මලක් වී යළි පිපෙන්නම් – 50

0
71

රඹුක්වැල්ල යුවළ  යළිත් ඇමරිකාව බලා පිටත් වූයේ අඟහරුවාදා උදෑසනය. දරුවාව හත් අට වරක්ම සිප ගත් නයනා රඹුක්වැල්ල නුලාරාවත් සිප ගත්තේ සෙනෙහසින්ය. 

“සතු⁣ටින්ම ඉන්න ඕනේ පුතේ. ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒවා ඔය දෙන්නා කතාබහ කරලා විසඳගන්න ඕනේ. චාරුක පුතා ඔයාට හරි ආදරෙයි. එයාගේ මුළු ලෝකයම ඔයයි, මේ දරු පැටියයි තමයි. එයා ගෑනු දරුවෙක්ට ගරු කරන්න දන්න පිරිමියෙක් වීම මට ලොකු ආඩම්බරයක් දුව. ඔයාලා සතුටින් ඉන්න ඕනේ. ඒක තමයි තාත්තගෙයි මගෙයි සතුට වෙන්නේ…”

ඕ ඒ සියල්ල පවසනතුරු නුලාරා දරා සිටියේ සිනහවකින්ය.

“දැන් ඉතින් මෙයාව දාලා යනවා කියලා කියන්නේ ඒක පුදුම වේදනාවක්. අපි ඉක්මනින්ම ආපහු ඔයාවයි මේ දරු පැටියාවයි බලන්න එන්නම් දුව.” 

ඈ යළිත් එසේ පැවසූයේ කුඩා පුතුව සිප ගනිද්දීය. 

මේ ආදරයත්, සොයා බැලීමත් ඈ මේ නිවස තුළ තමාට දුන් තැනත් සියල්ල තමාට අහිමි කළේ චාරුකයැයි කියන්නට සිත් වුවත් නුලාරා එසේ නොකළාය. ඈ දැන් පැරදුම පිළිගෙන අවසන්ය. විසි හතර පැයේම නුලාරාට මැවි මැවී පෙනෙන්නට වූයේ මන්දස්මිගේ ඊමේල් පණිවිඩය කියවමින් සිටි චාරුකගේ සිතෙහි මැවුණු පෙම්වත් සිනහවය. 

මේසා විසල් නිවාස තුළ මෙවැනි කතන්දර අරුමයක් නොවේ යැයි ඇයට සිතිණ. මුදල්, බලය, රූපය පාවිච්චි කරමින් තමාගේ සුඛ විහරණය සඳහා කටයුතු කිරීමද අරුමයක් නොවේ. මේ සියල්ල ජීවිතයේ තමා ලද වාසනාවක් යැයි සිතා සිටි නුලාරා, මේ ජීවිතයේ අවාසනාවන්තම ගැහැණිය තමායැයි සිතන්නට පුරුදු වී සිටියාය. එහෙත් ඕ  ඒ බැව් කිසිවෙකුටත් නොපෙන්වා සිනහවකින් දරා ගත්තාය. 

සංකල්පනී පැමිණියේ රඹුක්වැල්ල යුවල පිටව ගිය දා සවසය. මවත් පියාත් ගුවන් තොටුපළ තෙක් ඇරලවූ චාරුක යළිත් කාර්යාලයට පැමිණියේ ප්‍රසංගය සඳහා අනුග්‍රාහකත්වය පළ කිරීමට කැමැත්තෙන් වූ ආයතන කිහිපයකම නිලධාරීන් හමුවීමට තිබු නිසාය. 

“ඔයා ආපු එක හොඳයි සංකල්පනී……”

නුලාරා පැවසූයේ යෙහෙළියගේ දකුණතින් අල්ලාගෙනය. ඕ වියළි සිනහවක් පෑවාය. හෙදිය විසින් දරුවා නුලාරා අසලට ගෙන එන්නේ කිරි දීමේ කටයුත්තටය. ඊට අමතරව තමාට පාළුවක් දැනෙන සෑම විටකම නුලාරා දරුවාව තමාගේ යහනට ගෙන්වා ගත්තාය. තමා දැන් අම්මා කෙනෙකුය යන  සිතුවිල්ල දැනුණු සෑම වතාවකම ඇයට ඇතිවූයේ ජීවත් වන්නට ආසාවකි. ඇඳ මත උන් පුතුව සුරතල් කරමින් විනාඩි කිහිපයක් කාලය ගත කළ සංකල්පනී  කල්පනා බරව උන් යෙහෙළිය දෙස බැලුවේ මහත් වූ අනුකම්පාවක් සිත්හි දරාගෙනය. ඈ සිටින්නේ සතුටින් නොවේ.  තමා කතා කරනතුරු සූදානමින් මෙන් බලා සිටින හෙදිය පැමිණ දරුවා රැගෙන ගියේ නුලාරාගේ අණ කිරීමෙන්ය. 

“එදා තේරුනේ නැති ගොඩක් දේවල් අද මට තේරෙනව සංකල්පි. මිනිස්සුන්ට තමන්ගේ පුරුදු අතාරින්න හරි අමාරුයි. චාරුක උනත් සමහර විට උත්සාහ කරන්න ඇති.”

“මටත් තේරෙන්නෙ නෑ මොනවා කියන්නද කියලා.”

“මේ වගේ දේවල් දැනිලත් නොදැනුනා වගේ ජීවත් වෙන ගෑනු ඕන තරම් ඇති. හිත රිද්දගෙන අඬා වැටෙන ජීවිතේ එපා වෙලා වගේ ජීවත් වෙන්න,  වෙන ඕනෙම දෙයක් වෙද්දාවෙ කියලා හිත හදාගෙන ජීවත් වෙන තමන්වම රවට්ට ගන්න ගෑනු අය ඕන තරම් ඇති. මට එහෙම වෙන්න බෑ සංකල්පි. මට හැමදාම තිබුණේ එකම හීනයයි. ඒ මං ආදරේ කරන කෙනා මගෙම විතරක් වෙන්න ඕනේ කියන හීනය. එයා මගේ විතරක් නෙමෙයි කියලා හිතෙන තත්පරයක් තත්පරයක් පාසා මං පිච්චෙනවා. එච්චරයි මං දන්නේ”

“අපි හැමෝම ආස වුණේ එහෙම වෙන්නනේ. ඒත් මට දැන් හිතෙනවා ආදරේ කියන්නෙත් අකුරු හතරකට සීමා වෙච්ච වචනයක් විතරයි කියලා. ඔයා දන්නවද පහුගිය කාලෙම මමත් ලොකු පීඩනයක ජීවත් උනේ.”

“අනේ ඇයි එහෙම කියන්නේ. මං හිතුවේ ඔයා අම්මලා ඉඳපු නිසා ආවේ නෑ කියලා.”

“ඒකත් එක හේතුවක් තමයි.  ඊටත් වඩා වැඩි හේතුවක් තිබුණා. මං හොඳටම තනි උනා. කොච්චර යාලුවෝ හිටියත් අන්තිමට මට ඒ වගේ දෙයක් කතා කරන්න කෙනෙක් හිටියේ නෑ.”

“අනේ සොරි සංකල්පි. හිතා මතාම මං ඔයාව මගහැරියා නෙමෙයි. චාරුකගේ අම්මා ගෙදරින් එළියට ගියපු නැති හැම වෙලාවකම හිටියේ මෙතනට වෙලා. බබා එක්ක. ඒ නැතිවෙලාවල් වලටත් මම මගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා හිතුවා. ඔයාට කතා කරන්නවත් හිතුණු නැති දවස් ඒ”

“අනේ නෑ මං ඔයාව ඒම් කරලා එහෙම දෙයක් කිව්වා නෙමෙයි. ඔයාටත් දහසක් ප්‍රශ්න තියාගෙන මං කොහොමද මගේ දුක ඔයත් එක්ක බෙදා ගන්නේ කියලා මං හිතුවා. ධනුක හරි වේගයෙන් වෙනස් වෙනවා.”

“ඒ කියන්නේ…”

“මට දැන් හිතෙනවා නුලාරා එයා මට හංගන මොනවාම හරි දෙයක් තියෙනවා කියලා. එයාගේ ගමේ කවුරුවත් දන්නේ නැහැ මං මැරි කරලා ඩිවෝස් වෙන්න යන කෙනෙක් කියලා. ඇයි එයාට මාව ගමට එක්කන් යන්න බැරි ඇයි එයා මං ගැන අම්මට නොකියන්නෙ. මේ ළඟකදි ඉඳලා එයාගෙන් ඒ ගැන කිසිම දෙයක් අහන්නන බෑ කේන්ති යනවා. මට හිතෙනවා නුලාරා එයා මාව එයාගේ කටට බය කරගෙනයි ඉන්නේ කියලා.”

“අනේ දෙයියනේ! ඔයාලා ඉඳපු විදිහට කොහොමද එහෙම හීනෙකින්වත් හිතන්නෙ. මිනිස්සු කවුරුවත් අපි හිතන විදිහ නෙමෙයි කියලද ඔයා ඔය කියන්න යන්නේ.”

“සමහර විට වෙන්න ඇති. මම ධනුකගේ අම්මගේ නම්බර් එක හොයා ගත්තා. මට වෙලාවකට හිතෙනවා කතා කරල බලන්න.”

“මොනවා කියලද..ඔව් එක්කෝ ඔයා කතා කරන්න. මේවයේ  කෙළවරක් තියෙන්න ඕනනේ.”

“ඒත් ඇත්තම කියලා කතා කරන්න බෑ. මම හිතුවේ ධනුකගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් විදිහට කතා කරන්න.” 

“එහෙම කරලා…”

“එයා දැන් මොකද කරන්නේ කින්ද මන්ද කියලා විස්තර අහගන්න. සමහර විට යාළුවෙක් කියලා කතා කලොත් එයා මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කවුද එයාගේ ජීවිතයට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා හරි විස්තර කියයිනේ.”

“එහෙම හොඳයි. අපි එහෙම කරලා බලමුද?”

සංකල්පනී  තම ජංගම දුරකථනය අතට ගත්තේ හිස වනමින්ය. ඇයත් නුලාරාත් ගේ උයනට ඇවිද ගියේ ළදරු කාමරයට එබුණාට පසුවය. ළදරු කාමරය ලෙස සකස් කර තිබුණේ නුලාරාගේත් චාරුකගේත් කාමරයට එහා පස වූ කුඩා කාමරයයි.”

“බබාට නින්ද ගියා මැඩම් දැන් හොඳට බඩ පිරිලානේ ඉන්නේ.”

හෙදිය එසේ පැවසූයේ නුලාරා දෙස බලාගෙනය. 

“මම චුට්ටක් ගාර්ඩන්  එකට යනවා බබා ඇහැරුණොත් මට කතා කරන්න..”

ධනුකගේ මව ඇමතුම හා සම්බන්ධ වූයේ ඒ අතරමගදීමය. නුලාරා සංඥා භාෂාවෙන් “ස්පීකර් ඔන්  කරන්න” යැයි පැවසූයේ සිමෙන්ති බංකුවේ එක් පසෙක අසුන් ගනිමින්ය. 

“ආන්ටි මම නිහාරා. ආන්ටිට මාව මතකද දන්නෙ නෑ ධනුකත් එක්ක සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්තේ. අපි එක පන්තියේ.”

“මට එහෙමකට කියලා නිච්චියක් නම් නෑ ළමයෝ.” 

“ඒලෙවල් කරලා ටික කාලෙකට පස්සේ මම ලංකාවෙන් ගියා ආන්ටි. අපේ මාමල හිටියෙ ඕස්ට්‍රේලියාවේ. අවුරුදු ගානකට පස්සේ තමයි ආපහු මේ ලංකාවට ආවේ. දැන් මං මේ ලිස්ට් එකක් අතේ තියාගෙන යාළුවන්ට කතා කරන්න බලනවා. ධනුකගේ ෆෝන් එකට ගත්තට ආන්සර් කලේ නෑ.  ආන්ටිගේ නම්බර් එක ඒ  දවස්වල මං ගාව තිබුණා. ඒක හොයා ගත්තේ බොහොම අමාරුවෙන්. ආපහු මම ලබන මාසෙ අට වෙනිදා ලංකාවෙන් යනවා. ඒ යන්න කලින් ඔක්කොම යාළුවන්ව මුණ ගැහෙන්න කැමැත්තෙන් ඉන්නේ.”

“ඒක කොච්චර දෙයක්ද දුව..”

“ඉතින් කොහොමද ආන්ටි ධනුක දැන් මොකද කරන්නේ? ඉස්සර වගේම සින්දු කිය කිය ඉන්නවද…?”

“ඒ පිස්සුවනම් එයාගේ හිතින් අහක් කරන්න බෑ දරුවෝ. මෙහේ මෙච්චර දේවල් කරන්න තියාගෙන ඔන්න පහුගිය කාලේ කොළඹ ගිහිල්ලා බෑන්ඩ් එකකට සම්බන්ධ වෙලා හිටියා. සිංදු කියන්න. කවද හරි එයා තමන්ගෙම සින්දුවක් කරනවා කියලා තමයි ඉතින් හැම වෙලාවෙම කියන්නෙ. දැන් නං එහේ මොකක් හරි ලොකු කොම්පැනි එකක හොඳ රස්සාවක් හම්බවෙලා. කොළඹම තමයි ඉන්නේ. මාසෙකට සැරයක්වත් ගෙදර ගෙන්න ගන්න දහ වතාවක් කියන්න ඕනේ”

“ඉස්කෝලෙ යන කාලෙත් ඒකනේ ජීවිතේ වුණේ. අපේ ගොඩක් යාළුවෝ මැරි කරලා. මම හිතුවා ධනුකත් මැරි කරලා ඇති කියලා.”

“ඒකනේ මේ ළමයගෙ වයස යන එක ගැනවත් ගානක් නෑනේ.” 

“ආන්ටි බයවෙන්න එපා කොළඹින් කවුරුහරි හොයාගෙන ඇත්තේ.” 

“නෑ.. නෑ..පුතා කසාද බඳින්න ඉන්නේ අර දේවිකා දුව. සෙන්ට්‍රල් එකට ගියා නං ඉතින් නොදන්න විදිහක් නෑනේ. ඔයාලට වඩා අවුරුද්දයිනෙ බාල..මගේ මල්ලිගේ දුව.පස්සේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව උනෙත් ඒ දරුවා”

“ආ.. ඇයි මට මතක නැත්තෙ දේවිකා..ඉතින් දේවිකා මොනවද ආන්ටි දැන් කරන්නේ.”

“දුව නං ඔය වාරිමාර්ග එකේ තමයි වැඩ කරන්නේ. කොහෙද ඉතින් දෙන්නටම ඒ හැටි උනන්දුවක් නෑ. ඒ දරුවත් අපේ ධනුකගේ වචනෙකට පිටින් යන්නේ නෑ. කොහොම උණත් පුතේ මේ අවුරුද්දේ අන්තිමේට දෙන්නා කසාද බන්ඳලා දාන්න කියලා තමයි මල්ලියි  මමයිකතා වුනේ. අප එක්කෙනා ඔය සෙල්ලක්කාරයා වගේ හිටියට දේවිකා දුව ගෑණු ළමයෙක්නේ. අනිත් එක ඉතින් මේ මුළු ගමම ඔය ගැන දන්න එකේ ඒ දරුවා තනි වෙන එක ඒ තරම් හොඳ නෑ.”

ඒකනෙ අනේ ඉතින් මොකටද කල් දාන්නේ…”

සංකල්පනී එසේ පැවසූයේ දෙතොල් පට හපා ගෙනය ඇගේ දෑස් වලින් ගලා හැලුණු කඳුළු කොපුල් දිගේ බේරීවිත් සිමෙන්ති බංකුව මත වැටී යන අයුරු නුලාරා බලාගෙනය. හදවතට දැනුනේ රිදුමකි. 

“දැන් මං හිතන්නේ ඒ සම්බන්ධකමට අවුරුදු අටකට වැඩියි. අපි නොදන්නවා උනාට ඕක ඉස්කෝලෙ යන කාලේ ඉදලා තිබුණු යාළුකමක්නේ.”

“හරි ආන්ටි එහෙනම් මං කියන්නම්. කොහොම හරි පණිවිඩයක් යවලා මං ධනුකට කතා කරන්නම්. අපි හම්බ වෙන වෙලාවට දේවිකාටත් එන්න කියන්න පුළුවන්නේ…”

ඇය අවසන් වදන් කිහිපය පැවසූයේ මහත් ආයාසයක් දරාගෙන බව විශ්වාසය. දුරකථනය විසන්ධි කළ ඕ සිය දෑත් වලින් මුහුණ වසා ගත්තේ සිහින් හඬකින් ඉකි බිඳිමින්ය. 

“මට ඒක දැනුන නුලාරා. එයා දේවිකා කියන කෙනෙකුට සල්ලි යවද්දි,  දේවිකා කියන කෙනෙක් එක්ක මැසේජ් කරද්දි හොරෙන් හොරෙන් කතා කරද්දි දේවිකාව ලස්සනට අන්දගෙන වෙඩින් එකට යන්න ඕන කියලා කියද්දී මට ඒක දැනුනා.”

“අනේ අඬන්නේ නැතුව ඉන්න. මට තේරෙන්නේ නෑ මම මොනවද කියන්න ඕනේ කියලා ඒත් අඬලා දොඩලා ප්‍රශ්න විසඳ ගන්න බෑ කියලා ඔයයි මමයි දෙන්නම දන්නවනේ. ප්ලීස් අඬන්නෙ නැතුව අපි ඊළඟට කරන්න ඕනේ මොනවද කියලා බලමු.”

නුලාරා එවර පැවසූයේ ඇගේ දෝතින්ම අල්ලා ගෙනය. ඇගේ දෑස් වලත් පිරී තිබුණේ කඳුළුය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here