” මිහිදුමී..?”
” තිසර නේද ?”
” ඔව්. “
” එන්න ..වාඩි වෙන්න..!”
කෝපි අවන්හලේ කෙළවරක වූ මේසයක හිඳ ගත් මිහිදුමී තමා ඉදිරියේ සිටි තරුණයාට හිඳ ගැනීමට ආරාධනා කළාය.
” තෑන්ක්ස්.. සිංදුමීගේ නංගි කිව්වා නේද ?”
” ඔව්. මං සිංදුමී ආලෝක්යාගේ නංගි. “
” කැම්පස් ඉන්න කාලේ සිංදුමීගෙන් දැනගෙන හිටියා එයාට නංගි කෙනෙක් හිටපු බව. ඒත්.. අන්තිම වෙද්දි මං මෙහේ හිටියේ නෑනේ. ඒ නිසා කාගෙවත් ෆියුනරල්ස් වලට එන්න බැරි උනා. “
” අක්කගේ ෆියුනරල් එකට මං හිටියෙත් නෑ. අක්කා නැති වෙච්ච දවසට පස්සේ දවසේ අක්කට වෙච්ච දේ දරාගන්න බැරුව මගේ අම්මා සුයිසයිඩ් කර ගත්තා. ඒ දෙන්නගෙම මරණ දෙක දරාගන්න බැරුව මං ශොක් වෙලා හිටියේ. අක්කගෙත් , අම්මාගෙවත් කාගෙවත් ෆියුනරල් එකකට මං ඉඳලා නෑ. මං ඉඳලා තියෙන්නෙ හොස්පිට්ල් එකේ. එයාලගේ අවසන් කටයුතු කොහොම උනාද කියලවත් මං දන්නෑ. ඒ සිද්ධියෙන් පස්සේ මාස ගාණක්ම මං ට්‍රීට්මන්ට්ස් වල හිටියේ. “
” ඔහ්.. සොරි. මං ඒ ගැන දැනගෙන හිටියේ නෑ. “
” ඉට්ස් ඕකේ..”
අවන්හල් සේවකයෙකු පැමිණ කෝපි කෝප්ප ද්විත්වයක් පිළිගන්වන මොහොතේ කතාව මඳකට නතර විය.
” රංගි මට කතා කරලා මිහිදුමී ගැන කිව්වම මං ඒත් කල්පනා කළා දැන් අවුරුදු දාසයක් , දාහතක් ගෙවිලා ගිහිල්ලා තියෙද්දිත් ඇයි ආයේ මේවා හොයන්නේ කියලා. ඇත්තටම වැළලිලා ගිය දේවල් උඩට අරන් තේරුමක් නෑ කියලා. ඔය නැති වෙච්ච පස් දෙනාගේ ගෙවල් වල අයත් අද මේ වෙද්දි ඒ හැමදේම අමතක කරලා. ඒත්.. දැන් මට හිතෙනවා අපි හැමෝටම නැති උනාට වඩා දෙයක් මිහිදුමීට නැති වෙලා කියලා.”
ඈ විසල් සුසුමක් හෙළා කෝපි කෝප්පය අතට ගත්තාය.
” මේක දුර දිග ඇදිච්ච නැති එක මට පුදුමයි. කිසිම හෝඩුවාවක් නැති වෙච්ච එක ගැන මට පුදුමයි “
” ම්ම්.. එහෙම්මමත් නෙමෙයි මිහිදුමී.. එක දිගට ගෑනු ළමයි නැති වෙනවා කියන එක , නැති වෙනවා කියන්නේ ඉතිං සරලව කිව්වොත් මරලා දානවා කියන එක ඒ කාලේ සෑහෙන්න බය හිතෙන දෙයක් උනා. එක්කෙනෙක්ගෙන් ඒක නතර උනේ නෑනේ. එක්කෙනා , දෙන්නා , තුන්දෙනා වෙද්දි කැම්පස් එකේ ළමයි බය උනා මේක දිගින් දිගට යයි කියලා. කවුරුවත් හිතුවෙ නෑ ඕක ඔය පස් දෙනාගෙන් නතර වෙයි කියලා. ඔය සිද්ධි වලින් කාලයක් ගියත් කවුරුවත් ඒක ගැන කතා කරන්නත් බය උනා. ආරාධිගේ මරණේ වෙච්ච හැටියේ පොලීසියෙන් අල්ල ගත්තේ මාව. දවස් දෙකක් මාව පොලීසියෙන් තියන් ප්‍රශ්න කළා. අනික ආරාධි නැති උනේ කැම්පස් එකේ ඉවෙන්ට් එකක ඉඳන් යන අතරමඟදි. එතකොට එයාව අන්තිමට මුණ ගැහුණු ලිස්ට් එකේ මං හිටියේ. එතනින් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙලා හිටිය නිසා මාව සැක කළා වැඩියි. කොච්චර කිව්වත් පොලීසියෙන් පිළිගත්තේ නෑ. අන්තිමට එයාලාට ඔප්පු කරන්න දෙයක් තිබ්බෙත් නෑ. අනික ආරාධි නැති උනු ටයිම් එකේ මං හිටියේ යාලුවෝ ටිකක් එක්ක. පහුවදා උදෙයි මං ගෙදර ගියේ. එහෙම එවිඩන්ස් හැදීගෙන එද්දි මං නිදහස් උනා. ඒත්.. මේ දේවල් ආරාධිගෙන් නතර නොවී දෙන්නා , තුන් දෙනා වෙද්දි අපේ ගෙදර අය බයටම මාව මෙහෙන් යැව්වා. “
” ඒක හරි අසාධාරණයිනේ ?”
” හැමතැනම වෙන්නේ අසාධාරණ වැඩ තමයි. මනුස්සයෙක් මැරුණම මුලින්ම සැකේ එන්නේ එයා ළඟින්ම ආශ්‍රේ කරපු අයට. “
” එතකොට මේ පස්දෙනාට මෙහෙම උනේ ඇයි කියන්න මිස්ටර් තිසරට පොඩි හරි අයිඩියා එකක් නැද්ද ?”
අතැති කෝපි කෝප්පය සෙමින් යළි මේසය මත තැබූ ඔහු තරුණිය දෙස කෙලින් බැලුවේය.
” මේ පස්දෙනාගේ ටීම් එක ටිකක් රූඩ් මිහිදුමී. තනි තනිව මෙයාලා හොඳට හිටියත් පස්දෙනාම එකට හිටපු වෙලාවට එයාලා අනිත් අයව කෙයා කළේ නෑ. කොටින්ම ආරාධි මේ මාව පවා කෙයා කළේ නෑ. ඒ වගේ සිද්ධි නිසා සමහර තැන් වලදි කැම්පස් එකේ කොල්ලෝ මාවත් ජෝක් එකට ගත්තා. බොරු කියන්න ඕනේ නෑනේ අන්තිම කාලේ වෙද්දි මටත් ආරාධිව එපා වෙලා හිටියේ. මං හිටියේ ඒ එෆෙයාර් එක නවත්තන තැන. “
” ඔය කතාව මං මීට කලිනුත් තැන් කීපෙකදිම අහලා තියනවා. ඒ පස් දෙනා හරි රූඩ් , කාවවත් කෙයා කළේ නෑ. , රිලේශන්ෂිප් වලදි ටොක්සික් උනා. මං එයාලා ගැන අහපු හොඳ අඩුයි. මිස්ටර් තිසර හිතනවද එයාලගේ මරණ වලට එයාලගේ ඒ හැසිරිලා තියන විදිහ හේතුවක් වෙන්න පුලුවන් කියලා ?”
” ඔව්. ඒක එහෙම වෙන්න ඕනේ. වෙච්ච මරණ වලට හේතුව වෙන එකක් උනා නං , ඒක ඒ පස්දෙනාගෙන් නතර වෙන්නෑනේ ?”
අපහසුවෙන් කෙළ පිඬක් ගිල දැමූ මිහිදුමී මඳ වේලාවක් නිහඬ වූවාය.
” මේ දේවල් ගැන ආයේ ආයේ හොයන්න ගියොත් මිහිදුමීට හිත රිද්දගන්න වෙයි. “
ඇගේ මුනිවත දෙස බලා සිටි තිසර නැවත වතාවක් නිහඬ බව බින්ඳේය.
” මං දන්නවා. මේ ගැන දන්න හැමෝම වගේ මට කිව්වේ ඒ කතාවම තමා “
” එහෙනං ඉතිං ඇයි මේ ?”
” උඩු හිත කොච්චර එපා කිව්වත් යටි හිතින් කියනවා මේකෙ අගක් මුලක් හොයාගන්නම ඕනේ කියලා. අනික ගත වෙච්ච අවුරුදු ගාණෙම මං තවත් අයගෙන් යැපුණා. මං ස්ථාවර වෙලා හිටියේ නෑ. එතකොට මට ඕන දේ මට ඕන විදිහට කරන්න බැරි කමක් තිබුණා. ඒත්.. දැන් එහෙම නෑ. මං ජීවත් වෙන්නේ තනියම. මට මං ගැන බලා ගන්න පුලුවන් . “
” හ්ම්ම්.. මේ දේවල් මෙහෙම වෙන්න සිංදුමීගෙන් උනත් ලොකු වැරැද්දක් වෙලා තියෙන්න පුලුවන් ?”
” මං දන්නවා. මං ඒක තේරුම් අරන් ඉන්නේ ”
මිහිදුමීගේ නොසැළෙන දෑස දෙස මොහොතක් බලා සිටි තිසර හිඳ උන් අසුනෙන් මඳක් ඉදිරියට ආවේය.
” ඕනෙම දෙයක් දරාගන්න පුලුවන්ද ?”
මිහිදුමී දෑස ඔසවා තිසරගේ උවන දෙස බැලුවාය. තව තව රිදවීම් බොහෝ ඉතිරිව ඇති හැඩය. දරා ගැනීමේ අසීමාන්තික සීමාවද තමාව අතික්‍රමණය කළ හැකිය.
” මං ලෑස්තියි. “
” සිංදුමීට කැම්පස් එකේ කොක්කක් හිටියා. හැබැයි ඒක එයාලා දෙන්නම වැඩිය ප්‍රසිද්ධ කළේ නෑ. “
” ඒ ගැන මං දන්නවා. ඒ කෙනා කවුද කියලත් දන්නවා. “
” ඒ කියන්නේ ඔයා අස්නක ගැන දන්නවා.?”
” ඔව්. සිංදුමීගේ වදෙන් බේරෙන්න බැරි තැන අස්නක එයාව හොරෙන් මැරි කරපු එක ගැනත් දන්නවා. “
තිසරගේ මුව අඟ සිහින් සිනහවක් ඇඳිණි.
” ඌ සිංදුමීට බොක්කෙන්ම ලව් කළා. ආරාධිගේ හැසිරීම් නිසා මං එයාව අතාරින තැන හිටියට අස්නක හිටියේ තව තවත් සිංදුමීව අල්ලගන්න තැන. ආරාධි නිසයි මං සිංදුමීගෙයි , අස්නකගෙයි එෆෙයාර් එක ගැන ලොකු විස්තරයක් දැනන් හිටියේ “
සිහින් තුඩු දහසකින් හදවත පහුරු ගාණ අන්තයක කිසිවක්ම මුහුණේ හැඟීම් වලින් පිටතට නොපෙන්වූ මිහිදුමී දිගටම තිසරගේ උවන දෙස බලා සිටියාය.
” සිංදුමීට අස්නක නැති වෙයි කියන බය තිබුණා. ඒකමයි එයා අස්නකව කොහොම හරි බැඳ ගත්තේ. අනිත් කෙල්ලො අස්නක දිහා බලන එකවත් එයාට දරාගන්න බැරි උනා. මං දන්නවා සිංදුමී එයාගේ එෆෙයාර් එක ඇතුළේ සෑහෙන්න ටොක්සික් වෙලා තියනවා. “
හිස් හැඟීමකින් යුතුව තිසර හිස් වූ කෝපි කෝප්පයේ දාරය වටා තම දබරැඟිල්ල යවමින් සිටියේය.
” අස්නක කියන්නේ ඒ කාලේ සෑහෙන්න බ්‍රයිට් පොරක්. සිංදුමී ගැන නොදැන ඌ ගැන දුර ගමකින් ආපු පොඩි කෙල්ලෙක් සෑහෙන්න හෝප්ස් තියන් හිටියා. ඒ ළමයා හිටියෙත් සිංදුමීගෙම බෝඩිමේ. මං ආරාධිගෙන් දැනගත්තු දේවල් වල හැටියට සිංදුමී දැනගෙන තියනවා ඒ ළමයාගෙ හිතේ අස්නක ගැන බලාපොරොත්තුවක් තියනවා කියලා. එදා ඉඳන් සිංදුමී එක්ක එකතු වෙච්ච අනිත් හතර දෙනාම ඒ ළමයගේ ජීවිතේ එපා කරවලා තියනවා. එකම බෝඩිමේ වෙච්ච නිසා සිංදුමී ඒ ළමයගෙන් තවත් පළි දරලා. මේ පස් දෙනා එකතු වෙලා ඒ ළමයගේ ජීවිතේ එපා කළා නංගි. ඕක දැනගත්තු වෙලේ මං ආරාධිට පැහැදිලිව කිව්ව පව් අහිංසක ගෑනු ළමයෙක්. අස්නක ගැන හෝප්ස් තියාගන්න එපා , සිංදුමී එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන එක කියලා ඔය කරදර කරන වැඩේ නතර කරන්න කියලා.
ඒත්.. මේගොල්ලො කියන දේ ඇහුවේ නෑ. ඒ ළමයා යන යන තැන ගිහින් ඒ ළමයට කරදර කළා. අන්තිමට ඒ කෙල්ලට මහ ජරා වැඩක් කළා. “
” ඒ.. ඒ .. මොකද්ද ?”
” ඒ ළමයගේ බැච් එකේ එග්සෑම් එකකට හදපු පේපර් එකක් උස්සලා ඒක ඒ ළමයගේ බෑග් එකට දාලා බෝඩිමේදී මෙයාලට අහු උනු විදිහට ඩ්‍රාමා එකක් දැම්මා. “
” මොකක් …?”
උස් වූ මිහිදුමීගේ ස්වරයත් සමඟම ඇගේ අතෙහි තිබූ කෝපි කෝප්පය මේසය මත පෙරළී ගියේය. වහා ඉක්මන් වූ තිසර එය ඇගේ සිරුරට වැටීමට පෙර අල්ලා ගත්තේය.
” දෙයියනේ.. ! මොනවද මේ.. ? “
” මං ඒකයි ඔයාගෙන් ඇහුවේ දරාගන්න පුලුවන් වෙයිද කියලා ? ඒක කළේ සිංදුමී. සිංදුමීට ඕන වෙලා තිබිලා තියෙන්නේ ඒ ළමයා කැම්පස් එන එකම නතර කරලා දාන්න. එදා රෑ ඒ ගොල්ලෝ ඒ ළමයගේ බඩු ඔක්කොම අවුස්සලා දාලා ඒවා අතරින් ඒ පේපර් එක හොයාගත්තා කියලා ඩ්‍රාමා එකක් දාලා. ඇත්තටම කියනවානං නංගි ඒ පේපර් එක එග්සෑම් එකකට හදපු එකකුත් නෙමෙයි. මේගොල්ලෝ අර ළමයාව තවත් අවුල් කරලා බය කරන්න හදලා තියෙන්නේ. ඒත්.. මෙයාලා හිතුවටත් වැඩිය ඩිප්‍රෙස් උනු ඒ ළමයා පහුවදාට එළි වෙද්දි බෝඩිම ඇතුළෙම සුයිසයිඩ් කරන් තිබ්බා. “
” සමන් දෙයියනේ.. ! එ..එයාගේ.. එයාගේ.. නම මොකද්ද කියලා මතකද ?”
” හ්ම්ම්.. මතකයි .. මින්දුලා සඳහංසි මහවලතැන්න …”


