ගීතාංජලී – 4

0
574

ඉක්මනට නාකියාගන්න ලැහැත්ති වෙලා පොකුණට බහින්න හදද්දිම තමා කොහෙන්දෝ ආව ගල් කැටයක් පොකුණට ජබොහ් ගාගෙන වැට්ටෙ.

කොහෙන්ද බොලේ ඒ ගල්.කැටයක් ආවෙ…

“කවුද ඔතන?”

ගල් කැටේ ආව ඉසව්ව බලාන මන් එහෙම ඇහැව්ව.සර සර ගාල වේලිච්චි කොල පෑගෙන සද්දයක් තමා ඇහුනෙ.

“ජබොහ්”

ආන් තව ගල් කැටයක්…

“කවුදැයි මේ හැංගි හැංගි විගඩම් කරන්නෙ ගෑණු නාන මංකඩ අස්සෙ?”

“එලියට ආවනම් හොඳයි”

සර සර ගාන සද්දෙ එක්ක මන් මුලින්ම දැක්කෙ කකුල් දෙකක්.

කලු පාට… රෝම වලින් වැහිච්චි…

ඩිංග ඩිංග එයැයි එතන තිබ්බ ගස් කොලන් අස්සෙන් ඉස්සරහට ආව.

බයටම මගෙ පපු කැනැත්ත ඩිග් ඩිග් ගාන සද්දෙ මටම ඇහුනා.තනමත්තක්  ඇඳගෙන උන්නු දිය රෙද්ද අල්ලන් මන් එයැයිගෙ කකුල් දෙකේ ඉඳන් උඩහට බලාන ගියා.කලු පාට කකුල් දෙකක්.රෝම පිරිච්චි ඇඟක් තිබ්බ කොලු ගැටයෙක්.කලිසම් කොටේකුයි,  කමිසෙකුයි ඇඳන් උන්නෙ. කමිසෙ බොත්තම් පියවල තිබ්බෙත් නෑ.ඇරිච්ච කමිසෙ හුලඟට දෙපැත්තට විහිදෙනව හුලං පාරට. පපුවත් වහගෙන රෝම ගුලාවක්.වලස් ගෙඩියෙක් වගේ මිනිහෙක්. අවුල් වෙච්ච කොණ්ඩෙ මූනට වැක්කිරිලා.එයැයි  ඒවා එහෙට්ට මෙහෙට්ට කර කර මන් දිහාව බලාන උන්නෙ මහ පුදුමෙකින් වගේ.අපි දෙන්නම අපි දෙන්න දිහා බලාන උන්නෙ මහ පුදුමෙකින්.

බයටම මට කෑගහන්නවත් මතක් උනේ නෑ.

“බයවෙන්න කාරි නෑ.මන් ආවෙ මේ මඩ  ඩිංගිත්ත හෝදගන්න.ඔයා මෙතන ඉන්න විත්තියක් මන් දැනන් උන්නෙ නෑ.මෙතනට එන්නෙ නෑ කවුරුවත්ම.”

මන් සද්ද නැතිව උන්නු නිසාමද කොහෙදෝ එයා කතාකොරන්න පටන් ගත්තෙ.මන් තාම උන්නෙ මේ කවුදැයි කින්ද මන්ද කියාල හිතාගන්න බැරුව.

පපුව ගැහෙන එක තාම නතර වෙලා තිබ්බෙ නෑ.ඒඋනාට දිගටම ඔහොම ඉන්න ඇහැකිය. ඒ හන්දා මන් හිතුව මක්ක හරි කියන්න ඕනෙය කියල.

“ඒකට කාරි නෑ. බාල්දිය අරන් හෝදගන්න”

මන් එහෙම කියාල තුවාය අරන් මගෙ කර වැහෙන්න දා ගත්තා.එයැයි බාල්දිය අරන් කකුල් සෝදගන්න පටන් ගත්ත.කලු පාට කකුල් නෙවි, මඩ ගෑවිලා හන්ද තමයි කකුල්කලු පාටට පෙනිල තිබ්බෙ.

“ඔයාව මීට කලින් මගෙ ඇහැ ගැටිලම නෑනෙ”

උන්දැ එකපාර එහෙම කිව්ව.උන්දැට මක්කටද ඒ විත්තියක්.

“ඔයැයිගෙ ඇහැ ගැටෙන්න මන් මේක අස්සෙ රිංගන් ඉන්නෙ නෑනෙ”

මන් ගත්තු කටටම එහෙම කිව්වම උන්දැ බය වෙලා වගේ මුලියෙන් මයෙ මූන දිහාව බලන් උන්න.මන් කියාපු එක ගනන් ගත්තෙ නෑ හේ තමා එයැයි කට කොනකින් හිනා උනේ.

“මොකද ඔය හැටි නපුරු? මන් නරක දෙයක්ද ඇහුවෙ ඔයාගෙන්?”

උන්දැ එහෙම කිව්වමනම් මන් කතා කරපු විත්තිය හරි නැති විත්තිය මට යාන්තමට තේරුනා.ඒ මනුස්සය මන්  එන්න කලියෙන් හිට මෙහෙ උන්නු එක්කෙනෙක් වෙන්නැති නෙව.

ඒඋනාට අඳුරන්නෙ නැති උදවිය එක්ක කතා ඕනැන්නෙ නෑනෙ කියාල මන් අහක බලාන උන්න.ඒඋනාට එයැයි නම් කතාව නවත්තන පාටක් නෑ වාගෙයි.

“ඔයා කොහෙද ඉන්නෙ? මන් මීට කලින් හැබෑටම ඔයාව දැකල නෑ. මේ පොකුනට නාන්න කවුරුවත් එන්නෙත් නෑ. මේ හරියෙ ගෙදරකට කියල තියෙන්නෙ රදන්පොල වලව්වයි, ගොඩකවෙල වලව්වයිත් විතරයිනෙ. ගොඩකවෙල වලව්වෙ ඇත්තො මෙහෙ නාන්න එන්නෙ නෑ, රදන්පොල වලව්වෙ ඉන්නෙත් කුමාරිහාමි විතරයි නෙව.

ඒකයි මන් ඇහුවෙ”

වක්කඩක් කැඩුවා හේ උන්දැ කියෝගෙන ගියේ.බුදු අප්පොච්චියේ එහෙම කියවිල්ලක් මන් මගෙ උපන්තේකට අහල නෑ නෙව.

උන්දැ මොකක් හරි කීවම මට ආයෙ කටවහන් ඉන්න ඇහැක.ආඩම්බර කම් පැත්තක තියාල වචනයක් දෙකක් දොඩන්න ඕනෙ කියල හිතුව.මක්ක වෙනවද ආයෙ ඩිංගක් කතා කොරාය කියල.

“මන් ඉන්නෙ රදන්පොල වලව්වෙ.ලඟදි ආවෙ”

“කිරි අප්පේ.මේ එහෙනම් අලුතෙන් ගමේ ඉස්කෝලෙට පත්වෙලා ආවය කියන ඉංගිරීසි ගුරී වෙන්නැති.ශැහ් කවුදැයි නෝනෙ ඕක හිතුවෙ.මට ඒක නිච්චියක් උනේ නෑ නෙව”

යකඩො මුන්දැ මන් ගැන දන්නව නෙව.මන් එන විත්තිය මුන්දැ කෝමද දැන උන්නෙ?

“මන් එන විත්තිය කෝමද ඔය ඇත්තො දැන උන්නෙ?”

මන් එහෙම ඇහැව්වමනම් උන්දැ හිනාඋන විදියට මගෙ ඇඟේ ආයෙ හීගඩු පිපුනා.බුදු අප්පෝ ඒම හිනාවක්.

“මට හොරා ඉතින් මේ ගමට උඩින් කාක්කෙක්වත් පියාඹනව බොරු”

එහෙම කියල උන්දැ ආයෙත් මහ සද්දෙට හිනාඋනා නෙව.

“ඇයි ඔයැයි මහ ඒජන්තද?”

ආව කේන්තියටම උන්දැගෙ අතේ තිබිච්ච බාල්දිය ඇදල අරන් පොකුනට දාන ගමන් මන් එහෙම ඇහැව්ව.

“විහිලුවක් කලේ නංගි.මට ආරන්චි උනා ඉස්කෝලෙට අලුතෙන් ඉංගිරිසි ගුරුවරියක් එන විත්තිය.රදන්පොල වලව්වෙ  තමා එයා නතර වෙන්නෙ කියලත් මන් දන්නව.ඒඋනාට ඒ ඔයා විත්තියක් මට හිතුනෙ නෑ.තරහගන්න කාරි නෑ.මන් විහිලුවට එහෙම කිව්වෙ.”

මට තරහ ගිය විත්තිය දැනිලද කොහෙදෝ උන්දැ ඊලගට කතා කොලේ බෝම යාප්පුවෙන්.පොකුනෙන් ගත්ත වතුර බාල්දිය හෝදන්න ගෙනාව රෙදි ගොඩ උඩට අතාරින ගමන් මන් ආයෙ උන්දැ දිහාව හැරිල බැලුව.

“ඔයැයි මක්කද මේ කැලෑව අස්සෙ කරන්නෙ? ඔයැයි කවුද?”

“හැබෑටම මන් කවුදැයි කියාල කියන්න බැරිඋනානෙ.මගෙ නම රංජිත්.මන් මේ නිකන් කැලෑවෙ ඇවිදින්න ආව. ආන් අර පැත්තෙ තිබ්බ මඩ වලකට ඇද වැටිලගෑවිච්චි මඩ ටික හෝදගන්න ආවම තමා මන් මේ ඔයාව දැක්කෙ”

“මක්කටද ඉතින් ගල් කැට ගැහැව්වෙ පොකුණට?”

මන් එහෙම කිව්වම එයැයි ආයෙමත් හිනාඋනා.ඔච්චර හිනාවෙන්න මන් මක්කද කිව්වෙ? සමයං තමා.

“ඔයාගෙ ගෙවල් මන් හිතන්නෙ ගාල්ලෙ පැත්තෙ නේද?”

දෙයියනේ මුන්දැ කෝමද ඒ විත්තියක් දන්නෙ.මන් ගැන සෑහෙන විත්තිය මුන්දැ දන්නව නෙව.මට පුදුමත් හිතුනා මුන්දැ මේ කියවන තාලෙට.හොල්මනක්වත් ද දෙයියනේ මන් ගැන මේතරන් කාරනා කටයුතු දන්නෙ?

මන් එහෙම හිත හිත ඇස් ගෙඩි උඩ දාන් උන්දැ දිහා බලාන උන්නු විත්තිය උන්දැට තේරිලාද කොහෙද උන්දැම ආයෙ කටඇරියෙ.ඒකනම් වහන්න පුලුහන් කටක් නෙවෙයි හේ.

“නෑ නෑ බයවෙන්න එපා .දැන් ගිනි සැරේට් කල්පනා කොරනව ඇති නේද මෙයා කෝමද මන් ගැන මේ තරම් විස්තර දන්නෙ කියල? මට ඉස්සට යාලුවෙක් උන්නා ගාල්ලෙ, උන්දැ කතාකරන්නෙත් ඕන් ඔයවිදිහටමයි . අපිත් ඉතින් ඇහැක් විදියට කණක් අඳින්න එයාගෙන් ඉගෙන ගත්තා”

ඒකතාවනම් උන්දැ කිව්වෙ මට ඔච්චමටයි..”ඇහැක් විදිහය කණක් අඳින්න” කියාල මහ ඔච්චම් හිනාවක් තමා උන්දැ කට කොනකින් පෙන්නුවෙ. හරි කතාවක් නෙව . අපේ පලාතෙ කතාකරන හැටියට මුන්දැල හිනාවෙන්නෙ නිකන් මුන්දැල කතාකොරන්නෙ නැති හේ නෙව.මට නම් කේන්තියි අම්මප.

“ඒවයින් කාරි නෑ.දැන් ඔය ඇත්තො යන්න.මට නා කියාගන්න ඕන”

“ඉතින් නාගන්න.මන් එපා කීවය”

යකඩො මුන්දැ නම් කෝවෙ දාල මකන්න වෙයි.මන් කෝමද දෙයියනේ මේ අදුරන්නෙ නැති ඇත්තෙක් ඉස්සරහ නාකියාගන්නෙ.මුන්දැට ඒක තේරෙන්නෙ නැතෙයි.

“ඔය ඇත්තො පුදුම කතා නෙව කියන්නෙ.මන් කෝමද ඔයැයි ඉඳිද්දි නාගන්නෙ.මොන විලිලැජ්ජ නැතිකමක් ද ඒ.යන්නකො ඉතින් මෙතනින්.මන් ගියාට පස්සෙ ආය ඇවිත් ඕන හැටියට ඉන්න”

“හරි හරි මන් යන්නම්කො එහෙනම්.හැබැයි යන්න කලියෙන් මට ඔයාගෙ නම දැනගන්න ඕන”

“අර මක්කටද මගෙ නම?”

“මන් යන්නෙ නෑ හැබැයි නම කිව්වෙ නැත්තම් ඕන්න.”

පුදුම නෙයියාඩමක්නෙ දෙයියනේ මුන්දැ මේ නටන්න තනන්නෙ? දෙයියන්ගෙ හාල් කැවිලද මන්දා? දහ අතේ කල්පනා කොරල අන්තිමේ නම කියනව කියල හිත හදාගත්තෙ නැත්තම් මේ කපේට මට නාගන්න වෙන්නෙ නැතැයි කියාල තේරිච්චි හන්දමයි.

“මගෙ නම ගීතාංජලී. දැන් හරිනෙ?නම දැනගත්ත නෙව ඔය ඇත්තො.යන්නකො දැන්වත් පින්සිද්ද වෙයි”

“හරිහරි මන් යනව එහෙනම්.”

යනවය කියල කිව්වට උන්දැ ගියේ නෑ.කන්න වගේ මන් දිහාව බලාන උන්න.ඒ බැල්ම දරාගන්න බැරි හන්දම මන් පොකුනට බාල්දිය දාල වතුර ඩිංගිත්තක් ගන්න හැරුනා.

“මාව හම්බුවෙච්ච විත්තියක් කා එක්කවත් කටක් හොල්ලන්නෙ නෑ.හරිද?”

උන්දැ එකපාර එහෙම කිව්වම මට පුදුමත් හිතුන.හරියට නිකන් අණ දෙන්නහේ තමා උන්දැ ඒක කිව්වෙ.උන්දැට මක්කටද ඒ විත්තියක්.මට ඕනෙ දේ නේන්නම් මන් කොරන්නෙ.උන්දැ ආයෙ එන්න ඕනෙදමට කරන්න ඕන එව්ව කියල දෙන්න.

“අර මක්කටද එහෙම කොරන්නෙ?”

හැරිල බැලුවම, දෙයියනේ කෝ මේ මනුස්සය? දැන් මේ මෙතන උන්නු මනුස්සය එකපාර සද්දයක්වත් නැතුව අන්තරස්දාන වෙලා නෙව.

පොකුන වට පිටාවට මූන පොවල බැලුවට උන්නෙ නෑ කොහෙවත්ම.

මොන මල යකෙක්ද මන්දා? එකපාර කොහෙදෝ අස්සක ඉඳල මතුවෙලා දැන් මේ එකපාර අන්තරස්දාන වුනේ කෝමද?

එක එක විකාර ඔලුවට එනවාහේම බයකුත් හිත ඇතුලෙන් මෝදු වෙනව හේ මට තේරුනා.දෙයියනේ අම්ම කිව්ව විදිහට මන්තිරු හාංදුරුවො හම්බුවෙලා ලඟාපාත ඉස්කෝලෙකට මාරුවක් හදා ගත්ත නම් ඉවරයි නෙව.මේ නොදන්න දීපංකරේක ආවෙ.රෙදි ඩිංගිත්තත් හෝදගෙන, හනිකට නාකියාගෙන මන් එන ගමනුත් දහ පාරක් හේ පස්ස හැරිලා බැලුවා උන්දැ ඉන්නවද කියල? ම්ම්හ් පේන තෙක් මානෙක උන්දැගෙ හෙවනැල්ලක්වත් තිබ්බෙ නෑ.

” ඇති පදං නාකියාගත්තද දුවේ?”

කල්පනාවෙ ඇවිත් නාරං ගහ ලගින් වත්තට ඇතුල් වෙද්දිම නැන්ද එහෙම ඇහුව.උන්දැ බලාන ඉන්න ඇති මන් එනකම් තනි හන්ද.

“ඔව් නැන්දෙ.නිල් කැටේට වතුර පිරිල.හරි හීතලයි .”

“අප්පේ ඔව් දුවෙ.ඕනෙම් මාන්සි වෙලාවක පොකුනෙ වතුර ඩිංගිත්තක් නා ගත්තම මාන්සිය කොහෙන් ගියාද නෑ.අපේ මේ ලිඳ නාක් වෙන්න කලියෙනුත් අපෙ සුවර්න හෙම ඔය පොකුනට නාන්න යනව .ඒ තරම් සනීප වතුර ටික”

නැන්ද එක්ක කතා කර අර රෙදි ටික වේලෙන්න දාද්දි තමා දැක්කෙ කුස්සියෙ ඉඳල පොඩි කෙල්ලෙක් පඩි බැහැන් මේ ඉසව්වට එනව. කලු පාට කෙල්ලෙක්.,කොන්ඩ කරලකුත් ගොතාන, නලලෙ පොට්ටුවකුත් තියාන උන්නෙ.දුටුව හැටියෙම මන් හිතුව ලෙච්චමී වෙන්නැතෑ කියල.

“ආ ලෙච්චමී වාංග…”

“දුවේ මේ ඉන්නෙ ලෙච්චමී. මන් කීවෙ අර පහල ඉන්නවය කියල වත්ත කෙලවරේ… මගෙ තනියට ඉතින් දැන් යන්නෙ එන්නෙ ලෙච්චමී තමා”

එහෙම කීවම ඒකි ඇඹරුනේ ලැජ්ජාවෙන් හේ කකුලෙ මාපටැගිල්ලෙන් පොලොවෙ පස් හාර හාර බිංකුඩ්ඩෙක් හේ.

“නෝනෙ ආව විත්තිය අපිලට ආරන්චි උනා.”

“ඒ කොහොමද මන් ආව විත්තිය දැන ගත්තෙ?”

“ශියාතු මාමා අප්පට කියාල තිවුන නෝනෙ එක්ක යන්න යනවය කියල.”

“ආහ් ඒක මිසක්.ලෙච්චමී ඉස්කෝලෙ යන්නෙ නැද්ද?”

“යනව නෝන.මැණිකයි මායි එක පංතියේ තමා ඉන්නව”

“මැණික කිව්වෙ කවුද?”

“ශියාතු මාමගෙ දූ මැණික”

වචනයක් කියන කියන වාරයක් පාසා ඒකි සිරික්කිය දානවා.

පාලුවටත් එක්ක හොඳයි හැබැයි කියව කියව ඉන්න කියල තමා මට හිතුනෙ.

“නෝනේ රෙදි ශේදුවද? මන් වනන්නම් නෝන ?”

“එපා ලෙච්චමී මට ඇහැකි.ලෙච්චමී ඉන්නකො”

“කොහෙන්ද නෝන රෙදි ශේදුවෙ?”

“පහල පොකුනෙන්?”

“පොකුනෙන්?”

“ඔව් පොකුනෙන්? ඇයි ලෙච්චමී?”

පොකුනෙන් කියල මන් කිව්වම ඒකිගෙ ඇස් ගෙඩි දෙක ඔලුවට ගිය හන්දමයි මන් ආයෙමත් එහෙම ඇහැව්වෙ.

“තනියම පොකුනෙ නාන්න යන්න එපා නෝනෙ”

“අර මක්කද ලෙච්චමී එහෙම කිව්වෙ? මන් ඔය යස අගේට නාගෙන ආවෙ අද?”

“එහෙ හොල්මන් තියනවය කියල ඉස්ටීවන් මාත්තිය අප්පට කියල තිවුනා.”

“හොල්මන්?කෝ මට නම් මුලිච්චි උනේ නෑ එක හොල්මනක්වත්?”

මට මේ පොඩි කෙල්ල කියන කතාවලට අප්පෙ හිනත් යනව.හොල්මන් ඉන්නවද අප්පෙ පොකුනු අද්දර?

“ඔව් නෝනෙ.පිරිමි හොල්මනක්.පොකුනෙ ගිලිල මැරිච්ච හොල්මනක් ඉන්නවලු”

“පිරිමි හොල්මනක්? ගිලිල මැරිල? දෙයියනේ”

රෙදි වන වන ඉඳපු අත් දෙක වෙව්ලනව වගේ තමයි මට දැනුනෙ.

ඒකියන්නෙ රංජිත් හොල්මනක්ද?…

-මතු සම්බන්දයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here