වගේ”
එහෙම හිතාන මන් ආයෙ ජනේලෙ වහන්න ගොහින් කැලෑව දිහා බලද්දි මට හිතුනෙ තාමත් කවුරුහරි මන් දිහා බලාන ඉන්නව කියලමයි.
වවුල්ලු නම් පිරිල උන්නා ඒ කැලෑවෙ… කලුවරේ උනත් උන් පියාඹන් යද්දි මහ බයක් තමා හිතට දැනුනෙ.
-මතු සම්බන්ධයි-
උදතාරී






