ආදරණීය මල් පෙත්ත,
අද ඔයාව අපි ඔයාගෙම ගෙදරට එක්කගෙන ආවා.. අම්මා ඉන්නේ මහන්සියෙන්. ඔයාව මේ ලෝකෙට අරන් එන එක අම්මට ටිකක් අමාරු වුණු නිසා වගේම තුවාල රිදෙන නිසා අම්මාට ඉක්මනින් දුක හිතෙනවා. ටිකක් කේන්ති යනවා කියලත් හිතෙනවා..
“එයාට අපි කියා දෙන්න ඕනෑ එයා ආවේ රෝස කැලෙන් නෙවෙයි.. අම්මගේ බඩෙන් කියලා. අම්මා බබාව මේ ලෝකෙට ගේන්න එයාගේ ඇඟ කපන්න දුන්නා කියලා එයාට පෙන්නන්නත් ඕනෑ..”
ඊයේ හොස්පිටල් එකේදි ඔයාගේ අප්පච්චි මගේ ඔලුව අතගාමින් කියනකොට මට දැනුණු සතුට ඔයා දන්නවද මගේ පුතේ..
තමන්ට දරුවෙක් හදලා දෙන එක බිරිඳගේ වගකීම කියලා හිතන මිනිස්සු පිරුණු ලෝකෙක ඔයාගේ අප්පච්චි මගේ තුවාල කැළල් ගැන වද වෙනවා. ඔයා එක්කන් ආවාට පස්සේ චුට්ටක් මහත් වුණාට අම්මා ඉස්සර වගේම ලස්සන බව මට කියනවා..
ඉතින් ඒ වගේ අප්පච්චි කෙනෙක් ලබපු මගේ දූ කොච්චර වාසනාවන්ත ද?
මේ ඔයාගේ ගෙදර..
ඔයා උස්මහත් වෙන තැන.. ඔයාගේ හිනා වැඩියෙන්ම උපදින තැන.. ඕනෑම දුකකදි අඬාගෙන ඔයාට දුවගෙන එන්න පුලුවන් තැන..
අපි ආදරෙන් ජීවිතේ ගෙවමු..
ගැහැණු ළමයෙක් වෙලා ඉපදීම පිනක් නොවන බව කියන අය අද හවස ඉඳන්ම ඒවි..
ගැහැණියකට දිනා ගන්න පුලුවන් ලෝකය විශාල බවත් ගැහැණු ළමයෙකුට සීමා පනවලා නැති ගෙදරක ඔයාට යා හැකි දුර අපමණ බවත් අපි එයාලට හෙමින් දැන ගන්න තියමු..
ඉතින් අපි හිනා වෙමු..
මම ඔයාගේ අම්මා..
-නිබන්ධිකා වන්නිනායක-