උඩහමුල්ල ට සේ නොව අවිස්සාවේල්ල ට රාත්‍රිය තරමක් සිහිලැල් ය. නිවස පිහිටි බිම උස් වූ නිසා ඒ සිසිලස වඩාත් තීව්‍ර වූවා කියා සිතමි. කාමරයේ දිගු ජනේල පියන් විවර කර ගෙන මම සීතලට මඳ පවනැල්ල හා එක් වී වෙළී කාමරයට එන්නට ඉඩ හසර පාදා දුනිමි. සුළඟ, සුදු සිනිඳු සේද තිර රෙදි ඉහළ නංවමින් ද යළි පහළ හෙළමින් ද හැමුවේ ය. මම සීතල ට මගේ ඇඟේ හිරි ගඩු නංවන්නට හැර ඔහේ සිටියෙමි.
හිතේ තියෙන නොනිවෙන ගින්දර තුනී කොට දමන්නට සීතල සුළඟ වුව සමත් වූවා නොවේ.
ජංගම දුරකතනය හැඬවුණේ හද ගැස්මක් ඇති කරවමිනි. කුසල් ගේ නම තිරය මත සනිටුහන් ව තිබිණි. මම එදෙස බලා ගෙන තත්පර කිහිපයක කල්පනාවකට වැටුණෙමි. පිළිතුරු දෙන්නට තරම් ඕන කමක් දැනුණේ නැති තරමි. පහු ගිය දින වල ඔහු හිතේ ඇති කොට තිබුණේ ඒ තරම් සන්තාපයකි. නමුත් ඔහු වගේ කුකුළු කේන්ති කාරයෙකුට, එක ඇමතුමකට පිළිතුරු නො දීමත් මහා රණ්ඩුවකට හේතුවක් වන බව මම දැන් දනිමි.
“හෙලෝ”
මගේ හඬ මට පවා හිතා ගත නො හැකි තරම් මළානික බවක් ඉහිළුවේ ය.
“මොකද මෙච්චර වෙලා කෝල් එකක් දුන්නැත්තෙ…”
මම සුසුමක් හෙළුවෙමි. සත්තකට ඇමතුමක් දී කුසල් ට කියන්නට හෝ ඔහු ගෙන් අසන්නට තරම් දෙයක් මවෙත වූයේ නැත. ඒ තරමට ම හිත හිස් වී ඇති වග කීවාට ඔහු වටහා ගන්නා එකක් ද නැත. ගැහැනු හිතක මෘදු මොළොක් ඉසව් ගැන සංවේදීතාවයකින් හැසිරෙන්නට ඔහු නොදන්නා බව මා වඩාත් හොඳින් තේරුම් ගත්තේ මේ ඊයේ පෙරේදා ය.
“හෙලෝ”
මගේ නිහැඬියාව නිසා හෙතෙම ගුගුළේ ය. මම ගැස්සී ගියෙමි.
“කි…යන්න”
“මොකද කරන්නෙ…”
“මුකුත් නෑ”
“එහෙනං කතා කළේ නැත්තෙ…”
“නිකං ඉතිං. මං අත්තම්මලගෙ දිහා ආව”
“මොකද්ද…මට කියන්නෙවත් නැතුව ගියෙ ඇයි…”
“කිය කිය ඉන්න දෙයක් නෑනෙ ඉතිං”
“හරි හරි එහෙනං මං තියන්නං. හෙට එනවනෙ…”
“ආයෙ මං ගෙදර එන එකක් නෑ කුසල්. ටික කලක් මෙහෙ ඉන්න වෙයි”
කුසල් යක්ෂාවේෂ වූයේ ඉනික්බිති ය. මට දුරකතනය කනේ තියා ගෙන ඉන්නට බැරි තරම් උස් වූ හඬතින් ඔහු ගුගුළේ ය.
“ඇයි මගෙං ඇහුවෙ නැත්තෙ…ආ…යන්න ඉස්සෙල්ල මට කතා කරල ඇහුවෙ නැත්තෙ ඇයි ඔය ගමන යන්නද කියල…තමුසෙ කාට ඕන විදිහට ද දැං වැඩ කරන්නෙ…ආ…”
“කුසල්. .කෑ ගහන්න එපා අනේ. මේක පිට ගෙදරක්”
“මට ඔය කොහේ වුණත් එකයි හරිද…මේක හොඳට අහ ගන්නව. හෙටම එන්න ඕනෙ ආපහු. නැත්තං මං නරක මිනිහයි කියන්නෙපා”
එහෙම කියා ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. මම යහන මතට වැටුණෙමි.
හදවතට දැනෙන්නේ බලවත් අප්‍රසන්නතාවයකි. මට මේ සියල්ලෙන් විනිර්මුක්ත වෙන්නට තියෙනවා නම්…නමුත් කුසල් වූ කලී ඒ තරම් පහසුවෙන් ඈත් කොට දැමිය හැකි පුද්ගලයෙකු නො වන බව දැන් මම දනිමි. ඔහු මේ ගෙදරට ම ඇවිත් යළි මා ඇද ගෙන යාවිද කියන බියත් මා තුළ ඇති නො වුණා නොවේ.
මට කුසල් හමු වූයේ මුහුණු පොත ඔස්සේ ය. කවරාකාරයකින් ඔහු මගේ මිතුරු ලයිස්තුවට එක් වූවා ද කියා මතකයක් මට නැත. කෙසේ වෙතත් මා විසින් ඇරයුමක් යවන ලද බව නම් විය නොහැක්කකි. ඒ, මා කිසි දා නො දන්නා පුද්ගලයෙකු ට ඇරයුමක් යවන්නේ නැති බැවිනි. විශේෂයෙන් ම තරුණයෙකු ට මා එහෙම කළා යයි සිතිය නො හැකි ය. කෙසේ වෙතත් මුලින් ම මට ඔහු ගේ නම මතක තියෙන්නේ මුහුණු පොතට මා එක් කළ ඡායාරූප හා වෙනත් අදහස් සඳහා ඔහු තබා තිබූ කමෙන්ටු නිසා ය. ඊළඟට ඔහු මැසේන්ජර් ඔස්සේ මා හා චැට් කරන්නට ආවේ ය.
“මට ඔයාව දැකල පුරුදුයි වගේමයි දැනෙන්නෙ. කොහෙද නංගි ඉන්නෙ..”
ඔහු ඇසුවේ ය.
උඩහමුල්ලෙ”
“හරිනෙ එහෙනං. මං මහරගම. ඔය බස් වල යද්දි හරි අපි දැකල ඇති. ඒකයි මට මේ තරං ඔයාව මතක”
අපේ කතා බහ ඇරඹුණේ එහෙම ය. දවසක් දෙකක් යන්නට මත්තෙන් ඔහු මට ප්‍රේමාරාධනයක් ද කරන්නට තරම් අපි සමීප වී සිටියෙමු. සැබවින් කුසල් කතා කරන තෙක් මා මග බලන් හිටියා කීවොත් ඒ මුසාවක් නොවේ. ඔහු ලස්සන ආදරයක් පෙන්වූයේ ය. මා ඒ මායාවට වශී වූවා කියන එක අරුමයක් නොවේ.
මා හිටියේ ඒ තරම් හුදෙකලාවක වන බැවිනි. මට ඒ තරමට ම ආදරය කියන දේ හිඟ වී තිබූ බැවිනි.
අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස සැලෝන් එකෙහි කාර්ය බහුල වූවා ය. ඇය ට නිවාඩුවක් කියා දෙයක් තිබුණේ ම නැත. පෝය දින වල පවා අම්මා සැලෝන් එකට ගියා ය. පුංචි සන්දියේදී නම් මම අම්මා ගේ ඇඟේ එල්ලී ගෙන අද විතරක් ගෙදර ඉන්නයි කියමින් හැඬුවෙමි.
“අම්ම ගෙදර ඉඳල බෑනෙ ගයා. අපි මේ බිස්නස් එක ගොඩ දා ගන්න ඕන. එතකොට ඔයා ලොකු වෙන කාලෙක අපිට මේක තියෙනවනෙ”
එදා අම්මා කී දේ මට තේරුණේ නැත. කෙසේ වෙතත් මට වඩා ආදරයකින් ඕ බිස්නස් එක ඇති දැඩි කළ බව නම් මම දැන සිටියෙමි.
තාත්තා සමග විවාහයෙන් නීත්‍යානුකුල වශයෙන් වෙන් වීමෙන් අනතුරුව නම්, මා ඉදිරියේ ඉදිරිපත් කරන්න ට අම්මා ට සාධාරණ හේතුවක් තිබිණි.
“අමාරුවෙං හරි මං මේක ඇදං යන්න ඕනෙ ගයා. ඔයා දන්නවනෙ අපිට තාත්තගෙං මුකුත් ලැබෙන්නෙ නෑ කියල. ඔයා ඒක තේරුං අරගෙන ඉගෙන ගන්න වැඩ ටික කරගන්න”
අම්මා එහෙම කියනකොට මට කට හෙල්ලීමේ හැකියාවක් නො විණි.
ළමා වියේදී ම මා තනි වූයේ එහෙම ය. උදේ ට මා පාසලට යවා ගෙන සැලෝන් එකට යන අම්මා යළි ගෙදර එන්නේ අඳුර ත් එක්ක ය. මා කුඩා කාලයේ දී නම් පාසල ඇරුණ පසු අම්මා මා ව සැලෝන් එකෙහි තියා ගත්තා ය. නමුත් ක්‍රමයෙන් මා නව යොවුන් දැරියක ලෙස වැඩෙත්දී, පාසලෙන් පසු මා ගෙදර යවන්නට අම්මා තීරණය කළා ය.
“එහා ගෙදර සීතා ඇන්ටි ඔයාව බලයි. කාලා එහෙ ළමයි එක්ක ටිකක් සෙල්ලං කරල ඉස්කෝලෙ වැඩ කර ගන්න”
මා ව බලා ගන්නවාට සීතා ඇන්ටි ට ගාස්තු වශයෙන් ලැබුණේ ඇහි බැම සකස් කරන එක ය. කොණ්ඩයේ අග කපන එක ය. සාදයකට හෝ විවාහ මංගල්ලයකට යන්නට තියෙන අවස්ථාවක සාරිය අන්දවා මේකප් එක කර දෙන එක ය. ඊට අමතර ව ගෙදරට ගෙනෙන පළතුරු සහ වෙනත් විශේෂ ආහාර වලින් කොටසක් ලෝබ නැති ව අම්මා සීතා ඇන්ටි ට දුන්නා ය.
නමුත් ඇය මා බලා ගත්තා ද කියා මා දන්නේ නැත. ඇගේ ඔළුවේ උකුණන් බලවා ගැනීම, ඇගේ වැලේ වන රෙදි ටික ගෙට ගෙන්වා ගැනීම, ඇතැම් විට ළඟ කඩයට යවා ගැනීම පොඩි වැඩ මා ලවා කරවා ගැනීමට නම් ඇය නො පැකිළුණා ය. ඔවුන් ගේ ගෙදර ළමයින් දෙන්නා එක්ක සෙල්ලම් කිරීමේ දී ඇති වන රණ්ඩු වලදී නිසැක ව ම වැරදි කරුවා වූයේ ත් මා ය.
වයසින් වැඩෙත්දී හා යමක් කමක් තේරෙන්නට ගනිත්දී මම ඔවුන් මගහැර ගෙට ම වී පොත පතක් බලා ගතිමි.
“ගයාත්මි දැං හරි එක විදිහක්. නිකමට අපේ ගේ පැත්තට එන්නෑනෙ. ඔයා වගේනං නෙවෙයි කෝසලා මෙයා. හරි අහංකාරයි”
එතකොට සීතා ඇන්ටි අම්මා ට ගතු කේළාම් කීවා ය.
“එයාගෙ හැටි අක්කෙ. කොහොමත් මෙයා මාත් එක්ක වුණත් වැඩි කතා බහක් ඇති ළමයෙක් නෙවෙයිනෙ”
මා එහෙම කුළෑටි හා මුළැන්වෙන සුළු දැරියක වූයේ මගේ වරදක් මත නො වන බවවත් අම්මා දැන සිටියේ නැත.
“ගයාත්මී…නිදිද…එන්න පුතේ කෑම කන්න”
අත්තම්මා කාමරයට ඇවිත් කතා කළා ය. මම සිනහවකින් නැගිට යහනත හිඳ ගතිමි.
“මං නිසා අත්තම්මලට කරදරයි. මං ආයෙ ගෙදර යන්නං”
“මොනාද දරුවො මේ කියන්නෙ…අපිච දෙන්න වයසට ගිහිං දැං මේ පාළුවෙ තනි වෙලා ඉන්නෙ. ඔයා ඉන්න එක අපිට අලුත් සතුටක්”
ඕ තොමෝ මහිස පිරිමැද්දා ය. එහෙව් ආදරයක් මතක ඇති කාලයක විඳ නැති ලෝබ කමින් මම අත්තම්මා ගේ බඳ වැළගෙන, ඇගේ බණ්ඩියෙහි හිස හොවා තුරුලු වීමි. මගේ ඇස් දෙකෙන් කඳුළු දෙ පෙළක් ගලා යන්නට වූයේ මටත් නො දැනී ය. ආදරය විෂයේ මගේ ජීවිතය කෙතරම් කටුක නියඟයකට හසුව තියෙන්නට ඇත්දැයි එහෙම හිඳිත්දී මට කල්පනා විය.
ගංගා ෂයිනි ගමගේ
ඊළඟ කොටස සිකුරාදා බලාපොරොත්තු වෙන්න.