හෝරා කිහිපයක්ම සෝපාව මත ගුලිව උන් තරුණිය වියළී ගිය කඳුළු වැල් සහිත රත් පැහැ ගත් උවනින් තමා ඉදිරියේ ඇති ටීපෝව මත තිබූ මඳක් අවපැහැ වූ ජායාරූපයක් දෙස බලා සිටියාය. එකී ජායාරූපයේ පිරිමි පුද්ගලයෙකුත් , සාරියක් හැඳි කාන්තාවකුත් , ඈ අතැතිව සිටිනා අවුරුදු දෙකක ,තුනක පමණ වයසැති කුඩා දියණියකුත් , පියාට පසෙකින් අවුරුදු දහතුනක , දහ හතරක පමණ ගැහැනු දරුවෙක්ද සිටියහ. වෙව්ලන දෑතින් ජායාරූපය අතට ගත් මිහිදුමී වැඩිමල් ගැහැනු දරුවා සිටි කොටස සෙමින් සෙමින් ඉරා වෙන් කළාය.
” හැමදාම.. හැමදාම.. මං මූසලියක් උනා. පව්කාරියක් උනා. මට කතා කළේම එහෙම. මං ලව්ව හැම වැඩක්ම කර ගත්‍තා. පුංචි අත් වලින් මං තමුසෙගේ සෙරෙප්පු පවා හෝදලා තියනවා. නෑ.. නෑ.. නෑ.. මං දැන් දන්නවා වෙච්ච දේ.. මට දැන් තේරෙනවා වෙලා තියන හැමදේම. තමුසේ දන්නවද මං නෙමෙයි පව්කාරි. මං නෙමෙයි මූසලී. තමුසේ තමයි පව්කාරි. තමුසේ තමයි මූසලී. තමුසේ නිසා ජීවිත කීයක් විනාස වෙලාද ? තමුසේ මහා කාලකණ්නි විදිහට ජීවිත කීයක්නං විනාස කරලද කියලා දන්නවද ?
ලොකූ.. , එතනින් එහාට මින්දුලා. මින්දුලාගේ මරණේ එක්ක විඳවපු මාමා , මගේ අම්මා. තමුසේ නිසා ඒ මිනිස්සු මොන තරම් දුකක් උහුලන්න ඇතිද ? ලොකූ අවුරුදු ගාණක් තමුසේ නිසා ජීවිතේ විනාස කර ගත්තා. මින්දුලා.. සමන් දෙයියනේ.. ! කොච්චර අහිංසක ළමයෙක්ද ? මොකද්ද ඕයි ඒ කරලා තියන තිරිසන් වැඩේ? කෙල්ලෙක්ට උහුලන්න පුලුවන් දෙයක්ද තමුසේ ඒ කළේ ? ඒ කෙල්ල තමන්ගේ ජීවිතේ නැති කරගන්න තරමටම තමුසේ ඒ ළමයගේ ජීවිතේ එපා කරවලා. දුකක් හිතුන්නැද්ද ඕයි ? ඇත්තටම දුකක් හිතුන්නැද්ද ? අඩුම ඒ කෙල්ල එල්ලිලා ඉන්න වෙලාවෙවත් තමුසෙට දුකක් හිතුන්නැද්ද ?
සමන් දෙයියනේ.. ! මාමයි , අම්මයි තවමත් හිතන් ඉන්නේ මින්දුලා සුයිසයිඩ් කර ගත්තේ කැම්පස් එකේ ස්ට්‍රෙස් එකට කියලා. මේ වෙච්ච දේවල් ඒ මිනිස්සු දන්නවනං ? දෙයියනේ තමුසේ ඒ කෙල්ලට කරපු අපරාදේ ඒ මිනිස්සු දෙන්නා දන්නවනං ? මගේ අම්මා පපුව පැළිලා මැරෙයි යකෝ.. මාමා.. සමන් දෙයියනේ.. ! මට හිතාගන්නවත් බෑ. තමුසේ මේ තරම් අපරාධයක් ඒ කෙල්ලට කළා කියලා දන්නවනං ඒ මිනිස්සු මාව දරු කමට හදාගන්නවා තියා මං දිහා හැරිලාවත් බලන එකක් නෑ.
තමුසෙටයි , තමුසෙගේ යාලුවෝ රොත්තටයි පඩිසන් දුන්නේ මින්දුලාට කරපු අපරාදේ. මං මෙච්චර කාලයක් හිතන් හිටියා මගේ අක්කට මෙහෙම අපරාධයක් කරපු එකාව මං හොයාගන්නවා. ඒ මිනිහට දෙන්න ඕන දඬුවම් උපරිමේ දෙනවා කියලා. නෑ.. නෑ.. මං ආයේ කවදාවත් ඒ දේ ගැන හොයන්නෑ. තමුසෙලා එකතු වෙලා මින්දුලාට කරපු අපරාදෙට ඌ තමුසෙලට දීපු දඬුවම හොඳ වැඩියි. මාමාට වගේ අහු උනානං තමුසෙලා රොත්‍ත පිටින් තියලා කෑලි කෑලි කපයි. මට දුක තමුසෙගේ පව් මගේ අම්මගේ පිටින් ගිය එක. තමුසෙගේ මරණේ දරාගන්න බැරුව ඒ ගෑනි කොස් ගහේ එල්ලිච්ච එක. තමුසෙගේ පව් නිසා අවුරුදු ගාණක් ලොකු අයියයි, මායි පවා වෙන්වෙලා හිටපු එක. මහ ලොකු ආදරේ.. කෙහෙල්මල තමයි.. තමුසේ ආදරේ ආදරේ කිය කිය ඒ මනුස්සයගේ බෙල්ල හිර කරලා. තමුසේ දන්න ආදරේ.. තමුසේ නැති කර ගත්තේ මේ ලෝකේ හිටපු හොඳම පිරිමියව. අන්තිමේ තමුසෙගේ පව් මගෙ පිටින් ගිහිල්ලා මටත් ඒ මනුස්සයව නැති උනා. පව්කාරී.. උඹ මගේ ජීවිතේම විනාස කරලා දැම්මා.. “
ඉහ වහා ගිය කෝපයෙන් ජායාරූපයෙන් ඉරා ගත් ගැහැනු දැරියගේ කුඩා රුව කැබලි කැබලි වලට ඉරා දැමූ ඈ ඒ සියල්ල දවා අළු කර දැමුවාය.
” හෙලෝ..!”
” හෙලෝ.. නංගි ! ඔයා ගෙදරද ?”
දැල්වී ඇවිළී ගිය ජායාරූපයේ අළු දෙස බලා සිටි ඈ නාද දෙන දුරකතනය ගෙන එයට පිළිතුරු බැන්ඳාය.
” ඔව් ශනූ අක්කේ. මං ගෙදර ඉන්නේ “
” පොඩි කරදරයක් උනා නංගි. “
” ඇ.. ඇයි මොකද උනේ ?”
” අද උදේ අම්මව හොස්පිට්ල් ඇඩ්මිට් කළා. “
” මොකක් ? ආන්ටි මහීකාව ?”
” ඔව්. “
” ඒ .. ඒ ඇයි ?”
” පොඩි හාර්ට් ඇටෑක් එකක් නංගි “
” සමන් දෙයියනේ.. ! දැන් කොහොමද අක්කේ ?”
” දැන් නම් අවුලක් නෑ. අපි ICU එකෙන් රූම් එකට දැම්මා. කතා බහ කරලා ඉන්නවා. “
” උදෙන්ම කිව්වානං මං එනවනේ අක්කේ. දැන් මේ රෑ වෙන්නත් ළඟනේ. ?”
” ඔයා ඔෆිස් එකේ ඇති කියල හිතුවේ නංගි. දැන්ද ඔෆිස් ඇරිලා ආවේ “
” ආ.. ඔව්. “
පෙර දිනයේම තිසර මුණ ගැසීමට අද දින නිවාඩු ලබාගත් බවක් නොපැවසීමට මිහිදුමී පරික්ෂාකාරී වූවාය.
” ලොකු අයියා ඊයේ රෑ කැන්ඩි ගියා. එයත් තාම ආවේ නෑ. “
” ආන්ටි ළඟ කවුද ඉන්නේ ?”
” මං නංගි. “
” මට පැය භාගයක් දෙන්න අක්කේ. මං එන්නං “
” ඔයාට කරදරයක් නැද්ද නංගි ?”
” අනේ නෑ පිස්සුද මං එන්නං “
දුරකතන ඇමතුම විසන්ධි කළ ඈ විගසින් රෝහල බලා යෑමට සූදානම් වූවාය.
************************************
” ආන්ටී..!”
යහන මත වැතිර උන් මහීකාගේ හිස පිරිමදිමින් මිහිදුමී සෙමින් ඈ ඇමතුවාය.
” දුමී..! දැන්ද ආවේ ?”
” ඔව් ආන්ටී.. “
” දැන් කොහොමද ආන්ටී ?”
” එක පාර මැරිලා යනවනං දුකක් නෑ දුමී. හිතේ ගින්දරෙන් ජීවත් වෙලා වැඩක් නෑ. “
” අනේ.. මේ මොනවද ආන්ටි කියන්නේ ? එහෙම හිතන්නේ ඇයි ?”
” මට සැනසීමක් නෑ දුමී. “
” අනේ බලන්නකෝ අක්කේ.. “
තරුණිය වහා අසල උන් ශනූ දෙස බැලුවාය.
” කියලා වැඩක් නෑ නංගි. අම්මා ලොකු අයියා ගැන සෑහෙන්න දුක් වෙනවා. මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඒක. තේ ටිකක් බොමු නංගි ”
ශනූ සුසුමක් හෙළා හිඳ උන් අසුනෙන් නැඟිට යහන අසල ඇද තිබූ තිරයෙන් අනෙක් පසට අඩි තැබුවාය.
” අම්මටත් ටිකක් හදන්නද ?”
” එපා. ශනූ. දැන් බත් කෑවා විතරනේ. “
” කෑවා ? කන්න දෙන්නෑ නේද අක්කේ. ? අනික බත් ?”
ශනූ දෙබැම ඔසවා මහීකා දෙස බැලූ අතර මහීකා වහා තොල් පට තද කර ගත්තාය.
” ආ.. මේ.. කෑ කෑවා කිව්වට කෑවේ නැද්ද කොහෙද දුමී. මට දැන් කරන කියන දේවල් ගැන මතකෙකුත් නෑ.. “
මිහිදුමීගේ දෙනෙතින් මුහුණ ඉවතට ගත් මහීකා යටැසින් ශනූ දෙස බලා පැවසුවාය.
” ආ.. ඔව්. නංගි. අම්මට දැන් ටික දවසක ඉඳලා කරන කියන දේවල් ගැනත් මතකෙ අඩුයි. මේ.. මං තේ ටිකක් හදන්නං “
” අක්කා වාඩි වෙලා ඉන්නකෝ. මං හදන්නං. “
එසේ පැවසූ මිහිදුමී තිරයෙන් එහා පස තිබූ පැන්ට්‍රිය වෙත ගොස් අවශ්‍ය කළමනා ළඟට ගත්තාය.
ක්ෂණිකව රෝහල් කාමරයේ ද්වාරය විවර වුණි.
” ලොකූ..!”
” මොකද්ද අම්මා උනේ ?”
තිරයෙන් එහා පස සිටි ඈ හට සියලු කතා බහ හොඳින් ඇසුණද ඈ සිටි බවක් නොදැනම ඔහු වහා පැමිණ මහීකාව තුරුළු කර ගත්‍තේය.
” අනේ ඇයි අම්මා මේ..?”
” කියන දේ අහන්නෑනේ ලොකු අයියේ. හරියකට කන්නෙ බොන්නෙ නෑ. බෙහෙත් ටික වෙලාවට බොන්නේ නෑ. කොයි වෙලෙත් කල්පනා කරනවා , හූල්ලනවා , අඬනවා. “
ශනූ පසෙක සිට මව පිළිබඳව ගතු කීවාය.
” මොකද්ද අම්මා මේ වෙලා තියෙන්නේ ? ඇයි මෙච්චර මුරණ්ඩු වෙන්නේ ?”
” මට ඔයා නැතුව වෙන මුකුත් තිබ්බට වැඩක් නෑ ලොකූ. “
යහන මත හිඳ ගත් මහීකා දෑතම පුත්‍රයාගේ බඳ වටා යවා ඔහුගේ කුස මත හිස තබා ගත්තාය.
” මං නැති වෙලා නෑනේ අම්මා. මේ ඉන්නේ හොඳට. “
” ඒ උනාට මං නැති දවසක ඔයා තනි වෙනවා ලොකූ. මට ඒක වාවගන්න බෑ. “
” මොනවද අම්මා මේ කියවන්නේ. ? මොනව නැති වෙන්නද ? කවුරු තනි වෙන්නද ? ඔයාට මං ඉන්නවා. මට ඔයා ඉන්නවා. මල්ලි ඉන්නවා , ශනූ ඉන්නවා. ,අර පොඩි දරුවො දෙන්නා ඉන්නවා. තවත් මොනාද ?”
මහීකා තව දුරටත් ඉකි ගසමින් ඔහුට තුරුළු වූවාය.
” අම්මා.. ! ඔයාට ඔහොම අඬන්න හොඳත් නෑ. , වැඩිය කතා කරන්න හොඳත් නෑ. “
මඳක් යහන අද්දරට ආ ශනුලි වැඩිමහල් සොහොයුරා දෙස රහසින් බලමින් පැවසුවාය.
” අම්මා.. ! කියන දේ අහලා අඬන්නැතුව ඉන්නකෝ. ඔයත් හරි හිතුවක්කාරයි අනේ. බෙහෙත් මොනාහරි පිටින් ගේන්න තියනවද ශනූ ?”
” නෑ අයියේ.. ඒ ඔක්කොම හරි. “
” මං තමයි වැරදි. මං තමයි ඔක්කොටම වැඩිය හිතුවක්කාර. “
වැළඳ සිටි පුත්‍රයාගෙන් මෑත් වූ මහීකා දෙකොපුල් තෙමා ගිය කඳුළු බිඳු පිසදා කෝපයෙන් ඉවත බලා ගත්තාය.
” ඔය ඉතිං බලන්නකෝ අම්මා ඔයා.. ? “
” අපි දැන් බෙහෙත් ටික බීලා ඉමු අම්මා. වෙලාව හරි. “
” මට ඕන්නෑ.. “
” අම්මා..!”
එවර ඔහුගේ හඬ මඳක් උස් වූ අතර මහීකා තව දුරටත් ඉවත බලා සිටියාය.
” මට පාඩුවේ ඉන්න දීලා ඔයා යන්න ලොකූ. “
කෝපයෙන්ම යටි තොල්පට සපාගත් ඔහු මව දෙසත් , ශනූ දෙසත් බලා හිස දෙපසට සැලුවේය.
” ඔයා මට දැන් මොකද්ද කරන්න කියන්නේ අම්මා ?”
” ඔයාට මං කියන දේ තේරෙන්නෙම නැද්ද ලොකූ.. ! සුදු බැඳලා ,එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. භරණට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තේජ්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මීෂා බැඳලා අවුරුදු දෙකක්. තව මාස ගාණකින් එයාටත් දරුවා ලැබෙනවා. හැමෝම තම තමන්ගේ ජීවිත වලින් ඉස්සරහට ගිහින්. ඔයා විතරක් හැමදාම ඔහොම්මම ඉන්න. “
” අපි ඕවා ගෙදර ගිහින් කතා කරමු අම්මා. ශනූ .. ! බේත් ටික ගේන්න. මං දෙන්නං අම්මට. “
” මට ඕන්නෑ.. “
” අම්මා.. !”
නැවත වරක් ඔහුගේ හඬ උස්ව නැඟුණි.
” කියන දේ අහන්න අම්මා.. ! මට ඉන්නේ ඔයා විතරනේ. ?”
” මටත් ඉන්නේ ඔයා විතරයි ලොකූ.. මොකද්ද මං කරන්න ඕනේ. ? කකුල් දෙක අල්ලලා වඳින්නද ? “
මහීකා ඔහු දෙස බලා දෑතම එකතු කළාය.
” අම්මා..!”
” ආහ්.. !”
මහීකා වේදනාවෙන් ළැම මත දෑතම තද කර ගත් අතර කලබල වූ අස්නක හා ශනුලි වහා ඈ අසලට ළං වූහ.
” අපි බේත් ටික බීලා ඉමු අම්මා. “
ශනුලි දෙස බලා මහීකා එපා යැයි පවසා හිස දෙපසට සැළුවාය.
” මට බේත් ඕන්නෑ. මට මෙහෙම්මම මැරෙන්න දීපල්ලා. “
” හරි.. ඔයාට ඕන මං කසාද බඳින්නනේ ? හරි හොයන්නකෝ කාවහරි. මං බඳින්නං. දැන් හරිනේ. දැන්වත් බේත් ටික බොනවද ?”
” ඔ.. ඔය ඇත්‍තමද ලොකූ ? “
” ඔව් ඔව්. ඇත්‍ත තමයි. දැන්වත් බේත් ටික බොනවද ?”
මහීකා සිනාමුසු වතින් ශනූ දෙස බලද්දී වළක්වා ගත නොහැකි ඉකියක් තිරයෙන් අනෙක් පසින් නිකුත් විය. තිදෙනාගේම දෑස් ඒ වෙතට යොමු වද්දී සුරතින් මුව තද කර ගනිමින් එතෙක් සියල්ල අසා සිටි තරුණිය ද්වාරය විවර කොට වේගයෙන් රෝහල් කොරිඩෝව දිගෙහි දිව ගියාය.


