මලක් වී යළි පිපෙන්නම් – 49

0
82

“සර්ට හිතාගන්න බැරිද මේ ෆොටෝස් වලින් කොච්චර විනාශයක් කරන්න පුළුවන්ද කියලා. මං කිව්වේ  මේ වෙලාවෙත් චාරුකගේ වයිෆ් ඉන්නේ චාරුකයි මන්දස්මියි ගැන කතාවක් හිතේ මවාගෙන. අපිට තියෙන්නේ ඒ ගින්නට පිදුරු දාන්න විතරයි. සර් ඕනෙම තැනක මුදුන් මුල කඩාගෙන වැටුනට පස්සේ ගහේ කොල අතු අනිත් මුල් ඉබේටම විනාශ වෙලා යනවා. නියම නිලේ බලලා තමයි අපි ගහන්න ඕනේ.”

“මට තමුසෙ කියන කිසි දෙයක් තේරෙන්නෙ නෑ අයිසේ…”

සේරසිංහ පැවසූයේ තමා ඉදිරිපස සිටින තරුණයා දෙස බලාගෙනය. 

“මං සර්ට කියල තියෙනවනේ මගේ වයිෆුයි චාරුකගේ වයිෆුයි හරි හිතවත් කියලා. මේකයි සර් කෙරෙන්න ඕනේ අත දිග ඇරලා සල්ලි ටිකක් වියදම් කරලා පුංචි කතාවකුත් හදලා මේ ෆොටෝ ටික ඔය ගොසිප් සයිට් වලට යවන්න. ඒ වැඩේ සර්ට බාරයි.”

“ඊට පස්සේ…”

“ඊට පස්සේ චාරුකගේ වයිෆ් චාරුකව නැත්තටම නැති කරනවා. අපේ වැඩේ ඉබේටම සිද්ධ වෙනව සර්. බයවෙන්න එපා.”

“තමුසෙ හිතනවද ඒ ක්‍රමය සාර්ථක වෙයි කියලා. මං මීට අවුරුදු ගානකට කලිනුත් ඔය වැඩේ කළා. හැබැයි ඔය චාරුකගේ අම්මා ඒක සත පහකටවත් ගණන් ගත්තේ නෑ.”

“ඒ කාලේ සර් කරන්න ඇත්තේ ලියුමක් යවපු එක එහෙම නැත්නම් කෝල් එකක් දීපු එකනේ. මේ කාලේ එහෙමද එක ක්ෂණයකින් මුළු රටක්ම දැනගන්නවා.”

“මට තේරෙනවා තමුසෙ කියන දේ.”

“සර්ට තියෙන්නේ සල්ලි ටිකක් විසිකරන එකක තමයි.” 

“මං දන්නව ඕකට අල්ලගන්න ඕන මිනිහා කවුද කියල” 

“එහෙනං සර් මං මේ වෙලාවෙම සර්ට ෆොටෝස් ටික වටස්ඇප් කරනවා. මටත් පොඩි උදව්වක් ඕනෙ සර්.”

“මොකක්ද….”

“සර් මේ දවස්වල අපේ අම්මා ටිකක් අසනීපෙන් ඉන්නේ. බෙහෙත්වලටත් ඉතින්….”

“හරි හරි තමුසෙගේ එකවුන්ට් නම්බර් එකත් වටස්ඇප්  කරනවා කෝ.”

“සර් මට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මාව බලා ගන්න ඕනේ.”

“ඒක මම තමුසෙට පොරොන්දු වුණානේ.”

පනස් දහසක මුදලක් තැන්පත් කළ බවට පණිවිඩයක් එවේලෙහිම ජංගම  දුරකථනයට ලැබුණේ ධනුකගේ දෑස් විසල් කරමින්ය. ඔහු සේරසිංහ දෙස බැලුවේ ස්තුති පූර්වක හැඟීමකින්ය. තමාට මේ ලැබී ඇත්තේ සල්ලි ගසක් බව විශ්වාසය. එය හෙමින් හෙමින් සොලවා වැටෙන කොල පමණක් අහුලා  ගත යුතුය. 

“ඉලන්දාරියා මේ වැඩේ සාර්ථක වුණේ නැත්නම් අපි ඊළඟ ප්ලෑන් එකකට යන්න වෙනවා.”

“ඕක සාර්ථක වෙනවා සර්. සියයට සීයක් නැති උනත් සියයට පනහක් හරි සාර්ථක වෙනවා. චාරුක කියන්නෙවත් වර්ණ කම්පැනි එක කියන්නෙවත් වට්ටන්න ලේසි පහසු තැනක් නෙමෙයි. ඒක හින්දා එක පාරට ලොකු නිලයක් අල්ලන්න කලින් අපි පොඩි තැනකින් පටන් ගන්න ඕනේ.”

සේරසිංහ හිස වැනුවේ ධනුකගේ වදන් වලට එකඟවය. තමා මේ අල්ලාගෙන සිටින්නේ නියම මිනිහා බව විශ්වාසය. තමාටත් වඩා උනන්දුවක් ඔහුට ඒ කාර්ය සඳහා වේයැයි වරෙක සේරසිංහ සිතුවේය. ඔහු අවන්හලින් පිටවූයේ ධනුකට කුලීරියක් ගෙන්වා දුන් පසුවය. 

රියැදුරු කොළඹ නිදහස් මාර්ග ඔස්සේ වාහනය ධාවනය කරමින් සිටියදී සේරසිංහ සිටියේ පිටිපස අසුනට වී දෑස් වසාගෙනය. එදවස ඔහු රඹුක්වැල්ල හා එකතු වූයේ බලාපොරොත්තු රැසක් තබාගෙනය. ව්‍යාපාරයේ සම අයිතිකරුවෙකු වුවත් රඹුක්වැල්ල කිසිවිටකත් තමාගේ අදහස් වලට සවන් දෙන්නෙකු යැයි සේරසිංහට සිතුනේ නැත. බොහෝ විට ඔහු සේවකයන් හමුවේ පැවසූයේ තමාගේ තීරණ පමණි. වසර කිහිපයක් එසේ බලා සිටියාට පසුව සේරසිංහ තීරණය කළේ තමාගේ කොටස් ලබාගෙන ඉවත් වන්නටය. එය තමාටත් පෙර රඹුක්වැල්ල සැලසුම් කරමින් සිටි කාර්‍යයක් බව සේරසිංහ දැනගත්තේ තමාගේ යෝජනාව ඔහුට ඉදිරිපත් කරද්දීය. තමන් නොසලකා හැරියාය යන හැඟීම, තමාව පාවිච්චි කළාය යන හැඟීම තමාගේ මුදල් වලින් ඔහු දියුණු වූවාය යන හැඟීම බුරු බුරා නැගෙන ගිනිදැල්ලක් සේ සිතෙහි වූයේ එතැන් පටන්ය. වසර විසි ගණනක් ගෙවී තිබුණත් සේරසිංහ සිටියේ ඒ ගිනිදැල්ලෙන් පිළිස්සෙමින්ය. එදා සිට ඔහු කොහොමටවත් වෙළඳ දැන්වීම් නිර්මාණකාර්‍යයට හෝ කලාව සම්බන්ධ කිසිම ව්‍යාපාරයකට අත ගැසුවේ නැත. අද තමා දියුණුවේ හිණි පෙත්තෙහි උන්නත් වර්ණ ඇඩ්වර්ටයිසින්  තමාගේය යන සිතුවිල්ලෙන් මිදීමට ඔහුට හැකි වූයේ නැත. පසුගිය කාලයේ තිබූ ව්‍යාපාරික මිතුරු හමුවල් කිහිපයකදීම රඹුක්වැල්ල මුණ ගැසිණ. ඔහු මෙරටින් පිටව යාමට පෙර පැවැත් වූ සාදයටද තමාට ආරාධිත අමුත්තෙකු ලෙස ඇරයුම් ලැබී තිබිණ. වර්ණ ඇඩ්වර්ටයිසින්හි  අයිතිය ලබා ගැනීමට නොව ඒ වෙත ලැබී තිබුණු ගෞරවයත් ජනප්‍රියත්වයත් විනාශ කර දමන්නට උවමනාවක් සේරසිංහට ඇති වූයේ අද ඊයේක නොවේ. 

                            *******************

තේජන  මිතුරාගේ කාර්යාල කාමරයට ගියේ ඔහුගේ දුරකථන ඇමතුමෙන් පසුවය. කල්පනා බරව උන් ඔහු තේජනට අසුන් පැන වූයේ තම දකුණත දිගු කරමින්ය. 

“මොකක්ද අවුල…”

“අවුලක් නෑ බං…”

“අම්මලා අනිද්ද  උදේ යනව නේද?”

“ඔව් කොච්චර වුණත් අම්මයි තාත්තයි ළඟ ඉඳිද්දි මාර හයියක් දැනෙනවා බං. මිනිහෙක් තමන්ට කියලා කාත් කවුරුවත් නැතුව තනි වෙන්න හොඳ නෑ. එයාලා වෙන රටක මං වෙන රටක. ඒක තනිකමක් නෙමෙයිද බං. අපි හැමෝම එකට හිටියනම් හොඳයි කියලා හිතුනා.”

“අම්මයි තාත්තයි අක්කට පොරොන්දු වෙලානේ බං හිටියේ. අනිත් එක ආන්ටි උනත් අංකල් උනත් තේරුම් ගන්න ඇති  උඹට වඩා අක්කට මේ වෙලාව එයාලව ඕනෙ කියලා.”

සොයුරියට තුන් නිවුන් දරුවන් ලැබුණේ මින් වසර හතරකට පෙරය. ඇගේත් සැමියාගේත් රැකියාවන් වල වූ අවිවේකී කම නිසා දරුවන් බලා ගැනීමේ කටයුත්ත ලෙහෙසි පහසු එකක් වූයේ නැත. ඒ වෙනුවෙන් වෙනමම සේවිකාවක් සිටියත් නිවසේ දරුවන් ඇය සමඟ දමා යාම ඒ කාලයේ සොහොයුරියට මහත් ගැටළුවක් වී තිබිණ. අම්මාටත් තාත්තාටත් උවමනා වී  තිබුණේ ඔවුන් සමග කාලය ගත කරමින් දියණියව නිදහස් කරන්නටය.

“උඹ මන්දස්මිගේ ප්‍රශ්නෙ විසඳගත්තද..?”

“මචං අපිට මෙච්චර දෙයක් කරල දීලා  මන්දස්මිට යන්න කියලා කියන්න මට බෑ. මම ඊයේ නුලාරට පොරොන්දු උනා මේ වැඩෙන් පස්සේ ආයි මොනම වැඩකට වත් මන්දස්මිව සම්බන්ධ කරගන්නේ නෑ කියලා. වෙලාවකට මට හිතෙනවා බං අර අමාය කියන දේ ඇත්ත කියලා.”

“ඔව් අමාය කියන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් බං බිස්නස් එක ඇතුළෙදි ගන්න තීරණ වෙනයි ෆැමිලි ලයිෆ් එක ඇතුලෙදි ගන්න තීරණ වෙනයි. අන්න ඒ නිසා තමයි මං උඹට ඒ ගැන කිසිම දෙයක් නොකියා හිටියේ.”

“වෙනස් වෙන්න ඕනෙ බබා. මට හිතෙනවා එයාට මේ හැම දෙයක්ම හෙමිහිට තේරුම් කරලා දෙන්න පුළුවන් කියලා. මං එයාට පොරොන්දු වුණා එක තැනකදී මන්දස්මිව මෙතනින් අයින් කරනවා කියලා. ආපස්සට හිතල බලද්දි ඒකෙන් මට වෙන ඩැමේජ් එක, කම්පැනි එකට  වෙන ඩැමේජ් එක බන්දස්මිට  වෙන ඩැමේජ් එක පොඩි නෑ. එහෙම තීරණ හරි හදිස්සියෙන් ගන්න බෑ බං. මං එහෙම කියද්දී බබා කිසිම දෙයක් කිව්වේ නෑ. ඒ කියන්නේ එයා තේරුම් ගන්න ඇති මේ සිටුවේෂන් එක.”

තමාගේ වදන් වලට නුලාරා සවන් නොදුන් බවක් නොදැන සිටි  චාරුක පැවසුවේය.

“එහෙම උනානම් ඒක ලොකු දෙයක් බං. පහුගිය කාලෙ පුරාවටම අමායයි මමයි වැඩිපුර කතා කලේ මොකක්ද මේකට කරන්නේ කියලා.”

“ජීවිතේ සමහර ප්‍රශ්න හරි අමාරුයි බං.”

චාරුක එසේ පැවසූයේ සියුම් මදහසක් තම මුවගෙහි තබා ගෙනය. 

“මම හිතුවා පොඩි මෑන්ට මාස තුනක් උනාට පස්සේ නුලාරාව මේ බිස්නස් වලට  සම්බන්ධ කරගන්න. එයාගේ අම්මා කියනවා වගේ එයා ගෙදරින් ඉස්කෝලෙටයි ඉස්කෝලෙන් ගෙදරටයි විතරක් ගිහිල්ලා ගේ ඇතුලෙ හැදිච්ච ළමයෙක්. මේ බිස්නස් ගැනයක් කිසිම දෙයක් දන්නේ නෑ. ඒ ඇතුලේ අපිට ආශ්‍රය කරන්න සිද්ධ වෙන මිනිස්සු කවුද අපි මොන විදිහටද එයාලව ආශ්‍රය කරන්න ඕනේ. එයා බිස්නස් වලට ඉන්වෝල් වෙන්න අකමැති වුනත් ඉඳලා හිටලා හරි ඇවිල්ලා අපිත් එක්ක මේ වැඩවලට එකතු වෙන්න ඕනේ බං. ඇත්තටම බබාගේ  තත්වයයි එයාගේ සිතුවිලියි දෙකම අපේ  අම්මා මට හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා.” 

“ඒක තමයි මං ඇත්තම කතාව.”

පසුගිය දිනවලදී තේජන රඹුක්වැල්ල නිවසට ගියේ දරුවා බලන්නටත් හෙට  අනිද්දාම රටින් පිටවීමට නියමිත රඹුක්වැල්ල යුවළට සමු දෙන්නටත් සිතාගෙනය. එහෙත් නුලාරා එකඳු වදනක්වත් තමා හා කතා නොකර මගහැර සිටි බව මෙවේලෙහි තේජන මිතුරා හා පැවසූයේ නැත. එදවස තමා රඹුක්වැල්ලලාගේ  නිවසට යද්දී ඇගෙන් ලැබෙන ආගුන්තුක සත්කාර ඉහළය. පැය ගණනක් ඔහේ කියවමින් සිටී. ඉඳහිට දුරකථන ඇමතුමක් දී සැප දුක් සොයා බලන්නේ චාරුක සේම ඇයත් තමාට ඇති මිත්‍රත්වය පෙන්වමින්ය. එදා ඇය හැසිරුනේ ඒ සියල්ල අමතකව ගිය ලෙසින්ය.

(හෙටත් හමුවෙමු ආදරයන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here