පසළොස්වක මල් – 44

0
795

” දුමී..! මගේ මැණික.. ! හරි ශෝක් මාමයි , දුවයි. මහීකාත් දෙපාරක්ම කෝල් කළා ගෙදර ආවද කියල අහන්න. මං ඒත් කිව්වා දෙන්නත් එක්ක  අරහෙ මෙහෙ රවුම් ගහල , රවුම් ගහලා කඩචෝරු කාලා , කාලා එයි කියලා. “

මෝටර් රථයෙන් බැස දිව ආ තරුණියව සිප වැළඳගත් විශාඛා පින් පාට මුව සිනහවෙන් පුරවා ගනිමින් පැවසුවාය. 

” වොශ් එකක් දාන් එන්න. තේ බොමු “

බර කර ගත් උවනින් ගෙතුළට පිවිස භරණ දෙසත් , තවමත් තම අතෙහි එල්ලී සිටින තරුණිය දෙසත් බැලූ ඈ නැවතත් පැවසුවාය.

 විශාඛාගේ තුරුළෙන් මිදුණු මිහිදුමී සෙමින් සෙමින් තරප්පු පෙළ නැඟ නිදන කාමරයට අඩිය තැබුවාය. භරණගේ නිදන කාමරයේ ද්වාරය සම්පූර්ණම වැසී ගොසින්ය. ඔහු නිවසේ සිටිනා විට කාමරය තුළට වැද ද්වාරය වසා ගන්නේ මවට රහසින් මත්පැන් පානය කිරීමට බව හොඳින්ම දත් මිහිදුමී සුසුමක් හෙළා තම නිදන කාමරයට වැදුණාය. 

” දුමී.. ! මං මේ ගැන මේ කතා කරන අන්තිම වතාව. මං මීට පස්සේ මේ ගැන ඔයා එක්ක කතා කරන්නෑ. ‍ඔයාටත් ආයේ කිසිම දවසක  මාත් එක්ක මේ ගැන කතා කරන්න බෑ. ඔයාට මං පුලුවන් තරම් හොඳට ඉගැන්නුවා. ඔයාට යන්න ඕන කිව්ව කොයි පාරෙද මං ඒ හැමදේටම ඉඩ දුන්නා. මේක මං කියන්නේ හරිම වේදනාවෙන් දුමී.. මං ඔයාට ආදරේ කරේ මගේ දරුවෙක්ට වගේ. මගේ අම්මා උනත් එහෙමයි. ඔයා හරියට නිකන් අපේ ඇඟේ කෑල්ලක් වගේ. අපිට හිටපු එකම කෙල්ල අපිව දාලා ගියා අපිටත් නොකියම. මැරිච්ච මළකඳන් දෙකක් වගේ හිටපු අපි දෙන්නව ආයේ ජීවත් කෙරෙව්වේ ඔයා. අපිට ඔයාට වැඩිය වටින දෙයක් මේ ලෝකේ වෙන නෑ දුමී.. ඔයාව මුණ ගැහිච්ච දවසේ ඉඳන් , ඔයාව අපේ ගෙදරට ගෙනිච්ච දවසේ ඉඳන් අපි ඔයාට මේක මන්තරේ වගේ මුමුණ මුමුණ කිව්වා..

ඒත්.. මට තේරුම් ගන්න පුලුවන් . පිට මිනිස්සු , පිට මිනිස්සුම තමා දුමී. කොච්චර ආදරේ කළත් ඒ මිනිස්සුන්ට තමන්ගේ පවුලේ අය වෙන්න බෑ. මමයි , අම්මයි ඔයාව මොන තරම් උඩ තැනක තියලා ආදරේ කළත් අපි දෙන්නා ඔයාට පිට මිනිස්සු දෙන්නෙක්. මෙච්චර කල් අම්මා , මාමා කියලා කතා කළාට ඔයාගේ හිත ඇතුළෙ අපිට ඒකට ඉඩක් නෑ පුතේ.. “

” සමන් දෙයියනේ මාමේ.. ! මොනවද මේ කියන්නේ.. ? මං.. මං කවදාවත් එහෙම.. “

” දුමී .. මං කතා කරලා ඉවර නෑ. මං කිව්වනේ මං මේ ගැන කතා කරන අන්තිම වතාව මේක. ආයේ මං මේ ගැන කතා කරන්නෑ. අන්න  ඒ නිසා මේ ඔක්කොම කියලා ඉවර වෙනකන් ඉන්න. ඔයාට මහවලතැන්න පවුලේ උරුමේ තියනවා. ඔයාට ඇති තරම් කාලයක් අපේ ගෙදර ඉන්න පුලුවන්. කවදහරි ඔයා අපිව දාලා ගියත් ඔයාට ලැබෙන්න තියන දේවල් ඒ විදිහටම ලැබෙනවා. ඒකේ සැකයක් නෑ. “

” දෙයි හාන්දුරුවනේ .. මාමේ.. ! මොනවද මේ කියන්නේ ?” 

ඉකි ගසමින් හඬා වැටෙන ඈ දෙස අනුකම්පා විරහිතව බැලූ භරණ නැවතත් ඉවත බලා ගත්තේය. 

” මං.. මං කවදාවත් එහෙම හිතුවෙ නෑ මාමේ. දෙයියෝ බුදුන් වගේ මගේ ජීවිතේ ඉන්න ඔය දෙන්නා පිට මිනිස්සු දෙන්නෙක් කියලා මං හිතුවේ නෑ මාමේ.. අනේ.. මගේ පපුව රිදෙනවා මාමේ.. ඔහොම කතා කියන්න එපා.. “

දෝතම ඔහු ඉදිරියට ගෙන වැඳ වැටුණු මිහිදුමී තව දුරටත් විසල් හඬකින් හඬා වැටුණාය.

” එහෙනං සිංදුමීවයි , කලින් පවුලෙ අයවයි මෙතනම අතෑරලා දාන්න දුමී. එයාලගේ කර උඩ තියාගෙන මහවලතැන්න ගෙදරට ගොඩ වෙලා ඒ පවුලේ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඒක කරන්න බැරි වැඩක්. ඔයා මටයි , අම්මටයි.. නෑ.. මට ඕන්නෑ. මං කොහොමත් පරාද වෙච්ච මිනිහෙක්නේ. හිතක් පපුවක් නැති , මං ගැනම විතරක් හිතන , අනිත් අය ගැන හිතන්නෙ නැති මිනිහෙක්නේ. අරයත් කිව්වේ එහෙමනේ.. මාව එපා.. මං ඔය කොහෙ හරි පාරක මැරිලා හිටියත් බලන්න එපා. ඒත්.. අර අම්මට එහෙම කරන්න එපා දුමී. ඒ මනුස්සයා ඉන්නේ ඔයා ගැන පුදුම ආදරයකින්. ඒ මනුස්සයාව අම්මා විදිහට පිළිගන්න පුලුවන් නං විතරක් , සිංදුමීව අතෑරලා දාන්න දුමී..

මට අස්නක ගැන ප්‍රශ්නයක් නෑ. අස්නක මැරි කරලා . හරි . ඒක හරි. එයා ඒක ඔයාට කෙලින්ම කිව්වනේ. ඒ වගේම කවදාහරි දවසක මිහිදුමී .., මං කසාද බැඳලා හිටියේ සිංදුමී කියලා කෙනෙක්ව කියලා කිව්වත් , ආ.. මං එහෙම කෙනෙක් ගැන නං දන්නෑ කියන තැනට එන්න පුලුවන්නං විතරක් මාත් එක්ක ආයේ යං දුමී. එහෙම නැත්තන් ඔයාට විජේසිංහ ගෙදර ඉන්න බැරි නම් කියන්න මං වෙන තැනක් ලෑස්ති කරලා දෙන්නං. එහෙම නැතුව බොරුවට අම්මා , මාමා කියලා මේ රිලේශන්ෂිප් තියන් ගිහින් වැඩක් නෑ දුමී. මායි , අම්මයි මින්දුලා නිසා සෑහෙන්න දුක් වින්ඳා. තව දුරටත් අපිට එහෙම දුකක් දරාගන්න අමාරුයි. අපි දෙන්නට මොනාහරි ටිකක් කටේ දාගෙන එකම තැන අන්තිම හුස්ම ටික අතාරින්න පුලුවන්. අපි මෙහෙම හරි අල්ලන් ඉන්නේ ඔයා නිසා. ඔයත් නැත්තන් අපි දෙන්නගේ ජීවිත වලින් තේරුමක් නෑ.. “

දෑසින් ගලා ගිය කඳුළු බිඳු පේළියක් හැඩිදැඩි පිරිමි සිරුරේ උරහිස මතින් පිසදමන ඔහු දුටු විට මිහිදුමීගේ සියොළඟම කම්පාවට පත් විය.

” සමන් දෙයියනේ මගේ මාමේ.. ! අනේ.. නෑ දෙයියෝ.. නෑ.. මං ..මං ඔයාට ආදරෙයි අනේ.. මං අම්මටත් ආදරෙයි. මං ඔය දෙන්නටම මගේ පණටත් වඩා ආදරෙයි මාමේ.. මං ආයේ කවදාවත් සිංදුමී අක්කා ගැන හොයන්නේ නෑ. කවදාවත් නෑ.. පොරොන්දු වෙනවා මාමේ.. ලොකු අයියා අර කිව්වා වගේ සිංදුමී අක්කා ගැන කිව්වත් මං නොදන්න ගාණට ඉන්නං. එයාවත් , අම්මවත් මේ කිසි දෙයක් දැනගන්න ඕනේ නෑ. මං .. මං වඳින්නම් මාමේ.. ඔහොම කතා කියන්න එපා දෙයියනේ…!” 

නිවසට එන අතරමඟ භරණ හා වූ කතා බහ යළි යළි මතක් වූ ඈ දෙනෙතින් ගලා එන කඳුළු බිඳු පේළිය වහ වහා කැඩපතින් පෙනෙන තම රුව දෙස බලාම පිස දැමුවාය. ඉන් පසුව ගමන් බෑගය අවුස්සවා එහි වූ සිංදුමීගේ විවාහ සහතිකයද , ලාච්චුවක් අවුස්සා අතට ගත් ලයිටරයද ගෙන නාන කාමරයට වැද එය සහමුලින්ම පුළුස්සා දැමුවාය.

******************************************

දහවලේ රාජකාරි මතින් නිදහස් වන්නට පෙරුම් පුරමින් බලා සිටියද කිසි ලෙසකින්වත් එයට ඉඩක් නොලැබුණු අස්නක විජේසිංහ සැඳෑ කළුවර සමඟම කාර්යාලයෙන් පිටතට පැමිණියේය. සැඳෑවේ තමා හා ඇවිදීමට යාමට ඈටද කතා කළද එය යළි ඇසීමට තබා එකදු ඇමතුමක් හෝ ගැනීමට අවකාශයක් නොලැබුණේය. අඩිය ඉක්මන් කර මෝටර් රථය වෙතට ඇවිද ගිය ඔහු ඉක්මනින් එය පණ ගන්වා ගනිමින් නිවස වෙතට ධාවනය කළේය.

” ලොකූ..! හරි ශෝක්..! ලන්ච් වලට එනවා කියලා ගිය කෙනා.. “

මෝටර් රථයෙන් බැස නිවසට ඇතුළු වී තරප්පු පෙළද නඟිමින් උන් වැඩිමහලු පුත්‍රයා දෙස බැලූ මහීකා නෝක්කාඩු පැවසුවාය.

” අහ්.. සොරි අම්මා.. අද අර මිනිස්ටර්ගේ වැඩේ තිබ්බනේ. “

ඔහු එසේ පවසමින් දෑස මිහිදුමීගේ නිදන කාමරය වෙත කරකැවූයේය. පුත්‍රයාගේ රහස් බැල්ම ක්ෂණිකව තම දෑසට හසු කර ගත් මහීකා සිනහව තද කර ගත්තාය. 

” අම්මා.. ! මේ.. !” 

ඔහු තව දුරටත් නිදන කාමරය වෙත යෑම පසෙකළා යළි තරප්පු පෙළ බැස මහීකා අසලට ඇවිද ආවේය.

” අම්මා.. මේ.. මේ.. ! “

කිසිදු දිනක ඔහුගේ මෙවන් ලැජ්ජාශීලී පැකිළීමක් දෑසට දැක නොතිබුණු මහීකා විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය.

” මොකද ..? මොකද ? මේ ඇඹරෙන්නේ?” 

” ආහ්.. නෑ.. මේ එහෙම එකක් නෙමෙයි “

ඔහු නැවතත් ගිලිහී යමින් තිබූ තම රෞද්‍ර ස්වරූපය යළි ආරූඪ කර ගන්නට උත්සාහ කළේය. නමුදු ඔහුගේ හැසිරීම පිළිබඳව හොඳින්ම දැන හඳුනන මහීකාව රැවටීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

” මේ.. මං බැලුවේ.. ආ..,මේ.. ම්ම්හ්හ්හ්…”

කතාව අතරමැද  ඔහු උගුරේ රැල් බුරුල් කිරීමද කළේය.

” මේ.. මිහිදුමීට අසනීප නිසා ටිකක් රිලැක්ස් වෙන්න එයාව පොඩ්ඩක් එළියට එක්කන් යන්න කියලා. “

වචන පේළිය ක්ෂණිකව ගැට ගසා ගත් ඔහු එය එක දිගට මහීකා හමුවේ තබා සැනසුම් සුසුමක් හෙළු අතර එකී වචන සවන වැකුණු සැණින් මහීකාගේ හදවත ප්‍රීතියෙන් ඉපිළ යමින් තිබුණි. 

” ආ.. මේ.. ඒක හොඳ අදහසක් තමයි ලොකූ.. හැබැයි මේ.. දුමී ගෙදර නෑනේ. ?” 

එතෙක් තිබූ සැනසිලිදායක වත ක්ෂණිකව ප්‍රශ්නාර්ථ ස්වරූපයක් ගත්තේය.

” නෑ කියන්නේ ?” 

” භරණ ආවා. මං හිතන්නේ මේ ලඟකට ආපු ගමන්. අසනීපයි කියපු නිසා දවස් දෙකක් තියන් ඉඳලා එවන්නං කියලා ගෙදර එක්කන් ගියා. “

” රත්නපුරේ ?” 

පෙර සියල්ලටම වඩා අඩු ස්වරයක් ගත් පුත්‍රයාගේ පැනයත් , ඔහුගේ අඳුරු වතත් දුටු  මහීකා හිස සොළවමින් ඔව් යැයි පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here