ගීතාංජලී – 03

0
48

ගමන් මාන්සිය නිසාමද මන්දා වවුලන්ගෙ සද්දෙ මැද්දෙ උනත් සනීපෙට බුදිය ගත්තා.

 උදහැනැක්කෙ ඇහැරුනේ කුරුල්ලො කැගහන සද්දෙට. මුලු වලව්වම වට වෙලා තිබ්බෙ ගස් කොලන් පිරිච්චි කැලෑවකින් හන්දා කුරුල්ලන්ගෙ සද්දෙ එක වකාරෙට ඇහුනා.

උදහැනැක්කෙ ඇහැරිලා ඇඳේ ඉඳගෙනම කල්පනා කොලේ අද ඉඳල ඉතින් වෙනස්ම ජීවිතයක් නෙව ගතකොරන්න වෙන්නෙ කියල.නොදන්න පලාතක,නොදන්න මිනිස්සු එක්කල…

ආයෙමත් මේ ජනේලෙ ඇරිල නෙව.හුලං පාර හෝ හෝ කියාගෙන කාමරෙ අස්සට රිංගනව.උදේ පාන්දර හින්ද පුදුම හීගතුවක් තමා තිබ්බෙ. හිරිගඩු පිපිච්චි අත් දෙකත් බදාගෙන මන් ජනේලෙ අද්දරට ගියේ ජනේලෙ වහන්න වගේම ඩිංගිත්තක් වට පිටාවත් බලාගන්නය කියල.

මන් උන්නු කාමරේ ඇරුනෙ කැලෑව පැත්තට හන්ද එක පාර බැලුවාම පේන්නෙ ගස් කොලන් වියනට උඩින් පායාල තිබිච්ච ඉර. ඉර පායන දිහාවට කාමරේ මූණ දාල තිබිලත් මේ කාමරේ උන්නු ස්වර්ණ ගෙ ජීවිතේ අඳුරු වෙච්චි එක නෙව කාරණාව?

මට කල්පනා උනේ ස්වර්ණාවමයි.හැබෑටම ඒ තරම් බෝම සරුසාර පවුලක එකම දරුව විදිහට ඉපදිල ඔය වගේ ඇබැද්දියක් උනේ කෝමෙයි?අනික ඔය කියන තරම් ගෑණු දරුවො අන්තරස්දාන උනානම් තාම මක්කැයි මේ පොලීසියෙ මාත්තුරු කොරන්නෙ හොයන්නෙ බලන්නෙ නැතිව?

පායන් එන ඉර එලිය හරි ලස්සනට වත්ත පුරා විහිදිල හරියට සලුවක් ඇතිරෙව්ව හේ.ස්වර්ණා ගෙ කාමරේට වත්තෙ පැති තුනක් පේනව. එයැයිගෙ කාමරේ තිබ්බෙ කුලුනක වගේ. එක්ටැම් ගේක හේ හිරකරල තිබ්බ ස්වර්ණව දීග ගාමිණී කෙනෙක් ඇවිදින් එක්කන් ගියා වෙන්න බැරිද කියලත් මට හිතුන…

“දූ තාම නැගිටල නැතිවද කියලත් හිතාල තමා මන් මේ උඩහට ආවෙ”

එකපාර මගෙ පිටිපස්සෙන් ආව සද්දෙට තමා මයෙ කල්පනාව කඩාන වැටුනෙ.පිටිපස්සෙ උන්නෙ වලව්වෙ කුමාරිහාමී.

“නෑ නෝ…. නැන්දෙ මන් සාමාන්‍යයෙන් උදේම ඇහැරෙනව.මන් පල්ලෙහට එන්න හිතද්දි තමා නැන්ද ඇවිදින් කතා කලේ. “

“ඒකට කාරි නෑ දුවේ.ඩිංගක් දවල් වෙනකම් නිදා ගත්තට මොකෝ? දැන් විතරයි නෙව ඔහොම නිදාගන්න පුලුහන්.දීග ගිය කාලෙක ඉතින් නිදාගන්න ඕන උනත් නිදාගන්න බැ නෙව.මට මතකනෙ අපේ සුවර්නත් නිදියන්න හරි රුසිය”

හිනාවෙවී කතාව කියාන ආපු උන්දැගෙ හිනාව උදේ පාන්දර ඉර මුලිච්චි වෙච්චි පිණි බිංදුවක් හේ මැකිල ගියේ අකාලෙ අන්තරස්දාන වෙච්චි, මක්කද උනේ කියල දන්නෙවත් නැති ස්වර්ණා මතක් උන හන්ද වෙන්නැති.

“පල්ලෙහට යන් දුවේ, මූණ කට ඩිංගිත්තක් හෝදගන්න.දවල් වෙලා තමා දුවේ නාකියා ගන්න වෙන්නෙ , හරි හීගතුව නොවැ මේ දවස්වල උදහැනැක්කෙට”

” ආහ් ඒකට නම් කාරි නෑ.මන් දවල් වෙලා නාගන්නම්කෝ  නැන්දෙ.කෝමත් මේ ඇඳුම් මලුටික පිළිවෙලක් කොරගන්න උවමනයි නෙව”

“ඒක හරි.යන් දුවේ පල්ලෙහාට”

සෑහෙන කාලෙකින් කවුරුවත් උඩහට ඇවිත් නැති හන්දා වෙන්නැති පඩිපෙල මේ තරම් කෑ ගහන්නෙ.පල්ලෙහාට එන ගමන් ආයෙ මන් අර එල්ලල තිබ්බ පින්තූර දිහා බලාගෙන ආවෙ.

“දූට නාගන්න නම් දුවේ පල්ලෙහාට යන්න වෙනව.අපේ ළිඳ දැන් කාලාන්තරේක ඉඳල නහත්ති වෙලා ගොහින් . ගන්දස්සාරෙ හන්ද වහල දැම්ම, නරක් වෙලා ගොහින්. ඒ හන්ඩ පහල දෙණියෙ පොකුණෙන් තමා නාගන්න වෙන්නෙ.කාරි නෑ නේද දුවේ?”

“අනේ ඒක කාරියක් නෑ.ඕක මක්ක වෙනවද”

“මූණ කට හෝදගන්නත් පොකුණට යන්න ඕනෙද නැන්දෙ? “

“මන් දූ එනවය කිව්ව හන්ද අපේ ලෙච්චමීට කියල මන් වතුර කල දෙක තුනක් පිරවල තිව්ව.කෝමත් මාත් පල්ලෙහාට යන්න ඕන දුවේ වතුර අරන් එන්න.”

“නැන්ද ඉන්න.මන් ගොහින් වතුර ගේන්නම් නැන්දෙ. මට පාර ඩිංගක් පෙන්නුවොත් ඇති”

මන් එහෙම කීවම ඒමනුස්සය ආයෙමත් එයාගෙ ලස්සන හිනාවෙන් මට සංග්‍රහ කලා.

කුස්සිය පැත්තෙන් එලියට බහින්න පොඩි පඩි දෙක තුනක් තිබ්බ.එතනින් බැස්සම මූණටම හම්බුනේ අතරින් පතර ගෙඩියක් දෙකක් තිබ්බ ජමනාරං ගහක්.ඒ ගහ අද්දරම හදල තිබ්බ සිමෙන්ති තට්ටුවක් උඩ තමා වතුර බේසමක් තියල තිවුනෙ.හනිකට මූණ කට හෝදන් මන් එද්දි  නැන්දා කෑම කාමරේ මේස උඩ කෑම ලැහැත්ති කොරල තිවුන.

“කිරිබත් හෙට හදන්න කියල හිතුවෙ දුවේ

දූ රාජකාරියට යන මුල් දිනේ හන්දා. කිතුල් පිටි කැඳ හැදුව.දූ බීල තියෙනවද දන්නෙ නෑ මීට කලින්.”

“එකවතාවක් බීල තියනව නැන්දෙ. නැන්ද විතරද මේ ගෙදර ඉන්නෙ?”

ගේ වහගෙන තිබ්බ පාලුවයි අන්දකාරෙයි හන්ද තමා මන් එහෙම ඇහුවෙ.

“පදිංචි වෙලා ඉන්නෙ නම් මන් විතරයි දුවේ.ලෙච්චමී කියල අපේ වත්ත කෙලවර ගෙදරක ඉන්න කෙල්ලෙක් ඉඳල හිටල   ඇවිත් ඔය උදව්වක් පදව්වක් කොරල යනව දුවේ. ඒ ඇරෙන්න වෙන කවුරුවත් නෑ ඉතින්”

මට හැබෑටම පව් කියලත් හිතුන.මහ ගිරි දඹේ වගේ තියෙන කඳු ගැටයක් උඩ තියෙන සාගරේ වගේ විහිදිච්ච කැලෑවකින් වටවෙච්චි වලව්වක තනියම ඉන්නත් මේ ඇත්තිට මොන තරන් දහිරියක් තියෙන්න ඕනෙ නේද කියල මට හිතුන.

කාල බීල අහවර වෙලා මන් විගහට උඩට ආවෙ කාමරේ අස් පස් කොරන්න කියලහිතල.

දවස් කීයකින් ආයෙ ගෙදර යන්න වෙයිද දන්නෙ නැති හන්ද මන් කෝකටත් කියල ඇඳුම් ඩිංගක් වැඩිපුර අරන් ආව. ඔසරි සාරි වගේම ගෙදෙට්ට අඳින්න ඕන රෙද්දහැට්ට ගවුම්  හෙම අල්මාරියෙ අඩුක් කරන්න තමා හිතුවෙ. අල්මාරියෙ එක පලුවක්ම  හිස් කරල තිවුනෙ මයෙ ඇඳුම් දාන්න වෙන්නැති.අනිත් පැත්තෙ තිබුනෙත් හරි ලස්සන ඔසරි සාරි හෙම අඩුක්කරල.

පව් ස්වර්ණගෙ ඇඳුම් වෙන්නැති.

“ඔය අපේ සුවර්ණගෙ ඇඳුම් දුවේ.දූ අරන් අඳින්න දුවේ.කාරි නෑ ඒකට.”

කාමරේ දොරට සේන්දු වෙලා ඇස් වල උනාපු කඳුලු බිංඳුවක් ඔසරි පොටෙන් පිහදාන ගමන් එහෙම කිව්වෙ නැන්දා.

“හැබෑටම ස්වර්ණට මොකද්ද නැන්දෙ උනේ? මන් එහෙම ඇහුවට නැන්ද අමනාප වෙන්න එපා.නැන්ද මනාප නම් විතරක් කියන්න”

“මොකටද දුවේ අමනාප වෙන්නෙ.මගෙ දුකක් කියන්නවත් මට වෙන කවුද කියල ඉන්නෙ.”

දිග හුස්මක් අරන් උන්දැ ඇඳ උඩ හරි බරි ගැහුනෙ එයැයිගේ හිතේ පැළපැදියම් වෙච්චි වේදනාව කියන්න වෙන්නැති.

“අපෙ වෙද මහත්තයයි, සුවර්ණයි උන්නු කාලෙ මේ ගේ තිබ්බෙ මාලිගාවක් හේ සරුසාරෙට දුවේ. ඒ කාලෙ ගමේ උදවිය උනත් නිතර නිතර පාහෙ මෙහෙ ආව.මගුලක්, මරනයක් මොක උනත් අපි උන්ගෙ දුකේදි සැපේදි එකට උන්න.

ඔහොම ඉද්දි තමා ගමේ උන්නු ගෑනු දරුවො එක එක අන්තරස්දාන වෙන්න ගත්තෙ.

මුලින්ම නැතිඋනේ මන් ඉස්කෝලෙ උගන්නද්දි මගෙ පංතියකම උන්නු පබා කියල ගෑනු දරුවෙක්. ඉස්කෝලෙදි උනත් බෝම කැපී පෙනිච්ච, වැඩ ටික හොඳට කරන් උන්නු දරුවෙක්. ඒ දරුව අන්තරස්දාන උනාම ඒ දරුවගෙ ඇයි හොඳයියක් සුමනෙ කියල ගමේම කොල්ලෙක් එක්ක තියෙනවය, පබා ඌ එක්ක පැනල යන්න ඇතිය කියාල ගම්මු කයි කතන්තර කිව්ව.අන්තිමේ ඒ ඔක්කොම  කතන්තර ඉවර උනේ සුමනෙගෙ මිනිය ඇල්ලෙ දෙබොක්කාවක හිරවෙල තියෙනව හම්බුනාට පස්සෙ.

අපි හිතුවෙ නැති විදියට ඒ අන්දකාරෙ මුලු පලාතම වහගත්තෙ වලව්වෙ පාන වගේ ඉඳපු අපේ සුවර්නවත් අන්තරස්දාන කොරගෙන දුවේ.

එදා ඉස්කෝලෙ පිංකම තිබ්බ දවස.සුවර්න උන්නා බෞද්ධ කමිටුවේ ලේකම් විදිහට.පිංකම අහවර වෙලා එන්න ඇවිදින් උන්නෙ ගමේ ඉස්කෝලෙ තව ගුරුවරියෙකුයි ලමයි කීප දෙනෙකුයි එක්ක. අන්තිමට තියෙන්නෙ අපෙ ගේ හන්ද එතන ඉඳපු එක කොලු ගැටයෙක් ඒත් අහල තිබ්බ ඇවිදින් සුවර්නව ඇරලවන්නද කියාල. ” එපා මල්ලියෙ තව අඩි දෙක තුනනෙ, මන් තනියම යන්නම්” කියාල සුවර්න ඇවිදින් තියෙනව.

මහ රෑ ආවෙ නැති හන්ද එක්කරන් එන්නය කියල  මන් ලෙච්චමීලැ තාත්තා කන්නසාමිට එන්න කියල බලන් උන්න.උන්දැ තමා ඇවිත් කිව්වෙ සුවර්නා ගෙදෙට්ට එන්න් පිටත් වෙලා සෑහෙන වෙලා විත්තිය. ඒඋනාට සුවර්න ඊට පහුවෙන් ගෙදර ආවෙ නෑ දුවේ.

මුලු ගම වටේම හෙව්ව.හම්බුනේ නෑ මයෙ කෙල්ල.එතනින් පස්සෙ තව කී දෙනෙක් අන්තරස්දාන උනාද? ඒ එකියක්වත් හොයාගන්න බැරිඋනා දුවේ. එහා පැත්තෙ අර කොත පේන වලව්වෙ ඉන්නෙ අපේ ලඟම හිතවතෙම්.ඉස්ටීවන් මලයත් මොන තරම් පොලීසියෙ දැන ඇඳුනුම්කන් පාවිච්චි කොරාද ඔව්ව හොයන්න.හම්බුනේ නෑ.ලොකු ඉස්කෝලෙ මහත්තය, පන්සලේ හාංදුරුවො, එහෙමත් සෑහෙන මාන්සි උනා.

එතනින් පස්සෙ ගැටිස්සියෙක් එලිය පහළියට බැස්සෙ නෑ බයට. එතනින් පස්සෙ මගෙ ජීවිතේම අන්දකාර උනා දුවේ. උන්නට උන්න වගේ මන් ජීවත් උනේ.ඊයෙ දූ ආවට පස්සෙ තමා ආයෙමත් මේ ගෙදර ඩිංගක් එලිය උනේ.”

මන් උන්නෙ ඒකතාව අහන අතරෙ කැලෑව දිහා බලාගෙන.සියාතු මාම කිව්ව කතාවට වඩා වෙනසක් අලුතෙන් අහන්න නැතිඋනාට තමන්ගෙ එකම දූ නැතිවෙච්චි අම්මෙක්ගෙ වේදනාව ගැන මට දැනගන්න ඇහැක් උනා.

“පොලීසියෙන් ඇවිත් හෙව්වම මුකුත්ම හොයාගන්න බැරිඋනාද නැන්දෙ?”

“මොන දුවේ? කෙල්ලො කී දෙනෙක් අන්තරස්දාන උනාද? මෙලෝ ඔත්තුවක් ලැබුනෙ නෑ. කී දෙනෙක් කී දාහක් දේවල් කිව්වද? පබා අන්තරස්දාන උනාම නම් කොල්ලෙක් එක්ක වහංගු වෙන්නැතෑ කිව්වට තව දැරිවියො අන්තරස්දාන උනාට පස්සෙ මිනිස්සු තව කයි කතන්තර කිව්ව.

නිදානයක් ගන්න බිලි දෙන්න ඇතෑ කිව්ව. ඇල්ලෙන් පනින්න ඇතෑ කිව්ව.”

“මක්කටෙයි නිකන් ඇල්ලෙන් පනින්නෙ?”

“මේක දුවේ රාවණා රජතුමාගෙ අඩවියලුනෙ.උන්නාස්සෙ කෝප උනාම ලමිස්සියො ඇල්ලෙන් පැනල මැරෙනවලු විකාරෙන් වගේ”

“පිස්සු තමයි” මන් එහෙම කියාගත්තෙ මටමයි.ඔය එක එක රජ්ජුරුවන් කෝප උනාම මක්කටද කෙල්ලො ඇල්ලෙන් පනින්නෙ. අනික දෙයියනේ ඇල්ලෙන් පැන්නත් උන්ගෙ මල කඳන් අහුවෙන්න එපාය.

මන් හිතපු එක දැනිලද මන්ද නැන්දත් එතනින්ම කතාව පටන් ගත්තෙ.

“මන් ඔව්ව විස්වාස කොරන්නෙ නෑ දුවේ.කාටත් වඩා හොඳට මන් අපේ සුවර්නව දන්නව නෙව.අනික ඇල්ලෙන් පැන්නනම් මිනියවත් ලැබෙන්න එපාය.මොනව උනාද මන්ද දෙයියනේ මයෙ කෙල්ලට, හොරු අරන් ගියා වගේ”

ඇස් වලින් වැක්කෙරෙනෙ කඳුලු ඔසරි පොටට උරාගන්න ඉඩෑරල නැන්ද එහෙම කිව්ව.ඇඳෙන් නැගිටක ඇවිදින් අල්මාරියෙ තිබ්බ රෝස පාට මල් වැටිච්චි සාරියක් අතට අරන් නාහෙට තියල සුවඳ ඉඹපු නැන්ද සාරිය මයෙ අතට දුන්න.

“මේ සුවර්න මුලින්ම ඉස්කෝලෙ උගන්නන්න ගිය දිනේ ඇන්ද ඔසරිය දුවේ.දූ මෙව්ව අරන් අඳින්න දුවේ.මගෙ ඇස් දෙකට ආයෙ මට සුවර්නව දූගෙන් වත් දකින්න තියේනම්…”

එහෙම කියල අඬ අඬම උන්දැ කාමරෙන් එලියට ගියා.මන් කොලේ කල්පනා කර එකමයි.පව් දෙයියනේ.මට මක්කහරි වෙයි කියලා අපේ අම්ම උනත් බය ඕකනෙ දෙයියනේ.

බඩු මලු අස් කරල ආයෙ පල්ලෙහට බහිද්දි හොඳටෝම දවල් වෙලා.නැන්ද කුස්සියේ රාජකාරි අස්සෙ හිරවෙලා ඉද්දි මන් ලැහැත්ති උනේ නාගෙන එන්ට. කුස්සියෙ පඩිපෙල බැහැල නාරං ගහ අද්දරින් දකුණට තියන පඩි විස්ස තිහ බැහැල ගියාම පොකුණ තියෙන විත්තිය නැන්ද කිව්ව. ඒ කිව්වෙ අඩිපාර ඔස්සෙ ගියාම හරි සිරියාව තියෙන අහකට නෙව වැටුනෙ.

පොකුණක් නෙවි ඒක පාරාදීසයක්.උඩින් පිපිල තිබ්බෙ මන් කවදාවත්ම දැකල නොතිබ්බ විදියෙ මහ විසාල මල් ගහක්.නුග ගහක් හේ විසාල ඒ ගහේ දම්පාට මල් පිපිලා, ඒ මල් පෙති මුලු පොකුනම වහගෙන.හරිම සිරියාවයි.

ඉක්මනට නාකියාගන්න ලැහැත්ති වෙලා පොකුණට බහින්න හදද්දිම තමා කොහෙන්දෝ ආව ගල් කැටයක් පොකුණට ජබොහ් ගාගෙන වැට්ටෙ.

කොහෙන්ද බොලේ ඒ ගල්.කැටයක් ආවෙ…

“කවුද ඔතන?”

ගල් කැටේ ආව ඉසව්ව බලාන මන් එහෙම ඇහැව්ව.සර සර ගාල වේලිච්චි කොල පෑගෙන සද්දයක් තමා ඇහුනෙ.

“ජබොහ්”

ආන් තව ගල් කැටයක්…

“කවුදැයි මේ හැංගි හැංගි විගඩම් කරන්නෙ ගෑණු නාන මංකඩ අස්සෙ?”

“එලියට ආවනම් හොඳයි”

සර සර ගාන සද්දෙ එක්ක මන් මුලින්ම දැක්කෙ කකුල් දෙකක්.

කලු පාට… රෝම වලින් වැහිච්චි…

-මතු සම්බන්ධයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here