මලක් වී යළි පිපෙන්නම් – 51

0
127

යෙහෙළියන් දෙදෙනා ඔවුනොවුන් දෙස බලාගෙන නිහඬව ගත කළ කාලය විනාඩි කීයක්දැයි දෙදෙනාටම වගක් වූයේ නැත. කිසිවක් නොකියා සිටියාට සංකල්පනීගේ දෑස් වලින් නොනවත්වාම කඳුළු ගලා යමින් තිබිණ. සංවේදී හිත් ඇත්තියක වූ නුලාරාගේ  දෑස් වලද පිරී තිබුණේ කඳුළුය. සංකල්පනීත් ධනුකත් දෙස බලාගෙන තමා ජීවිතය ගැන සිහින මැවූ අයුරු නුලාරාට සිහි වූයේත් ඒ හදිසියේමය. 

“ඔයා දැන් මොකද කරන්නේ?…”

අවසන එසේ ඇසුවේ ඇයයි. 

“මොනව කරන්නද මං කොහේ යන්නද, කොතනක නවතින්නද කියලා මට හිතාගන්න බෑ. කොහොම හරි මේ ජීවිතේ ධනුකත් එක්ක ගෙවනවා ඇරෙන්න මට ආපහු හැරිල යන්න තැනක් නෑ. අම්මගේ තාත්තාගේ ලඟට යනවා කියන්නේ මං තවදුරටත් ඒගොල්ලන්ගේ ජීවිත වලට බරක් වෙනවා කියන එක. සමහර විට මල්ලියි නෑනයි උනත් කැමති වෙන එකක් නෑ මං ආපහු එයාලා ළඟට එනවට.” 

“ඉතිං ධනුකට  පුළුවන්නේ දේවිකාව අතෑරලැ  ඔයාව මැරි කරන්න.”

“එයා අපි දෙන්නගෙන් කවුරු තෝර ගනීද කියන එක මං දන්නෙ නෑ නුලාරා. ඊයේ පෙරේදා ඉඳලා එයා මගේ හිත රිදෙන්න ගොඩක් දේවල් කිව්වා. කසාදෙ කඩාගෙන ආපු ගෑනියෙක්ගෙ වටිනාකම කොච්චරක්ද කියන එක සමහර වෙලාවට එයා මට වචනවලින් ඇඟෙව්වා. ඒත් මං මෙහෙම දෙයක් ගැන හීනෙකින්වත් හිතුවේ නෑ”

යළිත් දෙදෙනා අතර ඇති වූයේ නිහඬ බවකි. 

“මේ හැම දෙයක්ම හීනයක් වෙනවනම්…”

අවසන ඕ යළිත් පැවසූයේ යෙහෙළියගේ දෝතම අල්ලාගෙනය. 

“මේ කිසි දෙයක් හීනයක් වෙන්නේ නෑ. හීන ලෝකවල ජීවත් වුණේ අපි. හීන ලෝක වලින් එළියට එන්න බැරි උනේ අපිට.”

“ඔයා ඔහොම කියනකොට මට ඔයා ගැන  මහා බයක් දැනෙනවා.”

“මං ජීවිතේට මුකුත් කර ගන්නේ නෑ නුලාරා. ළිඳට වැටිච්ච මිනිහා ගොඩ එන්න ඕනෙ  ළිං  කටින්ම තමයි. මං ඒකට උත්සහ කරනවා.”

සංකල්පනී නැගී සිටියේ එසේ පවසමින්ය. ඇය සිය පිටි අත්ලෙන් දෑස් වල වූ කඳුළු පිස දා ගත්තාය. නුලාරා තවදුරටත් බලා සිටියේ ඇයට කුමක් පවසන්නදැයි සිතමින්ය. අවවාදයක් දෙන්නට යමක් කියන්නට හෝ ඇගේ දුක බෙදා ගන්නට තරම් දැනුමක්, සමාජ අත්දැකීමක් නුලාරාට  වූයේ නැත. මේ ජීවිතය තුළ දවසින් දවස ඇය අත්දකින්නේ අලුත් සිදුවීම්ය.”

“මටත් කවද හරි මෙහෙම වෙයි…”

ඒ වදන්  ඈ හිතා මතා මුවින් පිට කළ ඒවා නොවේ. එහෙත් ඉදිරියට අඩියක් තැබූ සංකල්පනී නැවතී පසුපස බැලුවාය. 

“ඔයා ගැනත්  මට හරි දුකයි නුලරා. හැම මනුස්සයෙකුටම තමන් පතපු ජීවිතේ ලැබුණෙ නැද්ද එහෙම නැත්තං අපි දෙන්නට විතරද මෙහෙම වුණේ කියලා මට හිතාගන්න බෑ. මං දැන් යන්න ඕනේ.”

“අනේ ඇයි හදිසියෙම යන්න හදන්නේ…”

“මං හිතන්න ඕනෙ නුලාරා  මට මොනවද වෙන්නේ කියලා? මං මීට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා.”

“ඔයා ධනුක එක්ක රණ්ඩු කරනවද..?”

“ධනුක කියන්නේ මට රණ්ඩු කරලා නවත්ත ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. ධනුක එක්ක  රණ්ඩු කරනවා කියන්නේ මට එයාව නැති වෙනවා කියන එක. එයාවත් මට නැති උනොත් මේ ලෝකෙ මට නැති වෙන්න තවත් වෙන දෙයක් නෑ. මම යනවා ධනුකගේ අම්මව මුණ ගැහෙන්න.”

“ගිහින්..”

“මේ හැම දෙයක්ම කියනවා ඇත්තම..එයාට පුළුවන් වෙයි මාව තේරුම් ගන්න. ගෑනියෙක්ට පුළුවන් තවත් ගෑනියෙක් තේරුම් ගන්න. ඇත්ත මට රන්දික ළඟින් නිදහස් වෙන්න වුවමනාව තිබුණ තමයි. මං පතපු ඒ  සැහැල්ලු ජීවිතේ එයාල ගාව තිබුනෙ නෑ තමයි. හැබැයි තීරණයක් ගන්න මම ඉක්මන් උනේ ධනුක නිසා. රන්දික ළඟ මම හිරකාරියක් උනේ ධනුක නිසා. කොටින්ම කිව්වොත් මං ඒ වගේ වැරැද්දකට පෙළඹුනෙත් ධනුක  නිසා. එයාව විශ්වාස කරපු නිසා.”

“ඔයා තනියමද ඒ ගමන යන්න හදන්නේ…?”

“ඔව්..මං කාත් එක්ක යන්නද මේ විස්තර මං කාට කියන්නද? මේ හැම දෙයක්ම මට තනියම තමයි විසඳ ගන්න වෙන්නේ”

“ඔයාට මොනවා හරි කරදරයක් උනොත්.”

“ඔයා කියන්න ධනුක නිසයි මට ඒ හැම දෙයක්ම උනේ කියලා.”

එසේ පවසන විට සංකල්පනීගේ මුවෙහි වූයේ මදහසකි. ඒ සිනහව සතුටට වඩා බර වූයේ අසරණකමටය. තම අත් බෑගයත්  රැගෙන සංකල්පනී රඹුක්වැල්ල නිවසින් පිටවූයේ නුලාරා බලා සිටියදීමය. ඇය වෙනුවෙන් සෝමා මින්  විනාඩි කිහිපයකට ඉහතදී ගේ උයනටම රැගෙන ආ දොඩම් යුෂ වීදුරුවත් කේක් කැබලි කිහිපයක් තවමත් එහෙමමය. නිවස තුළට නොයාම නුලාරා යළිත් ලී බංකුව මතින් අසුන් ගත්තාය. 

ඇගේ දෑස් ඉදිරිපිට මැවී නොපෙනී ගියේ චාරුකගේ කඩවසම් රුව ය. යහළිය  ගැන දුකක් සේම තමා පිළිබඳව ආත්මානුකම්පාවක් දැනෙමින් තිබූ පපුව රිදුම් දෙන්නට විය. අවසන ඒ සියලු හැඟීම්වලට වඩා උත්සන්නව දැණුනේ  කලකිරීමකි. ධනුක සංකල්පනීව රවටා ඇත්තේ නිර්ලජ්ජිත අයුරින්ය. විවාහයක හිමිකම තමාට ලබා දුන්නත් චාරුක ධනුකටත් වඩා අන්ත ලෙස තමාව රවටනවායැයි නුලාරාට සිතිණ. 

“ධනුකලා චාරුකලා  දිහා බලනකොට අපේ තාත්තලා මොනතරම් ආදරණීය මිනිස්සුද. එයාලට දෙබිඩි ජීවිත තිබුණෙ නෑ.”

අවසන නුලාරා එසේ  සිතුවේ දෑස් මුලට උනා ආ කඳුලක් පිස දා ගන්නා ගමන්ය.

                                        *************

සේරසිංහ තමා ඉදිරිපස අසුන් ගෙන සිටින මාධ්‍යවේදියා දෙස බලා සිටියේ නොඉවසිල්ලෙන්ය. වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඔහුට යොමු කරන ලද සේයා රූ  නරඹමින් උන් තරුණයා හිස ඔසවා සේරසිංහ දෙස බැලුවේ හදිසියකින් සේය. 

“ඔබතුමාට ඕන විදිහට වැඩේ සිද්ද වෙයි. හැබැයි ඉතින් ටිකක් සල්ලි විසික් කරන්න වෙනවා. මේ දවස්වල චාරුක රඹුක්වැල්ල කියන්නේ මේ රටේ ප්‍රසිද්ධම මාතෘකාව. වටිනාකමින් වැඩි දේවල්වලට මුදල්මය  වටිනාකමත් වැඩියි සේරසිංහ මහත්තයා.”

“දැන් තමුසෙ මේ වැඩේට මගෙන් කීයක් බලාපොරොත්තු වෙනවද?”

“ලක්ෂයක්…”

“හ්ම් හරි…හැබැයි ඇඬෙන්න වැඩේ දෙන්න ඕනේ.”

“මම සේරසිංහ  මහත්තයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?”

“මොකක්ද…?”

“චාරුක රඹුක්වැල්ල කියන්නේ සාමාන්‍යයෙන් බොහොම හොඳ මහත්මා ගතිගුණ තියෙන මහත්මයෙක් කියලනේ හැම තැනම ප්‍රසිද්ධ. මං දන්න තරමින් සේරසිංහ මහත්තයත් නරක මනුස්සයෙක් නෙමෙයි. ඔබතුමාගෙයි මගෙටි  දැන හැඳුනුම්කම අවුරුදු දහයකට කිට්ටුයි. අපි දෙන්නා එකට වැඩ කරලා තියෙනවා. හැබැයි ඔබතුමා මෙහෙම වැඩකට මේ අත ගහන පළවෙනි වතාව. ඔබතුමා කරන බිස්නස් චාරුක රඹුක්වැල්ල  කරන බිස්නස් වෙනස්. මේ තරුණ ගැටයා එක්ක මොකක්ද ඔබතුමාට තියෙන තරහ.”

“ඒක අවුරුදු ගානක ඉතිහාසයකට ඇදිලා ගියපු කතාවක් අයිසේ. මගේ තරහ තියෙන්නේ වර්ණ එක එක්ක මිසක් චාරුක රඹුක්වැල්ල එක්ක නෙමෙයි. චාරුක රඹුක්වැල්ල කියලා කියන්නේ මම වගේ මිනිහෙක්ට මොන්ටිසෝරි දරුවෙක් ගානයි අයිසේ. දැනට ඒ ඇති.”

“දවස් තුනක් ඇතුළත ඔබතුමාගේ වැඩේ කෙරිලා තියෙයි.”

“මෙන්න ඇඩ්වාන්ස් එකක්. ඉතිරි හරිය වැඩේ කෙරුණට පස්සේ…”

සේරසංහ  පැවසූයේ ඔහු ඉදිරිපසින් රුපියල් පනස් දහසක මුදලක් සටහන් කළ චෙක්පතක් තබමින්ය. ධනුක පැවසූ පරිදි මේ කාර්යය සාර්ථක විය යුතුය. වර්ණ ඇඩ්වර්ටයිසින්  බින්දුවටම වට්ටන්නට වුවමනාව මිස තමාගේ මුදල් ගැන සේරසිංහට වගක් වූයේ නැත. 

                                 **************

ධනුක හා මේ කිසිවක් කතා නොකරන්නට සංකල්පනී තීරණ කළේ ආපසු එන අතරේදීය. නුලාරාගේ නිවසට යන්නට පෙර මිලදී ගත් සිම්පත ඕ බොහෝ අර පරිස්සමට දුරකථනයෙන් ඉවත් කර අත් බෑගයේ කෙළවරක රඳවා ගත්තාය. 

සිතට දැනෙන මේ අසරණකම අහසටත් වඩා උසය. විවාහයට පෙරත් ප්‍රේම සම්බන්ධකම් කිහිපයක් තිබූ බව සැබෑය. එහෙත්ම සංකල්පනීට සිදු වූයේ අනපේක්ෂිත ලෙස හදිසියේ ගෙන ආ විවාහ යෝජනාවකට එකඟ වන්නටය. කාලයක් තිස්සේම රන්දිකගේත් තමාගේත් අදහස් ගලපාගන්නට කල සීතල යුද්ධයකින් පසුව ධනුක යනු ජීවිතයට හමු වූ හොඳම පිරිමියායැයි සංකල්පනී විශ්වාස කළාය. රන්දික  හා ගෙවූ වසර එකහමාරක විවාහ ජීවිතයෙන් පසුව තමාට තමාම වී සිටින්නට අවස්ථාවක් ලැබුනේ ධනුක අසලය. එහෙත් ඔහු මේ අයුරින් තමාව රැවටුයේයැයි සිතද්දී සංකල්පනීට ඒ හැඟීම ඉවසුම් නොදෙන්නක් විය. ඈ ඕනෑ දේටත් එපා දේටත් නිකරුනේ කඳුළු සලන ගැහැණියක නොවේ. එහෙත් මෙවේලෙහි තමාව නවතා ගන්නට සංකල්පනී දැන සිටියේ නැත. කිසිවකු නොවූ ඇනෙක්සියේ ඇඳ මතට වී ඕ  රිසිසේ හඬා වැටුණේ ඒ  දුක දියකරන්නට සේය. 

මෑතක සිට ධනුක සෑම දිනකම නිවසට පැමිණෙන්නේ බීමත්වය. බොහෝ දිනවල රාත්‍රී ආහාරයවත් නොගෙන ඇඳට වැටෙන ඔහු මධ්‍යම රාත්‍රියත් ගෙවී යන තුරුම තමාගේ පහස අපේක්ෂා කරන බව සිහිව සංකල්පනී වෙව්ලා ගියාය. විවාහය සඳහා ගමේ යුවතියක බලාපොරොත්තු තබාගෙන බලා සිටියදීත්, ඔහු ඇයගේ සුන්දරත්වය ආරක්ෂාව ගැන සිතද්දීත් තමා ඒ කය පමණක් සන්තර්පනය කරන ගැහැණියක පමණක්යැයි වැටහුම් වද්දි සිතට දැනෙන්නට වූයේ පුදුමාකාර ආත්මානුකම්පාවකි. 

ඒ රිදුම, වේදනාව, කලකිරීම කෝපයක් බවට පත්වන්නට බොහෝ වේලා ගත වූයේ නැත. එහෙත් අවසන සියල්ල ඉවසා දරා සිටින්නට ඈ තීරණය කළාය. අපහසුම වූයේ ඔහුට වෙනසක් නොපෙන්වා සිටීමය. ඈ රන්දිකගේ නිවසේ දමා ආවේ පෝරුවේදී ඔහු පැලැන්ඳූ මඟුල් මුදුව, සමාජය ඉදිරියේ ගෞරවයක් ලබා දුන් විවාහ සහතිකය පමණක් නොව අම්මා, තාත්තා, නෑදෑ යාළු මිත්‍රකම් සියල්ලමය. සංකල්පනීට  මහා අසරණකමක් දැනෙමින් තිබුණේ එනිසාය. තමාගේ කියා සියල්ල අහිමි කරගෙනත් ඈ ධනුකගෙන් සෙවූයේ සතුටය. පසුගිය කාලය පුරාම සංකල්පනී සිතමින්, සැලසුම් කරමින්, බලාපොරොත්තු තබා ගනිමින් සිටියේ රන්දිකගෙන් ඉක්මනින් දික්කසාදය ලබාගෙන ධනුක හා අලුත් ජීවිතයක් පටන් ගන්නටය. ඒ ජීවිතය තුළට දරු පැටියෙකු කැන්දා ගන්නටය. මේ ගිනිබත්  වූයේ ඒ සිහිනය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here