හිත සුවපත් වෙන එක එක පාර වෙන දෙයක් නෙවෙයි

“මං හිතුවෙ මගෙ හිත හැදිලා කියලනෙ. එහෙනං ඇයි මම මෙ ආයෙ අඬන්නෙ, දුක් වෙන්නෙ?” කියලා ඔයාටත් කවදා හරි හිතිලා තියෙනවද? 

එහෙම හිතුණා නම්, ඒක ඔයාට විතරක් වෙන දෙයක් නෙවෙයි!

සමහර දවස්වලට උදේට ඇහැරෙද්දී හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඇත්තටම හිනාවෙන්න පුළුවන් වෙනවා. වෙච්ච දේවල් ගැන පොඩ්ඩක්වත් නොහිත පැය ගණන්, සමහර විට දවස් ගණන් වුණත් ගෙවිලා යනවා. “අන්න… මගේ හිත සුවපත් වේගෙන එන්නේ” කියලා ඔයාටම හිතෙන්න පටන් ගන්නවා.

ඊටපස්සේ කිසිම කළින් දැනුම්දීමක් නැතුව, කොහෙන් හරි සිංදුවක් ඇහෙනවා. පුරුදු තැනක් පහු වෙනවා. කවුරු හරි අර නම කියනවා. නැත්නම් කොහෙන්ද මන්දා එකපාරටම පරණ මතකයක් ඔළුවට කඩාගෙන පාත් වෙනවා.

එකපාරටම දැනෙන්නේ ආයෙමත් මුල ඉඳන්ම පටන් ගත්තා වගේ, පරණ තැනටම වැටුණා වගේ හැඟීමක්.

ඒක හරිම වේදනාකාරී අත්දැකීමක්,

 “මං මෙච්චර කල් ඉස්සරහට ආපු ගමනෙන් වැඩක්ම නැද්ද, මගෙ කිසිම වෙනසක් වෙලා නැද්ද” කියලා ඔයාටම ඔයා ගැන සැක හිතෙන්නත් ඒක හේතුවක් වෙනවා.

හැබැයි මෙන්න මේකයි කවුරුත් කතා නොකරන ඇත්තම කතාව.

අපෙන් ගොඩක් අය හිතන්නේ හිත සුවපත් වෙනවා කියන්නේ පඩිපෙළක් නැගගෙන යනවා වගේ දෙයක් කියලා. හැමදාම ඊයේ දවසට වඩා පොඩ්ඩක් හරි ලේසි වෙලා, අන්තිමට එක දවසක උදේට ඇහැරෙද්දී “අම්මෝ දැන් නම් මට ඕක ගැන ගානක්වත් නැහැ” කියලා හිතෙයි කියලා අපි බලන් ඉන්නවා.

හැබැයි ඇත්තටම ඒක පඩිපෙළකට වඩා හරියට මුහුදේ රැළි ගහනවා වගේ දෙයක්.

සමහර දවස්වලට ඒ රැළි හරිම ශාන්තයි, හෙමින් සැරේ පා වෙලා යනවා. හැබැයි තවත් සමහර දවස්වලට කිසිම කළින් දැනුම්දීමක් නැතුව ලොකු රැල්ලක් ඇවිත් ඔයාව සම්පූර්ණයෙන්ම යටකරගෙන යන්න පුළුවන්.

ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා ගියපු ගමන ආපස්සට ගියා කියලා. ඒකෙන් කියන්නේ ඔයා තවමත් ආදරය, වේදනාව දැනෙන මනුස්සයෙක් විතරයි කියන එක.

හිත සුවපත් වෙන එක මෙච්චර හිතාගන්න බැරි විදිහට වෙන්නේ ඇයි දන්නවද?

අපේ මොළය අපේ හැඟීම්බර මතකයන් කවදාවත් සම්පූර්ණයෙන්ම මකලා දාන්නේ නැහැ. ඒ වෙනුවට කාලයත් එක්ක ඒ මතකයන් දිහා බලන, ඒවට ප්‍රතිචාර දක්වන විදිහ විතරයි වෙනස් කරන්නේ. ලොකු හැඟීම් එක්ක බැඳුණු අත්දැකීම් අපේ මොළයේ ගොඩක් ගැඹුරින් තැන්පත් වෙනවා. අන්න ඒ නිසයි විශේෂ සුවඳක්, පුරුදු තැනක්, නැත්නම් නිකන්ම නිකන් වචනයක් නිසා පවා ඔයාගෙන් නැතිවෙලා ගියා කියලා හිතපු පරණ හැඟීම් එකපාරටම ආයෙමත් උඩට එන්නේ.

ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අර පරණ තුවාලය ආයෙමත් පෑරුණා කියලා. ඒකෙන් කියන්නේ එක කාලෙක ඔයාගේ හිතට ගොඩක්ම තදින් දැනුණු දෙයක් ගැන ඔයාගේ මොළයට ආයෙමත් මතක් වුණා කියන එක විතරයි.

මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන තවත් දෙයක් තමයි, හිත සුවපත් වෙනවා කියන්නේ තට්ටුවෙන් තට්ටුව සිදු වෙන දෙයක් කියන එක.

මුල්ම කාලයේදී ඔයා කරන්නේ ඒ වේදනාව දරාගෙන කොහොම හරි ජීවත් වෙන්න උත්සාහ කරන එක විතරයි. ඊටපස්සේ, ඔයාට අහිමි වුණු දේ නැතුව ජීවත් වෙන්න හුරු වෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ සමහර විට මාස ගණනකට, නැත්නම් අවුරුදු ගණනකටත් පස්සේ තවත් අලුත් තට්ටුවක් උඩට එනවා.

මෙන්න මේ වෙලාවට ඔයා දුක් වෙන්නේ අර මනුස්සයා නැති වුණු එක ගැන නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වෙනුවට එයාලා එක්ක හිතෙන් මවාගත්ත අනාගතය අහිමි වීම ගැන වෙන්න පුළුවන්. නැත්නම්, කලින් මානසිකව මුහුණ දෙන්න ලෑස්ති නැතිව හිටපු ඒ අත්දැකීමේ තවත් පැත්තක් ඔයාට තේරෙන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්.

  • එක එක තට්ටුව දැනෙන්නේ එක එක විදිහට.
  • එක එක තට්ටුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ වෙනස්ම දේවල්.

අන්න ඒ නිසයි හිත සුවපත් වෙන ගමන පිලිවෙලකට යනවා වෙනුවට ගොඩක් වෙලාවට අවුල් ජාලාවක් වගේ දැනෙන්නේ.

මිනිස්සු නිතරම මානසිකව වැටෙන තවත් හේතුවක් තමයි, හිත ඇතුළෙන් ආයෙමත් එකපාරටම පරණ වේදනාවක් උඩට එන එක  තමන්‍ට දරාගන්න බැරි වීම කියලා වරදවා වටහාගන්න එක.

හිතන්නකෝ, ඔයා මාස ගණනක් තිස්සේ වුණු හදවත රිදීමකින් හිත හදාගෙන ඉස්සරහට ආවා කියලා. ඊටපස්සේ එක දවසක හිතුවේ නැති වෙලාවක පරණ ෆොටෝ එකක් දැකලා ඔයාගේ ඇස්වලට කඳුළු එනවා.

ඒ වෙලාවට ඔයාගේ ඔළුවට එන මුල්ම සිතුවිල්ල වෙන්නේ “අනේ… මං හිතුවේ මං මේකෙන් ගොඩ ඇවිත් කියලා” කියන එක වෙන්න පුළුවන්.

හැබැයි මතක තියාගන්න, ඇඬුවා කියලා ඔයා ඊට කලින් මාස ගණනක් තිස්සේ හිත හදාගන්න කරපු කැපකිරීම්, ආපු ගමන නැතිවෙලා යන්නේ නැහැ!

තුවාලයක් පෑරුණාට පස්සේ ඉතිරිවෙන්නෙ කැළලක් නෙ. ඒක පරණ තුවාලය වගේ ආයෙත් පෑරෙන්නේ නැතුව වුණත් රිදෙන්න පුළුවන්.

හිත සුවපත් වෙන එක ඇතුළෙත් වෙන්නේ අන්න ඒ දේම තමයි

සමහර විට මේ ගමනේ තියෙන අමාරුම හරිය තමයි අපි ඉස්සරහට යනවද කියන එක හැමතිස්සෙම එකපාරටම පෙනෙන්න නැහැ කියන එක තේරුම් ගන්න එක. හිත සුවපත් වෙන බව කියන ලොකුම සයින් ගොඩක් වෙලාවට හරිම පුංචි, අපිට එකපාරටම මීටර් වෙන්නේ නැති දේවල්!

  • ඔයා හිත අවුල් වෙන දවස්වලින් කලින්ට වඩා ඉක්මනට ගොඩ එනවා.
  • එයාලගෙන් මැසේජ් එකක් ඒවි කියලා බලන් ෆෝන් එක චෙක් කරන එක නතර කරනවා.
  • ඔයා වෙනදාට වඩා නිතරම හිනාවෙනවා.
  • පරණ අතීතය මතක් වෙද්දී වෙනදා වගේ පපුව පලාගෙන යන තරම් වේදනාවක් දැනෙන්නේ නැහැ.
  • අහිමි වුණු දේ ගැනම වටේට කැරකෙන්නේ නැති, ලස්සන අනාගතයක් ගැන ඔයා ආයෙමත් හීන දකින්න පටන් ගන්නවා.

මේ වෙනස්කම් එක රැයකින් වෙන්නේ නැහැ. ඒවා වෙන්නේ කොච්චර හෙමින්ද කිව්වොත්, ආපස්සට හැරිලා බලනකම්ම ඔයා කොච්චර දුර ඇවිත්ද කියන එක ඔයාටවත් තේරෙන්නේ නැහැ.

ඒ වගේම මතක තියාගන්න හිත සුවපත් වෙනවා කියන්නේ අමතක කරලා දානවා කියන එක නෙවෙයි!

ගොඩක් අය හිතන්නේ තමන්ට රිද්දපු කෙනෙක්ව නැත්නම් සිදුවීමක් තාමත් මතක් වෙනවා නම් තමන් ඒකෙන් ගොඩ ඇවිත් නැහැ කියලා. හැබැයි හිත සුවපත් කරගන්නවා කියන්නේ මතකයන් මැකීම නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ, අද ඔයා ජීවත් වෙන මේ මොහොත පාලනය කරන්න අර පරණ මතකයන්ට තියෙන බලය නැති කරලා දාන එකයි!

වෙච්ච දේවල් ඔයාට ජීවිත කාලෙටම මතක තියෙන්න පුළුවන්

අන්තිමට වෙන්න ඕනේ එකම දේ, ඒ පරණ මතකයන් මතක් වුණත්, ඒවට ඔයාගේ හැඟීම් පාලනය කරන්න බැරි වෙන තැනට හිත හදාගන්න එකයි.

ඒ වගේම තේරුම් ගන්න ඕනේ තවත් දෙයක් තමයි, හිත සුවපත් වෙන විදිහ එක් එක් කෙනාට වෙනස්. සමහර අයට ඒකට සති කිහිපයක් යද්දී, තවත් අයට අවුරුදු ගණන් යන්න පුළුවන්. අපේ පෞරුෂය, කලින් ලබපු අත්දැකීම්, වටේ ඉන්න අයගෙන් ලැබෙන සහයෝගය, සහ අහිමි වුණු දේ කොච්චර ලොකුද කියන කාරණා උඩ මේ කාලය වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ හිත සුවපත් වෙන ගමන වෙන කෙනෙක්ගේ ගමනක් එක්ක සසඳන්න ගියොත් වෙන්නේ නිකරුණේ ඔයාම ඔයාගේ හිතට ලොකු බරක්, පීඩනයක් දාගන්න එක විතරයි.

“හිත හදාගන්න ඕනේ මෙන්න මේ වෙනකොටයි” කියලා ඩෙඩ්ලයින් නැහැ!

සමහර විට මුළු කතාවෙම තියෙන සැනසිලිදායකම ඇත්තත් අන්න ඒක වෙන්න පුළුවන්.

හිත සුවපත් කරගන්නවා කියන්නේ රේස් එකක් නෙවෙයි.

ඒක ඔයා, ඔයා එක්කම පවත්වාගන්න ලස්සන බැඳීමක්

ඒ බැඳීමෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඒ තමයි ඔයා හිතෙන් හරිම ශක්තිමත්ව ඉන්න දවස්වලට වගේම, හිත කඩාගෙන වැටෙන දවස්වලටත් කිසිම වෙනසක් නැතුව තමන්ටම ආදරෙන්, ඉවසීමෙන් ඉන්න එක විතරයි.

සමහර දවසක ඔයාට හිතෙයි ඔයා පරණ අතීතය සදහටම අතහැරලා ඉස්සරහට ආවා කියලා.

තවත් සමහර දවසක අතහැරියා කියලා හිතපු දේවල් ගැන ආයෙමත් හිතට ලොකු පාළුවක්, අඩුවක් දැනෙයි.

මේ අත්දැකීම් දෙකම එකම ගමනක් ඇතුළේ තියෙන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි, පුංචි අඩියකින් හරි ඔයා ඉස්සරහට යන එක නතර නොකර ඉන්න එකයි. මොකද, හිත සුවපත් වුණාද නැද්ද කියන එක මනින්නේ ඔයා ආයේ කවදාවත් ඇඬුවේ නැද්ද කියන එකෙන් නෙවෙයි

ඒ වේදනාවට ඔයාගේ මුළු ජීවිතේම පාලනය කරන්න තියෙන බලය හෙමින් හෙමින් නැතිවෙලා යනවාද කියන එකෙන්.

එක දවසක ඔයාටම තේරෙන්න ගනීවි. එක කාලෙක ඔයාගේ මුළු හිත පුරාම පිරිලා තිබුණු, හිතට වද දුන්න ඒ සිතුවිලි දැන් එන්නේ හරිම කලාතුරකින් කියලා.

ඒ පරණ මතකයන් තාමත් හිතේ තියේවි. හැබැයි ඒවට ඔයා ජීවත් වෙන මේ ලස්සන වර්තමානය පාලනය කරන්න, වෙනස් කරන්න බැරි වේවි. ඒ අතීත කතාව ඔයාගේ ජීවිතෙන් අතුරුදහන් වෙන එකක් නැහැ, හැබැයි ඔයා දැන් ජීවත් වෙන්නේ ඒ පරිච්ඡේදයේ නෙවෙයි කියන එක විතරක් වෙනස් වේවි.

ඉතින්, ඊයේ දවසට වඩා අද දවස ඔයාට හිතට හරිම බරයි, අමාරුයි වගේ දැනුණොත්, “අනේ මං ආයෙමත් ආපස්සට ගියා නේද” කියලා කවදාවත් හිතන්න එපා.

සමහර විට අද කියන්නේ තවත් එක එක රැල්ලක් විතරක් වෙන්න පුළුවන්.

ඊට කලින් ආපු හැම රැල්ලක්ම වගේම, මේ රැල්ලත් හෙමින් සැරේ පා වෙලා යාවි!

Related Articles

Don't Miss


Latest Articles